ටී එන් ඒ ෆෙඩරල් ඉල්ලයි

0
680

ප්‍රතිපත්ති ප්‍රකාශය යාපනයේදී එළිදකී

උතුරු – නැගෙනහිර  පළාත් ඒකාබද්ධ කර ෆෙඩරල් විසඳුමක් ලබා දෙන බව සඳහන් කරමින් දෙමළ ජාතික සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (25) යාපනයේදී උඩුපිල් මර්දනමඩම් ක්‍රීඩාංගණයේදී එළිදැක්වීය. දෙමළ ජාතික සන්ධානයේ වත්මන් නායක හා සභාපති ආර්. සම්බන්ධන් මහතා විසින් ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීම කරන ලදී.
ඒකීය රාජ්‍යයක් තුළ ෆෙඩරල් ආකාරයේ බලය බෙදාහැරීම ප්‍රධාන අරමුණ බව ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන්ව ඇත.
පළාත් සභාවට හිමි ඉඩම්, ‍පොලිස් ඇතුළු සියලුම බලතල  ලබා ගැනීම සඳහා කටයුතු කරන බවද සඳහන් කර ඇති අතර යුද්ධයෙන් අනතුරුව උතුරු නැගෙනහිර ප්‍රදේශවල සිදු කෙරෙන පුනරුත්ථාපන කටයුතු හා සංවර්ධන  කටයුතුවල දුර්වලතා මග හැර වීමට කටයුතු කරන බවද සඳහන් කර ඇත. ඊට අමතරව ඉදිරිපත් කර ඇති ඉල්ලීම් හා යෝජනා නම්
අතුරුදන් වූවන් පිළිබඳව නිශ්චිත තොරතුරු සොයා ගැනීම, දෙමළ ජනතාවගේ ඉඩම්වල පිහිටා ඇති යුද හමුදා ඇතුළු ආරක්ෂක කඳවුරු ඉවත් කිරීම, පලාලි ගුවන් තොටුපල ජාත්‍යන්තර ගුවන් තොටුපළක් බවට පත් කිරීම, උතුරු-නැගෙනහිර ව්‍යාපාර හා කර්මාන්ත සඳහා සෘජු විදේශ ආයෝජන ලබා ගැනීම, දෙමළ කතා කරන ජනතාවගේ  ආත්ම ගරුත්වය හා නිදහස ආරක්ෂා කිරීම, උතුරු නැගෙනහිර දෙමළ හා මුස්ලිම් ජනතාවට සමාන අයිතිවාසිකම් ලබාදීම ආදී කරුණු රැසක් දෙමළ සන්ධාන ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඇතුළත් වේ. විජය කුමාරයා ලංකාවට ගොඩබසිනා විට ත්‍රිකුණාමලයේ කෝනේෂ්වරන්, හලාවත මුන්නේෂ්වරන්, යාපනයේ නාගු‍ලේස්වරන්, මන්නාරමේ තිරුකේතිස්වරන් හා ගාල්ලේ කොන්ඩිස්වරන් යන හින්දු දේවස්ථාන පිහිටා තිබූ බව සිංහල ජාතික ඉතිහාසඥයෙකු සඳහන් කර ඇතැයිද ඒ අනුව දෙමළ ජනතාවට දිගු ඉතිහාසයක් මෙන්ම අයිතියක් තිබෙන බව සනාථ වන බවද ප්‍රකාශ කළේය.
බලය ලබා ගන්නා රජය සමග තම ඉල්ලීම් පිළිබඳව සාකච්ඡා කරන බවද සම්බන්ධන් මහතා ප්‍රකාශ කළේය. මෙම අවස්ථාවට ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා, ටෙලෝ නායක සෙල්වම් අඩෙක්කලනාදන්, ඊ. පී. ආර්.එල්.එෆ්. නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්, ප්ලොට් නායක ධර්මලිගම්, සිද්ධාර්ථන් ඇතුළු උතුරු පළාත් සභා මන්ත්‍රීවරු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු පිරිසක් සහභාගි වූහ.

Source : Lakbima