මානව හිමිකම් ගැටලු එන්නේ ප්‍රජාතන්ත්‍රවාදය බිඳ වැටීමෙන්

0
875

basil fernandoආසියානු මානව හිමිකම් කොමිසමේ විධායක අධ්‍යක්ෂ බැසිල් ප්‍රනාන්දු

සම්පූර්ණයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රතික්ෂේප කළ ආණ්ඩුවක් ජනවාරි 8 වැනිදා පරාජයට පත්වුණේය.සම්පූර්ණයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රතික්ෂේප කළ ආණ්ඩුවක් ජනවාරි 8 වැනිදා පරාජයට පත්වුණේය.ඉන් පසුව ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයක් තුළ කටයුතු කිරීමේ ඉඩ ප්‍රස්ථාව උදාවිය. එම අවකාශය ඇතිවීම වැදගත් තත්ත්වයකි. එම අවකාශය මැද මානව හිමිකම සම්බන්ධයෙන් පමණක් නොව ජීවිතයේ සියලුම කටයුතු ගැන තීරණය ගැනීමේ අවස්ථාව උදාවෙයි. ව්‍යාපාරිකයින්ට නිදහසේ ව්‍යාපාර කටයුතු කරගෙන යාමට, ශිෂ්‍යයින්ට නිදහසේ අධ්‍යාපනය ලැබිමට, වෘත්තීය සමිතිවලට සම්බන්ධ අයට තමන්ගේ සංවිධාන කටයුතු කරගෙන යාමට අවස්ථාව උදාවන්නේ මෙවැනි තත්ත්වයකි.
ජීවිතය යනු සංවිධාන රටාවකි. මේ සංවිධාන රටාව උඩුකුරුව තබනවාද, නැතිනම් යටිකුරුව තබනවාද යන්න ප්‍රජාතන්ත්‍රවාදය හා ඒකාධිපතිත්වය අනුව තීරණය වෙයි. සංවිධාන රටාව විනාශවන තත්ත්වයක් ඇතිවූ විට එය රටකට හානියකි. 1978න් පසුව උවමනාවෙන් ප්‍රජාතන්ත්‍රවාදී රාමුව ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක් විසින්ම විනාශ කිරීමට අදාළ පියවර ගත්තේය. ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක් විසින් ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කර දැමුවත් පකිස්තානය, ඉන්දුනීසියාව වැනි රටවල් ප්‍රජාතන්ත්‍රවාදී රාමුව විනාශ කළේ මිලිටරිමය ආණ්ඩු විසිනි. රටක ප්‍රජාතන්ත්‍රවාදී රාමුව බිඳ වැටුණු විට මානව හිමිකම් සම්බන්ධයෙන් බරපතළ ගැටලු ඇතිවෙයි. බලහත්කාරයෙන් අතුරුදන්කිරීම් යනු මානව හිමිකම් උල්ලංඝනය කිරීම් අතර බරපතළම තත්ත්වයයි. පසුගිය දශකයේදී ලංකාවේ එය බරපතළ ආකාරයෙන් සිදුවිය. අත්අඩංගුවට ගැනීම්, නීති විරෝධී ආකාරයට රඳවාගැනීම්, මාධ්‍යවේදීන්ට බාධා පැමිණවීම් හා දරුණු ආකාරයට සැලකීම, පසුගිය කාලයේදී ලංකාවේ දක්නට ලැබුණු බරපතළ ආකාරයේ සිදුවීම් විය.
