තැපැල් ඡන්ද ක්‍රමය

0
848

ශ්‍රී ලංකාවේ මැතිවරණ නීතිය අනුව ඡන්දය ප්‍රකාශ කිරීම සෑමවිටම ඡන්දය හිමි පුද්ගලයා පෞද්ගලික ඡන්ද මධ්‍යස්ථානයකට ගොස් සිදුකළ යුතුය. ලෝකයේ සමහර රටවල්හී භාවිතා කරනු ලබන බලපත්‍රකරුවකු මගින් ඡන්දය ප්‍රකාශ කිරීමේ ක්‍රමය ලංකාවේ ක්‍රියාත්මක නොවන අතර එවන් විටක අත්‍යාවශ්‍ය රජයේ සේවාවන්ගේ සහ මැතිවරණ රාජකාරිහි නිරතවන පුද්ගලයන්ගේ ඡන්ද අයිතිය අහිමිවීම වැළැක්වීම සඳහා තැපැල් මගින් ඡන්දය ප්‍රකාශ කිරීමේ ක්‍රමය නීතිය මගින් හඳුන්වාදී ඇත. ලංකාවට නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය උරුම කරනු ලබන මහා බ්‍රිතාන්‍යයේ මැතිවරණයන් ආරම්භ වූ යුගයේ මෙන්ම ලංකාවට මැතිවරණ හඳුන්වාදෙන යුගය වනවිටත් එක්තැනක සිට තවත් තැනකට ලිඛිත සන්නිවේදනයක් සිදුකළ හැකි වඩාත් විශ්වසනීය හා ආරක්ෂිත ක්‍රමවේදය තැපෑල වුවද වර්තමානය වන විට තොරතුරු සන්නිවේදනයේ ලබා ඇති දියුණුව තුළ තැපැල් ඡන්දයෙන් ඔබ්බට යන්නා වූ වඩාත් පහසු හා සුරක්ෂිත ක්‍රමවේදයන් හඳුන්වාදිය යුතුද යන්න සිතා බැලීමට කාලය පැමිණ ඇත. කෙසේ වුවද සමස්ත මැතිවරණ ක්‍රමයම සංශෝධනය කළ යුතුව පවතින්නා වූ තත්ත්වය තුළ තැපැල් ඡන්ද ක්‍රමය පමණක් වෙන්කොට හඳුනා ගැනීමේ අවශ්‍යතාවක් නොපවතී.

1988 අංක 15 දරන පාර්ලිමේන්තු මැතිවරණ (සංශෝධන) පනතින් සංශෝධිත 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතට අනුව ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයන්ට, ‍පොලිස්, බන්ධනාගාර, දුම්රිය, තැපැල් හා විදුලි සංදේශ දෙපාර්තමේන්තුවල සේවය කරන සේවකයින් හා නිලධාරින්, ගමනා ගමන මණ්ඩලයක සේවයේ නියුතු සේවකයින්, මැතිවරණ දිනයේ මැතිවරණ කාර්යයන් හා නිරත වන හෝ එසේ සේවයේ නියුක්ත කරනු ලැබිමට ඉඩ ඇති රජයේ සේවයේ හෝ ශ්‍රී ලංකා මහ බැංකුවේ හෝ පළාත් පාලන සේවයේ නිරත නිලධරයන් හා සේවකයන් සහ වෙනත් යම් මැතිවරණ කොට්ඨාසයක තම අපේක්ෂකත්වය නිසා තම ඡන්ද ‍පොළෙහි පෞද්ගලික ඡන්දය දැමීමට නොහැකිවන අපේක්ෂකයකුට තැපැල් ඡන්දය අයදුම් කිරීමේ අයිතිය ඇත. එවන් පුද්ගලයින් තම ඡන්දය තැපෑලෙන් ප්‍රකාශ කිරීමේ අයිතිය ලබා ගැනීම සඳහා මැතිවරණ කොමසාරිස්වරයා විසින් නියම කරනු ලබන කාලය තුළ (මැතිවරණය පවත්වන බවට නිල නිවේදනය කර දින 7ට නොඅඩු සහ දින 14ට නොවැඩි කාලයකදී) අයදුම් කළ යුතු අතර මැතිවරණ කොමසාරිස්වරයා විසින් නියම කරනු ලබන දිනකදී තමන් විසින් ඉල්ලුම් කළ සහතික කිරීමේ නිලධාරියකු ඉදිරියේදී ඡන්දය සලකුණු කිරීම සිදුකළ යුතුය.

