අපි ඉබාගාතේ යමින් සිටින්නෙමු ද?

0
917
freedom

හිරිමල් වියේ සරසවි ජීවිතය අතර, බොහෝ දේ සිදුවිය. සියල්ල ආශ්වාද ජනකය. මනරම්ය. එක් සති අන්තයක කරන්න දෙයක් නැති දවසක් උදා විය. මමත් මගේ රූමා හෙවත් කාමරේ යාළුවා මහ පාරට පැමිණියෙමු. පළමුව හමුවූ බස් රියට නැඟ කොළඹට ටිකට් ගතිමු. අප මේ පිටත් වන්නේ කිරිබත්ගොඩිනි. පිටකොටුවෙන් බැස වටපිට බැලුවෙමු. අරමුණක් නැතිව ආ අපට යමක් සිතාගත නොහැකිය. නොසිතාම ඔහේ ඇවිද ගෙන අපි කොටුවේ දුම්රිය පොළ තෙක් පැමිණ නතර වීමු. ඉන්පසුව අප දෙදෙනා එකිනෙකා දෙස බලා සිනාසුණෙමු. ඒ හැර අපට වෙන කරන්න දෙයක් තිබුණේ නැත. කොටුවේ දුම්රිය පොළ ඉදිරිපිට ඔහේ දවසක් වුණත් බලා සිටිය හැකිය. එහි යහමින් සෙනඟ ගැවසෙයි. වාහන ගමන් කරයි. හැම තත්පරයම වහා වෙනස් වෙමින් බලා සිටිය හැකි දර්ශන නිර්මාණය වේ. අප එසේ මොහොතක් අරමුණක් නිනව්වක් නැතිව සිටිනාතර කවුදෝ අපේ නම් කියා කෑ ගසනු ඇසිණ. හඬ ආවේ දුම්රිය පොළ ආලින්දයෙනි. තවත් සරසවි මිතුරෝ තිදෙනෙක් අපට අත වනමින් සිටියහ. ඔහේ ඇවිද යන අපට දවසේ මුල් වරට අරමුණක් වෙත ගමන් කිරීමේ වාසනාව උදා විය. එය හරියටම අතරමංව සිටියදී යා යුතු පාර හමුවුණා වැනි සතුටක් විය.

අපි දෙදෙනා මිතුරන් වෙත ගමන් කළෙමු. මිතුරන්ගේ මුහුණුවල තිබුණේ නොඉවසිලිමක් ගතියකි. ”සිරිපාදේ යං… එකෙකු කිසිදු සූදානමක් නැතිව ආරාධනාවක් කළේය ”මෙහෙම. පිස්සුද? මට බකස් ගා සිනහ පහළ විය. අනන්තවත් සිරිපාදේ ගිය මට මෙහෙම සිරිපාදේ යාමක් ගැන හිතාගත නොහැකිය. එහෙත් ඔවුන් අප කැඳවා ඇත්තේ විදිමින් සිටි අත්දැකීමක අතරමගදීය. සරසවි සිසුන් කිහිප දෙනෙකු සිරිපාදේ යාමට සැලසුම් කර තිබිණ. කණ්ඩායම හෙවත් ගැන්සිය හත් දෙනෙකි. පළමුවෙන් පැමිණි සිවු දෙනා පිරිසටම ප්‍රවේශ පත්‍ර ගෙන ඇත. දුම්රිය පිටත්වීමට ඇත්තේ තවත් විනාඩි 12කි. තවමත් පැමිණ සිටින්නේ පස් දෙනෙකු පමණි.

පස් දෙනාගෙන් අනෙක් දෙදෙනා සිසුවියෝය. නොපැමිණි දෙදෙනාගේ ගමන අඩමානය. මෙතරම් ඈතක අඩු පිරිසක් යමට යාමට හිතේ සැක මුසු චකිතයක්ද පවතී. අපට කතා කළ තිදෙනා මහ පාර දෙස බලා සිටියේ එනවා කි මිතුරන් එන තෙක්ය. ඔවුන් එන පාටක් නැත. ඒ සමඟ අප රස්තියාදු වෙමින් සිටිනු දැක එසේ ආරාධනා කර තිබේ. ඒ කතාව ඇසූ අප එකිනෙකාගේ මුහුණු බලා ගතිමු. අග්ගලා නැත. උණුසුම් ඇඳූම් නැත. පේවීමක් නැත. පඬුරු නැත. රෑට නොඑන බව බෝඩිමට කියලාවත් නැත. වයස මේ සියලු බාධා මැඩ යෝධ හයියෙන් බලා සිටි. අපේක්‍ෂා කරන යහළුවන් නාවොත් ගමනට එක්වන බවට අපි පොරොන්දු විමු. අවසාන මිනිත්තුව උදා විය. දුම්රිය නියාමකගේ විසිල් හඬ ඇසිණ. අපි එදා එසේ සිරිපාදේ ගියෙමු. යහතින් පසුවදා ආපසු පැමිණියෙමු. එය ඇසූ බෝඩිමේ ඇන්ටි පිස්සු ළමයි කියා සිනාසුණාය. එපමණකි.

