ස්‌වෛරී රටක ආරක්‍ෂක හමුදාව ප්‍රතිසංස්‌කරණයට ලක්‌ කරන ලෙස නිර්දේශ කිරීමට මානව හිමිකම් කවුන්සිලයට බලය දුන්නේ කවුද?

0
724
Sri_lankan_army_Sri_Lanka_soldiers

‘ අත ඊසොප්ගේ හඬ ඡේකොබ්ගේ ‘
යුද අපරාධ පරීක්‍ෂණ මණ්‌ඩලයේ කැකිල්ලේ නිර්දේශ

පිටු 260 කින් යුත් යුද අපරාධ චෝදනා පරීක්‍ෂණ වාර්තාව පෙරේදා (16දා) එළි දක්‌වා ඇත. මේ පරීක්‍ෂණ වාර්තාවට සාක්‌කිකරුවන් හා ලිත සාක්‌කි 3000 ක්‌ ඉදිරිපත් වී තිබේ.

එහෙත් මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසෙන් සාක්‌කිකරුවන් කව්දැයි කියන්නේ නැත. ඒ සාක්‍ෂිකරුවන් විදේශරටවල සිටින පිsරිස්‌ යෑයි ඔහු කියා සිටී. මේ සාක්‍ෂිකරුවන් හෙළි වන්නේ වසර 2030 දීය. එහෙත් ඔවුන්ගේ අනන්‍යතාවය හෙළි කිරීම මානව හිමිකම් කොමසාරිස්‌ තහනම් කර තිබේ.

යුද අපරාධ පරීක්‍ෂණ වාර්තාවේ නිර්දේශද විස්‌මය ජනකය. ජාත්‍යන්තර විනිසුරුවන් නීතිවේදීන් සහ නඩු අධ්‍යක්‍ෂකවරුන්ගෙන් යුත් හයිබ්‍රිඩ් උසාවියක්‌ ස්‌ථාපිත කර එල්ල වී ඇති චෝදනා ගැන පරීක්‍ෂණ කළ යුතු යෑයි මානව හිමිකම් කොමසාරිස්‌වරයා ශ්‍රී ලංකා රජයට කියා සිටී.

ඊශ්‍රායලය මානව හිමිකම් උල්ලංඝණය කිරීම ගැන පැවැත්වූ ගෝල්ඩ්ස්‌ටන් පරීක්‍ෂණ වාර්තාවෙන්ද එවැනි ජාත්‍යන්තර විනිසුරුවන්ගෙන් යුත් උසාවියක්‌ යෝජනා කර තිබුණේ නැත.

මානව හිමිකම් කොමසාරිස්‌වරයා මෙම හයිබ්‍රිඩ් උසාවිය පිහිටුවිය යුතු යෑයි නිර්දේශ කිරීමට පෙර ඇමරිකානු රජය 2013 දී හයිබ්‍රිඩ් විමර්ශනයක්‌ පැවැත්වීමට ශ්‍රී ලංකා රජය කටයුතු කළ යුතු බව කියා සිටියේය.

එය අත ඊසොප්ගේ වූවත් හඬ ජාකොබ්ගේ යන බයිබල් පාඨය සිහිපත් කරන්නක්‌ ලෙස දැක්‌විය හැක.

මෙම පරීක්‍ෂණ වාර්තාවෙන් රාජ්‍ය නොවන සංවිධාන චැනල් 4 වීඩියෝපට කොටි හිතවාදීන් ඇතුළු අතර මැදියන් ඉදිරිපත් කළ කරුණු පමණක්‌ නොව ජාත්‍යන්තර විනිසුරුවන්ගෙන් යුත් විමර්ශන කණ්‌ඩායමක්‌ පත් කළ යුතු යෑයි ද්‍රවිඩ සන්ධානය කළ ඉල්ලීමද පිලිගෙන ඇත.

එසේම පරීක්‍ෂණ වාර්තාවට 3000 ක පිsරිසක්‌ සාක්‌කි හා ලිත සාක්‌කි ලබා දී තිබේ. මෙම සාක්‌කිකරුවන් විදෙස්‌ගතවූවන් යෑයි මානව හිමිකම් කොමසාරිස්‌වරයා කියා සිටියි.

එහෙත් ඒ සාක්‌කිකරුවන් කව්දැයි අනාවරණය වන්නේ 2030 වසරේදීය. මෙයට පෙර දරුස්‌මාන් ත්‍රිපුද්ගල මණ්‌ඩලය පැවැත් වූ විමර්ශනයට සාක්‌කිකරුවන් 2300 ක්‌ ඇතුළු පෙත්සම් 4000 ක්‌ ඉදිරිපත් වී තිබුණි.

මෙවර සාක්‌කිකරුවන් හා පෙත්සම් සංඛ්‍යාව දහසකින් අඩු වී ඇත. එය පුදුමයක්‌ නොවන්නේද?

