කඩ්ඩේ රැස්‌ නැත

0
1290

මහඋස්‌වැව ශ්‍රී රතනපාල විදුහලේ දරුවන්ගේ කතාව

* ඉස්‌කෝලෙ ඉංග්‍රීසි උගන්වන්න පටන් ගන්නේ පාන්දර 5 ට
* ගුරුතුමා ඉස්‌කෝලෙට එන්නෙ කිලෝමීටර 40 මෝටර් සයිකල් පැදන්
* දරුවො ඉංග්‍රීසි කතා කරන්නෙ එංගලන්තෙ ළමයි වගේ

නගරයේ උසස්‌ පාසලක සිසු දරුවනට මෙන් තමනටද ඉතා උසස්‌ ලෙස ඉංග්‍රීසි භාෂාව, වතුර මෙන් චතුර ලෙස කතා කළ හැකි බව ඒ ගම්බද දරුවෝ ක්‍රියාවෙන්ම රටට ඔප්පු කළහ. “කඩුව” නමැති ආයුධය තමන්ටද හොඳින් භාවිත කළ හැකි බව ඔවුහු පෙන්වා දුන්හ.

ඉංග්‍රීසි කතා කිරීම නගරයේ දරුවන්ට “අරුමයක්‌” නොවෙතත්, අඩු තරමේ ඉංග්‍රීසි පත්තරයක්‌ වත් නැති, ඉංග්‍රීසි අකුරකුදු නොදන්නා හේන්, කුඹුරු ගොවීන්ගේ දූ පුතුන් වන ගැමි දරුවනට නම් ඉංග්‍රීසිය කරුමයක්‌මය. එසේ තිබියදී මේ ගම්බද දරුවෝ ඒ දස්‌කම කළේ කෙසේද…?

ඉංග්‍රීසි කතා කරන ඉස්‌කෝලෙ සොයා මම බොහෝ දුරක්‌ ගියෙමි. ගම්බද පාසල්වලද, ගැමි දරුවන්ගේ දෙමාපියන්ගේද ආර්ථික දුෂ්කරතාව, අසීරු ජීවන රටාව හොඳින් හඳුනන මා අතරමගදී දිගටම සිතමින් ගියේ දරුවන් මේ අසීරු ක්‍රියාවලිය කෙසේ සිදු කරන්නේ දැයි සිතමිනි.

ආණමඩුව නගරයේ සිට නවගත්තේගම මාර්ගයේ කිලෝමීටර් දොළහක්‌ පමණ දුර ගෙවා ගොවීන් වෙසෙන මහඋස්‌වැව ප්‍රදේශයේ මහඋස්‌වැව ශ්‍රී රතනපාල විදුහලට පිවිසුණෙමි. ඒ “ගමේ ඉංග්‍රීසි ඉස්‌කෝලෙ” යි.

eng2ගම්බද පාසල්වල වසර ගණන් ඉංග්‍රීසි ගුරුවරුන්ගේ හිඟයක්‌ පවතින බවත්, පැමිණෙන ගුරුවරයාද කඩිනමින් කුරුණෑගල පැත්තට මාරුවන බවත්, ගම්බද මේ කටුක දුක වළඳනවාට වඩා නගරයේ පාසලකට ළංවී “ටියුෂන් පාරක්‌” දමාගෙන සුතව සිටීම යෙහෙකැයි ඇතැම් ගුරුවරුන් සිතන පතන ක්‍රියා කරන නිසාත් මේ දරුවන්ගේ අපූරු වෙනස මා හට මහත් කුතුහලයක්‌ ද ඇති කළේය.

මුලින්ම මා හමු වුණේ විදුහලේ විදුහල්පති එස්‌. ඒ. තිලකසිරි මහත්මා ය. “රතු ඉරෙන්” ගුරුවරුන් පාලනය නොකරන, කරුණාවෙන්, දයාවෙන් හා බුද්ධිමත්ව තම ගුරුවරුන් ඉදිරියට ගෙන යන තිලකසිරි මහත්මා මා හට පැවසුවේ මෙසේය.