අප මෙන් හැම කෙනෙකුම කොහේ හෝ යති. සමහරු යන්නේ කඳූකරය වෙතය. සමහරු වියළි කලාපය බලා යති. තවත් සමහරු රිංගන්නේ කැලෑවකටමය. සමහරු විදේශ ගතවෙති. මේ සියලු ගමන් බිමන් අතර, පරණ ක්‍රමයට වන්දනා ගමන් යන්නෝද හිඟ නැත. හැම සති අන්තයකම ශ්‍රී දළදා වන්දනාව පිණීස එන වාහන පෝලිම් මහනුවරදී දැකගත හැකිය. කැලණියේත් අනුරාධපුරයේත් කතරගමත් තත්වය මෙය විය හැකිය. ට්‍රිප් එකක් යාම සහ වන්දනා ගමනක් යාම අතර, මහ වෙනසක් ඇත. ට්‍රිප් යන්නෝ වන්දනාවේත් යති. එහෙත් ගමන්වල ස්වභාවය එකිනෙකට වෙනස්ය. මා මුලින් විස්තර කළ අපගේ ඒ අහඹු අත්දැකීම අසංවිධීත ගමනකි. එහෙත් එය සමහර විට මැරෙන තෙක් ඉඳ හිට සිහිපත් වන අපූරු අත්දැකීමකි. එක් කාලයක මට ලෝකාන්තයෙන් පහළට ඇවිද ගෙන යන උවමනාවක් තිබිණ. සමහරු මට සිනාසුණහ.

මොන හේතුවක් නිසා හෝ ඒ උවමනාව පිරිමසා ගත නොහැකි විය. මෙවැනි අදහස් පහළ වන්නේ සිතේ පවත්නා කාන්සිය හෝ වෙනත් තේරුම් ගත නොහැකි මනෝ භාවයන් නිසාය. අද සමාජයෙන් අඩක් සිටින්නේ එවැනි මානසිකත්වයකින් නොවේද? ගෙවුණ පනස් වසරක කාලය තුළ මේ රටේ ජනගහනයෙන් බහුතරයක් පදිංචිය සඳහා නාගරික පරිසරයට සේන්දු විය. හෙවත් නාගරික ජනාවාස ඇතිවිය. අද නාගරිකයන් වන බොහෝ දෙනා උපන්නේ හැදුණේ වැඩුණේ අක්කර සිය ගණනක ලඳූ කැලෑ සහ තැනි බිම් සහිත ඈත ගම්වලය. ඒ යුගයේ පාසල් ඇරී පැමිණ පසුව ඉතිරිවන හැන්දෑවේ ගම හරහා වටයක් ඇවිද ගිය විට එය අත්දැකීම් බහුල සංචාරයක් වේ. අද නාගරික ජනාවාසවල එක් ඉඩමක මුළු වපසරිය පර්චස් ගණනකි. එහි ටැග් ගැසුණ ගැහැනු පිරිමි සිය ජීවන වපසරිය රිසි සේ විහිදුවා ගත නොහැකිව සිටිති.

මිදුලේ අඹ ගස පවා බඩ් හෙවත් බද්ධ කළ එකකි. මොහොතකට උඩ පැන එල්ලිලා පැද්දෙන්න හිතෙන තරමේ වැලක් එතුණ ගසක් ඇත්තේම නැත. ඒ ජිවිත කුරු වන්නේ ගුලි වන්නේ එහෙමය. ඔවුන්ට ඇත්තේ නිදා ගන්නා ඉඩක් පමණකි කිම නිබොරුවකි. ඔවුන්ගේ දහවල කෙසේද? උදේ වෑන් කාර්වල නැගී පිටත්ව යති. නැවත දරුවන් සහ වැඩිහිටියන් සවස් මානයේ පිටවුන ගේට්ටුවෙන් නිවෙසට රිංගා ගනිති. මේ ජීවිත සිර කරුවන්ගෙන් වෙනස්වන ආකරය ඔවුහු නොදනිති. කොහෝ යා යුතුය යන මානසිකත්වයෙන් ඔවුන් රෝගීවි සිටිති. අවාසනාව මේ ජීවිතවල අපේක්‍ෂා කරන නිදැල්ල බොහෝ කොට සංචාරයකින් හෝ ලබා ගැනිමට අපහසු වේ. මම තවත් කතාවක් මෙසේ කියමි. මිතුරන් සමඟ වරක් මම පදවියෙහි නන්නත්තාර වීමි. කාගේත් අරමුණ විවේකය සහ නිදැල්ලය.අප සිටියේ පදවිය වැව අසලය. පදවිය වැවට හඳ පායා තිබිණ. අප සිටියේ උස් ගොඩැල්ලකය. පුර හඳ එළීය වැව් ජලයෙහි දියවී තිබිණ. ජල කඳ රිදී පාටින් කැලතෙමින් නලියන්නට විය. මිරිදිය ධීවරයෙකු හෝ අහලක නොවීය. නිශාචර කුරුලු හඬක් හෝ නෑසෙන තරමට රාතී‍්‍රය නිසල විය.

