ගලනාලයේ සහ අග්න්‍යාශයේ ඇතුළු සැත්කම් පහක් පැය නවයකදී සිදුකළ විස්මිත වෙදැදුරු

0
1463

සාමාන්‍ය රජයේ සේවකයෙකුට ඇත්තේ පැය 8ක සේවා මුරයක් වුවත් වේලාව අවේලාව නොබලා රාජකාරි සිදුකළ යුතු වෘත්තීන් ගණනාවක්ද සමාජයේ ඇත. ලෙඩක් දුකක් හදිසි අනතුරක් සිදුවන්නේ කොයි මොහොතේදැයි නිශ්චිතව කිව නොහැකි මෙලෝ තලයේ වෛද්‍ය වෘත්තිය ද එවැන්නකි.එසේ වුවද මනුෂ්‍යයෙකු වන ශල්‍ය වෛද්‍යවරයාටද වැඩකිරීමේ සීමාවක් තිබේ. නමුත් මේ කතාව ඒ වැඩ කිරීමේ සීමාවද ඉක්මවා යමින්් පැය 9ක කාලයක් තුළ එක දිගට සැත්කම් 5ක් සිදුකර රෝගීන් පස්දෙනෙකුගේ දිවි ගැලවූ ශල්‍ය වෛද්‍ය විශේෂඥවරයෙකු ප්‍රමුඛ ශල්‍ය වෛද්‍ය කණ්ඩායමක්
පිළිබඳවයි. රත්නපුර මහ රෝහල‍ලේ විශේෂඥ පිළිකා ශල්‍ය වෛද්‍ය අනුරුද්ධ තෙවරප්පෙරුම ප්‍රමුඛ කණ්ඩායක් විසින් මේ වර්තාගත දස්කම දක්වා ඇත.
පසුගිය මස 28 දින ඉතා සංකීර්ණ ගලනාලයේ සහ අග්න්‍යාසයේ සැත්කමක් ඇතුළුව සැත්කම් පහක් සාර්ථකව නිමකිරීමට ඔවුන් සමත්ව ඇති අතර, මෙය ස්ථීර ලෙසම ශ්‍රී ලංකා සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ වාර්තාවකි.

එයට එක් හේතුවක් වන්නේ සෙසු සැත්කම් කෙසේ වෙතත් අග්න්‍යාසයේ සහ ගලනාලයේ සැත්කම් ශල්‍ය වෛද්‍ය ක්‍ෂේත්‍රයේ සලකනු ලබන්නේ අතිශය අසීරු සැත්කම් ලෙසින් වීමයි. මෙම සැත්කම් විශේෂ දෙක කොතරම් අසීරුද යත් අග්න්‍යාසයේ හෝ ගලනාලයේ සැත්කම් දෙකක් එක දිනකදී සාමාන්‍යයෙන් එක වෛද්‍යවරයෙකු විසින් සිදුනොකිරීමට වගබලා ගැනීමෙන්ම පැහැදිලි වෙයි. එහෙත් පසුගිය 28දා රත්නපුර මහ රෝහ‍ලේදී ඒ සියල්ල කණපිට හරවමින්, පෙර කී අසීරු සැත්කම්වලට අමතරව ගුද මාර්ගයේ පිළිකාවක්, තයිරොයිඩ් ග්‍රන්ථියේ පිළිකාවක් සහ ගැබ්ගෙල පිළිකාවක් ද සාර්ථකව ඉවත් කිරීමට වෛද්‍ය අනුරුද්ධ තෙවරප්පෙරුම ප්‍රමුඛ ශල්‍ය වෛද්‍ය කණ්ඩායම සමත් වූහ.