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව තැපැල් ඡන්දය සලකුණු කරන දින වශයෙන් අගෝස්තු මස 5 සහ 6 දින නම්කර ඇති අතර ‍පොලිස් සහ අධ්‍යාපන සේවයේ නිරත වූවන්ට විශේෂ දිනයක් ලෙස පසුගිය 3 වන දින ලබාදෙනු ලැබිය. මැතිවරණ කොමසාරිස්වරයාගේ වාර්තා අනුව මෙවර තැපැල් මගින් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඡන්ද දායකයින් 5,66,823ක් සුදුසුකම් ලබා ඇත. යම් පුද්ගලයකු තමන් තැපැල් ඡන්ද දායකයකු ලෙස සලකන මෙන් ඉල්ලීමක් කළ පසු එය සලකා බලනු ලබන තේරීම් භාර නිලධාරියා විසින් සිය තීරණය ලිඛිතව දැනුම් දිය යුතුය. පසුගිය මැතිවරණවලදී විශේෂයෙන් පසුගිය ජනාධිපතිවරණයේදී මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ නිරීක්ෂණය වූයේ බොහොමයක් තැපැල් ඡන්ද අයිතිය යම් යම් හේතූන් මත ප්‍රතික්ෂේප වූවන්ට ඒ පිළිබඳ නිසි පරිදි දැනුම් දීම් නොකර සිටි බවයි. මෙවර මැතිවරණය සම්බන්ධයෙන්ද අයදුම්පත් 62 102 ප්‍රතික්ෂේප වී ඇති බව වාර්තා වී ඇත. මොවුන් සියලු දෙනාට තම අයදුම්පත ප්‍රතික්ෂේප වීම පිළිබඳ ලිඛිතව දැනුම් දී ඇති බවට විශ්වාස කරන අතර යම් පුද්ගලයෙකුට එසේ දැනුම් දීම් සිදුවී නොමැතිනම් ඒ පිළිබඳ මැ.ප්‍ර.නි.ම. දැනුවත් කරන මෙන් ඔවුන්ගෙන් ඉල්ලා සිටිමු.
යම් පුද්ගලයකු තැපැල් ඡන්දදායකයකු ලෙස සලකනු ලැබිමට සුදුසුකම් ලබා ඇතිනම්, පාර්ලිමේන්තු මැතිවරණ පනතට අනුව ඒ එක් එක් තැනැත්තාට ඔහු විසින් සපයා ඇති ලිපිනයට ඡන්ද පත්‍රිකාවක්, අනන්‍යතා ප්‍රකාශයේ ආකෘතියක්, සලකුණු කළ ඡන්ද පත්‍රිකාව විධිමත් ලෙස සලකුණු කර ආපසු එවීමේදී බහාලිය යුතු ලියුම් කවරයක් සහ ඉහත සඳහන් ‍ලේඛන ආපසු යැවීම සඳහා ලියුම් කවරයක් ඉක්මනින් තැපෑලෙන් ලබාදිය යුතුය. තමන් විසින්ම සහතික කිරීමේ නිලධාරියකු ලෙස කටයුතු කිරීමට සුදුසුකම් ලබා ඇති අයට ඔහු ඉල්ලා ඇති ලිපිනයටද, එසේ හිමිකම් නොමැති නම් ඔහුගේ ඉල්ලුම්පතේ සඳහන් සහතික කිරීමේ නිලධාරියාගේ භාරයටද එම කවර තැපැල් කරනු ඇත.

කලක් සිට පවත්වාගෙන ආ භාවිතය අනුව තැපැල් ඡන්ද අයදුම් කිරීම් ආයතන මට්ටමින් සිදුවන අතර සහතික කිරීමේ නිලධාරියකු වන එම ආයතනයේ ප්‍රධානියකුට තැපැල් ඡන්ද පත්‍රිකා යැවීම සිදුවනු ඇත.
තැපැල් ඡන්ද හිමිකම් ලැබූ අය තම සහතික කිරීමේ නිලධාරියාගෙන් තමන්ගේ අනන්‍යතා ප්‍රකාශයේ ආකෘතිය සහ ඡන්ද පත්‍රිකාව බාහාලූ ලියුම් කවරය ලබාගත යුතුය. එසේම අනන්‍යතා ප්‍රකාශයේ දැක්වෙන ඡන්ද පත්‍රිකා අනුක්‍රමික අංකය ඡන්ද පත්‍රිකාවේ අංකය සමග සමානද යන්න පරීක්ෂා කළ හැකිය. අනන්‍යතා ප්‍රකාශය අත්සන් කිරීම සාක්ෂිකරු වශයෙන් ක්‍රියා කළ යුතු නිලධාරියකු ඉදිරිපිටදී සිදුකළ යුතුය.

