අගමැති හමුවේ ඇති අභියෝග

0
669

21 වන සියවසේ දෙවැනි දශකයද අඩක්‌ අවසන් කොට ඇති නිදහසින් පසු 67 වසරක්‌ ගෙවා සිටියදීත් ශ්‍රී ලංකාව මුහුණදෙන දහසකුත් එකක්‌ අභියෝග ජයගැනීමට නම් එබඳු කෘතහස්‌ත නායකයකුට මිස සුළුපටු අයෙකුට අපහසුය. මිලියන විසිදෙකක්‌ පමණ වන මේ රටේ ජනතාවගේ ඒකපුද්ගල ආදායම අනුව දියුණු වෙමින් පවතින කඩඉම පසුකරමින් සිටියත් තවමත් ජනගහණයෙන් අඩකටත් වඩා අඩු ආදායම් ලබන සමෘද්ධිලාභීන් වීමෙන් ආදායම් බෙදීයාමේ විෂමතාව මැනවින් පැහැදිලිවෙයි. ඒ අනුව එතුමාට ඇති පළමු අභියෝගය නම් දෛනිකව ශ්‍රම වෙළෙඳපොළට එක්‌වන තරුණ පෙළට සුදුසු නව රැකියා උත්පාදන ක්‍රියාමාර්ග ගැනීමය. එහිලා සාම්ප්‍රදායිකව මැදපෙරදිග රටවලට නොපුහුණු ගෘහසේවක සේවිකාවන් යවනු වෙනුවට පුහුණු ශ්‍රමිකයන් විශේෂයෙන් හෙද, සංචාරක සේවා ඉදිකිරීම් ආදී ක්‍ෂේත්‍රවල විශාල ඉල්ලුමක්‌ ජාත්‍යන්තරව පවතින අතර ඒවායෙන් ලැබිය හැකි ආදායම් ද මහත්වෙයි. විශේෂයෙන් හම්බන්තොට වරාය ආශ්‍රිතව පලතුරු, මල් එළවළු ආදිය වගාකොට නැව්වලට බන්කරින් ක්‍රමය යටතේ සැපයීමෙන් ද විශාල ආදායමක්‌ උපයාගත හැකිය. නවීන ක්‍රමෝපාය මගින් තරුණ තරුණියන්ගේ කාර්මික හා තාක්‍ෂණික දැනුම පුළුල්කොට ඉදිරි දශකවල ශ්‍රම වෙළෙඳපොළ සඳහා ඔවුන් සුදානම් කළ යුතු වෙයි.

වැඩි පොලියට ණය ගනිමින් යටිතල පහසුකම් වැඩිදියුණු කරනු වෙනුවට ධනෝපායන මාර්ගවල ආයෝජනය කොට ජනතාව අතර වැඩි වැඩියෙන් මුදල් ගැවසෙන තත්ත්වයක්‌ ඇතිකළ යුතුවෙයි. විශේෂයෙන් සාම්ප්‍රදායික අධ්‍යාපනය කෘතහස්‌ත සියලු දෙනාගේ අනුමැතියෙන් පාර්ලිමේන්තු කාරක සභා මාර්ගයෙන් ඉදිරියට ගැලපෙන පරිදි වෙනස්‌ කළ යුතුවේ.

මෙරට මෙන්ම බොහෝ රටවල අවධානයට ලක්‌ව ඇති අනෙක්‌ ගැටලුව නම් උතුරු නැගෙනහිර ප්‍රදේශවල ඇතැයි සැලකෙන ජනවර්ග පිළිබඳ ගැටලුවට කල්පවත්නා විසඳුමක්‌ ලබාදීමය. කිසියම් ජනවර්ගයක්‌ වීම නිසා යම් තැනැත්තකුට වන අසාධාරණයක්‌ අපට පසක්‌ නොවන්නේ අගවිනිසුරු පදවි, මහබැංකු අධිපති පදවි, ආණ්‌ඩුකාර පදවි ආදිය දැරීමට අවස්‌ථාවක්‌ ලැබී ඇතිවාක්‌ මෙන්ම සුදුසුකම් මත ඉහළම තලයට යාමට බාධාවක්‌ නැති බව පෙනෙන බැවිනි එහෙත් තිස්‌ අවුරුදු කලකෝලාහල සමය තුළ රටේ අනෙක්‌ ප්‍රදේශවලට සමාන්තරව උතුරු නැගෙනහිර ප්‍රදේශවලට සම්පත් බෙදී නොයන්නට ඇත. අධ්‍යාපන, වෛද්‍ය ගමනා ගමන ආදී පහසුකම් නොලැබෙන්නට ඇත. ඒ ප්‍රදේශවල ජනතා නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් කඩිනම් සැලැස්‌මක්‌ මගින් ඒ පහසුකම් වැඩිදියුණු කළ යුතු වෙයි. අන්‍ය භාෂා ඉගෙනීමට පහසුකම් සලසා එම සංස්‌කෘතීන් හඳුනාගැනීමට ඉඩහසර සැලසිය යුතු වෙයි. ඉඩම් නැති අයට පවතින නීතිය යටතේ ඉඩම් නිවාස සැපයිය යුතුවනු අතර එහිලා ජාතිභේද කිසිවක්‌ සැලකිය යුතු නොවේ.

