කොටි හොල්මන් නාගදීපයට ඔරවති – LTTE Ghosts in Nagadeepa Sri Lanka

0
962
nagadeepa

බුදු රදුන් නාගදීපයට වැඩම කළ අයුරු කැළනි විහාරයේ බිතුසිතුවමකින්…

බුදුබව ලබා පස්‌වන අවුරුද්දෙහි බක්‌මස අමාවක පොහොය දිනයේ ගෞතම බුදුන්වහන්සේ නාගදීපයට වැඩම කළහ. අතීතයේ නාග නමින් හැඳින්වූ ජන කොටසක්‌ වඩුන්නාගල (කල්පිටිය) මනිනාගදීපය සහ කැලණිය යන ප්‍රදේශය තම ප්‍රධාන වාසභූමි කරගෙන වාසය කළහ. බුදුන් වහන්සේ නාගදීපයට වැඩම කළේ මිනිපලග හෙවත් මැණික්‌ පුටුව මුල්කරගෙන නාග ගෝත්‍රිකයන් අතර යුද්ධයක්‌ ඇතිවුවහොත් සිදුවන විනාශය නැවැත්වීම සඳහාය. බුදුන් වහන්සේ නාගදීපයට වැඩම කළේ දෙව්රම් වෙහෙර දොරටුවේ කිරිපලු රුකෙහි වැඩ වාසය කළ සමිද්ධි සුමන දෙවියො සමඟය. මොහු මීට පෙර භවයක මණිනාගදීපයේ විසූ කෙනෙකි. වැනිසහ කිරිපලු රුකත් රැගෙන මේ දෙවියා නාගදීපයට පැමිණියේය. බුදුන් වහන්සේ නාගයින් දෙපිරිස අතර සටන් පැවැති පෙදෙසට වැඩම කර අහසෙයි වැඩහිද පෙළහර පා දහම් දෙසූහ. එයින් සතුටට පත් නාගයෝ සමගිවී ගැටුමට මුල්වූ මිණිපලග බුදුන්ට පිදූහ. පසුව මේ මිණිපලග බුදුන්ට පිදූහ. පසුව මේ මිණිපලග පාරිභෝගික වස්‌තුවක්‌ වූ නිසා මෙය නිධන්කර ඔවුහු නාගදීප දාගැබ තැනූහ. එය ප්‍රසිද්ධියට පත්වූයේ රාජායතන චෛත්‍යය යන නමිනි. ඒ අසල රෝaපණ කෙරුණු කිරිපලු රුක සමිද්ධි සුමන දෙවියාගේ වාසස්‌ථානය විය. දේවානම්පියතිස්‌ස, වෝහාරතිස්‌ස දෙවන අග්බෝ ආදි රජවරු මෙම දාගැබ වරින් වර ප්‍රතිසංස්‌කරණය කළ බව ඉතිහාසයේ සඳහන් වේ.

බෞද්ධ සාහිත්‍යයේ දැක්‌වෙන අන්දමට නාගදීප රාජායතන චෛත්‍ය යනු ශාසන ඉතිහාසයේ අවසානය දක්‌වාම පවතින ඉතා වැදගත් පූජනීය ස්‌ථානයකි. සම්බුද්ධ ශාසනය අතුරුදන්වන විට විවිධ වෙහෙර විහාරවල තිබෙන සර්වඥධාතු නාගදීප චෛත්‍ය වෙත එක්‌රැස්‌විණි. එතැනින් දඹදිව සිරිමහ බෝමැඩට වැඩම කිරීමෙන් පසුව මේවා අතුරුදන්වෙයි. මේ ගැන මිලින්ද ප්‍රශ්නයේද විස්‌තර කර ඇත.

ශාසන ඉතිහාසයේ අවසානය දක්‌වාම සුරැකෙන මේ නාගදීපය මකා දැමීමේ කොටි උපායක්‌ ක්‍රියාත්මක වන්නේ දැයි අපට දැනුනේ පසුගිය 05 වැනිදා උතුරු පළාත් සභාවේ සම්මත කරගනු ලැබූ යෝජනාව අනුවය. එම යෝජනාවෙන් කියවුනේ නාගදීපය නයිනාතිව් ලෙස වෙනස්‌ කළ යුතු බවයි. උතුරු පළාත් සභා මන්ත්‍රී එච්. කේ. සිවාජිලිංගම් මහතා ප්‍රකාශ කරන්නේ ඉදිරියට නාගදීපය නයිනාතිව් ලෙස හදුන්වනු ඇති බවයි. උතුරු පළාත් සභාවට නාගදීප දූපත නම වෙනස්‌කළ නොහැකිය. එය සිදුකළ හැක්‌කේ මධ්‍යම ආණ්‌ඩුවට පමණි. නමුත් උතුරු පළාත් සභාවේ මේ යෝජනාව ඉදිරිපත්වී දින දෙකට පසුව කොටි හිතවාදී ටැමිල්නෙට්‌ වෙබ් අඩවියේ පළවූ ලිපියක සඳහන් වුණා. නාගදීපය හරහා සිංහල ජනාවාසකරණයක්‌ සිදුකෙරෙන බවත් එයට වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන රජයේදී සහය හිමිව ඇති බවත්ය. මෙම වාර්තාවේ නාගදීප පුරාණ රාජමහා විහාරයේ වත්මන් විහාරාධිපති පූජ්‍ය නවදගල පදුමකිත්ති තිස්‌ස හිමියන්ගේ ඡායාරූපයක්‌ද ඇතුළත් කර තිබිණි. උතුරේ නාවික හමුදා කඳවුරු වල සේවය කරන නාවිකයන්ගේ පවුල් නාගදීපය අවට පදිංචි කිරීම සඳහා පිඹුරුපත් සැකසෙන බව කොටි හිතවාදී වෙබ් අඩවියේ සඳහන්ව තිබිණි. ඒ අනුව නාගදීපයට පහරදීම සංවිධානාත්මකව සිදුවන බව පෙනේ.

