රූපවාහිනී අංජන රේඛා නළඟන ඔබද ලඳේ – Vehicle emission test

0
738
vehicle

ඔන්න එකමත් එක දවසක ලස්‌සනේ බැරි තරමට ඉර පායපු වෙලාවක පිළියන්දල මාම්පෙ ඉඳල බස්‌රථයක්‌ කොට කොටා ගියා ජාලියගොඩ පැත්තට.

මොකටෙයි දන්නවැයි. හප්පච්චියෙ. මට අමතක වුණා. තාඩිංගෙදි ඉවරයි. ඒ කේස්‌ එක පස්‌සෙන් පහු කියන්නම්. මේ කොට කොටා ගිය බස්‌ එකේ අයිතිකාරය රියෑදුරාමයි. බස්‌ එක ඒ තාලෙට ගියාට එක හෝල්ට්‌ එකකවත් නතර කළේ නෑ නෑමයි. ඇයි දන්නවැයි බසයෙ මිනිස්‌සු නැති නිසා.

අනික තමයි කොයි තාලෙට ගියත් මේ බස්‌ එකේ දුමක්‌ නම් පිටවෙන පාටක්‌ පේනතෙක්‌ මානකවත් නෑ. ඒ මොකෑ වුණත් ඩ්‍රයිවර් මහත්තයට නම් මහන්සියේ තරමට ඉහින්කනින් දුම් දානව.

ඕන් දැන් කියන්නම් මේ බස්‌ එක ජාලියගොඩ පැත්තට ගෑටුවේ ඇයි කියලා. ඒ වෙනින් මොකකටවත් නෙවෙයි දුම් පරීක්‍ෂාවකට,

ඔහු පරියේෂණාගාරයට ගියා. සල්ලිත් බැන්ද, පරීක්‍ෂක උන්නැහේ ඒකාධිපතිවෙලා වගේ ඇක්‌සලේටරේ උඩට පැනල හැටට හැටේ පාගගෙන පාගගෙන ගියා. ඒ පෑගිල්ලට බස්‌ එකෙන් පිට වුණු දුම් – දුම් නෙවෙයි ගරාන්ත කළු යකෙක්‌ හක්‌කලන් කරනවා වගේ කළු පාටක්‌ නළියෑව්වා.

ඊට පස්‌සේ ගත් කටටම පරීක්‍ෂණය අසමත් කියලා ශුද්ධ සිංහලෙන් බෙරිහන් දුන්න. කාර්මික උපදෙසුත් ඕඩිහෙලේට දුන්න.

ඕන් බලන්න ඔය අව්අස්‌සෙ එතැන හිටපු සේවකයකුට මතක්‌ වුණා මව්ගත්කම. ඔහු දැඩි අනුකම්පාවකින් රියෑදුරු මහත්තය දිහා බලලා. මෙන්න මේ ගාණ දුන්නොත් පට්‌ටපට යස අගේ ඇති දුම් සහතිකයක්‌ අද පිරිනමන බව කිව්වා. ඊට පස්‌සෙ මෙහෙමත් කිව්ව.

දැන් හොඳ මහත්තය වගේ පිළියන්දල වටේ කරක්‌ගහල එන්න. අපි තව පැය භාගෙකින් විතර ආයි පුංචි පහේ ටෙස්‌ටින් එකක්‌ කරමු.

රියෑදුරු මහත්තයත් ජාලියගොඩේ රවුමක්‌ ගහල ටික වේලාවකින් ආපහු ආව. ඒ ආපු ගමන්ම දුම් පරීක්‍ෂණ ආයතනයේ අර සේවක උන්නැහේ කනේ පාරක්‌ ගැහුව වගේ රුපියල් දාහක අල්ලසක්‌ වගේ එකක්‌ රියෑදුරු මහතාගෙන් අරගෙන සාක්‌කුවට රිංගවා ගත්තා.

ඔන්න ඊට පස්‌සේ තමයි දුම් පරීක්‍ෂක උන්නැහේ සිය රාජකාරිය නහුතෙටම කළේ. ඒ කියන්නේ බස්‌ එකට අත තිබ්බෙත් නෑ. ඒ තියා නිකම්වත් හොරැහින්වත් නොබලාම දුම් සහතිකයක්‌ අච්චුගහල දුන්න. දුන්න නෙවෙයි දෑතින්ම පිරිනැමුව. මොන දුමක්‌ද මේකෙ ඇති කළු දුමක්‌ නෑ කියලා.

ඒ උන්නැහේට දැන් ජංජාලෙටම සන්තෝසයි. ඔහුට නිකමට වගේ මෙහෙම කිය වුණා.

වාහනයක දුම කළු ද සුදුද කියල භේද අපි ළඟ නෑ. සාක්‌කුව හිනැහෙනව නම් කියලා. සියල්ල සතුටින් විසිර යන්න වගේ ලස්‌සන සිංදුවකුත් මුමුණ මුqමුණ කොළඹ පැත්තට ඇස්‌ දෙක යෑව්වා. මේන් මේකයි ඒ ලස්‌සන සිංදුව.

විදුලි දුම්රියේ චංචල නාදය සවනට වැටෙන සඳේ කඳුළු පිරි දෙනෙත් අතරින් මිහිරක්‌ මතුවිය සැලෙන හදේ

ශීත කඳුකරේ මීදුම අධිකයි පමා වුණෙමි සොඳුරේ

රූපවාහිනී අංජන රේඛා නළඟන ඔබද ළඳේ

අශෝක කාරියවසම්
– Divaina