ratnapuraya-hospitalසතියේ සෑම අඟහරුවාදා දිනයක්ම වෛද්‍ය අනුරුද්ධ විසින් වෙන්කරනු ලබන්නේ ශල්‍යකර්ම සඳහාය. සාමාන්‍යයෙන් තම සහායකයන් සමග එක එල්‍ලේ සැත්කම් කීපයක් සිදුකිරීම මේ පළපුරුදු තරුණ වෛද්‍යවරයාට අසීරු දෙයක් නොවේ. එහෙත් පසුගිය 28දා ශල්‍යකර්ම සඳහා සූදානම්ව සිටි රෝගීන් අතර ගලනාලයේ සහ අශ්න්‍යාසයේ සැත්කම් සඳහා නිර්දේශ වූ රෝගීන් දෙදෙනෙකු ද සිටිනා බව තහවුරුවීමත් සමග වෛද්‍ය අනුරුද්ධ තෙවරප්පෙරුම ගේ සිතට යම් චකිතයක් නොදැනුණාම නොවේ. එහෙත් තම සුරක්ෂිත දෑතෙන් ජීවය යදින රෝගීන්ගෙන් එක අයකුට පමණක් සැත්කමක් සිදුකර දවසේ රාජකාරිය නිමකිරීමට ඔහුට සිත දුන්නේ නැත. ඒ අනුව තවත් කාර්යබහුල දිනයක කටයුතු උදෑසන 8 පමණ වන විට ආරම්භ විය. මුල්ම සැත්කම ගලනාලයේ පිළිකා රෝගියෙකු හට සිදුකිරීමට තීරණය විය.

වෛද්‍ය විද්‍යාත්මකව ගලනාලයේ ශල්‍යකර්ම හඳුන්වනුයේ Esophagectomy    යනුවෙනි.
උගුරේ සිට අමාශය තෙක් නළයක් ඇසුරින් විහිදී ඇති ගලනාලයේ සැත්කම සඳහා උගුර උරස් කුහරය යන උදර කුහරය යන ප්‍රදේශ විවර කිරීම අනිවාර්යයෙන් සිදුවෙයි. ශරීරයේ  වැඩි ප්‍රමාණයක් විවර කිරීම නිසා රෝගීන්ට විවිධ සංකූලතා ඇති වීමේ ප්‍රවණතාවය ඉහළ යන බැවින් මෙම සැත්කම ඉතා අසීරු ගණයේ එකක් ලෙස සැත්කම් ක්‍ෂේත්‍රයේදී සලකණු ලබන්නක්.
පසුගිය 28 දා රත්නපුර මහරෝහ‍ලේදී ගලනාලයේ සැත්කමට ලක්වූ රෝගියාට වැළඳී තිබුණේ පිළිකාවකි. එනිසා උගුරේ සිට ආමාශය තෙක් වූ ගලනාලය ඉවත් කර අමාශය සෘජුවම උගුරට බද්ධ කිරීම සිදුවිය. පළමු සැත්කම සාර්ථකව නිමකළ වෛද්‍ය අනුරුද්ධ තෙවරප්පෙරුම ප්‍රමුඛ වෛද්‍යවරුන් හට ඊළඟට වූයේ තවත් අභියෝගයකි. ඒ අග්න්‍යාසයේ සැත්කමකි. ලංකා ශල්‍ය වෛද්‍ය ඉතිහාසයේ මුල්වරට ගලනාලයේ සැත්කමක් නිමකළ වෛද්‍යවරයෙකු සුළු මොහොතක් තුළ අග්න්‍යාසයේ සැත්කමට සූදානම්වූවේ ඒ මොහොතේදීය.

අග්න්‍යාසයේ සැත්කමක් මුලින්ම සිදුකර ඇත්තේ එඩඪනනතඥඵ නම් ශල්‍ය වෛද්‍යවරයකු විසිනි. ඔහුට ගෞරව ලෙස අදටත් මෙම සැත්කම හඳුන්වනු ලබනුයේ Whipples Operation  ලෙසයි. උදර කුහරය විවර කිරීමෙන් පමණක් මෙම සැත්කම සිදුකළ හැකිමුත් ඒ සඳහා
අග්න්‍යාසය ආවරණය වන පරිදි ඇති පිත්ත ප්‍රණාලය සහ ග්‍රහණය යන අවයව ඉවත් කර යළි සම්බන්ධ කිරීම කළයුතු වෙයි. අග්න්‍යාස සැත්කම අසීරු එකක් වන්නේ මේ කාරණාද ඉතා සංකීර්ණ ඒවා වන බැවිනි.

