සරසවි සටන් හා සිසුන්ගේ ජීවිත අරමුණු

0
856

ශිෂ්‍ය සටන් ජීවන වියදම් සටන් වැඩි වැටුප් සටන් මෙන් අග්ගිස්සක් නැතිව දික්වෙමින් පවතී. මේ යෙදුම සමහර විට ශිෂ්‍යයෙකු හෝ මානව හිතවාදියෙකු තුළ කලකිරීමකට කෝපයකට හේතු විය හැකිය. එහෙත් ශිෂ්‍ය සටන් කෙනෙකුට මෙහෙම දැනෙන්න බැරි ද? ණය තුරුස් වී දරුවා සරසවියට යැවූ දෙමාපියන් අනන්තවත් මෙහෙම සිතනවා විය හැකිය. සරසවි ප්‍රේමයේ තැනක සිරවූ තරුණයෙකුට තරුණියකට මෙහෙම හිතෙන්න බැරි ද? සියල්ල සාපේක්ෂකය.

ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය රටට පෙන්වන, විශ්ව විද්‍යාල ශිෂ්‍ය සටන් යනු මෝස්තරයක් ද? සරසවි සිසුන් මේ කරන්නේ කුමක් ද? ඔවුන්ගේ අනාගතය සුරක්ෂිත ද? මේ සටන් හරහා සිසුන් දිනාගත් දේ කුමක් ද? ඉල්ලීම් ලැබුණා නම් නැවත නැවත වීදි බැසීමට උවමනා නැති නිසාය. ඔවුන් සටන්වලට එන්නේ පා ගමනෙනි. වැඩ කරන දිනවලය. මේ සටන් කිරීම නිසා ඔවුන්ගේ පන්ති දේශන මඟ හැරෙයි. සරසවි සිසුහු මෙසේ සිය මූලික අරමුණෙන් බැහැරව සිටිති. මේ සටන් නිසා අපට දැනෙන්නේ ඔවුන් සරසවියේදී නො කරන්නේ තමන් කළ යුතු කාර්ය පමණක් බවය. වෛද්‍ය ශිෂ්‍ය ත්‍රීමා විතානට දයා පතිරණට කුමක් සිදුවුණි ද? එකෙකු රාජ්‍යය විසින් ද, අනෙකා ප්‍රති විරෝධ සටන් සගයන් විසින් ද බිලි ගනු ලැබූහ. ඔවුන් වදා හැදූ දෙමාපියන්ගේ ප්‍රාර්ථනා ඉටු වුණේ නැත. මේ පාරේ කෑ ගසන්නේ පොලිස් ප්‍රහාරයට ලක් වන්නේ වැහි පොදට තෙමුණත් ගෙට පැමිණි වහා අම්මා චිත්ත රෙදි පොටෙන් හිස පිස දැමු දරුවන්ය. ඒ හෙම්බිරිස්සාව හැදේ ය බියෙනි. ඔවුහු පෙළපාළි අතර, පොලිස් ජල ප්‍රහාරයෙන් දියබත් වෙති. එහෙත් රටක් බලා සිටියදී මෙසේ ජල ප්‍රහාරයන් මැද දුවන වැටෙන පෙරළෙන දරුවන් දකින අම්මලා තැවෙති. දෙස් දෙවොත් තබති.

නැවත ශිෂ්‍ය සටන් වෙත හැරෙමු. අප දුටු අන්තිම සටන ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා කළ අරගලයයි. ඒ අරගලය ගැන අටුවා ටීකා ටිප්පණි ලියන්න අපට බැරිය. සටනේ අගමුල ගැන අප දැනුවත් නැති බැවිනි. එහෙත් පන්සලේ පොඩි හාමුදුරුවෝ හොරෙන් ගස් නඟිනු දුටු ගමේ වැඩිහිටියන් අනේ අපොයි කීවේ සංවේගයෙන් නොවේ. ආදර හුරතලයටය. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ යකඩ වැට පැන ගිය ආකාරය ඊට වෙනස්ය. විශ්ව විද්‍යාල ගැන අද රටේ නිරවුල් මතයක් නැත. එසේම ශිෂ්‍ය ප්‍රජාව තුළ පවා මෙකී සටන් ගැන එකඟතාවන් නැත. විශ්ව විද්‍යාල සමන්විත වන්නේ සිසුන් කථිකාචාර්යවරුන් ආදීන්ගෙනි. කලක සිට ගුරුන් සහ සිසුන් අතර පවා ඇත්තේ බිඳුණු සිත්ය.

