දන්නා හඳුනන පාතාලය වැටලීමට පොලිස්‌ මාර්ග බාධක

0
663

චණ්‌ඩි අල්ලන්න කොළඹ මාර්ග බාධක තුනක්‌ යොදා ඇති බව ඊයේ (04 දා) “දිවයින” පුවත්පතේ ප්‍රවෘත්තියක්‌ පළවී තිබිණි. මේ “චණ්‌ඩි” යනුවෙන් හඳුන්වන්නේ මැතිවරණ ප්‍රචණ්‌ඩ ක්‍රියාවල නිරත වන සංවිධානාත්මක කණ්‌ඩායම් බවද එම පුවතේ සඳහන් වී තිබිණි.

අප සිතන්නේ මේ චණ්‌ඩි එසේ මෙසේ චණ්‌ඩි නොවන බවය. සයනයිඩ් කරල් බෙල්ලේ එල්ලාගත්, පුපුරණ ද්‍රව්‍ය, ගිනි අවි රැගෙන සැරිසරන ත්‍රස්‌තවාදී කණ්‌ඩායම් විය යුතුය. මාර්ග බාධක සංස්‌කෘතිය එල්.ටී.ටී.ඊ. ත්‍රස්‌තවාදය බහුලව තිබූ යුගයේ ක්‍රියාත්මක වූයේ ත්‍රස්‌තවාදී සාමාජිකයන් අත්අඩංගුවට ගන්නටය. එසේ නම් මේ මාර්ග බාධක හා එදා යුගයේ තිබූ මාර්ග බාධක අතර වෙනස සොයා ගැනීමට අපට උපකාර කළ යුත්තේ මෙවර මාර්ග බාධක ස්‌ථාපිත කළ මහත්වරුන්ය.

මේ හදිසි මාර්ග බාධක දැමීමේ වුවමනාව ඉස්‌මතු වන්නේ බ්ලූමැන්ඩල් සිද්ධියෙන් පසුවය. මහ මැතිවරණය සමයේ කොළඹ සැරිසරන පාතාල කණ්‌ඩායම් සහ මැතිවරණ ප්‍රචණ්‌ඩ ක්‍රියාවල යෙදෙන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට මාර්ග බාධක යෙදීම නරක බව අපි කිසිවිටෙකත් නොකියමු. අප කියන්නේ ඊටත් වඩා ප්‍රායෝගිකව මේ කාරණයට විසඳුම් සෙවිය හැකි බවය.

පොලිසිය මාර්ග බාධක පනවන්නේ පාතාලය අත්අඩංගුවට ගැනීමට නම් සැකක්‌ නැතුවම පාතාලය තවමත් රජකරන බව කිව හැකියි. එසේ නම් මේ මොහොතේ පාතාලය සිටින්නේ දේශපාලනඥයන් (මැතිවරණ අපේක්‍ෂකයන්) ළඟ බවටද සැකයක්‌ නැත. මාර්ග බාධක යොදනවාට වඩා ලෙහෙසිම ක්‍රමය මේ අපේක්‍ෂකයන් ගෙන්ම තොරතුරු දැන ගැනීමය.

පසුගිය දිනවල දිගින් දිගටම කිව් කතා අනුව මේ වන විට කිසිදු දේශපාලනඥයෙක්‌ ළඟ පාතාල සාමාජිකයන් සිටින්නට බැරිය. අවි ආයුධ තබා බටර් තැවරීමට ගන්නා ප්ලාස්‌ටික්‌ පිහියක්‌වත් තිබෙන්නට බැරිය. එහෙත් “ආධාර කරුවන්ගේ කෙළි සෙල්ලම්” වලදී එළියට එන්නේ කැති, කඩු මන්නා, ටී පනස්‌හයේ බඩුය. තත්ත්වය එබඳුය. පොලිස්‌ මාර්ග බාධක යෙදීමෙන් පසු අවි ආයුධ රැසක්‌ සමග පුද්ගලයන් අත්අඩංගුවට ගත් බව “දිවයින” ප්‍රවෘත්තියෙහිද සඳහන්ව තිබිණි.

අපේක්‍ෂක මහත්වරු මේ කිසිවක්‌ නොදන්නා තොත්ත බබාලා වීම ඉවසිය හැකි මුත් මැර බලයෙන් තොර දේශපාලන සංස්‌කෘතියක්‌ ගැන වේදිකාවල කෑමොර දීම ඉවසා සිටිය නොහැක.

