දන්ත ව්‍යසනයකට මුලින් ම පිළියම් කළේ වසර 14,000කට පෙර

0
1499

දත් යනු මිනිසාට මෙන්ම දත් සහිත වූ සැම සතකු හට ම ඉතා වැදගත් ශාරීරික ව්‍යqහයක්‌ සේ සැලකිය හැකි ය. බොහෝ පෘෂ්ඨවංශී සතුන් තුළ දැකිය හැකි දත් ප්‍රයෝජනවත් වන්නේ මූලික වශයෙන් ආහාර කැබැලි කිරීම සඳහා ය. සැපීම මගින් ආහාර කැබැලි කිරීමට අමතරව කතා කිරීමේ දී විවිධ හඩ උච්චාරණයේ දී ද මිනිසුන් හට දත් බෙහෙවින් වැදගත් වේ.

මිනිස්‌ ශරීරයේ ඇති දැඩි ම ද්‍රව්‍යය සේ හැඳින්විය හැක්‌කේ ද දත් ය. එහි ඇති කොටස්‌ අතර ඇති එනැමලය ශරීරයේ හමු වන දැඩි ම ද්‍රව්‍යය වන අතර, ඊට යටින් පිහිටා ඇති දන්තිනය ද සාපේක්‌ෂව දැඩි බවකින් යුක්‌ත ය. අප පෙර සඳහන් කළ පරිදි ම ආහාර ගැනීමේ දී ඇති වැදගත්කම නිසා දත්වල සෞඛ්‍යය මිනිසාට ඉතා වැදගත් වේ. අද අප දත්ත සෞඛ්‍යය පිළිබඳව අනුගමනය කරන්නේ මූලික වශයෙන් බටහිර වෛද්‍ය විද්‍යාව අනුව අපට හඳුන්වා දුන් ක්‍රමවේද වේ.

කෙසේ වෙතත් බොහෝ ඈත අතීතයේ සිට ම දත් හා දත්වල සෞඛ්‍යය හා සම්බන්ධව මිනිසුන් උනන්දුවක්‌ දක්‌වා ඇති බව ද පෙනේ. මිනිසුන් ගේ ආහාර රටාව සමඟ දන්ත සෞඛ්‍යය හා දත් රෝග පිළිබඳ අතීතයේ පැවැති තත්ත්වය වර්තමානයට වඩා වෙනස්‌ විය හැකි නමුත්, දත් රෝග අතීතයේ දී ද පවතින්නට ඇත. අපට පමණක්‌ නො ව අතීතයේ විසූ විවිධ ජන කොටස්‌ අතර ද දන්ත සෞඛ්‍යය සම්බන්ධ ව යම් අවබෝධයක්‌ හා සැලකිය යුතු අවධානයක්‌ පැවැති බව පෙනේ. දත්ත ව්‍යසන හා ඒවාට ප්‍රතිකාර කිරීම සම්බන්ධව ලෝකයේ විවිධ ප්‍රදේශවලින් ලැබෙන පුරාවිද්‍යාත්මක සාධකවලින් මේ පිළිබඳ සනාථ වේ. 

ඉතා මෑතක දී අපට කියවන්නට ලැබුණු අධ්‍යයන වාර්තාවකින් පෙනෙන්නේ දන්ත ව්‍යසන සඳහා මානව මැදිහත්වීම් සිදු කිරීම පිළිබඳ සාධක අදින් වසර දහ හතර දහසක්‌ තරම් ඈත කාලයකට දිව යන බවයි.

teeth1

අතීත දන්ත සෞඛ්‍ය කටයුතු සඳහා සාධක

දන්ත ව්‍යසන (dental caries) හෙවත් දත් පණුවන් කෑම යනු මුඛ සෞඛ්‍යය පිළිබඳව මානව මිනිස්‌ සමාජයේ සැම කලක ම බරපතළ තත්ත්වයේ ප්‍රශ්නයක්‌ විය. ඒ සම්බන්ධ සාධක මානව ඉතිහාසය පුරා අපට දැකිය හැකි ය.

පුරාවිද්‍යාත්මක සාධක අනුව දන්ත ව්‍යසන සම්බන්ධව ලෝකයේ මෙතෙක්‌ ලැබී ඇති පැරැණි ම සාධක ලැබී ඇත්තේ පාකිස්‌තානයේ නවශිලා යුගයට අයත් සුසාන භූමියකිනි. ඉන් හමු වූ හිස්‌කබලක දැකිය හැකි චාර්වක දතක ආසාදනයට ලක්‌ වූ පටක හාරා ඉවත් කර ඇති බව හෙළි ව තිබේ. මේ හිස්‌කබල අදින් වසර 9,000කට පමණ ඉහත කාලයකට දින නියම කර ඇත. මානව ආහාර රටාවේ ඇති වූ වෙනස්‌කම් සමඟ මේ කාලය වන විට ඇති වී තිබූ ආහාර රටාව ද මුඛ සෞඛ්‍යය පිළිබඳ අහිතකර තත්ත්වයකට හේතු වූ බව විශ්වාස කෙරේ. නිදසුනක්‌ ලෙස ගත හොත්, කෘෂිකාර්මික සමාජවල ආහාර රටාව තුළ කාබොහයිඩේ්‍රට්‌වලින් සමන්විත ආහාර භාවිතය ඉහළ ගොස්‌ තිබූ අතර, ඒ සමග බැක්‌ටීරියා නිසා ඇති වූ දත් දිරා යැම් වර්ධනය විය. මෙය දඩයම් කරමින් හා තැනින් තැන යමින් ද්‍රව්‍ය එක්‌ රැස්‌ කරන ඉන් පෙර පැවැති ජීවනෝපාය හා සම්බන්ධ වූ ආහාර රටාවට වඩා වෙනස්‌ වූවක්‌ විය. 

