මේ දිනවල ලංකාවේ දේශපාලන ක්‍ෂේත්‍රයේ කතාබහට ලක්‌වන ප්‍රධාන මාතෘකාවක් ලෙස ඉදිරියේ දී පැවැත්වීමට නියමිත මහ මැතිවරණය හැඳින්විය හැකිය. පසුගියදා ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 20 වැනි සංශෝධනය හා ඡන්ද ක්‍රමයේ වෙනස්‌වීම් සම්බන්ධයෙන් ද සාකච්ඡා විය. බොහෝ විට දේශපාලනඥයන් විසින් ඉදිරිපත් කරන කතාවලින් මහ මැතිවරණයේ දී තෝරාගත යුතු අපේක්‍ෂකයන් විය යුත්තේ යහපත් පුද්ගලයන් යෑයි හඬනගා කියා සිටින අවස්‌ථා තිබේ. ඇතැම්විට එසේ කියන සමහර දේශපාලනඥයන් ද විවිධ චෝදනාවලට ලක්‌වූවෝය. ඔවුන් ද ඉතා සුදනන් වශයෙන් ආදර්ශවත් පුද්ගලයන් තමන් යෑයි වක්‍රව කියන බවත්ද ගම්‍ය වේ.
කෙසේ වුවද මේ රටේ බහුජන සංවිධාන, සිවිල් සමාජය. උගුතුන්, පූජ්‍ය-පූජක පිරිස්, කලාකරුවන්, වෘත්තීයවේදීන්, ව්‍යාපාරික ප්‍රජාව ඇතුළු පොදු මහජනතාව සද්භාවයෙන් යුතුවම ඉදිරි මහ මැතිවරණයේදී යහපත් පුද්ගලයින් අපේක්‍ෂකයන් වියයුතු බව ප්‍රකාශ කරති. දීර්ඝ කාලයක් මුළුල්ලේ පොදු මහජනතාව අතර මේ අදහස පැවතියේය. පසුගිය කාලය මුළුල්ලේ වඩාත් ජනමතයක් මේ සම්බන්ධයෙන් වර්ධනය වී ආවේය. දැන් එම ජනතාමතය සංවිධාන ගතවී ඉදිරිපත් වෙමින් තිබේ. තවදුරටත් ජනතාව අතරට මේ අදහස් ගෙන යා යුතුය. ඉන් නොනැවතී ඉදිරි මහා මැතිවරණයේ දී ඡන්ද දායකයන් ප්‍රායෝගිකව මේ අදහස් ක්‍රියාවට නංවමින් ජනතා නියෝජිතයන් තෝරාපත්කර ගත යුතුවේ.
වර්තමාන කාලයේ පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් පිළිබඳව පොදු මහජනතාවගේ මතය විමසා බැලිය යුතුවේ. විවිධ චෝදනාවලට ලක් වූවන් මහත්මා ගති පැවතුම්වලින්, තොර වූවත්, සමාජ විරෝධී ක්‍රියාවන්ට යොමු වූවන් නියෝජනය කරන තැනක් ලෙස මහජනයා තුළ මතයක් ගොඩනැගී තිබේ. ජනතාව එසේ සිතනුයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව තුළ හැසිරෙන ආකාරයෙන් පමණක් නොවේ. ඔවුන් මහජන නියෝජිතයන් වශයෙන් ජනතා අපේක්‍ෂා ඉටුකරන්නේද යන සැකය ද ජනතාව අතර පවතින අදහසකි. කෙසේ වුවද නියෝජිතයන් තෝරා ගන්නා වූ ඡන්ද දායකයන්ටද මේ සම්බන්ධයෙන් විශාල වගකීමක් තිබෙන බව අමතක කළ යුතු නැත.
