ආදරය කොයිතරම් ආදරවන්තද?

0
821

ආදරේ කරන්න පටන් ගත්තහම ඕනම කෙනෙක්ගේ හිතේ මොකක්දෝ අමුතුම ආකාරයේ හැඟීමක් ඇති වෙනවා. කොච්චර කොළේ වහලා ඉන්න ට්‍රයි කළත් ඒක නම් ඉතින් හංගන්න බෑ… කොහෙන් කොහෙන් හරි ආදර හැඟුම් කලඑළි බහිනවා… මොකක්ද ඇත්තටම ඔය අර මුලින් කියපු අමුතුම ආකාරයේ හැඟීම
ඕනම පුද්ගලයෙක් ආදරවන්තයෙක් බවට පත්වෙන කොට ඒවන තුරු තමන් තුළ රැඳිලා තිබුණු බලා‍පොරොත්තු රහිත බව ක්‍රම ක්‍රමයෙන් නැතිවෙලා යන්න පටන් ගන්නවා. ඒ විතරක්යැ… දැන් ඉතින් දුකේදීත් සැපේදීත් ළඟින් ඉන්න, හිතවතෙක් එහෙමත් නැත්නම් හිතවතියක් ඉන්නවානෙ කියලත් හිතෙනවා. හිත බලා‍පොරොත්තු ප්‍රාර්ථනාවලින් පිරෙන කොට යමක් දිහාව කිසියම් සුන්දරත්වයකින් යුතුව බලන්නත් මග පෑදෙනවා. ඉස්සර වැඩ ඇරිලා තනියම ගෙදර යනකොට අඩුගානෙ වැහි වලාකුළක්වත් තියෙනවාද කියලා අහස දිහාව නොබලපු කට්ටිය ජෝඩු දාලා ගෙදර යනකොට… අනේ බලන්නකො අහස දිහාව අද හරිම ලස්සනයි කියලා කියන වෙලාවලුත් තියෙනවා. ඔයා අකමැති වෙයි කියලා හිතලා මං අද අර තද නිල් පාට සාරිය අඳින්නත් හදලා ඇන්දෙ නෑ.., කොළ පාටට වැඩිය ආසයි කියලා මතකද දවසක් ඔයා මට කිව්වා… මං ඒකමයි මේ
ෂර්ට් එක ගත්තේ… ඔන්න ඔය විදියට කරන කියන දේවලින් එයා තමන්ගෙ සිතැඟි තේරුම් ගන්න බවක් පැහැදිලිවම පේනකොට හිතට අමුතුම ගතියක් දැනෙන්න පටන් ගන්නවා. ඔය කියපු හැමදේකම එකතුවක් හැටියට තමයි අර අමුතුම ආකාරයේ හැඟීම අපට හඳුන්වන්න වෙන්නෙ.
මොහොතකට හරි තමන්ගෙ හිතවතිය තරහා වුණහම ආදරවන්තයෙකුට ඒක දරාගන්න ටිකක් අමාරුයි.
කාට කාටත් ඉඳලා හිටලා ‍පොඩි ‍පොඩි අප්සට්වලට මුහුණ දෙන්න වෙනවා. ඕවා ඒතරම් ගණන් ගන්න දේවල් නමෛයි. කොහොම වුණත් තමන්ගෙ හිතවතියක් එක්ක නොහොඳ නෝක්කාඩුවක් ඇතිකර ගත්තහම නම් ඉතින් හිතට ටිකක් අමාරුයි තමයි. ඔය වෙලාවට කොච්චර වැඩකාරයෙක්ගෙ වුණත් හිතේ පුංචි බයක් හරි ඇතිවෙනවා. ඒ පාර ඉතින් වැඩක් පලක් කරගන්නත් බෑ. කියපු දේට හිත රිදුනද… ආයෙම හම්බ වුණොත් හිනා වෙලා කතා කරයිද..? එහෙමත් නැත්නම් ඔරවයිද? ඔය වගේ දාහක් ප්‍රශ්න ඇයි මොකද මචං අප්සට් එකක්ද? කියලා ඔය අතරෙ තවත් කවුරුහරි ඇහැව්වොත් වැඩේ තවත් වන වෙනවා. අනම් මනම් පණ්ඩිත වාක්‍ය කියන්න යන් නැතුව ෂේප් එකේ හිටියා නම් මේ කිසි කරදරයක් නැහැනෙ කියලා හිතෙනවා.
