සමාජ වෙළෙඳ‍පොළ ආර්ථිකය කුමක්ද?

0
1049

– මහාචාර්ය සුමනසිරි ලියනගේ

සමාජ වෙළෙඳ‍පොළ ආර්ථිකය යන අදහස අද බොහෝ සෙයින් ලංකාවේ දේශපාලන කතිකාවේ අසන්නට ලැබෙන වචනයකි. මෙය වඩාත් අසන්නට ලැබෙන්නේ යහපාලනය සඳහා වන එක්සත් ජාතික පෙරමුණ සිය ප්‍රතිපත්ති ප්‍රකාශය ආරම්භයේම සඳහන් කරන්නේ තමන් අනුගමනය කරන ආර්ථික ප්‍රතිපත්තිය පිළිබඳය. තමන් අනුගමනය කරන සමාජ ආර්ථිකමය පිළිවෙතේ පදනම ලෙස සඳහන් කරන්නේ සමාජ වෙළෙඳ‍පොළ ආර්ථිකයයි.
මීට පෙර මේ අදහස පිළිබඳ අදහසක් ප්‍රකාශ නොකළ එම පෙරමුණේ අපේක්ෂයෙක් වන පාඨලී චම්පික රණවක අද සමාජ ආර්ථික වෙළෙඳ‍පොළ ගැන අදහස ඉදිරිපත් කරයි. මෙම අදහස පිළිබඳ සිංහල පාඨකයින්ට පුළුල් අවබෝධයක් නැත. සිංහල පාඨකයින්ට පමණක් නොව ලංකාවේ බොහෝ දෙනෙක්ට මේ පිළිබඳ පැහැදිලි අදහසක් නැත. මේ අදහස ලංකාවේ සමාජ – දේශපාලන කතිකාවට පැමිණ ගතව ඇත්තේ වසර පහක් වැනි කාලයකි. ඒ නිසා සමාජ වෙළෙඳ‍පොළ ආර්ථිකය කුමක්ද යන්න ගැන දැනුවත්වීම වැදගත්ය.
සමාජ වෙළෙඳ‍පොළ ආර්ථිකය යන අදහස සමාජගත වන්නේ දෙවැනි ලෝක යුද්ධයෙන් පසුවය. දෙවැනි ලෝක යුද්ධය අවසන් වනවිට බටහිර ජර්මනිය හා නැගෙනහිර ජර්මනිය ලෙස ජර්මනිය දෙකඩ වෙයි. බටහිර ජර්මනිය යන කොටසේ සමාජ වෙළෙඳ‍පොළ ආර්ථිකය යන සංකල්පය ක්‍රියාවට නැංවෙයි. ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය දේශපාලන බලය හසුරවන කාලයේදී සමාජ වෙළෙඳ‍පොළ ආර්ථිකය ක්‍රියාවට නැංවීම ආරම්භ විය. විශේෂයෙන්ම චාන්සලර් කොන්ට්‍රර් ඩැඩිටෝ යටතේ මේ අදහසට පණ ලැබුණි. මේ අදහසට වඩා ජනප්‍රිය හා ප්‍රචලිත අදහසක් යුරෝපයේ දේශපාලන කතිකාවට ඇතුළත් විය. සැබැවින්ම එය යුරෝපයේ දේශපාලන කතිකාවට පමණක් නොව ලංකාවේ දේශපාලන කතිකාවටද අදාළය. ඒ අදහස වන්නේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදයයි. සමාජ ප්‍රජාතන්ත්‍රවාදය ලංකාවට නුහුරු දෙයක් නොවේ. ලංකාවේ සමාජයට සමාජ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ පැහැදිලි අදහසක් තිබේ. නමුත් සමාජ වෙළෙඳ‍පොළ ආර්ථිකය ගැන පැහැදිලි අදහසක් ලංකාවේ සමාජයට ලබාගැනීමට නොහැකිවී තිබිණි. ඒ නිසා සමාජ ප්‍රජාතන්ත්‍රවාදය හා සමාජ වෙළෙඳ‍පොළ ආර්ථිකය අතර ඇති වෙනස කුමක්ද යන්න ගැනත් අවබෝධයක් ලබාගැනීම වැදගත්ය.