එක්කෝ පරිසරයෙන් අප මෝහනයවී සිටින්නට ඇත. අපට නොදැනෙන්නට කාලය සුළඟක් සේ හෙමින් හමා ගියේය. අඳූර අතරින් වැව් පිටිය හරහා ඇවිද ගෙන මිනිස් රූප දෙකක් අපේ ඇස ගැටිණ. එය දුටු කිසිවෙක් ආන්න කියා පෙන්වන තරම් එය අරුමයක් නොවීය. හේතුව මේ චමත්කාරය නිදැල්ල ලෝකයටම විවෘතව පැවති හෙයිනි. ක්‍රමයෙන් අපට අර මිනිස් රූප ආසන්න වෙමින් තිබිණ. ඒ ගැහැනු දෙදෙනෙකි. අප එදෙස බලා සිටියෙමු. එක් තැනක නතරවූ යෙහෙළියෝ දෙදෙන ඇඳ සිටි සළු උනා නිරුවතින් වැවට පැන පිහිනමින් දියෙහි කිමිදෙමින් සතුටු වනු පෙනිණ.අපට තිබුණේ බලා සිටිම පමණකි. ඒ නිදැල්ල ඔවුනට මියාමි වෙරළෙන් හෝ අත්පත් කර ගතහැකිවේද? සිත් සේ දිය කෙළී යෙහෙළියෝ වැවෙන් ගොඩවී උනා දැමූ සිය ඇඳූම් පටලා ගෙන පැමිණි දිසාවට හැරී නොපෙනී ගියහ. ”හොල්මනක්ද? බිරාන්තවූ එකෙක් එසේ විමසිය. ඒ දර්ශනයට පසුව අප අතුරෙන් කතා කළ පළමුවැන්නා ඔහු විය. ”නෑ අපි වාගේ පිස්සු පොරවල් දෙකක්. අපට බොන්න තැන් නැතිවද මෙතෙන්ට ආවේ” ජීවිතය සරලව දකින මිතුරෙක් සිද්ධිය විග්‍රහ කළේ එසේය. ”උන්ට දොරවල් වහගෙන හෙලුවෙන් නාලා ඇති වෙලා ඇති. තවත් මිතුරෙකු එය දුටුවේ එසේය.

පරිසරය ස්පර්ශ කළ නොහැකි ය. එහෙත් ඒ දෙස බලා සිටිය හැකිය. මේ සිද්ධිය තුළ ඇත්තේ මා ඉහතින් විස්තර කළ ජීවිත වපසරිය කුඩා වීම පිළිබඳ අර්ථ කතනයකි. අප මේ ජිවත් වන්නේ විසි සියවසේ මුල් භාගයේ නොවේ. අප ඉපදුණ පනස්වෙනි දශකයේත් නොවේ. විසි එක්වැනි සියවසේය. මේ ඉරහඳ යට බොහෝ දේ සිදුවේ. ඉවුරේ දන ගසා පැන් පතහට නැමී විශ්වාසයෙන් දිය බිව් අත්දැකීම මේ ලියන මටත් තිබිණ.

එදා ගමේ ගැහැනු පිරිමි නෑවේ ගමේ මංකඩේය. අමුඩ ගසාගෙන දියෙහි එබුණ පිරිමි අසල ගසක කෙඳ් පිට අතුල්ලා කුණු උලා ගත්හ. ගැහැනු දිය රෙද්ද බුරුල් කර අත දමා යටි කය පිරිසුදු කර ගත්හ. කුඩා අප හෙලුවැල්ලෙන් ඇළට පැන ඇති පදම් දිය කෙළියෙමු. එදා අපට තවත් විනෝද ගමන් වුවමනා වුණේ නැත. මහා කුඹුක් ගස් යට ඇවිද්ද අපට අද කුඹුක් ගසක් දැක්මත් සතුටකි. වර්තමාන පරම්පරාව සොයන සතුට, නිදැල්ල ඔවුන්ට තරු පහේ හෝටල්වල සඟවා නැති බව සමහැරුන්ට තවමත් තේරී නැතුවාය . නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න විසිනි.