සිතුවිලිවලට තමන් වහල් වෙලා ඉන්න බවක් පෙන්නන්න පිරිමි ඒතරම් කැමති නෑ…
තමන්, තමන්ගෙ පෙම්වතියට ආදරේ කරනවාට වඩා පෙම්වතිය තමන්ට ආදරේ කියලා දැනගන්න හැම ආදරවන්තයෙකුටම වුවමනායි. ඒ වුණාට ඒ බව කෙළින්ම අහන්නත් හුඟදෙනෙක් කැමති නෑ… එහෙන් මෙහෙන් වචන දාලා කොහොම හරි ඒ බව දැනගන්න නම් කට්ටිය බොහොම දස්සයි. ආදර සබඳතාවයක සම්පූර්ණ පාලන කටයුතු තමන් අතට ගන්න පුළුවන් වෙනවා දකින්න හැම පිරිමියෙකුම වගේ ආසයි. ගැහැනියක් හුඟක් වෙලාවට ආදරයක් තුළින් බලා‍පොරොත්තු වෙන්නෙ ආරක්ෂාව, ආදරය වගේ දේවල්. කාන්තාවක් සමහරක් වෙලාවට තවත් කෙනෙකුට සමීප වෙන්නෙත් මේ දේවල් හින්දමය කියලා කිව්වොත් වැරදි නෑ. අන්න ඒ වගේ අවස්ථාවලින් ප්‍රයෝජනය ගන්න උත්සාහ කරන පිරිමි උදවිය ඒ ඔස්සේ ගැහැනිය තමන්ගේ සිතුවිලිවලට අනුකූලව පාලනය කරන්න උත්සාහ කරනවා දකින්න පුළුවන්. සමහරක් වෙලාවට අ‍පෝ මෑන් මහ ලෙඩ ගොඩක්නෙ… මිනිහා එක්ක ඒතරම් කතාබහ කරන්න යන්න එපා… වගේ දේවල් කෙනෙකු අතින් කියැවෙන්නෙ මුලින් කියපු සංසිද්ධියෙම අතුරු ඵලයක් හැටියට තමයි. මේ හැමදෙයක්ම වෙන්න හේතුව තමන් සිතුවිලිවලට වහල් වෙලා ඉන්න හින්දය කියලා ටිකක් දුරට හිතුවොත් තේරුම් ගන්න අමාරුවෙන එකක් නැහැ.
ආදරයෙන් පරාජය ලබනවා කියන්නේ හරිම වේදනාකාරී අත්දැකීමකට.
ආදරය කරපු කෙනෙක් තමන් වෙතින් ඉවත්වෙලා ගියහම කෙනෙකුට ඇතිවන හැඟීම් වේදනාකාරී බව අමුතුවෙන් කියන්න ඕන නැහැ. ආදරයෙන් පරාජය ලැබුවකුට හැමතිස්සෙම හිතෙන්නෙ සමාජය තමන්ව මගහරින්නට එහෙමත් නැත්නම් හුදකලා කරන්න මාන බලනවා කියලයි. හිතට දුකයි තමයි ඉතින්. ඒත් ඒ දුක සදාකාලික වේදනාවක් කරගන්න එක නම් ඒ තරම් අනුමත කරන්න අමාරුයි. මේ වගේ වෙලාවට… ආදරේ කළ හිතින් තවත් කෙනෙකුට ආදරේ කරන්න මට බෑ කියලා පරාජිත ආදරවන්තයෙක් තවත් කෙනෙකුට කියන්නට පෙළඹෙන බවක් නිරීක්ෂණය කරන්න පුළුවන්.
ආදරය ගැන හුඟ දෙනෙක් හිතන විදිහ හරිද?
