ඉතිහාසය අපට කියන “පිල් මාරු”

0
1089

මෑත ඉතිහාසයේ ලංකා දේශපාලනයේ වැඩිපුර කතා බහට ලක්‌වන මාතෘකාවක්‌ වන්නේ ‘පිල් මාරු’ කිරීමය. මේ පිල් මාරු කිරීම නිසා සිදුවූ බොහෝ දේ සාමාන්‍ය ඡන්ද දායකයාට “මැජික්‌” විය. එමෙන්ම ඇතැම් රජයන් බිඳ වැටෙන්නටද “පිල් මාරුව” හේතු වී ඇති බව මේ පිළිබඳ අධ්‍යයනය කිරීමේදී පැහැදිලි කර ගත හැකිය.

ප්‍රජාතන්ත්‍රවාදී රට තුළ මන්ත්‍රීවරුන් පක්‍ෂ මාරු කිරීම (පිල් මාරුව) ඉතා දුර්ලභ ප්‍රවණතාවකි. මීට ප්‍රධාන හේතුව වී ඇත්තේ ද්විපාක්‍ෂික ක්‍රමය යටතේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පක්‍ෂ සදාචාරාත්මක පිළිවෙත් අනුගමනය කිරීම යෑයි විශ්වාස කළ හැකිය. ලෝකයේ විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී රට ලෙස හැඳින්වෙන්නේ ඉන්දියාවයි. ඉන්දියාවේ මැතිවරණ ක්‍රමය ජනතාව අතර ප්‍රචලිත වූයේ ක්‍රම ක්‍රමයෙනි. මීට වසර 60 කට පමණ පෙර ඉන්දියාවේ ප්‍රාන්ත රාජ්‍යයන්හි පක්‍ෂ මාරු කිරීම බහුල ලෙස දැකිය හැකි විය. හරියානා ප්‍රාන්තයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු කීප වරක්‌ම පිල් මාරු කිරීම නිසා වරක්‌ ප්‍රාන්ත ආණ්‌ඩුවද බිඳ වැටුණි.

මෙයාකාරයට පිල් මාරු කිරීම විහිළුවක්‌ වූ නිසා ඉන්දීය මාධ්‍ය ඔවුන්ට නමක්‌ද පටබැන්දේය. ඒ “අයාරාමි සහ දයාරාමි” ලෙසය. (ආපු මහත්තයා ගිය මහත්තයා) මීට වසර 30 කට පෙර ඉන්දියානු ව්‍යවස්‌ථා සංශෝධනයකින්ම මන්ත්‍රීවරු පිල් මාරු කිරීම පිළිබඳ කොන්දේසි කීපයක්‌ද සම්මත කර ගත්තේය. ඒ අනුව මන්ත්‍රී මණ්‌ඩලයේ යම් පක්‍ෂයක මන්ත්‍රී සංඛ්‍යාවෙන් 1/3 ක්‌ ප්‍රතිපත්තිමය කාරණයක්‌ අනුව තම පක්‍ෂය අතහැර පිල් මාරු කිරීමට අවස්‌ථාව ලබා දී තිබුණි. එසේ නොමැතිව මන්ත්‍රීවරු කීප දෙනෙකුට පිල් මාරු කිරීමට අවශ්‍ය වුවහොත් ඔවුන් මන්ත්‍රී ධුරවලින් ඉල්ලා අස්‌වී මහ මැතිවරණයකින් තමන් කැමැති පක්‍ෂයකින් පාර්ලිමේන්තුවට පැමිණිය හැකිය.