ඡන්ද අපේක්‍ෂකයන් ළඟ සිටින පාතාල සාමාජිකයන් සිටින්නේ හඳුනා ගැනීමට බැරි ලෙස වෙස්‌ වළාගෙන නොවේ. ජිහාඩ්, අයි.එස්‌.අයි.එස්‌. ත්‍රස්‌තවාදීන් මෙන් මුහුණු ආවරණය කරගෙනද නොවේ. මේ පාතාල සාමාජිකයන් බොහෝ දෙනෙක්‌ පිළිබඳව තොරතුරු ආරක්‌ෂක අංශ සතුව නැතැයි කිවහොත් එය ඉතිහාසගත බොරුවකි. පොලිසියම හෙළිදරව් කරන ආකාරයට රටම හඳුනන පාතාල සාමාජිකයන් සිය ගණනකට ආසන්න සංඛ්‍යාවක්‌ ඡන්ද වැඩට බැස සිටී.

ඉන් දොළොස්‌ දෙනෙක්‌ම විදේශයන්හි සැඟව සිට මෙරටට පැමිණ ඡන්ද අපේක්‍ෂක දේශපාලනඥයන්ට සමීපව කටයුතු කරන අයයි. මේ හොඳින්ම දන්නා අය අත්අඩංගුවට ගැනීමට පොලිසිය මාර්ග බාධක යෙදීම තරම් විහිළුවක්‌ තවත් ඇත්දැයි අප ප්‍රශ්න කරන්නේ එබැවිනි. එම පාතාල සාමාජිකයන් රටින් පැන්න බව රටට කීවේද පොලිසියයි. නැවත ඔවුන් පැමිණ ඇති බව කියන්නේද පොලිසියයි. දේශපාලනඥයන්ට එම පාතාලය සම්බන්ධව සිටින බව කියන්නේද පොලිසියයි. එම පාතාලයන් ආයුධ සන්නද්ධ බව කියන්නේද පොලිසියයි. ඒ සියලු දෙනාගේම තොරතුරු තමන් සතුව ඇතැයි කියන්නේද පොලිසියයි. එසේනම් පාතාලයන් අත්අඩංගුවට ගන්නට මාර්ග බාධකයක්‌ අසලට එන තුරු සිටින්නේ ඇයි? මැර දේශපාලනය තුරන් කරමු යෑයි බෙරිහන් දෙන දේශපාලනඥයන් සමග එකතුව උන් අත්අඩංගුවට ගැනීම කාලයත්, ශ්‍රමයත්, මුදලුත් ඉතිරි කරන මඟක්‌ බව අපි විශ්වාස කරමු.

බොහෝ දෙනකුට මෙය විහිළුවක්‌ වූවාට අපට නම් මෙය ෙ€දවාචකයක්‌ බව කිව යුතුය. මේ පාතාල සාමාජිකයන් කිසිවෙකුත් යහපත් මානසිකත්වයක්‌ ඇති අය ලෙස අප නොසලකමු. “ප්ලෑන් කර” මිනී මැරීමත්, හදිසි කෝපය නිසා මිනීමැරීමත් දෙකකි. පාතාල සාමාජිකයන්ට අනුව මිනිස්‌ ඝාතනයක්‌ යනු සුළු දෙයකි. ඉලක්‌කගත පුද්ගලයකු වෙඩි තබා කපා කොටා ඝාතනය කරන විට අවට සිටින කවර හෝ අහිංසකයකුද හෝ ඝාතනය වීම පාතාලයට “දුක” හිතෙන්නට කාරණයක්‌ නොවේ. ඒ ආකාරයේ සමාජ විරෝධී, ප්‍රචණ්‌ඩ මානසිකත්වයකින් හෙබි පුද්ගලයන් මැතිවරණයේ දී “වැඩට” බැස සිටීම දේශපාලනඥයන්ට කෙසේ වෙතත් සාමාන්‍ය ජනතාවට එතරම් සුබදායක නැත. පාතාලය යනු අණ ලැබුණු විගස සපා කෑමට සූදානමින් සිටින සුනඛයන් රෑනක්‌ මෙනි. තමාගේ ජයග්‍රහණය වෙනුවෙන් ඕනෑම ජඩ වැඩක්‌ කරන්නට පෙළඹෙන කවර හෝ දේශපාලනඥයකුගෙන් ලැබෙන අණ එතරම් හොඳ එකක්‌ වන්නේ නැත. එහෙත් එකී දේශපාලනඥයන් වටහා ගත යුත්තේ වෙනත් කවර හෝ ස්‌වාමියකුගේ අණකට යටත්ව පැරැණි ස්‌වාමියා සපා කෑමට වුව පාතාල සුනඛයන්ට හැකි බවය. මේ සපාකෑම් නවතා දමන්නට බැරියර් තුනක්‌ පමණක්‌ ප්‍රමාණවත් නැත.

Source : Divaina