එසේ ම, නවශිලා යුගයට පෙර කාලයේ දී දත් පිරිසිදු කිරීම වැනි කාර්යය සඳහා දත් කූරු (toothpicks) වැනි දේ භාවිත කළ බවට ද සාධක පවතී. ලීයෙන් හෝ අස්‌ථිවලින් කරන ලද මේ දත් කූරුවලින් මිනිස්‌ දත්වල සීරීම් ඇති කළ අවස්‌ථා පුරාවිද්‍යාත්මක වශයෙන් වාර්තා වී ඇත. මෙය Homo ගණයේ බොහෝ මානවයන් අතර සුලබව පැවැති පුරුද්දක්‌ බව පෙනේ. විශේෂයෙන් නියෑන්ඩර්තාල් මානවයන් අතර ද මේ දත්කූරු භාවිතය තිබී ඇත. කෙසේ වෙතත් මේවා දන්ත ව්‍යසන හා සම්බන්ධ වූවක්‌ නො වේ. 

දන්ත ව්‍යසන හා සම්බන්ධ තවත් සාධක වඩාත් දියුණු ශිෂ්ටාචාරවල ද දැකිය හැකි ය. දත්වල පුපුරා ගිය කොටස්‌ පිරවීම සඳහා මී ඉටි යොදාගත් අවස්‌ථා සම්බන්ධ සාධක ස්‌ලෝවේනියාවෙන් ලැබී තිබේ. ඒ අදින් වසර 6,500ක්‌ පමණ කාලයකට පෙර දී පමණ ය. එසේ ම වසර 2,100ක්‌ පමණ පැරැණි ඊජීප්තු මමියකින් හමු වී ඇති දත්වලින් සමහරක දැකිය හැකි විශාල දත් කුහර පිරවීම සඳහා ලිනන් රෙදි යොදාගෙන ඇත. එසේ ම අදින් වසර 5,000ක්‌ පමණ කාලයක්‌ පැරැණි වූ ඊජිප්තු ලේඛනවලින් පෙනෙන ආකාරයට දත්වලින් ආසාදිත පටක ඉවත් කිරීම ඒ කාලයේ දී ද පැවැතී ඇත. එසේ ම පැරණි ග්‍රීක හා රෝම ශිෂ්ටාචාරවල ද දත් සාරා කුහර පිරිසිදු කිරීම පිළිබඳව දැන සිටි බවට සාධක තිබේ. 

වසර 14,000කට පෙර දතක කුහර පිළියම් කරලා

පසුගිය දා ප්‍රකාශයට පත් වූ පර්යේෂණ වාර්තාවකට අනුව අදින් වසර 14,000ක පමණ කාලයකට පෙර විසූ පුද්ගලයකු ගේ දන්ත ව්‍යසනයක්‌ සඳහා සිදු කරන ලද මැදිහත් වීමක්‌ ගැන කරුණු අනාවරණය වේ. මේ සාධක ලැබී ඇත්තේ උතුරු ඉතාලියේ සොව්රාමොන්ටෙ බෙලුනෝ (Sovramonte-Belluno) නම් ප්‍රදේශයේ පිහිටා තිබූ රිපාරි විලාබෘනා (Ripari
Villabruna) නම් ගල් ලෙනින් හමු වූ මානව ඇටසැකිල්ලකිනි. වසර 25ක්‌ පමණ වයස්‌ වූ තරුණයකුට අයත් බවට නිගමනය කර ඇති මේ මිනිස්‌ ශේෂ ලැබී ඇත්තේ 1988 වර්ෂයේ දී පමණ වන අතර ඒවා ෆෙරාරා විශ්වවිද්‍යාලයයේ තැන්පත් කර තිබේ. මේ අස්‌ථි පද්ධතිය අදින් වසර 13,820ත් 14,160ත් අතර කාලයකට අයත් බවට Rජුව කාල නිර්ණය කර තිබේ. මෙය පශ්චාත් ඉහළ පුරාශිලා යුගය (Late Upper Paleolithic) සේ සැලකේ.