පසුගිය කාලයේදී ලංකාවේ පැවැති සිවිල් යුද සමයේදී මානව හිමිකම් ආරක්ෂා කරගැනීමට නොහැකි තත්ත්වයක් ඇතිවිය. පසුගිය කාලයේදී මානව හිමිකම් උල්ලංඝනය කිරීම් ලෙස සමාජයේ මතුවූයේ මානව හිමිකම් ක්‍රියාකාරිකයෙක්ට තර්ජන එල්ලවීමේදී පමණි. එහෙත් ගැටුම් පැවැති සමයේදී තනි තනි පුද්ගලයින්ගේ මානව හිමිකම් උල්ලංඝනය වූවා පමණක් නොව සමස්ත සමාජයම බරපතළ අර්බුදයකට ලක්විය. එමෙන්ම ජනතාවගේ ආරක්ෂාවට තිබෙන සංවිධාන ව්‍යහුය බිඳවැටුණේය. මෙම සංවිධාන ව්‍යුහයන් අතර ප්‍රධාන ව්‍යුහයක් වූයේ ‍පොලීසියයි. ලංකාවේ ‍පොලීසිය කිසිම දිනෙක ප්‍රජාතන්ත්‍රවාදයට ගැළපෙන ආකාරයෙන් වර්ධනය වී තිබුණේ නැත.
‍පොලීසිය යනු මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් පවතින ආයතනයක් විය යුතුය. දියුණු රටවල ‍පොලීසිය යනු ජනතාව විසින් ලබාදෙන අවකාශය තුළ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියාත්මක වන ආයතනයකි. එහෙත් ලංකාවේ ‍පොලීසිය එසේ නොවේ. ලංකාවේ ‍පොලීසිය නිර්මාණය කිරීමට බ්‍රිතාන්‍ය පාලකයික් ගෙන්වාගන්නේ අයර්ලන්තයෙනි. අයර්ලන්තය යනු බ්‍රිතාන්‍යයේ යටත් විජිතයකි. ඒ අනුව ලංකාවේ ‍පොලීසිය නිර්මාණය වූයේ යටත් විජිත පාලකයින්ට අවශ්‍ය ආකාරයට කටයුතු කරගැනීමටය. එහෙත් බ්‍රිතාන්‍ය පාලකයින් මි‍ලේච්ඡ ආකාරයට ‍පොලීසිය තමන්ගේ කටයුතු වෙනුවෙන් යොදාගත්තේ නැත.
1978 කාලසීමාවෙන් පසුව ප්‍රජාතන්ත්‍රවාදී සීමාවන් බිඳගෙන ගිය ආකාරයක් අපිට දක්නට ලැබුණේය. හදිසි නීතිය පැනවීම තුළ එම තත්ත්වය වඩාත් නරක අතට හැරුණේය. පසුගිය කාලයේදී කවුරුන් හෝ කියන ඕපාදූපයක් මත පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම දක්වා ඉදිරියට ගිය බව අපි දුටිමු. 88-89 කාලයේදී පැවැති භීෂණ සමයේදී මෙන්ම උතුරු නැගෙනහිර පළාත්වල යුද ගැටුම් පැවැති සමයේදීත් මේ ආකාරයට පුද්ගලයින් අත්අඩංගුවට ගත්තේය.
ත්‍රස්තවාදී කණ්ඩායමක් හමුදා සෙබළුන් 13 දෙනෙක් ඝාතනය කිරීමෙන් පසුව රට පුරා කලබලකාරී වාතාවරණයක් ඇති කළේ රජයේ අනුග්‍රහය ඇතිවය. රජය විසින් සංවිධානය කරන ලද ආකාරයට කැරලිකාරී වාතාවරණයක් ඇතිවිය. අවුරුදු තිහක යුද්ධ කාලයක් පැවැති බව කීම අමූලික බොරුවකි. ජනතා විමුක්ති පෙරමුණ සමග ආණ්ඩුව යුද්ධ කළේ නැත. ආණ්ඩුව කළේ ත්‍රස්තවාදය මර්දනය කිරීමකි. උතුරු පළාතේ ඒ ආකාරයට ආණ්ඩුව ත්‍රස්තවාදය  මර්දනය කළේය. උතුරු නැගෙනහිර පළාත්වල යුද්ධයක් පැවැත්වුණානම් පැවැත්වූයේ සටන් විරාම ගිවිසුම