එජාපෙ පංචවිධ සැලසුම ජනගත කෙරේ

0
726

මාස හැටකින් අලුත් රටක් හදන පංච විධ ක්‍රියාවලිය ලෙස නම් කර ඇති යහපාලනය සඳහා වූ එක්සත් ජාතික පෙරමුණේ සැලසුම එහි නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (23) ජනගත කළේය.හුදු ප්‍රතිපත්ති ප්‍රකාශන යන රාමුවෙන් මිදී සංවර්ධන සැලැස්මක් යන අරමුණ මත පිහිටා මෙම පංචවිධ වැඩසටහන ඉදිරිපත් කර තිබුණි.
මහා සංඝරත්නය, විද්වතුන් හා සාමාන්‍ය පුරවැසියන් යන සෑම අංශයක්ම නියෝජනය වන පරිද්දෙන් අගමැතිවරයා විසින් මෙම පංචවිධ ක්‍රියාවලිය ඒ අයට පිළිගන්්වනු ලැබිය.
යහපාලනය උදෙසා එක්සත් ජාතික පෙරමුණේ පංචවිධ ක්‍රියාවලිය නම් පස් අවුරුදු රට සංවර්ධනය කිරීමේ සැලැස්ම එළි දැක්වීමේ උළෙල කොළඹ විහාර මහා දේවි එළිමහන් රංගපීඨය අසලදී පැවැත්විණ. ඉතා චාම් උත්සවයක් ලෙස පැවැති මෙම අවස්ථාවට යහපාලනය උදෙසා එක්සත් ජාතික පෙරමුණේ සියලුම නායකයින්  සහභාගි වී සිටියහ.
ප්‍රධාන කරුණු 5ක් පදනම් කර ගනිමින් පංචවිධ ක්‍රියාවලිය සකස් වී ඇත. ආර්ථිකය දියුණු කිරීමේ ක්‍රියාවලිය, දූෂණය මුලිනුපුටා දැමීමේ ක්‍රියාවලිය, නිදහස තහවුරු කිරීමේ ක්‍රියාවලිය, යටිතල පහසුකම් සඳහා ආයෝජන ක්‍රියාවලිය හා අධ්‍යාපනය ඉහළ නැංවීමේ ක්‍රියාවලිය මෙම මාස 60කින් අලුත් රටක් හදන පංචවිධ ක්‍රියාවලියට ඇතුළත්ය.
අගමැතිවරයා විසින් සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ සභාපති මාදුළුවාවේ සෝභිත හිමියන්ට පංචවිධ සැලැස්ම පිළිගැන්වූ අයුරු ඡායාරූපයේ දැක්වේ.

Source : Lakbima