පසුගිය දවසක සරසවි සිසුන් කිහිප දෙනෙක් නීතිඥයෙකු වෙත පැමිණියහ. ඒ නීති විෂය ගැන යමක් දැන ගැනීමට නොවේ. පැමිණි සිසු පිරිසෙන් තිදෙනෙක් ඒ වන විට වසර 3 බැගින් පන්ති තහනමට ලක්ව සිටියහ. දඬුවම බල පවත්නා කාලය ඇසූ විට නීතිඥවරයා ද උඩ ගියේය. එකී සිසුන්ගේ පාඨ මාලා කාලය වසර හතරකි. ඔවුහු වසර තුනක කාලයක් පන්ති තහනමට ලක්ව සිටිති. ඒ සිසුන්ට තවත් ජීවිතයක් ඉතිරි වේ ද? මේ සිද්ධ වෙන්නේ කුමක් ද? මහාධිකරණයක පවා වැරදිකරු වූ අයට දඬුවම් නියම කිරීමට පෙර කරුණු ලිහිල් දඬුවමක් ලබා ගැනීමට කරුණු දැක්වීමේ අයිතියක් ඇත. ඒ ඔවුන්ගේ සමාජ මට්ටම සමාජ වගකීම් ආදි සාධනීය කරුණු සැලකිය හැකි නිසාය. ඒ හරහා දඬුවම් ලිහිල් කෙරෙන චාරයක් ඇත.

උක්ත පන්ති තහනමට පැනවුණේ පන්ති වර්ජනයට නො පැමිණ දේශනවලට ගිය සිසුවියන්ට කළුතෙල් ගැසීමේ වරදටය. වරද කුමක් වුවත් සිවු වසරක පාඨමාලාවක් සඳහා පැමිණි මේ දරුවන් ඉදිරි තුන් වසරක් ගෙදර සිටිය යුතු වේ. මේ දඬුවම අනියමින් ඔවුන් සරසවියෙන් නෙරපා හැරීමකි. පන්ති තහනමට ලක්වූ එක් සිසුවෙකු අවසන් වසරෙහි ඉගෙනුම ලබමින් සිටි අයෙකි. ඔහුට අවසන් විභාගයට පෙනී සිටීමට ඇත්තේ මාස තුනක කාලයකි. සිදුවී ඇති අසාධාරණය ගැන කතා නොකළ නීතිඥයා තම වෘත්තිය කටයුත්ත ආරම්භ කළේය.

“අපි අභියාචනයක් ඉදිරිපත් කරමු. මොකද දඬුවම නම් කොහොමටත් ලොකු වැඩියි. ඒක අඩු කර ගන්න පුළුවන් වෙයි.” එහිදී එක් සිසුවෙකු ඇසුවේ ඊළඟ මාසයට නියමිත අවසාන උපාධි විභාගයට පෙනී සිටින්න නොහැකිවේ ද කියාය. අභියාචනයකට කඩිනමින් තීන්දුවක් නොලැබෙන හෙයින් ඒ ගැන බලාපොරොත්තු තබා නොගන්නා ලෙස කීමට නීතිඥයාට සිදු විය. අභියාචනයට උත්තර එන්න මාස ගණනක් යයි. ඒ නිසා රී සිට් එග්සෑම් (අතුරු පරීක්ෂණය) එක ගැන කල්පනා කළ යුතු බව විශ්ව විද්‍යාලයක අභ්‍යන්තර සිසුවෙකුව සිටි නීතිඥවරයාගේ අදහස විය.

“දැන් රී සිට් එග්සෑම් නැහැ.” සිසුවා අසරණව කතා කළේය.

“මොනවා ඒක වෙන්න බැහැනේ” නීතිඥයා විමතියට පත් විය. විභාගය අසමත් වූ සිසුවෙකුට කෙටි දිනකින් නැවත විභාගයකට යොමු කරවීම රි සිට් විභාග ක්‍රමයේ අරමුණ විය.