සමාජ වෙළෙඳ‍පොළ ආර්ථිකය යන අදහස 1940 දශකයේදී ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවුණත් එය සැබැවින්ම මතුවන්නේ ඊට දශකයකට පෙරදීය. 1930 දශකයේදී ජර්මන් ජාතික සමාජ විද්‍යාඥයින් දෙදෙනෙක් වන බුලර් කාමන් නමැති පුද්ගලයාත් ලුඩ්රික් හාර්ඩ් නමැති පුද්ගලයාත් සමාජ වෙළෙඳ‍පොළ ආර්ථිකය න්‍යායාත්මක වශයෙන් සමාජගත කිරීමෙහිලා වැදගත් වෙයි.
සමාජ වෙළෙඳ‍පොළ ආර්ථිකය යන්නෙන් අදහස් වන්නේ කුමක්දැයි අපි විමසා බැලිය යුත්තෙමු. එවකට ඇන්ග්ලෝ ඇමෙරිකානු (එංගලන්ත ඇමෙරිකානු) ලිබරල් ධනේෂ්වර ආර්ථිකය ජනප්‍රියව පැවැතියේය. එය මූලික වශයෙන් වෙළෙඳ‍පොළ නිදහසේ හැසිරවීමට ඉඩ ලබාදෙන ආර්ථික මූලධර්මයකි. එම කාලයේදීම සෝවියට් දේශය සම්පූර්ණ මැදිහත්වීම හා බොහෝ දුරට රාජ්‍ය අයිතිය යටතේ ක්‍රියාත්මක වූ සැලසුම්ගත ආර්ථිකයක් ක්‍රියාත්මක විය. වෙළෙඳ‍පොළ  නිදහසේ හැසිරීමට ඉඩ ලබාදෙන ලිබරල් ආර්ථිකයත්, රාජ්‍ය හිමිකාරීත්වය සහිත ආර්ථිකයත් අතර සමාජ වෙළෙඳ‍පොළ ආර්ථිකයත් සමාජ ප්‍රජාතන්ත්‍රවාදයත් ස්ථානගත කිරීමට සිදුවෙයි. එසේ ස්ථානගත කිරීමේදී සමාජ ප්‍රජාතන්ත්‍රවාදය වඩාත් වාම අදහසක් සේ සැලකෙයි. එම වාම අදහසේ දක්ෂිණාංශික ප්‍රකාශය වන්නේ සමාජ වෙළෙඳ‍පොළ ආර්ථිකයයි. සමාජ ප්‍රජාතන්ත්‍රවාදය මොඩලයෙන් රාජ්‍ය නිෂ්පාදන කටයුතු සඳහා මැදිහත්වන බව අදහස් වෙයි. එමෙන්ම ඇතැම් පුද්ගලික ව්‍යවසායන් ජනසතු කිරීම වැනි ක්‍රියාවන් සමාජ ප්‍රජාතන්ත්‍රවාදය තුළ අත්විඳීමට සිදුවෙයි. සමාජ ප්‍රජාතන්ත්‍රවාදය, සමාජයේ පරිපාලන පන්තිය, වෘත්තීය සමිති, කම්කරු පන්තිය හා සමාජයේ පහළ පන්තිය අතර වන ගිවිසුමක් සමාජ ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික පදනමයි.