අපේ පාසලේ ඉංග්‍රීසි ගුරුවරයකුගේ පුරප්පාඩු තිබුණු වේලේ අපට ආරංචි වූවා දක්‍ෂ ඉංග්‍රීසි ගුරුවරයෙක්‌ හදිසියේ පාසලකින් ස්‌ථාන මාරු ලබා කුරුණෑගල පැත්තට යැමට සූදානම් වී සිටින බවට. මමත්, අප ක්‍රියාකාරී පාසල් සංවර්ධන මණ්‌ඩලයත් එක්‌වී ප්‍රදේශයේ ඉංග්‍රීසි ගුරු උපදේශක පද්මසිරි හේරත් මහතාටත්, පුත්තලම කලාප අධ්‍යාපන නියෝජ්‍ය අධ්‍යක්‍ෂ අර්ජුන මහතාටත් මේ ගැන දන්වා එවකට කලාප අධ්‍යක්‍ෂවරයාව සිටි ගාමිණී බණ්‌ඩාර මහතා ලවා නීල් නවරත්න නම් ඉංග්‍රීසි ගුරුතුමා අප පාසලට ලබා ගත්තා.

ඒ මහතාගේ මූලික සංකල්පයක්‌ව පැවැති පාසල් දරුවන්ට ඉංග්‍රීසි උගැන්වීම, කථනය හා භාවිතය පිළිබඳ ව්‍යාපෘතිය අපට හා ගමේ උදවියට පහදා දුන්නා. එහි සඳහන් පරිදි උදේ පහේ සිට දරුවන්ට ඉංග්‍රීසි ක්‍රියාකාරකම් කරවිය යුතු බවද, පංති කාමර වේලාව මඳ බවද ඒ මහතා පෙන්වා දුන් පසු දෙමාපියන් පැවසුවා. දරුවන්ට හොඳින් ඉංග්‍රීසි උගන්වනවා නම් තමන් කෙසේ හෝ ඒ සඳහා කැපවන බවට.

අපේ දෙමාපියෝ හරිම ඉහළයි. ඔවුන්ගේ දරුවන් හැතැප්ම 10- 15 දුරින් සිට සමහරුන් 18-20 දුරින් පාපැදිවලින් එන්නේ. ළමයින් උදේ පහට පාසල් ගේන්නට දෙමාපියන් පාන්දර දෙකට තුනට අවදිවෙලා, කෑම මොනවා හරි උයාගෙන දරුවන් උදේම අරගෙන ආවා. ඒ එන්නේ මෙහි හැම තැනම වල් අලින් අරක්‌ගෙන සිටියදී. වල් අලින්ගෙන් බේරී මේ දරුවන් ඔවුන් රැගෙන ආවේ ඉංග්‍රීසි උගන්වන්න ඇති ඕනෑකම නිසාමයි.

දෙමව්පියන් ඒ මදිවාට ළමුන්ට නිදහසේ ඉගෙන ගැනීමට රුපියල් ලක්‍ෂ තුනක්‌ (03) පමණ එකතුකොට ශබ්ද විකාශන යන්ත්‍ර මෙවලම්ද ප්ලාස්‌ටික්‌ පුටු තුන්සීයක්‌ද ලබා දුන්නා. ඔවුන් පාන්දර පැමිණ ළමුන් ආරක්‌ෂිතව පාසලට බාර දුන්නා. නීල් මහතා ඉගැන්වූවා. ඒ මහතාද කි.මී. හතළිහක (40) දුර ඉඳන් උදේ යතුරුපැදියේ පැමිණෙන්නේ. ගුරුවරු සැවොම උපකාර කළා. අද අපට සතුටුයි. අපේ දරුවන් ඉතා චතුර ලෙස ශූර ලෙස ඉංග්‍රීසි කතා කරනවා. අපි දරුවන්ට ඉගැන්වූයේ ඉංග්‍රීසි පමණක්‌ම නොවෙයි. අපි ඒ සමග ආදරය, දයාව, මනුස්‌සකම ඉගැන්වූ නිසා ළමුන් ආදරයෙන් ඒ විශ්ව භාෂාව ඉක්‌මනින් ඉගෙන ගත්තා.

ළමුන් ඉංග්‍රීසියට හුරු කරවීමට දිව හුරු කරවීමට මුලික වූ ඉංග්‍රීසි ගුරුතුමා නීල් නවරත්න මහතා හමු වුණෙමි.

“දරුවන්ට මම අලුතින් යමක්‌ දුන්නේ නැහැ. දරුවා තුළ සැඟවී බිය වී සිටිනා ඉංග්‍රීසි මිනිසා මා එළියට ගත්තා.”

