ප්‍රජාතන්ත්‍රවාදය එහි සැබෑ අරුතින්ම ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත වන බවට සුබ පෙරනිමිති මේ වන විට පහළ වෙමින් තිබේ. ලේ වැකි සන්නද්ධ කැරලි දෙකකට සහ තිස් අවුරුදු බෙදුම්වාදී යුද්ධයක ව්‍යසනයන්ට මුහුණ දුන් රටකට මෙය සැබවින්ම අස්වැසිල්ලට කරුණකි. විශේෂයෙන්ම අතීතයේදී අවිගත් පාර්ශ්වයන් වෙතින්ම තමන් යළිත් කිසි දිනක සන්නද්ධ අරගලයේ මාවතට නොපිවිසෙන බවට සහතිකයක් ලැබිම බෙහෙවින්ම ආශ්වාදජනකය.
ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා, ඔවුන්ගේ මැතිවරණ ප්‍රකාශය ‘හෘද සාක්ෂියේ සම්මුතිය’ එළිදැක්වීමේ උත්සවයේදී මෙම කරුණු අවධාරණය කළේය. ඔහු පැහැදිලිව කියා සිටියේ වර්තමාන සමාජ, දේශපාලන සන්දර්භය තුළ සන්නද්ධ අරගලය යනු යල්පැන ගිය භාවිතාවක් බවය.තම පක්ෂය යළිත් කිසි දිනක සන්නද්ධ අරගලයේ මාවතට නොඑළඹෙන බවට සපථ කළ ඔහු, අතීත සන්නද්ධ අරගල දෙක හේතුකොටගෙන විපතට පත් අය වෙනුවෙන් සිය හදවතේ ගැඹුරුම තැනින් කම්පනය පළකරන බවත්, ශෝකවන බවත් කීය.
දෙවන සුබාරංචිය ගෙන ආවේ මෙවර මහ මැතිවරණයට යාපනය දිස්ත්‍රික්කය සඳහා ස්වාධීනව තරගවදින හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ගෙන් සමන්විත කණ්ඩායමේ නායකයාය. තම කණ්ඩායමේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වමින් උදයන් පුවත්පතේ හිටපු කතුවර නඩේෂපිල්‍ලේ විද්‍යාදරන් මහතා පවසා තිබුණේ නැවත ආයුධ සන්නද්ධ අරගලයකට යෑමට තමන්ගේ කණ්ඩායමේ කිසිම බලාපොරොත්තුවක් නොමැති බවය.
ඊළම පතා එල්.ටී.ටී.ඊ. සංවිධානය වෙනුවෙන් අතීතයේ සටන් වැදුණු පිරිසක් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට එක්ව මහ මැතිවරණයට තරග කිරීමත්, වාර්ගික ගැටලුවට ඔවුන් ප්‍රජාතන්ත්‍රවාදී විසඳුමක් සෙවීමට උත්සාහ දැරීමත් සුළුකොට තැකිය නොහැකිය.
ඉන්දු-ලංකා සාම ගිවිසුමත්, ඔස්ලෝ ගිවිසුමේදී එවකට ශ්‍රී ලංකා රජය සහ එල්.ටී.ඊ.ඊ.ය එකඟවී අත්සන් කළ බලය බෙදීමේ ක්‍රියාවලියත් පදනම්කොට ගෙන ජනවාර්ගික ප්‍රශ්නයට තිරසාර විසඳුමක් සෙවිය හැකි බවට ඔවුහු විශ්වාස කරති. මෙම කරුණ තම ප්‍රතිපත්ති ප්‍රකාශයට
ඇතුළත්කොට ඇතැයිද ඔවුහු කියති. මේවා අපගේ සතුටට හේතුවන කරුණු නොවිය යුතුද?
ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට එක්වූ එල්.ටී.ඊ.ඊ.යේ හිටපු සටන්කාමීන්ගේ මෙම මතවාද සමග අප එකඟ වන්නේද නැද්ද යන්න වෙනම කරුණකි. කෙසේ වෙතත් ජනවාර්ගික ප්‍රශ්නයට සාකච්ඡා මේසයෙන් විසඳුමක් පතන්නට එවැනි පිරිසක් ඉදිරිපත් වීමම අප ඔවුන් දිරිගැන්වීමට, සාකච්ඡාව සඳහා ඔවුන්ට සුහදව දෑත දිගු කරන්නට හේතුවක් විය යුතු නොවන්නේද?
ජනතා විමුක්ති පෙරමුණ සන්නද්ධ කැරලි දෙකකට පසුව යළි ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට එක්ව පාර්ලිමේන්තුවටද පැමිණියේය. පරිවාස රජයේ ඔවුන්ගෙන් තිදෙනෙක් ප්‍රබල අමාත්‍ය ධුරද දැරූහ. මේ මොහොත වන විට ජවිපෙ සිටින්නේ ඊළඟ ආණ්ඩුව පිහිටුවීමේ ඉදිරි දර්ශනය ඇතිවය. ලාංකික සමාජය ජවිපෙට දුන් අවස්ථාව පුනරුත්ථාපනය වූ මෙම එල්.ටී.ටී.ඊ. හිටපු සටන්කාමීන්ට නොලැබිය යුතුද? ඒකීය රාජ්‍යයක් තුළ පෙඩරල් විසඳුමක් කී පමණින් අප කලබල විය යුතුද?
එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක අගමැතිවරයා එදා රට සභා ක්‍රමය යෝජනා කළ විට ඊට විරෝධය පෑ පිරිස් අද වන විට එයට බොහෝ වැඩි බලය බෙදීමක් සහිත පළාත් සභා ක්‍රමය පිළිගෙන ඇත්තේය. එහෙත් රට බෙදුනේ නැත.
දේශපාලන සටන් පාඨ වෙනුවට දේශපාලන විසඳුම් වර්තමාන අදාළත්වයයි. ආණ්ඩු වෙනස් කිරීමට විප්ලව හා අරගල වෙනුවට සර්වජන ඡන්දය ආදේශ වී ඇත්තේය. ඒකාධිපති හා අධිකාරිවාදී ආණ්ඩුවලට අද පැවැත්මක් නැත. එබැවින් එවැනි ආණ්ඩු වෙනස් කිරීමේ උපායක් ලෙස තවදුරටත් කැරලි හා විප්ලව වලංගු නොවේ. ජනතාවගේ සැබෑ කැමැත්ත විකෘතියකින් තොරව මහ මැතිවරණයකින් පිළිබිඹුවේ නම් ජනතාව ආණ්ඩු පිහිටුවන්නට හෝ පෙරළා දමන්නට ලේ හලන්නේ කුමකටද?
ජනවාර්ගික ප්‍රශ්නයට තිරසර විසඳුමක් සෙවිය හැක්කේද ප්‍රජාතන්ත්‍රවාදය අර්ථවත් කළ හැක්කේද සියලු ජනකොටස් අන්තර්ගතකොට ගන්නා සාකච්ඡා හා සම්මුති කෙරෙන් ඇති කරගන්නා තීරණයන් ගෙනි. අප මේ එළැඹෙමින් සිටින්නේ එම ස්වර්ණමය අවධියට බව ජවිපෙ හා හිටපු එල්ටීටීඊ සටන්කරුවන්ගේ ප්‍රකාශ ගම්‍ය නොකරන්නේද?
Source : Lakbima