අත්සන් කිරීමෙන් පසුව ඇතිවූ ගැටුම්කාරී වාතාවරණය තුළදීය. ත්‍රස්තවාදය මර්දනය කිරීමට කටයු කිරීමේදී පිහිටුවා ඇති ආයතන නොතකාහරිමින් කටයුතු කළේය. වරෙන්තු නොමැතිව අත්අඩංගුවට ගත්තේය. නීතියට පිටින් ඝාතනය කළේය. අවසන් යුද්ධය පැවැති සමයේදී හමුදාවට අල්ලාගත යුතු ප්‍රදේශ අල්ලාගත්තේ එම ප්‍රදේශයේ සිටි සියලුදෙනාම ඝාතනය කිරීමෙන්ය. ‍පොල් කඩන පුද්ගලයා එදින කැඩූ ‍පොල් ගෙඩි ගණන කියන්නා සේ ඒ දවසේ ඝාතනය කළ පුද්ගලයින්ගේ සංඛ්‍යාව කීමට කොළඹ මධ්‍යස්ථානයක්ද ආරම්භ කර තිබුණි. ජනමාධ්‍යයට මිය ගිය පුද්ගලයින් පිළිබද තොරතුරු ලබාදුන්නේ මේ ආයතනය විසිනි. මේ ආයතනය පිහිටුවූයේ අපරාධ කිරීමට අනුබල ලබාදීමේ මානසිකත්වයක් ඇතිකිරීමටය.
මානව හිමිකම් යුද්ධය කාලයේදී උල්ලංඝනය වූ බව තීරණය කරන්නේ ජිනීවා ප්‍රඥප්තිය උල්ලංඝනය කළේද යන්න මතය. ඒ අනුව අත්අඩංගුවට ගත් පුද්ගලයෙක් ඝාතනය කිරීම ඒ අනුව වරදකි. දෙවැනි ලෝක යුද්ධය පැවැති කාලයේදී ඇතැම් හිට්ලර් වැනි දරුණු ඒකාධිපතියන් පවා සිරකරුවන්ට හොඳින් සැලකුවේය. එහෙත් ඔහු පසුව සිරකරුවන් ඝාතනය කළේය.
ලංකාවේ මානව හිමිකම් ප්‍රශ්නයේ මූලාරම්භය වන්නේ නීතිය හා සදාචාරයේ පදනම බිඳ දැමීමයි. එනම් අත්අඩංගුවට ගන්නා පුද්ගලයින් ඝාතනය කිරීමයි. කොතරම් බරපතළ ආකාරයේ අපරාධකරුවෙක් වුවත් අත්අඩංගුවට ගැනීමෙන් පසුව අධිකරණමය ක්‍රියාමාර්ග ගත යුතුය. ඔවුන්ට දඬුවම් කළ යුතු වන්නේ නීතියේ රාමුව යටතේය.
එල්.ටී.ටී.ඊ. සංවිධානයේ දරුණු අපරාධ කළ පුද්ගලයින් සිටියේය. එහෙත් ගැටලුව වන්නේ මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව හා එල්.ටි.ටී.ඊ. සාමාජිකයින්ගේ සංඛ්‍යාව සමානද යන්නයි. රජයක් ලෙස අත්අඩංගුවට පත්වූ එල්.ටී.ටී.ඊ. සාමාජිකයින්ට විරුද්ධව අධිකරණමය ක්‍රියාමාර්ග ගත යුතුව තිබුණේය.
අද ලෝකයේ ඕනෑම තැනක සිදුවන මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් ජාත්‍යන්තර ගැටලුවකි. උගන්ඩාව, කාම්බෝජය වැනි රටවල මානව හිමිකම් උල්ලංඝනය කිරීම් ජාත්‍යන්තර ගැටලුවක් බවට පත්වෙයි. ඇමෙරිකාව යුද්ධයක් ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව සිදුකරන මානව හිමිකම් උල්ලංඝනය කරන විට ඔවුන්ට විරුද්ධව මානව හිමිකම් ක්‍රියාමාර්ග නොගන්නේ මන්දැයි ජාත්‍යන්තරව ප්‍රශ්න කිරීමට ලක්වෙයි. යුද්ධයකදී ඝාතනයට ලක්වීම අපරාධයක් නොවේ. එහෙත් අත්අඩංගුවට ගන්නා පුද්ගලයෙක් නීතියට පිටින් ඝාතනය කිරීම ලෝකයා ප්‍රශ්න කරයි.
මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් කිසියම් රටකට චෝදනා එල්ලවන විට අභ්‍යන්තර පරීක්ෂණයක් පවත්වන්නේ නම් ජාත්‍යන්තරය මැදිහත්වී පරීක්ෂණ පවත්වන්නේ නැත. ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය වන විට ලංකාව ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූයේ නැත. තමන්ගේ ආයතනයකින්ම පුද්ගලයින් ඝාතනය කරන විට එම ආයතනයටම ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ කළ නොහැකි බව අප අමතක කළ යුතු නොවේ. කෙසේ වෙතත් ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තරව මානව හිමිකම් පරීක්ෂණ පවත්වන්නේ අභ්‍යන්තර පරීක්ෂණයක්
නොපැවැත්වීම නිසාය.
ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණ පැවැත්වීම ලංකාවට පමණක් සීමා වූ කරුණක් නොවේ. කිසියම් රටක මානව හිමිකම්   උල්ලංඝනය වන විට හා ඒ සම්බන්ධයෙන් දේශීය පරීක්ෂණයක් නොපවත්වන විට ජාත්‍යන්තර වශයෙන්  පරීක්ෂණ පවත්වයි. මෙය ලංකාව පමණක් ඉලක්ක කරගෙන ක්‍රියාත්මක කරන පරීක්ෂණයක් නොවේ.
මේ වන විට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ලංකාව සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වෙයි. 2009 වසරේදී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය සම්බන්ධයෙන් යෝජනාවක් එල්ලවන විට ලංකාවට ඊට විරුද්ධව යෝජනාවක් ගෙන ආවේය. එම යෝජනාව ලංකාව ජයග්‍රහණය කළේය. එහෙත් ලංකාවට විරුද්ධව පළමුවෙන්ම ගෙන ආ යෝජනාව අස්කරගත්තේ නැත. එය එලෙසම පැවැත්විණි. ලංකාවේ සිදුවූ බව කියන මානව හිමිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් පවත්වන බවට ලංකාව ‍පොරොන්දු විය. එහෙත් ලංකාව එවැනි පරීක්ෂණයක්  පැවැත්වූයේ නැත. මේ නිසා ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට ඇතැම් රටවල් යෝජනා කළේය. අඩු දියුණු රටවල් පැවැසුවේ ලංකාවට තවදුරටත් කල් ලබාදිය යුතු බවය. මෙය සරල උදාහරණයකින් පැහැදිලි කරගත හැකිය. කිසියම් අපරාධයක් සම්බන්ධයෙන් ‍පොලීසියක් පරීක්ෂණ නොපවත්වන විට පරීක්ෂණ පැවැත්වීමට තවත් මාස හයක් කල් දිය යුතු යැයි අප පවසන්නේ නැත. එසේ        පරීක්ෂණ නොපවත්වන විට එම ‍පොලීසියෙන්     පරීක්ෂණ ඉවත් කර වෙනත් ‍පොලීසියකට පරීක්ෂණය භාරදෙයි. අපරාධ පරීක්ෂණය කල් තැබිම මත සමාජයක් පවත්වාගෙන යා නොහැකිය. කිසියම් චෝදනාවක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන විට එය නතර කරන්නැයි කීම සාධාරණ නැත.