එම අස්‌ථි සැකිල්ලේ හිස්‌කබලේ යටිහනුවේ දකුණු පස වූ කුරයක්‌ සහිත තුන්වැනි චාර්වක දත පිළිබඳව මේ දක්‌වා වැඩි අවධානයක්‌ යොමු වී තිබුණේ නැත. එය මෙතෙක්‌ කලක්‌ විස්‌තර කර තිබී ඇත්තේ සරල ව්‍යසනයක්‌ (simple carious lesion) ලෙස ය. කෙසේ වෙතත් මේ පර්යේෂකයන්ට පෙනී ගියේ මේ දතේ දැකිය හැකි වූ සිදුර, කුහර හතරකින් සමන්විත වූ බවයි. 

මේ අනුව අදාළ දතේ පැවැති විශාල කුහරයේ අභ්‍යන්තර පෘෂ්ඨය මත පියවි ඇසින් නො පෙනෙන ආකාරයේ සලකුණු නිරීක්‌ෂණය කිරීමට පර්යේෂකයන්ට හැකියාව ලැබී ඇත. ඒ පරිලෝකන ඉලෙක්‌ට්‍රොaන අණ්‌වීක්‌ෂයක්‌ භාවිතයෙනි. මේ අනුව කිසියම් විශේෂිත රේ‚ය සීරුම් සලකුණු හෙවත් රේ‚ය විලේඛන (striations) දැකිය හැකි වී තිබේ. මේ කුහර තුළ දැකිය හැකි වූ සලකුණු කිසියම් තියුණු ක්‌ෂුද්‍ර ශිලාමය මෙවලමක්‌ විවිධ දිශාවලට ගමන් කරවීමෙන් කරන ලද ඒවා බව මේ පර්යේෂකයන් ගේ නිගමනය වන අතර, එය පෙති කරන (slicing) ආකාරයේ උල් මෙවලමක්‌ භාවිතයෙන් කරන ලද බව ඔවුන් ගේ අදහසයි. මේවා දත් දෙකක්‌ ගැටීමෙන් ඇති වන සලකුණුවලට වඩා වෙනස්‌ බව ද ඔවුන් තවදුරටත් පැහැදිලි කර තිබේ.

මෙවැන්නක්‌ කළ හැක්‌කේ කුමන ආකරයේ මෙවලමකින් ද යන්න මේ පර්යේෂකයන් ගේ අවධානයට ලක්‌ ව ඇත. දැවමය, අස්‌ථිමය හා ක්‌ෂුද්‍ර ශිලා මෙවලම් භාවිතයෙන් දතක හානි වූ පටකයක්‌ ඉවත් කිරීමට ඇති හැකියාව සම්බන්ධව ඔවුන් ප්‍රායෝගිකව සොයා බලා ඇත. මෙහි දී ඔවුන්ට පෙනී ගොස්‌ ඇත්තේ කුඩා ක්‌ෂද්‍රශිලා මෙවලමක්‌ මගින් මෙවැනි දත් කුහරයකින් අදාළ ආසාදිත කොටස්‌ ඉවත් කළ හැකි බවයි. මේ අනුව අදාළ මිනිසුන් දත් කුහරවලින් ආසාදිත පටක ඉවත් කිරීම සඳහා කුඩා මුවහත් මෙවලමක්‌ යොදාගෙන ඇති බව පැහැදිලි ය. මේ අනුව අතීත මානවයන් ගැඹුරු දත් කුහර පිරිසිදු කිරීම සිදු කර ඇති බව පෙනේ. 

මේ කාලයට, එනම් ඉහළ පුරාශිලා යුගයට අයත් වන අතර අදාළ කාලයේ මිනිසුන් දන්ත ව්‍යසන සම්බන්ධව හා ඒවායින් ඇති විය හැකි බලපෑම ගැන දැන සිටි ආකාරය තරමක්‌ පුදුම සහගත බව මේ පර්යේෂකයන් ගේ අදහසයි. දතක කුහරයක්‌ පරීක්‌ෂා කිරීමට හා පිරිසිදු කිරීම සඳහා මැදිහත්වීමට ඔවුන් දැන සිටි ආකාරය ද මෙහි දී වැදගත් ය. 

මේ සොයාගැනීම වැදගත් වන්නේ එය දන්ත ව්‍යසනයක දී මිනිසුන් ගේ මැදිහත් වීමක්‌ දැකිය හැකි මෙතෙක්‌ සොයාගෙන ඇති පැරැණිතම අවස්‌ථාව ද වන නිසා ය. ඉහත දක්‌වා ඇති ආකාරයට මීට පෙර පැවැති පැරැණි ම සාධක වාර්තා වී ඇත්තේ අදින් වසර 9,000ක පමණ කාලයේ දී ය. මේ නව සාධකය ඊට වඩා වසර පන් දහසක්‌ පමණ කාලයක්‌ පැරැණි ය.

(මූලාශ්‍රය: Scientific Reports, DOI:10.1038/srep12150) 

ධනේෂ් විසුම්පෙරුම

Source : Vidusara