රත්නපුර මහ රෝහ‍ලේදී පසුගිය 28දා සැත්කමට ලක්වූ තරුණ කාන්තාවගේ අග්න්‍යාසයේ වූයේ ගෙඩියකි. එය සාර්ථකව ඉවත් කිරීමත් සමගම ශ්‍රී ලංකා ශල්‍ය වෛද්‍ය ඉතිහාසයේ නව වාර්තාවක් තබමින් ගලනාලයේ සහ අග්න්‍යාසයේ සැත්කම් දෙකක් එක දිනකදී නිම කළ පළමු ශල්‍ය වෛද්‍යවරයා බවට පත්වීමට අනුරුද්ධ තෙවරප්පෙරුමට හැකිවිය.
මේ අසීරු සැත්කම් දෙකට පසුවද වෛද්‍යවරයාගේ කාර්ය නිමා නොවීය. තුන් වැනි රෝගියා වෙනුවෙන්ද ශල්‍යාගාරය ලහිලහියේ සූදානම් වන්නට විය.

තුන්වෙනියට ඔහුගේ කණ්ඩායමට පැවැරී තිබුණේ ගැබ් ගෙල පිළිකා ඉවත් කිරීමේ සැත්කමකි. වෛද්‍ය විද්‍යාත්මකව Wertheims hysterectomy with lymphadnctomy යනුවෙන් හඳුන්වන මෙම සැත්කමද එදින තුළ සිදුකළ පළමු සැත්කම් දෙකට නොදවෛනි තරම් අසීරු එකක් විය. මෙම සැත්කමේදී රෝගී කාන්තාවන්ගේ යෝනි මාර්ගයේ ඉහළ කොටස, ගැබ්ගෙල, ගර්භාෂය, ඩිම්බකෝෂ, පැලෝපීය නාල යන සියලු කොටස් ඉවත් කිරීමට වෛද්‍යවරුන්ට සිදුවිය. ඊට අමතරව රෝගියාගේ උදර කුහරය තුළ වූ කුද්දටි ඉවත් කිරීමද සිදු කරන ලදී.

තුන්වැනි රෝගියාගේ සැත්කම සාර්ථකව නිම විය. සුළු ඉසිඹුවකින් පසු සිව්වැනි රෝගියා වෙනුවෙන්ද ශල්‍යාගාරය සූදානම් විය. සිව්වැනි ශල්‍යකර්මය වූයේ ගුද මාර්ගයේ පිළිකාවක් ඉවත් කිරීමේ සැත්කමකි. වෛද්‍ය විද්‍යාත්මකව Anterior resection යනුවෙන් හඳුන්වන මෙම සැත්කමේදී රෝගියාගේ ගුද මාර්ගය මුළුමනින්ම ඉවත් නොකර පිළිකා සහිත කොටස පමණක් ඉවත් කිරීමට වෛද්‍ය අනුරුද්ධ තෙවරප්පෙරුම මහතා සමත්විය.
මෙම වෙහෙසකර දවසේ පස්වෙනි සැත්කමය. වූයේ තයිරොයිඩ් ග්‍රන්ථියේ පිළිකාවක් ඉවත් කිරීමේ සැත්කමය වෛද්‍ය විද්‍යාත්මකව Thyroideectomy  ලෙස හඳුන්වන මෙම සැත්කම පෙර සැත්කම්වලට සාපේක්ෂව සරල එකක් විය.

මෙම සැත්කම සාර්ථකව නිමකර දවසේ රාජකාරි නිමාකරන විට වෛද්‍ය අනුරුද්ධ තෙවරප්පෙරුම මහතාගේ ශල්‍ය වෛද්‍ය කණ්ඩායම අඛණ්ඩව පැය 9ක් පමණ කාලයක් ශල්‍යකර්ම සඳහා වැයකර තිබුණි.
මේ වාර්තා ගත සැත්කම් පෙළ නිම කර සතියකට පමණ පසු මේ ලියුම්කරුට වෛද්‍ය අනුරුද්ධ තෙවරප්පෙරුම මහතා හමුවීමට හැකිවිය. ඒ අසීරු සැත්කම් පෙළ පිළිබඳ ඔහු අදහස් දැක්වූයේ මෙලෙසිනි.
“අග්න්‍යාසයේ සහ ගලනාලයේ සැත්කම් දෙක එක වෛද්‍යවරයකු විසින් එක දිනකදී සිදුකරන්නේ නෑ. ඒ එම සැත්කම් ඡරනචඵඵ සැත්කමකටත් වඩා අසීරු වන නිසා. ඒත් ඒ අසීරු සැත්කම් දෙකට අමතරව තවත් සැත්කම් තුනක් සාර්ථකව නිම කරන්නට අපිට හැකි වුණා. ලංකාවේ මෙවැන්නක් මීට පෙර සිදුව නෑ.“
“මේක ලෝක වාර්තාවක්ද කියලා හොයලා බැලුවේ නැද්දැයි“ මා ඔහුගෙන් විමසා සිටියෙමි. “මට ඒකට වෙලා තිබුණේ නෑ. මම උනන්දු වූයේ රෝගීන්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැනයි.