“මා කුඩා තැනින් පහළම තැනින් ඉංග්‍රීසි දරුවන්ට උගන්වමින් පරිසරයට අනුගත කරමින් හා දරුවන් අභිප්‍රේරණය (MOTIVATE මෝටිවේට්‌) කරමින් දරුවන්ගේ මානසිකත්වය උසස්‌ තලයකට රැගෙන ආවා.

“සිංහල හොඳින් කතා කරන ඕනෑම ළමයෙකුට ඉංග්‍රීසිත් හොඳින් කතා කළ හැකියි. තම මවු භාෂාව හොඳින් වහරන අයෙකුට ඉංග්‍රීසිද හොඳින් කතා කළ හැකි බව ඔවුන්ම නොදැනීම තමයි මෙහි වැරැද්ද. ඒ රහස්‌ යතුර සොයා ගත්දා ඔහු ඉංග්‍රීසි විජිතයේ “ර-ජුරුවෝ” බවට පත්වනවා. එවිටයි “කඩුව” රජතුමාට උරුම වන්නේ. කඩුව රජතුමාට ආභරණයක්‌ වගේම ආඩම්බරයක්‌. මගේ මූලිකම සංකල්පය වනුයේ චීත්ත, ගවුම්, සරොම් අඳින ගම්බද දරුවන්ටත් ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් බව ලොවටම, රටටම පෙන්වාදීමයි. මේ විශ්වයේ සසරේ අප විසින් ඉටුකළ යුතු මහා මෙහෙවරින් කොටසක්‌ තමයි අඳුරු කුටිවල සිටින දරුවන්, මිනිසුන් එළියට ගෙන ප්‍රභාස්‌වරය පෙන්නා දීම… ලබාදීම.”

දරුවන්ට ඉංග්‍රීසි ඉගැන්වීමට ඔහුට ලැබී ඇති හැකියාවේ “රහස” ද ඒ සමග මට අවබෝධ විණි.

නීල් ගුරුතුමා මහඋස්‌වැව පාසලට ගෙන ඒමට පාර කැපූ ඉංග්‍රීසි ගුරු උපදේශක පද්මසිරි හේරත් මහතා අප හා සංවාදයට එක්‌විය.

මා වැඩබලන ඉංග්‍රීසි අධ්‍යක්‍ෂව සිටි සමයේ දී මේ දක්‍ෂ ගුරුතුමා දැක දැන හැඳින ගත්තා. ඔහු උසස්‌ මනසක්‌ද, නිරවුල් ක්‍රියාකාරකම්ද ඇති නිර්මාණශීලී ඉංග්‍රීසි ගුරුවරයෙක්‌. ඔහු ඔහුගේ නිර්මාණශීලී ක්‍රියාකාරකමයි. මෙහිදී දරුවන්ට ඉංග්‍රීසි ඉගැන්වීමට භාවිත කළේ.

පුත්තලම කලාප අධ්‍යාපන නියෝජ්‍ය අධ්‍යක්‍ෂ අර්ජුන මහතා මෙසේ අදහස්‌ දැක්‌විය.

පුත්තලම කලාපයේ පාසල් 202 (දෙසීය දෙකක්‌) තිබෙනවා. ඒ වගේමයි පුත්තලම දිස්‌ත්‍රික්‌කයේත් තව සිය ගණනක්‌ පාසල් අතුරින් මෙවැනි ඉංග්‍රීසි ව්‍යාපෘතියක්‌ සිදු කරන එකම පාසල නීල් මහතා ඉංග්‍රීසි උගන්වන මහඋස්‌වැව රතනපාල මහ විදුහලයි. එහි විදුහල්පති, ගුරුවරුද විශේෂයෙන් දැඩි සේ වෙහෙසෙන දෙමාපියන්ගේද කැපවීම මත මෙම දරු දැරියන් අද ඉතා සමර්ථ ලෙස ඉංග්‍රීසි කතා කරනවා.

පාසලේ පංති කාමර කාලච්ඡේදය තුළදී ඉංග්‍රීසි වගේ අසීරු, දුරස්‌ථ විෂයයක්‌ ඉගැන්වීමට අසීරු නිසා උදය පාන්දර ළමුන්ට ඉගැන්වීම මෙහිදී සිදු කර තිබුණා. ළමුන්ගේ කැපවීමද, ගුරුතුමාගේ දක්‍ෂතාවද අනික්‌ පිරිසගේ ඕනෑකමද, ධෛර්යයද නිසා අද දරුවන් නගරයේ ජාත්‍යන්තර පාසලක දරුවන් සේ ඉංග්‍රීසි කතා කරනවා. මේ අත්දැකීම අප අනෙක්‌ පාසල්වලටත් රැගෙන යනවා. අපට මැනගත හැකියි අන් ගුරුවරුන්ගේත් හැකියාවන්.