සිංහල බෞද්ධයන්ගේ වන්දනීය විහාරයක්‌ වන නාගදීපය අතිපූජනීය සොලොස්‌මස්‌ථානයන්ගෙන් එකකි. බුද්ධ වර්ෂ පළමු සියවසේ පටන් වන්දනාකරුවන් රාජායතන චෛත්‍ය වැදපුදා ගැනීමට පැමිණ ඇත. 2009 පසු නාගදීපයට දිනපතා දහස්‌ ගණනින් සිංහල බෞද්ධයන් පැමිණීම කොටි හිතවාදීන්ට මෙන්ම උතුරු පළාත් සභාවටද බරපතළ ප්‍රශ්නයක්‌වී ඇත. පසුගියදා නාගදීප විහාරයේ කඨින පූජෝත්සවය පැවැති අතර ඒ සඳහා ත්‍රිවිධ හමුදාපතිවරුද සහභාගිවිණි. හමුදා ප්‍රධානීන් මේ විහාරයට පැමිණීම පිළිබඳවද ඉහතින් සඳහන් කළ ටැමිල්නෙට්‌ ලිපියේ විශේෂයෙන් සඳහන් කර ඇත. ඒ අනුව කොටි හිතවාදින්ට නාගදීපය හරහා සිදුවන සිංහල බෞද්ධ ක්‍රියාකාරකම් නවතා දැමීමට දැඩි උවමනාවක්‌ පවතින බව පැහැදිලිය. රාජපක්‍ෂ ආණ්‌ඩුව මෙන්ම මෛත්‍රිපාල – වික්‍රමසිංහ ආණ්‌ඩුවද නාගදීපය සිංහලකරණය සඳහා උදව් ලබාදෙන බව ටැමිල්නෙට්‌ වෙබ් අඩවිය චෝදනා කර සිටී.

කොටි හිතවාදීන් කවර චෝදනා එල්ල කළද නාගදීපයේ සිංහල බෞද්ධ උරුමයට කිසිවකුට අභියෝග කළ නොහැකිය. පැරණි නාගදීප යන නාමය නයිනාතිව් ලෙස දෙමළ බසට මාරුකර ඇත. මෙලෙස දෙමළට වෙනස්‌ කළ නම් බොහෝය. දුටුගැමුණු රජ දවස මහරහතුන් වැඩසිටි පුවගු දිවයින අද පුංකුඩුතිව් වේ. බොදු පුදබිමක්‌ වන කදුරුගොඩ, කන්දරොඩයි ලෙස අද හැඳින්වේ. වල්ලිපුරම් රන් සන්නසේ සඳහන් වන්නේ රාජ්‍ය වර්ෂ 126 – 127 වසභ රජ සමයේ ඉසිරිගිරි නම් ඇමැතිවරයෙක්‌ නාගදීපය පාලනය කළ බවයි.

නාගදීපය යනු අතීතයේදී යාපන අර්ධද්වීපය ඇතුළත් විශාල ප්‍රදේශයකි. සංඝමිත්තා තෙරණිය වැඩමකළ දඹකොළ පටුනද පැරණි නාගදීපය අයත්වූවකි. සිරිමා බෝධිය වැඩම වනවිට සමුද්‍ර නාගයින් බාධකළ නමුත් පසුව ඔවුහු මේ බෝරුකට පුද සත්කාර කළ බව ඉතිහාසයේ සඳහන් වේ.

1958 වසරේදී නාගදීප දාගැබට ඩයිනමයිට්‌ දමා පුපුරුවා කොත්කැරැල්ල බිමහෙළන ලදී. එමෙන්ම අන්තවාදීන් පිරිසක්‌ 2500 බුද්ධ ජයන්තිය බුරුම රටෙන් තෑගිකළ බුදුපිළිමය සිරස හා අත්පා කඩා මුහුදට දැමූහ. මෙම සිද්ධිය දකුණේ ජනතාවට දැනගැනීමට එවක රජය ඉඩ දුන්නේ නැහැ. මෛත්‍රීපාල සේනානායක මහතා රහසිගතව නාගදීපය පැමිණ මේ විපත සොයා බැලීය. සිරස සිදින ලද බුදුපිළිමය මුහුදු පතුලේ තිබී නාවික හමුදාව විසින් සොයා ගන්නා ලදී.

එදා 1958 දී නාගදීපය විනාශ කරන්නට උත්සාහ කළ අන්තවාදීන්ගේ නූතන පරම්පරාව උතුරු පළාත් සභාවේ අනුහසින් මේ අසිරිමත් පුදබිමට අකුල් හෙළීමට උත්සාහ කරන බව පෙනේ. එහෙත් මේ බෞද්ධ පුදබිම ආරක්‍ෂා කිරීමට සියලු සිංහල බෞද්ධයන් එකාවන්ව පෙළගැසිය යුතුය.

චතුර පමුණුව
– Divaina