“මන්ත්‍රීවරයා” සම්බන්ධ ආකල්පය සංකීර්ණය. වසර ගණනාවක් තිස්‌සේ මෙරට ජනයාට මන්ත්‍රීවරයා දක්‌නට ලැබෙන්නේ තමාගේ ගැළවුම්කාරයෙකු වශයෙනි. “සියලු බලය ඇත්තේ මන්ත්‍රීවරයාට යෑයි” ජනතාව සිතන්නට පුරුදු වී සිටී. එසේ වීමට හේතුවී ඇත්තේ මන්ත්‍රීවරයාට සීමාන්තික බලයක් හිමිවීම නිසා හෝ එසේ ආරෝපණය කරගෙන පෙනී සිටීමේ හේතුවෙනි. සීමාව ඉක්‌මවා සියල්ල දේශපාලනීකරණය වීම මීට හේතුවකි. පාසලට විදුහල්පතිවරයා පත්කිරීමට මැදිහත් වන්නේ පාසලේ වැසිකිළියක් වුවද සාදා දෙනවාද? නැද්ද? යන්න තීරණය කරන්නේත් ගමේ පාර, ගමේ ඇළවේලි, බෝක්‌කු, පාලම්, ජලය, විදුලිය දෙනවාද? නැද්ද? යන්න තීරණය කරන්නේත් මන්ත්‍රීවරයා විසින්ය යන අදහස් ජනතාවට ඒත්තු ගන්වා ඇත. මෙය ඉතා අහිතිකර තත්ත්වයකි. ෙ€දවාචකයකි. රැකියා දීම නොදීම පමණක් නොව කොන්ත්‍රාත් දීම වුවද මන්ත්‍රීවරයාගේ වැඩක් ලෙස පෙනීගොස් තිබේ. සැබෑ ලෙසම මේවා මෙසේ විය යුතුද? ඇතැම් පුද්ගලයන් චෝදනාවන්ට ලක්‌කර පොලිසියට යොමු කිරීම හෝ එසේ නොමැති නම් චෝදනාවන්ට ලක්‌වූවන් පොලිසියට බලකර නිදහස් කර ගැනීම හෝ වැනි ක්‍රියාවන්ට වුවද මන්ත්‍රීවරයා මැදිහත් විය යුතුද?
අපේ රටේ පරිපාලන යාන්ත්‍රණය සංවිධානය වී තිබෙන්නේද ඉහත දැක්‌වූ “මන්ත්‍රීවරයා”ගේ අපේක්‍ෂා ඉටු කිරීමේ අදහසින්දැයි අපට සැක සංකා මතුවේ. සීමාව ඉක්‌මවූ “දේශපාලන අධිකාරියක්” මවා පෙන්වමින් නිලධාරීන් තමන් වෙත පැවරෙන තීන්දු තීරණ ගැනීම මඟ හැරීමේ ප්‍රවණතාවක් දැන් අපේ රටේ නිර්මාණය වී තිබේ. නිලධාරීන් දේශපාලන අධිකාරියේ හිරකාරයන් බවට පත්කර ගන්නා අවස්‌ථා බෙහෙවින් ප්‍රදර්ශනය වේ.
මන්ත්‍රීවරුන් තෝරාපත්කර ගැනීම සම්බන්ධයෙන් මහජනයාට විශාල වගකීමක් තිබේ. එය මහජනයාගේ අයිතියකි. ඉන් ජනතාව සතු පරමාධිපත්‍ය බලය පිළිබිඹු වේ.
නමුත් දේශපාලන පක්‍ෂ ක්‍රමයත් සමඟ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක වුවද දේශපාලන පක්‍ෂ ජනතාවට වඩා ඉහළින් ක්‍රියාත්මක වන්නේය. ඡන්දයට ඉදිරිපත් කරන අපේක්‍ෂකයන් ප්‍රථමයෙන් තෝරන්නේ දේශපාලන පක්‍ෂ විසිනි. ඒ සඳහා ජනතා සහභාගිත්වයට ඇති අවස්‌ථා නැති තරම්ය. එබැවින් රටේ පාලනය සඳහා සුදුසු නියෝජිතයන් අපේක්‍ෂකයන් ලෙස තේරීමේ පළමු වගකීම ඉටුකළ යුත්තේ ඒ ඒ දේශපාලන පක්‍ෂ විසිනි. එසේ සිදු නොකර තමන් තෝරන අපේක්‍ෂකයින් අතරින් නිවැරදි අය, සුදුසු අය තෝරාගන්නා ලෙස ජනතාවට කියා සිටීම විහිළුවකි.