සාමාන්‍ය ඡන්ද සලකුණු කිරීමේදී මෙන්ම තැපැල් ඡන්ද සලකුණු කිරීමේදී ද ඡන්දයේ රහසිගත භාවය ආරක්ෂා කළ යුතුය. එසේ හෙයින් ඡන්ද දායකයා ඡන්දය ලබා දෙන්නේ කවර ආකාරයටද යන්න කිසිම තැනැත්තෙකුට දැකීමට ඉඩ නොලැබෙන ආකාරයෙන් සලකුණු කිරීමේ ස්ථාන සකස් කර තිබිය යුතුය. එමෙන්ම ඔහුට කිසිදු බලපෑමකින් තොරව ඡන්දය සලකුණු කිරීමේ ඉඩකඩ සහතික කළ යුතුය. එසේ නොමැතිව සලකුණු කරනු ලබන සෑම ඡන්දයක්ම දූෂිත ඡන්දයක් වනු ඇත.
තැපැල් ඡන්දය සලකුණු කළ වහාම තම සාක්ෂිකරුගෙන් ලබාගන්නා ඡන්ද පත්‍රිකා ලියුම් කවරය යනුවෙන් මුද්‍රිත කවරයෙක් බහා නොගැළවෙන සේ ඇලවිය යුතුය. ඉන්පසු ලියුම් කවරය ඡන්ද දායකයා සහ සාක්ෂිකරු ඉදිරිපිටදී මුද්‍රා තැබිය යුතුය. ඉන්පසු තම අනන්‍යතා ප්‍රකාශ මුද්‍රා තැබූ ලියුම් කවරය සමග තේරීම් භාර නිලධාරියාට ඔහුගේ නමට ඇති ලියුම් කවරයේ බහා යැවීම සඳහා සහතික කිරීමේ නිලධාරියාට භාර දිය යුතුය.

සාමාන්‍ය ඡන්ද ප්‍රකාශ කිරීමකදී මෙන්ම ඡන්ද සලකුණු කිරීම සිදුවන භූමියේ ප්‍රචාරක කටයුතු කිරීම, ඡන්ද ආයාචනය කිරීම, ඡන්ද මිලදී ගැනීම හෝ වෙනත් තුටු පඬුරු ලබාදීම නීති විරෝධී කටයුතු වේ. ඒ ඒ මධ්‍යස්ථාන සඳහා පත් කළ දේශපාලන පක්ෂ නියෝජිතයිනට ඡන්ද සලකුණු කිරීමේ මධ්‍යස්ථානයේ රැඳී සිටිය හැකි අතර ඔවුන් ඡන්දය සලකුණු කිරීමට බාධාවක් නොවන අයුරින් කටයුතු කළ යුතුය. මැතිවරණ නිරීක්ෂකයින් වශයෙන් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ නිරීක්ෂකයින් තෝරාගත් මධ්‍යස්ථානවල නිරීක්ෂණයේ යෙදෙනු ඇත.

පසුගිය මැතිවරණ වලදී තැපැල් ඡන්දය පවතින ආයතනවල සිදුවූ මැතිවරණ ප්‍රචාරක කටයුතු හා බලපෑම් කිරීම් පිළිබඳ වාර්තාවන් මැ.ප්‍ර.නි.ම.ට ලැබි ඇති හෙයින් එවන් තත්ත්වයක් ඇතිවුවහොත් වහාම ප්‍රදේශයේ සහකාර මැතිවරණ කොමසාරිස්වරයාට දැන්වීමට කටයුතු කරන මෙන් මතක් කර සිටිමි.

නීතිඥ ඩී.එම්. දිසානායක
උපදේශක මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය
Source : :Lakbima