තම වාර්තාවෙන් කිසිවකු නම් කර නැති බව මානව හිමිකම් කොමසාරිස්‌වරයා පැවසූවත් වන්නි මෙහෙයුමට සම්බන්ධ 53, 55, 57, 58 සහ 59 වැනි සේනාංක මෙන්ම රහස්‌ පොලිසිය, ත්‍රස්‌තමර්දන ඒකකය. සහ විශේෂ කාර්ය බලකාය සම්බන්ධ වී ඇති බව වාර්තාවේ දක්‌වා ඇත. ඉන් ඔහු සෘජුව පෙන්නුම් කරන්නේ එකී සේනාංක හා ආරක්‍ෂක අංශ මානව හිමිකම් උල්ලංඝණය කර ඇති බවයි.

එසේම සුදු කොඩි කතාව විශ්වාස කළ හැකි බවද ඒ ගැන තවදුරටත් විමර්ශනයක්‌ පැවැත්වීමට කටයුතු කළ යුතු බවද පවසන එකී පරීක්‍ෂණ වාර්තාව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් විශ්ව සම්මුතිය මත කටයුතු කළ යුතු යෑයි නිර්දේශ කර ඇත.

සුදු කොඩි කතාව ගැන ජිනීවා පරීක්‍ෂණ මණ්‌ඩලය සඳහන් කළේ මුල්වරටය.

ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක අංශවලට හා කොටි සංවිධානයටද මානව හිමිකම් උල්ලංඝණය කිරීම් ගැන චෝදනා කරන බව දක්‌වන විමර්ශන වාර්තාවෙත් තවදුරටත් අබිරහස්‌ සාක්‌කිකරුවන් හෙළි වී ඇත. මෙකී වාර්තාවෙන් තවදුරටත් දක්‌වා ඇත්තේ හයිබ්‍රිඩ් පරීක්‍ෂණයේදී මිය ගිය කොටි ගැන පරීක්‍ෂණ කළ නොහැකි බවයි.

සියගණන් ඝාතන සම්බන්ධව ශ්‍රී ලංකාවේ සහ විදෙස්‌ ගත රාජ්‍ය නොවන සංවිධාන අපට වාර්තාකලා යෑයි එකී පරීක්‍ෂණ වාර්තාවේ 48 වැනි පිටුවේ දක්‌වා තිබේ.

පරීක්‍ෂණ වාර්තාවේ 60 වැනි පිටුවේ සඳහන් කරුණුවලින් නැගෙනහිර කොටි නායකයා වූ විනයගමුර්ති කරුණා කණ්‌ඩායමට චෝදනා නගා ඇත.

එසේම ජිනීවා පරීක්‍ෂණ මණ්‌ඩලය ශ්‍රී ලංකාවේ ජාතික ආරක්‍ෂාවටද මැදිහත්වී ආරක්‍ෂක හමුදාව ප්‍රතිසංස්‌කරණයට ලක්‌විය යුතු බව කියා සිටී.

ස්‌වෛරී රටක ආරක්‍ෂක හමුදාව ප්‍රතිසංස්‌කරණයට ලක්‌ කරන ලෙස නිර්දේශ කිරීමට මානව හිමිකම් කවුන්සිලයට බලය දුන්නේ කවුද?

මෙම පරීක්‍ෂණ වාර්තාවෙන් ඉතිරිව සිටින කොටි ක්‍රියාකාරින්ටද යුද අපරාධ චෝදනා එල්ලවී ඇතත් ඔවුන්ට දේශපාලන රැකවරණ ලබාදී ඇත්තේ නෝර්වේ බ්‍රිතාන්‍යය කැනඩාව ස්‌විට්‌සර්ලන්තය, ප්‍රංශය, ජර්මනිය ඇතුළු රටවල්වලිනි.

මොවුන් සම්බන්ධයෙන් හයිබ්‍රිඩ් උසාවියක්‌ ස්‌ථාපිත කිරීමට එකී රටවල් ක්‍රියා කරනු ඇතැයි කිව හැකිද?

මෙකී පරීක්‍ෂණ වාර්තාව තවදුරටත් නිරීක්‍ෂණ කරන බව සනාථ වන්නේ ඒකපාර්ශවික ලෙස එකී වාර්තාව සකස්‌ වී ඇති බවයි.

එය ප්‍රකාශයට පත් වී පැය 24 ක්‌ ගතවීමට පෙර විදේශ රාජ්‍ය නොවන සංවිධාන ප්‍රකාශයක්‌ කරමින් වාර්තාවේ නිර්දේශ සියල්ල ක්‍රියාත්මක කළ යුතු යෑයි දක්‌වා ඇත. ජිනීවා පරීක්‍ෂණ මණ්‌ඩලය තුළ අබිsරහස්‌ ලෙස පැවැත් වූ පරීක්‍ෂණය නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ කියමන සනාථ කරයි. එසේම ශ්‍රී ලංකාව යුද අපරාධ චෝදනා ගැන හයිබ්‍රිඩ් උසාවියක්‌ ස්‌ථාපිත කළ යුතුයි යන මානව හිමිකම් කවුන්සිලයේ නිර්දේශය අණුමත කරන ඇමරිකාව තමන්ගේ සෙබලුන්ට එරෙහි චෝදනා කිසිදු අධිකරණයෙන් හෝ ජාත්‍යන්තර අධිකරණයකින් විමර්ශනය කළ නොහැකි බවට පණතක්‌ද සම්මත කර තිබේ.

* කීර්ති වර්ණකුලසූරිය
Source : Divaina