මිනිසුන් අතර සර්ව සාධාරණවත් මුළුමනින්ම ශුද්ධවන්තවූ පුද්ගලයන් සෙවීම අසීරුය. එහෙත් මෙහි ඇති ෙ€දනීය තත්ත්වය නම් මන්ත්‍රීවරයකු ලෙස තෝරාපත් කරගත් අයෙකු ඉන්පසුව වැරදිකරුවකු දූෂිතයෙකු හෝ විවිධ චෝදනාවලට ලක්‌වූවෙකු බවට ප්‍රකාශයට පත් වුවද එබඳු අයෙකුටද කිසිදු හිරිකිතකින් තොරව නැවත අපේක්‍ෂකත්වය දීමට දේශපාලන පක්‍ෂ ක්‍රියාකිරීමය. ඔවුන් එසේ කරමින් ජනතාවට සුදුසු අය තෝරා එවන්නැයි කියන්නේ නම් එය කොතෙක් දුරට සාධාරණවේද?
අපේ රටේ දේශපාලන ක්‍ෂේත්‍රයේ කථිකත්වයට හිමිවන්නේ ප්‍රධාන තැනකි. කථීකයන් ජනතාවගේ ඡන්දය දිනා ගැනීමට ශූරය. එහෙත් කථිකත්වය යනු කටමැත දෙඩවීම නොවේ. චරිත ඝාතනය කරන්නන්, මඩ ප්‍රහාරකයන්, අසත්‍යය සත්‍යය කර පෙන්වන්නන් සැබෑ කථීකයන් නොවේ. දේශපාලනයට අවශ්‍ය වන්නේ එබඳු අය යෑයි සිතීමෙන් ඉවත් විය යුතුය. එහෙත් මෑත දේශපාලන ක්‍ෂේත්‍රය වීරවරයන් බවට පත්කර ගැනීමට උත්සුක වන්aනේ එවැන්නන් වීම කනගාටුදායකය.
පාර්ලිමේන්තුව, පළාත් සභාව, පළාත් පාලන ආයතන ජනතා ඡන්දයෙන් නියෝජිතයන් තෝරාගන්නා ආයතනයන්ය. මේ සඳහා තෝරා ගනු ලබන මහජන නියෝජිතයන් කිසියම් වර්ෂ ප්‍රමාණයක් සඳහා මහජනතාවගේ කැමැත්තෙන් පත්කර ගැනේ. එය වසර පහක්, හතරක් හෝ විය හැකිය. තේරී පත්වූ පසු ඔවුන් නියමිත කාලය එම ආයතනවල රැඳී සිටිය යුතුය. එය ජනතාවගේ පරමාධිපත්‍ය බලයට ගරු කිරීමක් මෑත භාගයේ දක්‌නට ලැබෙන්නේ මීට වඩා වෙනස් තත්ත්වයකි. පළාත් පාලන ආයතනවලට, පළාත් සභාවට හෝ පාර්ලිමේන්තුවට තේරී පත්වන මහජන නියෝජිතයන් තමන් ඉන් ඉවත්වී වෙනත් මැතිවරණ සඳහා තරඟ කිරීම කොතෙක් දුරට සාධාරණදැයි ප්‍රශ්නාර්ථයකි.
