රජයේ වාහන විශාල සංඛ්‍යාවක් ඡන්ද ප්‍රචාරක වැඩකටයුතුවලට යොදාගෙන ඇතැයි මැතිවරණ කොමසාරිස්‌වරයාට පැමිණිලි ලැබී ඇති බව පසුගිය සතිය අවසන් වන විට වාර්තා වී තිබිණි. ලැබෙන තොරතුරුවලට අනුව රජයේ ඇමැතිවරු කිහිපදෙනෙක් සිය අමාත්‍යාංශවල වාහන විශාල වශයෙන් මැතිවරණ (රාජකාරි) වැඩ සඳහා යොදාගෙන තිබේ. එක්‌සත් ජනතා නිදහස් සන්ධානයේ පක්‍ෂ නායකයන් පිරිසක් මේ ගැන මැතිවරණ කොමසාරිස්‌වරයාට පැමිණිලි කර ඇත්තේ සාක්‍ෂි සහිතවය.
එම සාක්‍ෂි අතර රජයේ වාහන ඡන්ද වැඩ සඳහා යොදා ගන්නා ආකාරය පිළිබඳව වීඩියෝ දර්ශන ද තිබී ඇත. මේ සියලු වාහනවල වගකීම ඇත්තේ ඒ ඒ අමාත්‍යාංශවල ලේකම්වරුන් සහ ගණකාධිකාරිවරුන් සතුවය. රජයේ වාහන මැතිවරණ කටයුතු සඳහා යොදා නොගන්නැයි අගමැති රනිල් වික්‍රමසිංහ එජාපය නියෝජනය කරන ඇමැතිවරුන්ට දැනුම් දී තිබුණේ ද පසුගිය සතියේ ය. මැතිවරණය සඳහා එසේ රජයේ වාහනයක් භාවිත කරන්නේනම් කැබිනට් මණ්‌ඩල තීරණය අනුව, එම එක් වාහනයක් සඳහා මසකට රුපියල් ලක්‍ෂයක් වූ ගාස්‌තුවක් රජයට ගෙවිය යුතුය.
ඒ ආකාරයේ නීති රෙගුලාසි එමටය. එහෙත් මැතිවරණ නීති රීති උල්ලංඝනය කිරීම් බහුලය. ඒ සියල්ලටම උත්තර ද ඇති බව නිසැකය. “චෝදනා කරන අයත් ආණ්‌ඩු කරද්දී කළේ ඔය ටිකම තමයි…” සරල සහ සුලභම උත්තරය එයයි. එහෙත් ප්‍රශ්නය එය නොවේ. අලුත් කට්‌ටිය වැඩ පටන්ගත්තේ පරණ අය කළ වැඩ නතර කරනවා යෑයි ජනතාවට පොරොන්දු දීමෙන් වීමය. දැන් බලාගෙන යනවිට “නරක වැඩ” නතර වී ඇති බවක් පෙනෙන්නට නැත.
මැතිවරණ කොමසාරිස්‌වරයා තත්ත්වය නරක අතට හැරීම වලක්‌වන්නට දැඩි උත්සාහයක රැඳී සිටින බවක් පෙනෙන්නට තිබේ. එහෙත් දවසින් දවස වාර්තා වන මැතිවරණ නීති රීති උල්ලංඝනය කිරීම් තත්ත්වය වඩාත් සංකීර්ණ කරන බව කිව යුතුය.
මැතිවරණයකදී රාජ්‍ය බලය, රාජ්‍ය දේපළ අනිසි ලෙස යොදා ගැනීම මැතිවරණ නීති කැඩීම්වලට පමණක් නොව උපරිම මැතිවරණ ප්‍රචණ්‌ඩත්වයක් ව්‍යාප්ත වීමට ද හේතුවන බව යළි යළිත් සඳහන් කළ යුතු නැත. 19 වැනි සංශෝධනයේ 23 (4) වගන්තියේ රාජ්‍ය දේපළ අවභාවිතය ගැන සඳහන්ය. එය ක්‍රියාත්මක කිරීමේ බලය පැවරෙන්නේ මැතිවරණ කොමිසමටය. ජනවාරි අටවැනිදායින් පසු එවැනි කොමිසමක් යටතේ නිදහස් හා සාධාරණ මැතිවරණයක් කෙරෙහි ජනතාව විශාල බලාපොරොත්තුවක් ඇතිකරගෙන සිටියහ. එහෙත් මැතිවරණ කොමිසම පිළිබඳ සිහිනය සුන් වූ තැන් පටන් ජනතාව සිය ව්‍යායාමය අත්හැරියේ නැත. අලුත් ආණ්‌ඩුව, යහපාලනය යටතේ මැතිවරණය උපරිම සාධාරණ අයුරින් පැවැත්වීමට ක්‍රියාකරනු ඇතැයි ජනතාව බලාපොරොත්තු වූහ. මැතිවරණ නීති රීති උල්ලංඝනය කිරීම ආණ්‌ඩු පාර්ශවයෙන්ම වැඩි වැඩියෙන් සිදුවීම වඩාත් ෙ€දජනක බව කියන්නේ එහෙයිනි.
බැනර්, කටවුට්, පෝස්‌ටර් ද ඡන්ද නීති කැඩීමට අයත්ය. එහෙත් මේ සියල්ල ප්‍රාථමික ගණයේ මැතිවරණ නීති කැඩීම්ය. එවැනි මට්‌ටමක තිබියදීත් පෝස්‌ටර්, බැනර්, කටවුට් ගැලවීම සඳහා පොලිසියට වෙන් කර ඇති මුදල (මිලියන 75 කි) කෝටි හතකි. ඒ සම්පූර්ණ මැතිවරණය වෙනුවෙන් පොලිසියට වෙන් කර ඇති මිලියන හාරසිය පනස් හතක මුදලිනි.
මැතිවරණය වෙනුවෙන් රාජ්‍ය දේපළ අයුතු ලෙස පරිහරණය කිරීම එතරම් සුළුවෙන් තැකිය හැකි කාරණාවක් නොවන බව අප කියන්නේ එබැවිනි. රාජ්‍ය දේපළ එසේ භාවිත කිරීම ආකාර කිහිපයකින්ම වියදම දෙගුණ තෙගුණ කිරීමට හේතුවේ. නිදසුනක් ලෙස ගත්තොත්, සමහර රාජ්‍ය ආයතනවලට ඇත්තේ ඉතා සීමිත වාහන සංඛ්‍යාවකි. මේ සියල්ල යොදා ගන්නේ ජනතා සේවය පිණිසය. රාජ්‍ය නිලධාරීන්ට ජනතාව වෙනුවෙන් වඩාත් කාර්යක්‍ෂම සේවාවක් ඉටුකිරීමට ඇති සීමිත වාහන ප්‍රමාණය එකී රාජ්‍ය ආයතනයට අහිමි වූ විට ඇතිවන තත්ත්වය ගැන අමුතුවෙන් සඳහන් කළ යුතු නැත. ඒ නිසා අප අවධාරණය කරන්නේ මේ මොහොතේ “හිටපු” සහ “ගිය” අය කළ කෙරුවාවල් ගැන සිහිපත් කිරීම හෝ ඒ මගම යැම සදාචාරාත්මක නොවන බවය. පරණ අය කළ දේ නොව ජනවාරි අටවැනිදායින් පසු තමන් කරන්නට සිටි දේ ජනතාවට ප්‍රායෝගිකව පෙන්වා දෙන්න. ජනතාව මේ කාගෙ කාගෙත් කෙරුවාවල් ගැන අවදියෙනි.
Source : Divaina