අගමැතිතුමා කලින් ප්‍රකාශ කළ පරිදි සීමිත කැබිනට්‌ මණ්‌ඩලයක්‌ පත්කොට පාර්ලිමේන්තු කාරක සභාවලට ද පුළුල් බලතල ලබාදෙමින් ඩොනමෝර් ක්‍රමයේ ලක්‍ෂණ සහිත පාලන ව්‍යුහයක්‌ සඳහා කටයුතු සැලසීම සැබැවින් ප්‍රශංසනීය වේ. පක්‍ෂ විපක්‍ෂ කවුරු හෝ වේවා මහජන නියෝජිතයන් ලෙස පත් වන හැම දෙනාම පාලනයට සහභාගි කරවා ගැනීම වැදගත් සාධනීය ලක්‍ෂණයකි. මෛත්‍රී රනිල් සුසංයෝගයෙන් ප්‍රශංසනීය ආදර්ශවත් මහ මැතිවරණයක්‌ පැවැත්වූ වත්මන් රජය පිළිබඳ මහජනතාව මහත් බලාපොරොත්තු තබා ඇත. කෝටිගණන් මහජන මුදල් ගසාකමින් මහජන දේපළ අයුතු ලෙස භාවිතා කළ දේශපාලකයන් නව පාර්ලිමේන්තුවට ප්‍රතික්‍ෂේප වී උගත් බුද්ධිමත් තරුණ පිරිසක්‌ තෝරා ගැනීමේ මහජනතාව ද මතක හිටින පාඩමක්‌ උගන්වා ඇත. අභිනවයෙන් තේරීපත්වු මන්ත්‍රීවරුන්ද ජන සම්මතවාදයට අනුව යමින් කාරක සභා ක්‍රම යටතේ ලැබෙන අවස්‌ථාවෙන් ප්‍රයෝජන ලබාගෙන තම දේශපාලන දර්ශනයෙන් බැහැරව පොදුවේ රටේ යහපත වෙනුවෙන් ක්‍රියා කරමින් තමන් වෙත මහජනතාව ලබා දුන් ජයග්‍රහණයට ජනවරමට ගරු කරමින් කටයුතු කළ යුතු බව මගේ හැඟීමයි. කාරකසභා සභාපතිවරුන්ට කැබිනට්‌ අමාත්‍ය මට්‌ටමේ බලතල ලබාදෙමින් ඒ තනතුරු ප්‍රතිපක්‍ෂයට ලබාදීමට තරම් අගමැතිතුමා කැමැත්ත ප්‍රකාශ කිරීමෙන් එතුමාගේ ප්‍රජාතන්ත්‍රවාදයට ගෞරව කිරීමේ සම්ප්‍රදාය මොනවට පැහැදිලිවෙයි.

19 වන සංශෝධනයට අනුව කලින් සිටි අගමැතිතුමාට වඩා වැඩි බලයක්‌ හිමි මේ අග්‍රාමාත්‍ය ධුරයත් විධායක බලතල ප්‍රතික්‍ෂේප කිරීමට තරම් නිහතමානී වූ වත්මන් ජනාධිපතිතුමාගේ යහපාලන ක්‍රියාදාමයන් පිළිබඳ ශ්‍රී ලාංකිකයන් පමණක්‌ නොව විදේශ රාජ්‍ය තාන්ත්‍රිකයන්ද මහත් බලාපොරොත්තු තබා ඇත. ඊට සාධක ලෙස ජීඑස්‌ ටී ප්ලස්‌ නැවත ලබා දීමට පමණක්‌ නොව ඇමරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුව හමුදාවට කළ යුද අපරාධ චෝදනාද ඉදිරියට ගෙන නොයැමට තීරණය කිරීමෙන් පැහැදිලිවේ. විශේෂයෙන් අද බෙහෙවින් කතාබහට ලක්‌වන කොළඹ වරාය නගරය, නෙළුම් කුලුන, අධිවේගී මාර්ග ආදී මහා පරිමාණ ව්‍යාපෘති පිළිබඳව කටයුතු කිරීමේදී උපරිම පාරදෘශ්‍යභාවයෙන් කටයුතු නොකිරීම නිසා අපේ මිත්‍ර රටවල් පවා අසහනයට පත්වී ඇත. කාරක සභා ක්‍රමය යටතේ විරුද්ධ පාක්‌ෂික මහජන නියෝජිතයන්ගේ අදහස්‌ද ලබාගෙන කටයුතු කළ හැකිය. අද වරාය නගර ව්‍යාපෘතිය නැවතී ඇත්තේ නිසි පාරිසරික ඇගයුමෙන් තොරව අත්තනෝමතිකව ගිවිසුම් අත්සන් කිරීමේ ප්‍රතිවිපාකයක්‌ ලෙසිනි. ඒ නිසා අදාළ ආයතනයට විශාල පාඩුවක්‌ වන අතර බැංකු ණය ගැන සැලකන කල මූල්‍යමය වශයෙන්ද අලාභයක්‌ වේ. මෙවැනි දැ අපට විපතේදී පිහිටවන මිත්‍ර රටවල් කල කිරීමට හේතු වන සාධක වේ. එබැවින් නව රජය යටතේ සිදු කෙරෙන මහා පරිමාණ ව්‍යාපෘති නිසි පාරිසරික අධ්‍යයනයකින් පසුව පාරදෘශ්‍යභාවයෙන් යුතුව කටයුතු කළ යුතු වෙයි.