දේශපාලන පක්‍ෂ ක්‍රමය අනුව කිසියම් දේශපාලන පක්‍ෂයකින් ඡන්දයට ඉදිරිපත් වී ජයග්‍රහණය කිරීමෙන් පසුව තමා පත්කරගත් ජනතාවගේ කැමැත්තට පිටුපා තමාගේ අභිමතය පරිදි පමණක් පක්‍ෂ මාරු කිරීම අපේ රටේ වඩාත් අවධානයට යොමු වී ඇති කරුණකි. ප්‍රජාතන්ත්‍රවාදී රටක දේශපාලන පක්‍ෂ ඉතා අත්‍යවශ්‍ය, එමෙන්ම වැදගත් සාධකයකි. එහෙත් පිල් මාරුව පක්‍ෂ දේශපාලනයේ ගැටලුකාරී තත්ත්වයකි. මෙය ද එක්‌තරා ප්‍රමාණයකට ජනතා පරමාධිපත්‍යයට කරනු ලබන අභියෝගයකි. ආණ්‌ඩුවල ආයු කාලය තීරණයවීමට වුවද මෙය බොහෝදුරට හේතුවන බව මෑතක සිට දක්‌නට ලැබෙන ලක්‍ෂණයකි. පක්‍ෂ මාරු කිරීම සඳහා දේශපාලන ප්‍රතිපත්තිවලට වඩා හේතුවන්නේ පෞද්ගලික හේතූන්ය, පෞද්ගලික වාසි, තනතුරු මේ සඳහා බෙහෙවින් හේතු වේ. මුදල්වලට මන්ත්‍රීවරුන් විකිණීම හා තක්‌සේරුවීම් සම්බන්ධයෙන් මෑත භාගයේ වඩාත් කතාබහට ලක්‌වී තිබේ. මන්ත්‍රීවරයකුගේ වටිනාකම මෙපමණයෑයි මුදලින් තක්‌සේරු කිරීම පවා පසුගිය කාලයේ සාකච්ඡාවට ලක් වූ අවස්‌ථා අසන්නට ලැබුණි.
ඉහත දැක්‌වූ කරුණු සම්බන්ධයෙන් ප්‍රධාන වශයෙන් දේශපාලන පක්‍ෂ විසින් හා රටේ ඡන්දදායකයන් විසින් වඩාත් සැලකිළිමත් වී තීන්දු තීරණ ගැනීම යුගයේ අවශ්‍යතාවකි. ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය කිරීම් හා නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක් ගෙන ඒම සම්බන්ධයෙන් මෙකල අවධානය යොමු වූවකි. එපමණක් නොව මැතිවරණ ක්‍රමයේ වෙනසක් සම්බන්ධයෙන් පොදු මහජනතාව මෙන්ම දේශපාලන පක්‍ෂ ද උනන්දු වී ඇති ලක්‍ෂණ දැන් පෙන්නුම් කෙරේ. විශේෂයෙන් තමන් සතු ස්‌වාධිපත්‍ය බලය පිළිබඳව ද මහජනයා උනන්දුවෙන් සිටී.
කෙසේ වුවද මෙබඳු වාතාවරණයක් යටතේ නව මහ මැතිවරණයකට දැන් අවස්‌ථාව උදාවී ඇත. පැරණි ඡන්දක්‍රමය අනුව මැතිවරණය පැවැත්වේ. ජනතාවත් දේශපාලන පක්‍ෂත් බුද්ධිමත්ව තීන්දු තීරණ ගතයුතුව ඇත, දේශපාලන පක්‍ෂ ප්‍රතිපත්ති, අතීත ක්‍රියාකාරකම් සැලකිල්ලට ගත යුතුව ඇත. දියුණු බුද්ධිමත් ජනතාවක් වෙසෙන රටක නම් සමානුපාතික නියෝජනය, මනාප ක්‍රමය වුවද ගැටලු සහගත නොවේ. එහෙත් මුදල් බලය, ප්‍රසිද්ධිය, තනතුරු බලය හා වෙනත් හැකියා මගින් මනාප ක්‍රමය අවතක්‌සේරු වුවද, ඉදිරි මහ මැතිවරණයේදී එබඳු පටු සීමාවන් ඉක්‌මවා ගොස් රටට සුදුසු මහත්මාගති පැවතුම්වලින් හෙබි නියෝජිත පිරිසක් තෝරා ගැනීම මහජනතාවගේ වගකීම විය යුතුය. එබඳු පුද්ගලයන් අපේක්‍ෂකත්වයට තෝරා ගැනීම දේශපාලන පක්‍ෂවල මූලික වගකීම විය යුතුය.
ශාස්‌ත්‍රපති,
නාඔටුන්නේ නන්දරතන හිමි
Source: Divaina Online Edition