අපගේ කලාපයේ ඉංග්‍රීසිවල අ.පො.ස. සා.පෙළ දී සමත් වීමේ ප්‍රතිශතය සියයට විසිනවයක්‌. (29%) මේ සඳහා හේතු රැසක්‌ තිබෙනවා. ඉංග්‍රීසි ගුරු හිඟය, ළමුන් ඉංග්‍රීසියට දක්‌වන බිය හා කම්මැළිකම මේ ආධුනික විෂයය ළමුන්ට සමීප කරවීමේදී ඇති ගැටලු හා තවත් හේතු.

මේ පාසලේ මේ ක්‍රියාකාරකම නිසා මෙම පාසල විශිෂ්ට ව්‍යවහාර ඇගයීම් යටතට නිර්දේශ වනවා. අලි කරදර, ආර්ථික පීඩා විඳින ගම්බද දෙමාපියන්ගේ දරුවන් මෙලෙස ඉදිරියට ඒම පාසලටද අධ්‍යාපන දෙපාර්තමේන්තුවටද සාඩම්බරයක්‌.

මේ සාඩම්බර බවේ හිමිකරුවෙකු වීමට පසු දිනෙක මාහටද අවස්‌ථාවක්‌ ලැබුණි. ඒ මෙම පාසලේ දරුවන් ඉංග්‍රීසි දස්‌කම් විස්‌කම් ප්‍රදර්ශනය කළ උළෙලකදීය. ඔවුන් එය හඳුන්වා තිබුණේ “ග්‍රාමීය අභිමානය” නැතිනම් “ගමේ සාඩම්බරය” යන සිංහල අරුත් ගැන්වෙන ඉංග්‍රීසි වදන්වලිනි. (REMOTE DIGNITY රිමෝට්‌ ඩිග්නිටි) ඒ අරුත් පණ ගැන්වෙන පරිදි සියලුම ක්‍රියාකාරකම්, ඉදිකිරීම් ග්‍රාමීය පරිසරානුකූලව සකස්‌ කොට තිබුණි.

පාසලේ භූමියේ කොටසක දඬුවැට, දමාවැට, මාංගු වැට, ඉණිවැට, පැළඉණි වැට ආදී වැටවල් (දැව දඬු යොදා) වෙන්කොට ගැමි “ඉංග්‍රීසි ගම්මානයක්‌” (ඉංග්ලිෂ් විලේ- – ENGLISH VILLAGEෑ) තනා තිබූ අතර එහි ගේට්‌ටුවට යොදා තිබුණේ ද හරස්‌ ඉණි යෙදූ කඩුල්ලකි. ඇතුළත ගහකොළ, වැව, විල් තනා අපූරු පරිසරයක්‌ නිර්මාණය කර තිබූ අතර ඒ හැම පරිසර සාධකයක්‌ම සිංහලෙන් මෙන්ම ඉංග්‍රීසියෙන්ද සටහන් කර තිබෙනු දක්‌නට ලැබුණි.

ඉංග්‍රීසි පත-පොත හා දත්ත තොරතුරු රැගත් පුස්‌තකාලයක්‌, ළමුන්ගේ විවිධ නිර්මාණ ඇතුළත් ප්‍රදර්ශන කුටියක්‌, ඉංග්‍රීසි ගැයුම්, වැයුම්, නැටුම් රැගත් සංගීතමය අංශයක්‌ තනා සකස්‌ කර තිබූ අතර ඉංග්‍රීසියෙන් නාට්‍ය පෙන්වන (වීදි නාට්‍ය) ඉංග්‍රීසියෙන් සාස්‌තර කියන, සල්පිල්වල බඩු විකුණන, දරුවෝ එබිම පිරී සිටියහ. සෑම දෙනා කතා කළේ චතුර ඉංග්‍රීසියෙනි. තම දරුවන් තමන්ගෙන් ඉංග්‍රීසි බසින් යම් යම් දෑ විමසද්දී එහි රැස්‌ව සිටි ගොවි මාපියන් මහත් අපහසුතාවයට පත්වූවත්, ඔවුන්ගේ සිත් කුතුහලයටත්, සතුටටත් පත්වී තිබුණි. දරු දස්‌කම් දැක දෙමාපියේ කඳුළු සැලූහ.