බොහෝ රටවල මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන පක්‍ෂවලට හිතට එකඟව ඡන්දය දීමට අවස්‌ථාව ලැබෙන්නේය. එසේ නොලැබෙන්නේ මුදල් පනත්වලදී පමණි. සාමාන්‍ය පනතකින් රජය පරාජය වුවහොත් පනත හකුළා ගන්නවා හැර රජයට ඉල්ලා අස්‌වීමට සිදු නොවේ. එහෙත් මුදල් පනතක්‌ පාර්ලිමේන්තුවේදී පරාජය වුවහොත් එකී රජය ඉල්ලා අස්‌විය යුතු වේ. අපේ රටේ පාර්ලිමේන්තුවේ පනත් සම්මත වීමේදීද ඇතැම් මන්ත්‍රීවරුන් පිල් මාරු කරගෙන ඇති බව පෙනේ. 1960 වර්ෂයේදී රජයෙන් නඩත්තු වන පාසල් රජයට පවරාගත යුතු බවට පනතක්‌ ඉදිරිපත් විය. මෙය නිදහස්‌ අධ්‍යාපනය තහවුරු කළ යෝජනාවක්‌ විය. පාර්ලිමේන්තුවේ ප්‍රධාන විරුද්ධ විපක්‍ෂය වූ එජාපය පනතට විරුද්ධව ඡන්දය දීමට තීරණය කර සිටියේය. එම අවස්‌ථාවේදී එම පක්‍ෂයේ මන්ත්‍රීවරයකු වූ පී. ද ඇස්‌. කුලරත්න මහතා එජාප එම තීරණයට විරුද්ධව පක්‍ෂයෙන් ඉවත් වී එම පනතට පක්‍ෂව ඡන්දය දුන්නේය. එවකට හෝමාගම එජාප මන්ත්‍රී ගාමණී ජයසූරිය මහතා තම මුත්තණුවන් වූ අනගාරික ධර්මපාලතුමන් ගේ ප්‍රතිපත්ති අනුව මෙම පනතට පක්‍ෂව ඡන්දය ප්‍රකාශ කිරීමට ඉඩ දෙන ලෙස එජාප නායක ඩඩ්ලි සේනානායක මහතාගෙන් ඉල්ලා සිටියේය. ඒ සඳහා ඔහුට අවසරය ලැබිණි.

අපේ රටේ පාර්ලිමේන්තු ක්‍රමය ඇරඹුණු පසු පළමු පිල් මාරුව සිදු වූයේ 1951 වර්ෂයේදීය. එවකට එජාප රජයේ නියෝජ්‍ය නායක හා සභා නායක පදවිය මෙන්ම සෞඛ්‍ය හා පළාත් පාලන අමාත්‍ය ධුරය දැරූ එස්‌. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්‌ඩාරනායක මහතා ප්‍රතිපත්ති ප්‍රකාශයක්‌ කරමින් සිය ඇමැති ධුරයෙන් හා පක්‍ෂයෙන් ද ඉල්ලා අස්‌වූවේය. ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පක්‍ෂයකට අඩිතාලම දැමුණේ එදාය. බණ්‌ඩාරනායක මහතා ආණ්‌ඩු පක්‍ෂයේ සිට විරුද්ධ පක්‍ෂයේ අසුන් ගැනීමට යන විට ඔහු සමඟ තවත් එක්‌ මන්ත්‍රීවරයෙක්‌ ගියේය. ඔහු බෙලිඅත්ත ආසනය නියෝජනය කළ ඩී. ඒ. රාජපක්‍ෂ මහතාය. එසේ වුවද දින 3 කට පසු ජෝර්ඡ් ආර්. ද සිල්වා (උ. කොළඹ), ඒ. පී. ජයසූරිය (හොරණ), ජයවීර කුරුප්පු (බලංගොඩ) හා ඩී. එස්‌. ගුණසේකර (උඩුගම) යන මන්ත්‍රීවරුන්ද බණ්‌ඩාරනායක මහතාට එක්‌ වූහ. මේ පිල් මාරුවෙන් ටික දිනකට පසු පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රී නිශ්ශංක මහතා ප්‍රමුඛ ස්‌වාධීන මන්ත්‍රීවරුන් පිරිසක්‌ද බණ්‌ඩාරනායක මහතාට එක්‌වී ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය පිහිටුවා ගනු ලැබීය.