යුරෝපීය දේශපාලන කතිකාවේ දක්ෂිණාංශිකය නියෝජනය වන්නේ සමාජ වෙළෙඳ‍පොළ ආර්ථිකය මගිනි. සමාජ වෙළෙඳ‍පොළ ආර්ථිකයක් තුළ ආණ්ඩුවක් ජනසතු කිරීම්වලට යන්නේ නැත. එහෙත් එංගලන්ත – ඇමෙරිකානු ක්‍රමය මෙන් ආර්ථිකය පූර්ණ නිදහසේ ගලා යාමේ අවස්ථාව ලබාදෙන්නේ නැත. පූර්ණ වශයෙන් රාජ්‍ය ආර්ථිකයේ කටයුතුවලින් වියුක්තව සිටින්නේ නැත. විශේෂයෙන්ම මූල්‍ය ප්‍රතිපත්තිය, පිස්කල් ප්‍රතිපත්තිය, ණය ප්‍රතිපත්තිය, වෙළෙඳ ප්‍රතිපත්තිය, බදු ප්‍රතිපත්තිය හරහා යම් හැසිරවීමක් කරමින් සමාජ සුබසාධන ක්‍රියාමාර්ගයක් අනුගමනය කරයි. සමාජ වෙළෙඳ‍පොළ ආර්ථිකය හා සමාජ ප්‍රජාතන්ත්‍රවාදයත් බටහිර ජර්මනිය තුළ ක්‍රියාත්මක වන ආකාරය දක්නට ලැබෙයි. ප්‍රායෝගිකව ක්‍රියාත්මක වන විට සමාජ වෙළෙඳ‍පොළ ආර්ථිකය හා සමාජ ප්‍රජාතන්ත්‍රවාදයත් අතර පැහැදිලි වෙනස්කමක් දක්නට ලැබෙන්නේ නැත. එක් ක්‍රමයක වඩා දක්ෂිණාංශික නැඹුරුවක් ඇති අතර අනෙක් ක්‍රමයේ වඩා වාමාංශික නැඹුරුවක් දක්නට ලැබේ. ප්‍රායෝගිකව දක්නට ලැබෙන එකම වෙනස්කම වන්නේ එය පමණි.
සමාජ වෙළෙඳ‍පොළ ආර්ථිකය ජර්මනිය තුළ ජනප්‍රිය වීම නිසා එය රයින් ධනවාදය ලෙසත් හඳුන්වනු ලැබේ. මේ අදහස ක්‍රියාවට නංවන්නේ ඉතාමත් සුවිශේෂී ඓතිහාසික සන්දර්භයක් තුළය. දෙවැනි ලෝක යුද්ධයත් සමග හිට්ලර්ගේ ජර්මනිය පරාජයට පත්වෙයි. ජර්මනිය මිත්‍ර හමුදාවන්ට යටත් වෙයි. දෙවැනි ලෝක යුද්ධය අවසන් වූ පසුව ජයග්‍රාහී රටවල් පරාජිත ජර්මනියට අති දැවැන්ත බදු, වන්දි බරක් පටවයි. එම බර ජර්මනි ආර්ථිකයට දරාගැනීමට හැකියාව ලැබෙන්නේ නැත. එම කාලය තුළ සුප්‍රසිද්ධ ආර්ථික විද්‍යාඥයෙක් වන කේන්ස් සාමිවරයා පරාජිත ජර්මනියට මෙවැනි බරක් පැටවීම සම්බන්ධයෙන් දොස් පවරනු ලැබුවේය.
දෙවැනි ලෝක යුද්ධය අවසන්වී කාලයක් ගත වන විට ජයග්‍රාහී රටවල් මීට වඩා වෙනස් ප්‍රතිපත්තියක් අනුගමනය කළේය. දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව ඇමෙරිකාව විසින් යුරෝපය සංවර්ධනය කිරීමට ඇමෙරිකාව අති විශාල ධනස්කන්ධයක් යුරෝපානු රටවල් වෙත ‍පොම්ප කළේය. මෙම තත්ත්වය තුළ සමාජ වෙළෙඳ‍පොළ ආර්ථිකය යන සංකල්පය වඩාත් වර්ධනය විය. ඇමෙරිකාව විසින් ‍පොම්ප කළ ධනය විශේෂ හැසිරවීමක් නොමැතිව පුද්ගලික අංශයට පාලනය කළ නොහැකි විය. ආර්ථිකය හැසිරවීමට හා ප්‍රාග්ධනය නිසි තැන්වලට යොමු කිරීමට රාජ්‍ය මැදිහත්වීම දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව කාලයේදී යුරෝපය තුළ දක්නට ලැබුණේය. මේ අදහස යටතේ සමාජ වෙළෙඳ‍පොළ ආර්ථිකය ක්‍රියාත්මක වෙයි.