දැන් ඒ පස්දෙනාටම සුවයි. හෙට අනිද්දාට ගෙදර යයි.
මේ සැත්කම් මාලාව තුළ සැඟවුන පණිවුඩයක් තිබෙනවා. අපි මතු කරන්න ඕන ඒකයි. බලන්න මේ සැත්කම් පහෙන් හතරක්ම පිළිකා රෝග සඳහා කරන ලද ඒවා. පිළිකාව කල් තබා හඳුනාගැනීම තුළින් සාර්ථකව මැඩ පවත්වාගෙන ජීවිතය ගෙන යන්න පුළුවන්. ඒ නිසා රෝගීන් නිසි අවස්ථාවේ ඉදිරිපත්වීම වැදගත්. පිළිකාවට බෙහෙත් නෑ කියලා මරණයට හිත හදා ගන්නවාට වඩා ධෛර්යයෙන් ප්‍රතිකාර ලබා ජීවත්වීම වැදගත්” යැයි වෛද්‍ය අනුරුද්ධ තෙවරප්පෙරුම පවසයි.

“අපේ කතාවට බාධා කරමින් නිල්වන් ශල්‍යාගාර ඇඳුමෙන් සැරසුන වෛද්‍යවරු දෙදෙනකු වෛද්‍ය විවේකාගාරයට ඇතුළු විය. භද්‍ර යෞවනයේ පසු වූ මේ වෛද්‍යවරු දෙදෙනාද වෛද්‍ය අනුරුද්ධ තෙවරප්පෙරුමගේ සගයන් විය හැකි යැයි මට නිකමට සිතුණි.
“මේ දෙන්නා හඳුනාගන්න වටිනවා. මේ වෛද්‍ය ප්‍රසාද් පෙරේරා මේ වෛද්‍ය සාලිය ගනේ‍පොල මේ දෙන්නාට අමතරව නිර්වින්දන වෛද්‍ය ජනක රණවීර, ශල්‍යාගාර භාර හෙද සොයුරි සමන්මාලා රාජපක්ෂත්,හෙද සහ කනිෂ්ඨ කාර්ය මණ්ඩලයත් මේ සැත්කම් සඳහා දායක වුණා. ඒ වගේම තමයි රෝහල් අධ්‍යක්ෂ සම්පත් රණවීර මහතා ඔහු දෙන සහය නොවන්නට මෙවැනි දේ කිරීම සිහිනයක් විතරයි“ යනුවෙන් වෛද්‍ය තෙවරප්පෙරුම පැවැසීය.
“ඉතින් ඔබේ අද රාජකාරි ඉවරදැයි“ මම නිකමට මෙන් විමසා සිටියෙමි.

“අ‍පෝ නෑ. තව ඔපරේෂන් 2ක් තියෙනවා. අපි දැන් තියෙටර් එකට යන්න ඕනෑ. දැනටමත් ඔයා මගේ වෙලාව ගත්තා වැඩියි.“ පවසමින් මා හට සමුදුන් වෛද්‍ය අනුරුද්ධ තෙවරප්පෙරුම, ප්‍රසාද් පෙරේරා, සාලිය ගනේ‍පොල යන තරුණ වෛද්‍යවරු සමග ශල්‍යාගාරය තුළට ඇතුළුවිය. ඒ තවත් ජීවිතයකට ජීවය දෙනු පිණිසය.

අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු
Source : Lakbima