පාර්ලිමේන්තුවේ පිල් මාරුව මෙන්ම පළාත් පාලන ආයතනවල පිල් මාරුවද සුලභ දර්ශනයක්‌ විය. කොළඹ මහ නගර සභාව සඳහා 1954 පැවැති මැතිවරණයේදී කොට්‌ඨාස 31 න් 30 ක්‌ම වාමාංශික හා එජාප අතර කරට කර බෙදී ගොස්‌ තිබිණ. එක්‌ අසුනක්‌ ජය ගත්තේ වමේ හා දකුණේ ප්‍රතිවාදීන් පරදා රාමනායක මහතාය. ඒ හුණුපිටිය කොට්‌ඨාසය සඳහාය. මේ මන්ත්‍රීවරුන් අතරින් නගරාධිපතිවරයා තෝරා ගැනීමේ ඡන්දයේදී ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා මහතාට පක්‍ෂව රාමනායක මහතා ඡන්දය දුන්නේය. පෙරේරා මහතා එක්‌ ඡන්දයකින් නගරාධිපති වූයේ එසේය. නියෝජ්‍ය නගරාධිපති තේරීමේදී එජාප අපේක්‍ෂක ආර්. ප්‍රේමදාස මහතා තේරී පත්වූයේ රාමනායක මහතාගේ ඡන්දය ඔහුට ලැබුණු නිසාය. මෙසේ පත්වූවන් නගර සභාව පවත්වාගෙන යද්දී මාස කීපයකට පසු වාමාංශික මන්ත්‍රීවරයෙකු ගේ “වැඩක්‌” ගැන පොලිසියට ඉව වැටී ඔහු කොටුකර ගැනීමට සැලසුම් කළේය. මේ කරදරයෙන් බේරීමට ඔහු දක්‍ෂිණාංශික කණ්‌ඩායමේ නායකයාට කන්නලව් කළේය. මේ අනුව වාමාංශික මන්ත්‍රීවරයා එවකට අගමැති සර් ජෝන් කොතලාවල මහතා ළඟට කැඳවාගෙන ගියේය. ඒ අනුව වාමාංශික මන්ත්‍රීවරයා පිටුපස පොලිසියේ පැන්නීම නැවතිණ. මේ සිද්ධියෙන් සතියක්‌ ඇතුළත පුරපතිවරයාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක්‌ ඉදිරිපත් විය. ඒ කාලයේ පැවැති ව්‍යවස්‌ථාව අනුව පුරපතිවරයා ඉවත් කිරීමට ඉදිරිපත් වන යෝජනාවක්‌ එක්‌ වැඩි ඡන්දයකින් සම්මත වීම ප්‍රමාණවත්ය. එදා පුරපතිවරයාට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාව සාකච්ඡාවට ගත් අවස්‌ථාවේ හැව්ලොක්‌ ටවුන් ප්‍රදේශය නියෝජනය කළ ඩී. එන්. ඩබ්ලිව්. සිල්වා මහතා කළ අනුවේදනීය කතාව අදට ද වැදගත් වන්නේය. “අද ඉතා ගෞරවනීය දවසක්‌ කොළඹ නගරයේ සිටින හොඳම පුරවැසියා අද නගරයේ ප්‍රධාන පුරවැසියාව සිටී. ඔහුට විරුද්ධව ඡන්දය පාවිච්චි කිරීම ඉතාම වේදනාකාරීයි. එහෙත් පක්‍ෂයක විනයක්‌ ගරු කරන්නෙක්‌ හැටියට මගේ හෘද සාක්‍ෂියට විරුද්ධව මගේ ඡන්දය නගරාධිපතිවරයාට විරුද්ධව පාවිච්චි කරමි”. යනුවෙන් එදා සිල්වා මහතා සඳහන් කළේය. නගරාධිපතිවරයාට විරුද්ධ යෝජනාව සම්මත වීමෙන් පසු පසුදාම විපක්‍ෂ නායකවරයා නගරාධිපති ධුරයට තෝරා පත්කර ගැනිණි.

එමෙන්ම ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ විශාලතම පිල් මාරුව සිදු වූයේ 1964 වර්ෂයේ දීය. එවකට අගමැතිව සිටි සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනිය ප්‍රබල තත්ත්වයක පසු විය. 1964 සැප්තැම්බර් මාසයේ අත්සන් කරන ලද ඉන්දු-ලංකා ගිවිසුම ඊට හේතු විය. එමෙන්ම සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනිය වාමාංශික පක්‍ෂ සමඟ එක්‌ව සභාග රජයක්‌ද පිහිටුවා ගත්තාය. මුදල් ඇමැති පදවියට පත් වූයේ ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා මහතාය. තවත් කනිෂ්ඨ මන්ත්‍රීවරු දෙදෙනෙකුට අමාත්‍ය පදවි හිමි වූහ. පුවත්පත් ඒකාධිකාරිය වෙනස්‌ කළ යුතු බවට යෝජනා වූයේ මේ අවධියේය. ශ්‍රී ල.නි.ප.යේ දක්‍ෂිණාංශික මන්ත්‍රීවරු එම යෝජනාවට විරුද්ධ වූහ. එම යෝජනාවට විරුද්ධව මුල්නිම මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්‌වූයේ එවකට පළාත් පාලන අමාත්‍ය මහානාම සමරවීර මහතාය. කෙසේ වුවද විශාල කුමන්ත්‍රණයක්‌ පාර්ලිමේන්තුව තුළ ක්‍රියාත්මක වන බව අගමැතිනියට ද දැන ගැනීමට නොහැකි විය. රාජාසන කතාවට ස්‌තූති යෝජනාවට ඡන්දය විමසන දිනට පෙරදින කුමන්ත්‍රණයේ “බෝම්බය” පුපුරා ගියේය. සභානායක සී. පී. ද සිල්වා මහතා ඇතුළු මන්ත්‍රී කණ්‌ඩායමක්‌ ආණ්‌ඩු පක්‍ෂයෙන් ඉවත් වී යෝජනාවට විරුද්ධව ඡන්දය දුන්නහ. ඡන්දය විමසන අවස්‌ථාවේ පත් කළ මන්ත්‍රීවරු දෙනෙකුද සම්ප්‍රදාය කඩ කරමින් යෝජනාවට විරුද්ධව ඡන්දය පාවිච්චි කළහ. සාමාන්‍ය සම්ප්‍රදාය වන්නේ පත් කළ මන්ත්‍රීවරු රජයට පක්‍ෂව ඡන්දය පාවිච්චි කිරීමය. එසේ වුවද පාර්ලිමේන්තුවේ සිටි යුරෝපීය මන්ත්‍රීවරයකු වූ සංග්ල්මන් සැමන් මහතා යෝජනාවට විරුද්ධව ඡන්දය දුන් අතර ඉන්දු-ලංකා ගිවිසුමටද විරුද්ධ වූ ඇස්‌. තොණ්‌ඩමන් මහතා මෙම යෝජනාවට ඡන්දය දීමෙන් වැළකී සිටියේය. මේ නිසා එක්‌ වැඩි ඡන්දයකින් යෝජනාව පරාජය විය.