නමුත් සමාජ වෙළෙඳ‍පොළ ආර්ථිකය යන අදහස 1970 හා 80 දශක වනවිට ආන්දෝලනයකට තුඩු දුන්නේය. එය කවුරුන්වත් පිළිනොගන්නා ප්‍රායෝගික යැයි  පිළිනොගන්නා ආර්ථික සංකල්පයක් බවට පත්විය. එංගලන්ත – ඇමෙරිකානු ආර්ථික මූලධර්මයට වෙනස්ව කම්කරුවන් බඳවා ගැනීමේදී වැඩි ආරක්ෂාවක් ලබාදීම සමාජ වෙළෙඳ‍පොළ ආර්ථිකය තුළ දක්නට ලැබුණේය.
1990 දශකයේදී ජර්මනියේ මුළු ආර්ථික ප්‍රතිපත්තියම කඩා වැටුණේය. 1990 වනවිට ලෝකය ධනේෂ්වර ක්‍රමය අතහැර නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්තියක් වෙත ගමන් කළේය. නව ලිබරල් ආර්ථිකය ක්‍රියාත්මක යනු සමාජ ප්‍රජාතන්ත්‍රවාදය හා සමාජ වෙළෙඳ‍පොළ ආර්ථිකය අද සමාජයට නොගැළපෙන බව පවසමින් ඇතිකරගත් ආර්ථික ක්‍රමවේදයයි. සමාජ ප්‍රජාතන්ත්‍රවාදය හා සමාජ වෙළෙඳ‍පොළ ආර්ථිකය තවදුරටත් සුදුසු නැත යන පදනම මත නව ලිබරල් ආර්ථිකය බිහිවිය.
අද වන විට සමාජ වෙළෙඳ‍පොළ ආර්ථිකය ලෝකයේ කිසියම් රටක ක්‍රියාත්මක වන්නේ දැයි විමසා බැලුවහොත් පැවැසිය හැක්කේ ලෝකයේ කිසිදු රටක එවැන්නක් ක්‍රියාත්මක නොවන බවය. එපමණක් නොව සමාජ වෙළෙඳ‍පොළ ආර්ථිකය යම් ආකාරයකට ක්‍රියාත්මක කිරීම උත්සාහ කළ ග්‍රීසිය වැනි රටවල ආර්ථිකය කඩා වැටුණේය. එම සියලු ප්‍රතිපත්ති අතහැරිය යුතු බවට පසුගිය කාලයේදී ග්‍රීසියට බලපෑම් එල්ල විය. යුරෝපය හෝ වෙනත් කිසිදු බටහිර රටක සමාජ වෙළෙඳ‍පොළ ආර්ථිකය යළිත් ක්‍රියාත්මක කළ යුතු යැයි කිසිදු රටක් බලපෑම් කරන්නේ නැත. එහි වලංගු භාවය මේ වන විට සම්පූර්ණයෙන්ම නැතිවී තිබේ. එවැනි සන්දර්භයක් තුළ සමාජ වෙළෙඳ‍පොළ ආර්ථික සංකල්පය නැවත ලංකාවේ සමාජ ගතවෙමින් තිබේ.