“රී සිට් එග්සෑම් ලබා ගන්න සටනක් කළේ නැද්ද?”

“දන්නේ නැහැ සර්” මේ සිසුන් කතා කරන්නේ බබාලා වාගේ යයි නීතිඥයාට කල්පනා විය. දඬුවමට හේතු වූ පන්ති වර්ජනයේ අරමුණ නීතිඥයා නැවත විමසා සිටියේය.

“රුහුණේ අපේ ළමයි කට්ටියකගේ පන්ති තහනම් කළා කියලා” එහෙත් රුහුණු සරසවියේ පන්ති තහනමට හේතු වූ කරුණු ගැන මේ සිසුන්ට කිසිවක් කිව නොහැකි විය.

“ඔයාලා විශ්ව විද්‍යාලයට ආවේ ඇයි කියලා මම අහන්නේ නැහැ. හේතුව ඔය ළමයි විශ්ව විද්‍යාලයට මොන අරමුණෙන් ආවත් දැන් කුමන අරමුණ සඳහා පෙනී සිටියත් මේ රටේ පුරවැසි අපට ඒක වැදගත් නැහැ. අපට වැදගත් වෙන්නේ මේ රටේ ධනය වියදම් කරලා විශ්ව විද්‍යාල ආරම්භ කළ අරමුණයි. අදටත් ඒවා පවත්වා ගෙන යන අරමුණ පමණයි. එහෙම කියන්නේ අපේ ගෙවල්වල හැදෙන දරුවන් යවන්න ඔය කියන විශ්ව විද්‍යාල එකී අරමුණුවල පැවතිය යුතු නිසයි. සිසු පිරිස නිරුත්තරව සිටීම ගැන දුක හිතුණ නීතිඥයා සිය දේශනය නතර කළේය.

“ඔය ළමයින්ගේ ගෙවල්වල උදවිය දන්නවාද මේ සිද්ධ වෙලා තියෙන දේ?”

“නැහැ සර් තවම අපි කියලා නැහැ.”

“මේ ළමයි කරන්නෙ මොකක්ද කියලා මේ ළමයින්ට තේරුමක් නැහැ. ඒ ටික ඔය දරුවන් තේරුම් ගන්න උත්සාහ කරන්න. දැන් පුතාලා දෙමාපියන්ටත් එරෙහිවයි මේ යන්නේ. උසස් පෙළ සමත් නොවුණා නම් ඔය ළමයි මෙයිට වඩා වාසනාවන්ත ජීවිත ගත කරනවාට සැකයක් නැහැ. මේ දරුවන් ජීවිතේ යා යුතු තැනකට පැමිණිලා ඉන්නේ. ලැබුණ වාසනාවට පයින් ගැසීම මේ සියලු ව්‍යසනයන්ට මුල. අපි දකින්නේ මේ තත්ත්වය ඔය ගොල්ල පමණක් නොවෙයි විශ්ව විද්‍යාලයේ පාලකයන් පවා තේරුම් ගෙන නැති පාටයි. එසේ නොවෙන්නට වසර 4ක පාඨ මාලාවකට බඳවා ගත් සිසුන්ට වසර තුනක පන්ති තහනමක් පැනවිය යුතු නැහැ. අනෙක එදා ඔය ළමයි කළුතෙල් ගැසුව දරුවන් දෙදෙනා ඒ ප්‍රහාරයට ලක් වුණේ පන්ති යාමට තීරණය කිරීම නිසා. මේ ළමයි නියෝජනය කරන ශිෂ්‍ය සංවිධාන හිතන්නේ විශ්ව විද්‍යාල තියෙන්නේ පන්ති වර්ජන කරන්නයි හූ කියන්නයි විතරක් කියලා නම් රටකට විශ්ව විද්‍යාල අවශ්‍ය නැහැ. ආණ්ඩුව කරන ඒ වියදම නතර කළ යුතුව තිබෙනවා. මේ ළමයි වැඩියෙන් පන්ති වර්ජනය කරලා තියෙන්නේ පන්ති තහනම් වෙච්ච යාළුවන් වෙනුවෙන් ද කියලාත් සොයා බැලිය යුතුව ඇත.” නීතිඥයා වැඩිහිටියෙකු ලෙස කරුණු දැක්වීය.