පාර්ලිමේන්තුවේ මේ පූර්වාදර්ශයත් සමඟ මන්ත්‍රීවරුන් ගේ පිල් මාරුව සුලභ දර්ශනයක්‌ වී ඇත. 1978 ව්‍යවස්‌ථාවට අනුව පක්‍ෂ මාරු කරන මන්ත්‍රීවරුන්ට මන්ත්‍රී ධුරය අහිමි වූයේ ආණ්‌ඩු පක්‍ෂ මන්ත්‍රීවරයකු පක්‍ෂ මාරු කළ විට මන්ත්‍රී ධුරය අහෝසි කිරීමේ බලය ජනාධිපතිවරයා සතු වූ බැවිනි. එම බලය අනුව මන්ත්‍රී ධුරය අහෝසි කර ගත් එකම මන්ත්‍රීවරයා පානදුරේ නෙවිල් ප්‍රනාන්දු මහතාය. 1991 දී ආණ්‌ඩු පක්‍ෂයේ මන්ත්‍රීවරුන් කණ්‌ඩායමක්‌ හා ඇමැතිවරු කීප දෙනෙකුද ඇතුළු විපක්‍ෂය එවකට සිටි ජනාධිපතිවරයාට විරුද්ධව දොaෂාභියෝගයක්‌ ගෙනාවේය. එය ව්‍යර්ථ වුවද මෙම කටයුත්තට සහාය දීමේ චෝදනාව යටතේ එවකට ඇමැති ධුර දැරූ ගාමිණී දිසානායක, ලලිත් ඇතුළත්මුදලි හා ජී. ඇම්. ප්‍රේමචන්ද්‍ර යන මහත්වරුන්ට එරෙහිව පක්‍ෂ විනය අනුව ක්‍රියා කිරීම නිසා ආසන අහිමි විය. ආසන අහිමි වූ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 7 කි.

එසේ වුවද ඊට වසරකට පසු ගාමිණි දිසානායක මහතා පක්‍ෂ නායකත්වයට පත්වූයේ දෛවයේ සරදමකට මෙනි. මේ පක්‍ෂ මාරුව “පිල් මාරුව” නිසා එදා මන්ත්‍රී ධුර අහෝසි වුවද අද එසේ වන්නේ නැත. පිල් මාරු කිරීමේ දී පක්‍ෂ විනය කඩ වන බවට නැඟෙන චෝදනාවන්ට එරෙහිව අධිකරණයට ගිය මන්ත්‍රීවරුද බොහෝය. ලංකා දේශපාලන ඉතිහාසයේ ප්‍රථම වතාවට ප්‍රධාන දේශපාලන පක්‍ෂයක්‌ සිය පක්‍ෂයේ කැමැත්ත පරිදි ආණ්‌ඩු පක්‍ෂයේ මෙන්ම විපක්‍ෂයේ ද කටයුතු කරනු ලැබුවේ පසුගිය මාස කීපය තුළදීය. මෙය ලෝක දේශපාලනයට අලුත්ම පූර්වාදර්ශයක්‌ සැපයූ කරුණකි. එකම දේශපාලන ප්‍රතිපත්ති ඇත්තවුන් ආණ්‌ඩු පක්‍ෂයේ හා විපක්‍ෂයේ කටයුතු කිරීමෙන් රජයක්‌ පවත්වාගෙන යැමට නොහැකි බවද මෙම පසුබිම තුළ ඔප්පු කර ඇත.

සංවාද සටහන
ජයසූරිය උඩුකුඹුර

Source : Divaina