මීට වසර විස්සකට පමණ පෙරදී ජර්මන් සහභාගිත්වය ඇතිව කොළඹදී සම්මන්ත්‍රණයක් පැවැත්විණි. එහිදී සමාජ වෙළෙඳ‍පොළ ආර්ථිකය ගැන සඳහන් කළ එක්තරා ජර්මන් මහාචාර්යවරයෙක් පැවැසුවේ සමාජ වෙළෙඳ‍පොළ ආර්ථිකය, ඇමෙරිකානු ආර්ථිකයෙන් වෙනස් වන්නේ ශ්‍රම වෙළෙඳ‍පොළේ ශ්‍රම සුරක්ෂිතතාවය අනුව බවයි. ලාංකික වෙළෙඳ‍පොළේ ශ්‍රම සුරක්ෂිතතාවය අනතුරකට ගමන් කරමින් තිබේ. අද වන විට ඇති මෑන් පවර් ඒජන්සි සංකල්පය තුළ තමන්ගේ හාම්පුතා කවුරුන්ද යන්න තෝරා බේරාගැනීමට ශ්‍රමිකයින්ට නොහැකි තත්ත්වයක් ඇති වෙයි. තමන් වැඩ කරන සමාගම ගිවිසුම්ගතව සිටින සමාගමට මෑන් පවර් සේවකයින්ගේ අයිතිය හිමිව තිබේ. එම නිසා ශ්‍රමිකයින් සම්බන්ධයෙන් ඇත්තේ අස්ථාවර තත්ත්වයකි. නිදහස් වෙළෙඳ කලාපයේ පුද්ගලික ආයතනවල මෙය විශාල වසංගතයක් ලෙස පැතිර යමින් තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශය දෙස බැලූ විට වෘත්තීය සුරක්ෂිතතාවය තහවුරු කිරීමට පියවර ගෙන ඇති බවක් පෙනෙන්නට නැත. සමාජ වෙළෙඳ‍පොළ ආර්ථිකය ගැන කතා කරන විට එහි ඇති සාධාරණ අංග ලක්ෂණ ඉවත් කරමින් නව ලිබරල් ආර්ථික රාමුව තුළ දේශපාලන පක්ෂ කටයුතු කරයි. සමාජයේ පහළ පන්තියට ඇති සුරක්ෂිතතාවය අහිමි කරන තැනකට ගමන් කරමින් සිටී.
ලංකාවේ ශ්‍රම වෙළෙඳ‍පොළ ලිහිල් කළ යුතු බව පසුගිය කාලයේදී මතුවූ අදහසකි. ලෝක බැංකුව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දිගින් දිගටම එම ඉල්ලීම ලංකාවට ඉදිරිපත් කළේය. එය සරලව පැවැසුවහොත් සේවයට බඳවා ගැනීම හා සේවයෙන් ඉවත් කිරීම පහසු කරන්නැයි ඔවුහු ඉල්ලා සිටියහ. ලංකාවේ සිටින වාණිජ මණ්ඩලය වැනි ආයතන කරන්නේද මෙවැනි ඉල්ලීමකි. එම නිදහස බොහෝ ප්‍රතිපත්ති මාලාවල දක්නට ලැබේ. පසුගිය ආණ්ඩු අනුගමනය කිරීමට උත්සාහ කළේ මෙවැනි ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමටය. එහෙත් වෘත්තීය සමිතිවල උද්ඝෝෂණ නිසා එවැනි ප්‍රතිපත්තියක් සම්පූර්ණයෙන්ම ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේ අවස්ථාව උදාවූයේ නැත.
ලංකාවේ සමාජ වෙළෙඳ‍පොළ ආර්ථිකය ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරන පක්ෂ කම්කරුවන්ගේ වෘත්තීය සුරක්ෂිතතාවය තහවුරු කරන්නේ කෙසේදැයි පැහැදිලි කළ යුතුය. කම්කරුවන්ගේ වෘත්තීය සමිති අයිතිවාසිකම් මෙන්ම ඔවුන්ගේ වැඩ තත්ත්වයන් පිළිබඳ පැහැදිලි කිරීමක්ද කළ යුතුය. දෙවනුව ආණ්ඩුව ආර්ථිකයට මැදිහත් වන ආකාරය පැහැදිලි කළ යුතුය. නව ලිබරල් ආර්ථිකය තුළ සුබසාධනය කපාදැමිය යුතු බවත් ඒවා නාස්තිකාර වියදම් ලෙසත් අදහස් මතුවිය. ඒවා කපා දැමූ විට සමාජ වෙළෙඳ‍පොළ ආර්ථිකයේ සුබසාධන මූලධර්ම ක්‍රියාත්මක කරන්නේ කෙසේද යන්න ගැන ප්‍රශ්න කළ යුතුය.

සාකච්ඡා කළේ සංජය නල්ලපෙරුම

Source : Lakbima