ලංකාව කියන රට හදන්න ඕන නම් මුලින්ම වෙනස් කළ යුතු වන්නේ ‍පොලීසියයි. ඒ සඳහා ‍පොලීසියට දක්ෂ නිලධාරීන් පත් කරගතයුතුය. දැන් රටේ උද්ගතව තිබෙන සාමකාමී වාතාවරණය තුළ ‍පොලීසිය ශක්තිමත්ව ස්ථාපිත කළ යුතුය. යහපාලනයක් ඇතිකිරීමට අවශ්‍යනම් ඒ සඳහා වන ක්‍රමවේදයක් සකස් කළ යුතුය. යහපාලනය යනු එක් පුද්ගලයෙක්ට කළ හැකි දෙයක් නොවේ. යහපාලනය යනු ක්‍රමවේදයකි. රටේ යහපාලනය ස්ථාපිත කිරීමට නම් යහ පාලන ක්‍රමවේදය ස්ථාපිත කළයුතුය. යහපාලන ක්‍රමවේදයේ මූලාරම්භය වන්නේ වෘත්තීමය ‍පොලිස් සේවාවක් ස්ථාපිත කිරීමය. ඒ සඳහා කළ යුතු වන්නේ වෘත්තීමය ‍පොලීසියකට අවශ්‍ය සම්පත් ලබාදීමය. මෙතැන ඇත්තේ අය වැය පිළිබඳ ප්‍රශ්නයක් පමණි.
ලංකාවේ මානව හිමිකම් තත්ත්වය යහපත් අතට පත් කරගැනීමට අවශ්‍යනම් කළ යුත්තේ ‍පොලීසියේ ප්‍රතිසංස්කරණයට අවශ්‍ය සම්පත් ලබාදීමය. එවිට අධිකරණමය කටයුතු සඳහා අවශ්‍ය සාක්ෂිකරුවන් ඉදිරිපත්වනු ඇත. අපරාධ පරීක්ෂණය විධිමත් වනු ඇත. දෙවැන්න වන්නේ අධිකරණය විධිමත් කිරීමය. ලංකාවේ ඇතැම් නඩු විභාග කර අවසන් කිරීමට අවුරුදු දහයක් පහළොවක් ගතවෙයි. අධිකරණයට නඩු ප්‍රමාණය වැඩි බව ඊට විරුද්ධව එල්ලවන තර්කයයි.
දැන් ලංකාව වැටී සිටින ජිනීවා මානව හිමිකම් කවුන්සිල අර්බුදය නැමති වළෙන් ගොඩ ඒමට කළ යුතු වන්නේ අපරාධ සම්බන්ධයෙන් කටයුතු කරගෙන යන බව පෙන්වීමයි. ඒ ඒ අවස්ථාවන්හිදී මතුවන තත්ත්වයන්ට තාවකාලික පැලැස්තර අලවනවා වෙනුවට ස්ථිර විසඳුමක් ලබාදීමට කටයුතු කරන බව පෙන්වා දිය යුතුය. බොරුවට වෙට්ටු දමමින් සිටින විට මෙවැනි අර්බුදවලින් ගොඩඒමට හැකියාව ලැබෙන්නේ නැත. වින්දිතයින්ට සහනයක් ලැබෙන ආකාරයට පරීක්ෂණ සැබවින්ම ක්‍රියාත්මක  කළ යුතුය. ඒ බව ලෝකයට පෙන්වා දිය යුතුය. ජාත්‍යන්තර දේශපාලනය යනු බරපතළ ආකාරයේ දේශපාලන ගනුදෙනුවකි. මානව හිමිකම් ගැටලු මතුවන්නේ මේ තත්ත්වය තුළදීය.
ලංකාවට විරුද්ධව ලෝකයම කෑ ගසන අවස්ථාවේදී එක්සත් ජාතීන්ගේ මහ ‍ලේකම් බැංකි මූන් ලංකාවට පැමිණියේය. එල්ලවන චෝදනා සම්බන්ධයෙන් සාධාරණ අභ්‍යන්තර පරීක්ෂණයක් ක්‍රියාත්මක කරන බවට ලංකාවෙන් ‍පොරොන්දුවක් ලබාගත්තේය. ඒ ගැන සඳහන් කරමින් ඒකාබද්ධ නිවේදනයකටද අත්සන් තැබුවේය. ලංකාවට පරීක්ෂණ පැවැත්වීමට අවස්ථාව දුන්නේය. ලංකාවටම චෝදනා පිළිබඳව  පරීක්ෂණ පැවැත්වීමට කාලය ලබාදුන්නේය. එහෙත් ලංකාව එම අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්තේ නැත.