උසස්‌ අධ්‍යාපනය සම්බන්ධයෙන්ද ඉදිරි දශකවලට ගැළපෙන පරිදි ඒවායේ පාඨමාලා දියුණු කොට අධ්‍යාපන නිම් වළලු පුළුල් කළ යුතුවෙයි. අධ්‍යාපනය සඳහා ක්‍රමයෙන් 6% ක ජාතික අය වැයෙන් ප්‍රතිපාදන ලබාදීමට එකඟ වීමද යහපත් බලාපොරොත්තු ඇති කරවයි. එහි විශ්ව විද්‍යාලද රටේ සංවර්ධන කාර්යාවලියෙහි නව මං පෙත් වෙනුවෙන් කැපවිය යුතු වෙයි.

මාධ්‍ය නිදහස සම්බන්ධයෙන්ද නව රජය යටතේ බලාපොරොත්තු තබා ඇත්තේ තොරතුරු දැන ගැනීමේ පනත, ජාතික විගණන පනත ආදිය කඩිනමින් සම්මත කොට මාධ්‍යවේදීන්ට තිබූ අවහිරතා තව තවත් ඉවත් කොට සහන සැලසිය යුතුවෙයි.

බල ශක්‌තිය සම්බන්ධයෙන්ද නිශ්චිත වැඩපිළිවෙලක්‌ තිබිය යුතු වන්නේ ආසියානු කලාපයේ අධිකතම මිලක්‌ විදුලිය සඳහා අය කිරීම නිසා ආයෝජකයන් අධෛර්යට පත්ව ඇති අතර මහජනතාවටද විශාල බරක්‌ වී ඇත. එබැවින් විකල්ප බලශක්‌ති ප්‍රභවයන් කරා යොමුවී වඩා සහනදායී විදුලි බිලක්‌ ලබාදීමට උත්සුක වියයුතු බවයි. එසේම ශ්‍රී ලංකාවේ ඇති ස්‌වභාවික ගෑස්‌ හා තෙල් පිළිබඳ ගවේෂණ ද පුළුල් කොට කැණීම් කඩිනම් කළ යුතු වෙයි.

එජාප රජයේ යෝජනාවක්‌ පරිදි ආරම්භ කළ අධිවේගී ව්‍යාපෘති ද තවත් පුළුල් කරමින් මහනුවර ප්‍රදේශයට ද හැකි ඉක්‌මනින් ළඟාවීමට ඉඩහසර සැලසීමද කඩිනම් අභියෝගයකි. කොළඹ සිට මහනුවරට යැමට පැය 3-4 කාලයක්‌ වැයවීම මිනිස්‌ ශ්‍රමය අපතේ හෙළීමක්‌ මෙන්ම විදේශවලින් ගෙන්වන තෙල් ද විශාල ප්‍රමාණයක්‌ මහ මඟටම වැය වෙයි. දැනටමත් තුන්පළකින් අරඹා ඇති මේ ව්‍යාපෘතිය ඉක්‌මන් අවසානයක්‌ දැකීම මහජන අභිලාශයකි.

විදේශගත ශ්‍රී ලාංකිකයන්ටද නැවත මෙරටට පැමිණීමටත් ආයෝජනය කිරීමටත් ඔවුන්ගේ විශේෂඥ දැනුම මෙරට අභිවෘද්ධියට ලබා ගැනීමටත් ඉඩ හසර සලසාදීමද වැදගත් කටයුත්තකි.

මෛත්‍රී රනිල් සුසංයෝගයෙන් නව ඉරක්‌ පායනු ඇතැයි අපි උදක්‌ම බලාපොරොත්තු වෙමු.

අගමැතිතුමනි, ‘චිරංජයතු!’

බස්‌නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක
ආචාර්ය අකුරටියේ නන්ද නාහිමි
Source : Divaina