ආරාධිත අමුත්තන් ඇතුළු මාපිය පිරිස පිළිගත්තේ “එස්‌” හතර (S-04) කණ්‌ඩායම මගින් ඔවුන්ගේ ඉංග්‍රීසි සංවාද සමගින්ය. පළමු “එස්‌” කණ්‌ඩායම (සහෘදයෝ) පැවසුවේ මිනිසුන් වන අප ජීවත් විය යුත්තේ දැනුමැති සමාජයක වන හෙයින් අප නිති දැනුම සොයා යා යුතු බවයි. දෙවැනි “එස්‌” කණ්‌ඩායම් (සුසංගතිකයෝ) පැවැසුවේ පරිසරයද සකස්‌ කරගෙන පරිසරයට අනුගතව අප ජීවත් විය යුතු බවය.

තෙවන “එස්‌” කණ්‌ඩායම (සුසරයෝ) පැවසුවේ ජීවිතය වනාහි කටුකව විඳවිය යුතු දෙයක්‌ නොව රස විඳිය යුතු දෙයක්‌ ලෙස නටා ගයා වයා කා බී සතුටින් ගතකළ යුතු බවය. හතරවැනි එස්‌ කණ්‌ඩායම (සුමිත්‍රයෝ) පැවසුවේ ආගමානුකූලව හරවත් ආධ්‍යාත්මයක්‌ ගොඩනඟා ගනිමින් බුද්ධිමත්ව වෙසෙමින් සාමය, සහෝදරත්වය, දයාව, කරුණාව බෙදමින් ජීවිතය ගතකළ යුතු බවයි. ජීවිතය යනු විශ්වයේද, සංසාරයේද අපූරු නවාතැනක්‌ බව මේ දරුවෝ ඉංග්‍රීසි ගැඹුරු බසින් කාටත් අපූරුවට කියා දුන්හ.

මේ දරුවන් ඉංග්‍රීසි ඉගෙනුමෙන් ලබන අවසන් සමස්‌ත ප්‍රතිඵලය ගැන කවර කතාද…?

ඉදිකර තිබූ වේදිකාවක දරුවෝ ඉංග්‍රීසි නාට්‍ය, කතා, ගායනා, වාදන ඉදිරිපත් කළහ. රූපවාහිනි ඉංග්‍රීසි නිවේදිකා නොයෙලින් හොන්ටර් මෙන් චතුර ලෙස ඉංග්‍රීසි නිවේදනය කළේ (කට පාඩමින් තොරව) තවමත් කටේ කිරි සුවඳ නොගිය දැරියක වන සෞම්‍යා දිල්රුක්‍ෂි වීරසිංහයි. ඇයගේ පියා මේසන් බාස්‌ වරයෙකි. මා ඇය විමසූ විට කීවේ නීල් ගුරුතුමා කාරුණිකව ඉංග්‍රීසි උගන්වද්දී තමා දැන සිටියේ ඉංග්‍රීසි අකුරු විසිහය පමණක්‌ම බවයි. අනාගතයේදී ඉංග්‍රීසි කථිකාචාර්ය වරියක වීම තම සිහිනය බව ඇය කිව්වාය. දරුවන්ගේ දස්‌කම් දැක ගැන්මට පැමිණි ඒ. එච්. එම්. මුදියන්සේ මහතා පැවසුවේ, දරුවන්ගේ ඕනෑකමත්, දෙමාපියන්ගේ අප්‍රතිහත කැපවීමත්, විදුහල්පතිතුමා නීල් මහතා ඇතුළු සමස්‌ත ගුරු මණ්‌ඩලයේ වෙහෙසවීමත් මත තම පාසලේ දරුවන් අපූරුවට ඉංග්‍රීසි කතා කරන බවයි.

අනාගත විශ්ව ලෝකයට යැමට හිණිමං පෙත් නැඟ සිටින මේ ගැමි දරුවන්ගෙන් මා සමුගනිද්දී ඔවුහු කසට බැඳුණු දසන් දක්‌වා මා සමග අවිහිංසකව සිනාසුණහ.

ටෙරන්ස්‌ වනිගසිංහ

Source : Divaina