ජීවිතේ එක්තරා කාලයකදී නම් හිතෙන්නෙම කෙනෙකුව දැක්ක ගමන් හිතේ ඇතිවන හැඟීම ආදරය කියලයි. ඒත් ආදරය කියන්නේ ඊට වඩා පුළුල් ගැඹුරු දෙයකටයි කියල කාලයක් යනකොට කෙනෙකුට තේරුම් යනවා. මිත්‍රත්වය, ආරක්ෂාව අනේ‍යා්න්‍ය අවබෝධය වගේ වචන කිහිපයකම එකතුවක් හැටියටයි ආදරය අපට හඳුන්වන්න වෙන්නෙ. මම මගේ පෙම්වතාට එහෙමත් නැත්නම් පෙම්වතියට ආදරෙයි… ඇයත් ඔහුත් ඒ වගේම මටත් පෙරලා ආදරය කරනවාය කියන මෙන්න මේ හැඟීම කෙනෙකුගේ ඇතුලාන්තය තුළින් නැගී එන්නට පටන් ගන්න කොටයි හැබෑ ආදරයක් ගොඩනැගෙන්න පටන් ගන්නෙ.
විවාහයෙන් පස්සෙ කෙනෙකු තුළ තිබෙන ආදරණීය බව ක්‍රම ක්‍රමයෙන් ගිලිහී යනවා කියන්නෙ ඇත්තක්ද?
වයසින් මුහුකුරා යනකොට කාටවත් ඉස්කෝලෙ ගිය දවස්වල වගේ නිවී හැනහිල්ලෙ ආදරය කරන්න පුළුවන් කියල හිතන්න අමාරුයි. ඒ දවස්වල මතක සටහන් මුළු ජීවිත කාලය පුරාවට වගේ කෙනෙක් තුළ රැඳිල තියෙනවා. අනික දවසින් දවසම අපිට ඉටුකරන්න තියෙන රාජකාරී හා වෙනත් වගකීම් වැඩිවෙනවා මිසක් අඩුවෙන්නෙත් නැහැනෙ. වගකීම් වැඩිවෙනකොට නිදහස ටිකක් හරි අඩුවෙනවා. විවාහ වෙන්න ඉස්සර වෙන කරන්න කියල ඒ හැටි දෙයක් තිබුණෙ නැති හින්දා හිතුණ හිතුණ වෙලාවට   එහෙ මෙහේ ඇවිදින්න යන්න චිත්‍රපටයක් බලන්න යන්න ඕන තරම් වෙලාව තියෙන්න ඇති. ඒත්… විවාහයකින් පස්සෙ අර මුලින් කියපු පරණ පුරුදු විදිහටම ජීවත් වෙන්න ටිකක් අමාරු බව ඕනම කෙනෙකුට වටහා ගන්න අපහසු නැහැ. තවත් කෙනෙකුට යම් යම් හේතු නිසා තමන්ට කවදාවත්ම ආදරය කරන්න බැරි ජාතියේ කෙනෙකු එක්ක විවාහ වෙන්න සිද්ධවෙන්න පුළුවන්.  ඔන්න ඔහෙ කොහොම හරි ජීවත් වෙනවා කියා හැඟීමක් ඇරෙන්න ඒ වගේ කෙනෙකුගේ හිතේ තමන්ගෙ බිරිඳ එහෙමත් නැත්නම් සැමියා ගැන ආදරයක් ඇතිවෙන්න තියෙන ඉඩ අඩුයි. අනික පහුගිය දේවල් අමතකම කරල ජීවත් වෙන්නත් බැහැ. මොකෝ මැරිල ඉපදුනායැ. හිතට වැඩියක්ම වේදනාවක් දැනෙන්නෙ පසුගිය දේවල් ආයෙ ආයෙ මතක් වෙන්න පටන් ගන්නකොට තමයි. ඉතින් ඒ වගේ මානසිකත්වයක ඉන්න කෙනෙක්ගෙන් සැබෑ ආදරයක් බලා‍පොරොත්තු වෙන්නෙ කොහොමද? මේ වගේ ප්‍රශ්නෙකට ඉතින් විසඳුම් හොයන්න වෙන්නෙ සාකච්ඡාවෙන් සම්මුතියෙන්ම තමයි.

චිරන්ත එම්. හේරත්

Source : Lakbima Online Edition