මහ මුහුද බෙදා නොගත යුතුය – Lanka sea will not be divided

0
1065
fishing

ඉන්දු – ලංකා ධීවර ගැටලුව යළිත් වරක්‌ උණුසුම් මාතෘකාවක්‌ බවට පත්ව තිබේ. ශ්‍රී ලංකා අත්අඩංගුවේ සිටින තමිල්නාඩු ධීවරයන් අසුහත්දෙනකු හා ඔවුන්ගේ බෝට්‌ටු 39 ක්‌ නිදහස්‌ කරදෙන ලෙස ඉල්ලමින් තමිල්නාඩු ධීවරයන් මේ වන විට රාමේස්‌වරම් හි අඛණ්‌ඩ වර්ජන හා උපවාස ආරම්භ කර තිබේ.

අවම වශයෙන් දිනකට ඉන්දීය ධීවර බෝට්‌ටු 1500 ක්‌ බැගින් සතියකට දින හයක්‌ ඉන්දීය ධීවරයන් අපේ රටේ මුහුදු සීමාවට පැමිණ මසුන් අල්ලාගෙන යන බව සඳහන්ය. ඔවුන් විසින් අපේ රටේ මහමුහුදෙන් අල්ලාගෙන යන මත්ස්‍ය සම්පතෙහි වටිනාකම වසරකට රුපියල් මිලියන පන්දහස්‌ හත්සියයකට අධික ය. මෙය සුළු පටු නැත. අපේ රට වටේටම මහා මුහුද පැවතියද එයින් ලැබෙනුයේ අපේ රටේ දළ දේශීය නිෂ්පාදනයෙන් සුළු ප්‍රමාණයකි. වෙනත් රටවල් තම මහා මුහුදෙන් හා මත්ස්‍ය සම්පතෙන් විශාල ආදායමක්‌ උපයා ගනිද්දී අපේ රටට එසේ කරන්නට නොහැකි වී ඇත්තේ මේ ඉන්දීය ධීවර ප්‍රශ්නය නිසා ය.

තමිල්නාඩු ධීවරයන් මෙරටේ මුහුදු සීමාව කඩකරමින් මෙරට ධීවරයන්ගේ මත්ස්‍ය සම්පත නෙළා ගැනීමේ ක්‍රියාවලිය වැළැක්‌වීම සඳහා දැඩි ලෙස පියවර ගන්නා බවට ධීවර ඇමැතිවරයා පසුගිය දා ප්‍රකාශ කළේය.

මේ අනුව මින් ඉදිරියට ශ්‍රී ලංකා මුහුදේ මසුන් මරන්නට එන විදේශීය යාත්‍රා නිදහස්‌ නොකරන්නටද , රුපියල් මිලියන 150 දක්‌වා දඩ අයකරන්නටද නියමිතය. එසේම ඉන්දීය මුහුදු සීමා උල්ලංඝණය කරන ශ්‍රී ලංකා ධීවර යාත්‍රා වලටද, අනවසරයෙන් ජාත්‍යන්තර මුහුදේ මසුන් මරණ ශ්‍රීලංකා ධීවරයන්ටද එරෙහිව පියවර ගැනීමට නියමිතය.

ප්‍රශ්නය ඇත්තේ ශ්‍රී ලංකාවේ ඇමැතිවරුන් හා නිලධාරීන් කුමක්‌ කීවත් ඉන්දීය රජයේ ප්‍රබලයන් ලබාදෙන එක දුරකථන ඇමතුමකින් හෝ ඔවුන්ගේ ශ්‍රී ලංකා සංචාරයන් අතරතුර හොඳ හිත පැතිරවීම සඳහා අත්අඩංගුවේ සිටින සියලු ඉන්දීය ධීවරයන් හා ධීවර යාත්‍රා නිදහස්‌ කිරීමය. පසුගිය කාලය පුරා සිදුවූයේද, වර්තමානයේ සිදුවෙමින් පවතින්නේද එයයි.

මේ වන විටත් ශ්‍රී ලංකා අත්අඩංගුවේ සිටින ඉන්දීය ධීවරයන් නිදහස්‌ කරන ලෙස තමිල්නාඩු දේශපාලනඥයන් ශ්‍රී ලංකාවට බලපෑම් කරන්නට පටන්ගෙන තිබේ. එපමණක්‌ නොව එම ප්‍රශ්නයට මැදිහත් වන ලෙස ඔවුන් ඉන්දීය මධ්‍යම රජයට බලපෑම් කිරීමද සිදු වේ. එබැවින් අවසානයේ පෙර අවස්‌ථාවලදී මෙන්ම මේ ධීවරයන් නිදහස්‌ කිරීම සිදුවුවහොත් එහි පුදුමයක්‌ නොමැත.

පසුගිය කාලයේ අපේ රටේ නීති රීති උල්ලංඝණය කරමින් චීන ධීවර යාත්‍රාවලට ශ්‍රී ලංකා ධජය යටතේ අපේ මුහුදු කලාපයේ මසුන් මරන්නට ඉඩ ලබාදෙන ලදී. ඊට වගකිවයුත්තන් තවමත් නිදැල්ලේය. යුරෝපා සංගමයෙන් අපේ ධීවර නිෂ්පාදනවලට තහංචි වැටෙන්නට මේවා සෘජුව බලපෑවේය.

ඉන්දීය හා ශ්‍රී ලංකා ධීවරයන් දෙරටේ මුහුදු සීමාවන් උල්ලංඝණය කිරීම වැළැක්‌වීමට දෙරටම කටයුතු කළ යුතුය. එහෙත් කිසිසේත් ශ්‍රී ලංකාවේ මුහුදු සීමාව දෙරටේ ධීවරයන් අතර බෙදා හදා ගැනීම කිසි ලෙසකවත් සිදු නොකළ යුතුය. ඉන්දියාව සමඟ මිතුරකු ලෙස යහපත් සම්බන්ධතා පවත්වා ගැනීම කළ යුතු වුවත් අපේ මහ මුහුද බෙදාගත යුතු නැත. ඉන්දියාවද මේ ප්‍රශ්නය ශ්‍රී ලංකාව සමඟ දේශපාලන ප්‍රශ්නයක්‌ හෝ දේශසීමා ප්‍රශ්නයක්‌ ලෙස නොගත යුතුය. අපේ රටට ජාත්‍යන්තර නීතියට අනුව හිමිව ඇති මුහුදු සීමා පිළිගැනීම ඉන්දියාවේද යුතුකමකි. තමිල්නාඩු ධීවරයන් මෙරටට කඩාපැනීම පැහැදිලිවම ශ්‍රී ලංකාවේ ස්‌වෛරීත්වයට තර්ජනයකි. එය දිගින් දිගටම එකම ආකාරයට සිදුවීම තුළින් එය සිතා මතා සිදුකරන ක්‍රියාවලියක්‌ බව පැහැදිලිය.

ඉන්දීය ධීවරයන් ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළුවීම වැළැක්‌වීමට පියවර ගැනීම අප රටේ ස්‌වෛරීත්වයටත් ජාතික ආරක්‌ෂාවටත් වැදගත්ය. ඉදිරියේදී ඉන්දියාව සමඟ අත්සන් තබන ඕනෑම අන්දමේ ගිවිසුමකදී අපේ මහමුහුදේ අයිතිය සුරක්‌ෂිත වන ආකාරයට එය සිදුකරන්නට රටේ පාලකයන් වග බලාගත යුතුය.

– Divaina