දෙපැත්තෙම පොරොන්දු දිහා නෙමෙයි දෙගොල්ලොම කරපු වැඩ දිහා බලන්න

0
958

කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යා අංශ ප්‍රධානි ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එස්‌. ටී. හෙට්‌ටිගේ

STHettigeමහ මැතිවරණයට තව ඇත්තේ දින කිහිපයකි. මේ උදාවී ඇත්තේ ඉදිරි පස්‌ වසර මේ රට භාරදිය යුත්තේ කාටද යන්න මේ රටේ ජනතාව කල්පනාකාරීව සිතාබැලිය යුතු මොහොතයි. දේශපාලන බලය රටේ සංවර්ධනයටත් ජනතාවගේ සුබ සිද්ධියටත් යොදාගන්නා බුද්ධිමත් තීරණ ගත හැකි පිරිසකට අපේ රට භාරදීමට ජනතාව කටයුතු කළ යුතු බව පවසන කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යා අංශ ප්‍රධානි ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එස්‌. ටී. හෙට්‌ටිගේ ඒ සඳහා කල්පනා කර බැලිය යුතු කරුණු කිහිපයක්‌ මේ සාකච්ඡාවෙන් ජනතාවට ඉදිරිපත් කරයි.

අපේ රටේ දේශපාලනය තූළ අද සිදුවී ඇති පරිවර්තනය සමාජ විද්‍යාඥයකු ලෙස ඔබ දකින්නෙ කොහොමද?

අපේ රටට නිදහස ලැබුණු කාලේ දේශපාලනයට සම්බන්ධ වුණු හැම කෙනෙක්‌ම එහෙම කළේ මේ රටේ අනාගතයට යම් දායකත්වයක්‌ දෙන්නයි. ඒ දායකත්වය තුළින් රටත් ජනතාවත් ලැබූ ජයග්‍රහණ රාශියක්‌ තියෙනවා. ඒ යුගයේ අපේ රට, දකුණු ආසියාවේ හැම රටකම ඇගයීමට ලක්‌ වූ රටක්‌. ලෝකයේ රටවල් ඒ යුගයේ අපේ රට හැඳින්වූයේ ශීලාචාර දේශපාලනයක්‌ ඇති ප්‍රගතිශීලී රටක්‌ විදිහටයි.

නමුත් පසුගිය දශක කිහිපය තුළ අපේ රට දිනාගෙන තිබූ ඒ හොඳ නම ක්‍රමානුකූලව වෙනස්‌ වෙන්න පටන් ගත්තා. 1978 න් පසු ඒ වෙනස්‌වීම වේගවත් වුණා. මේ රටේ හැමකෙනෙක්‌ම වාගේ දැඩි ආර්ථික හා සමාජ පීඩනයකට භාජන වුණා. විවෘත ආර්ථිකය මේ රටට හඳුන්වා දීමෙන් පස්‌සෙ වෙළෙඳපොළ විසින් ජනතාව දැඩි පීඩනයකට ලක්‌ කළා. මිනිසුන් දහස්‌ ගණනින් පිටරට ගිහින් ජීවත්වෙන්න මොනවහරි කරන්න පටන්ගත්තේ ඒ යුගයේ. සුඛෝපභෝගී ජීවිතයකට ජනතාව හුරුකරල මිනිස්‌කම් අමතක කරල මුදල් පසුපස දුවන සමාජයක්‌ මේ රටේ බිහිවුණා. මේ සුඛෝපභෝගී සිහින ලෝකයත් ආර්ථික පීඩනයත් අතරේ බොහෝ දෙනෙක්‌ වල්මත් වුණා. එකවරම සිදුවුණු ආර්ථික ප්‍රසාරණයත් සමග ඇතිවූ ඉඩකඩ තුළ ජනතාව වගකීමකින් තොර පරිභෝජනයකට පෙළඹුණා. මේ රැල්ලට හසු නොවූ කෙනෙක්‌ අපේ රටේ නැති තරම්. ඒ හසුවුණු හැම කෙනෙක්‌ම එකපැත්තකින් විවිධාකාර ප්‍රතිලාභ ලබාගනිද්දී අනෙක්‌ පැත්තෙන් නොයෙක්‌ ආකාරයේ පීඩනයන්ට ලක්‌වුණා.

අපේ රටේ දේශපාලනඥයින්ට මේ සමාජ පරිසරය තුළ විශාල ඉඩකඩක්‌ විවෘත වුණා. දේශපාලනඥයින්ට සෑම තැනකදීම සාමාන්‍ය ජනතාවට නොමැති ඉඩකඩක්‌ ලැබීම සාමාන්‍ය දෙයක්‌. ඒ හරහා ඔවුන් මේ ආර්ථික ප්‍රසාරණය තුළින් ලැබුණු ඉඩකඩ උපරිමයෙන් ප්‍රයෝජනයට ගත්තා.

සම්පත් ලබාගැනීමට තියෙන්නෙ ක්‍රම දෙකයි. එක්‌කො ව්‍යාපාරයක්‌ කරන්න ඕන. ව්‍යාපාරික ලෝකය ජයගත් අය ලෝකයේ උපරිම සම්පත් විඳිනව. නොයෙක්‌ සමාජ විරෝධී කටයුතු කරන අයත් විශාල ලෙස නොයෙක්‌ සම්පත් භුක්‌ති විඳිනව. හොර මැර දූෂණ කරන අය, මත්කුඩු ගෙන්වා බෙදාහැරීම වැනි සමාජ විරෝධී වැඩ කරන අය වැටෙන්නෙ මේ සමාජ විරෝධී ව්‍යාපාර කරන කොටසට. ශීලාචාර ව්‍යාපාරයකින් දියුණු වුණු අය වගේම අශීලාචාර ව්‍යාපාර තුළින් දියුණු වුණු අයත් යන්නෙ එකම පැජරෝ එකේ. මේ දෙගොල්ලෙම ජාතික ඇඳුම අඳිනව. දානපතියො වගේ පෙනී ඉන්නව. අපේ රටේ සියලු දේ මෙහෙයවන දේශපාලක කණ්‌ඩායමත් මේ දෙගොල්ල අතරට එකතු වුණා.

අපේ රටේ ධනය එක්‌රැස්‌ කිරීමට වැඩිම ඉඩකඩක්‌ තියෙන අවස්‌ථා තියෙන පිරිස තමයි දේශපාලකයො. ඒ අයට මුදල් ඉපයිය හැකි මාර්ග අසීමිතයි. රජයේ දේපොළ විකුණල පවා ඒ අයට මුදල් හම්බකරන්න පුළුවන්. අපේ රටේ ශීලාචාර සහ අශීලාචාර ව්‍යාපාරික පිරිස අතරට දේශපාලකයිනුත් එකතු වුණාට පස්‌සෙ ඒ දේශපාලකයින් අතර හිටපු ශීලාචාර දේශපාලකයෝ කොන් වෙන්න පටන් ගත්තා. ඇතැම් අය දේශපාලනයෙන් ඉවත් වුණා. ධනයට හා බලයට කෑදර පිරිස වැඩි වැඩියෙන් දේශපාලනයට එන්න පටන්ගත්තා. මේ ආපු අයට ජනතාව දුන් දේශපාලන බලය ඔවුන් පාවිච්චි කළේ තමුනුත් තමුන්ගෙ නෑදෑ සනුහරේත්, තමුන් ළඟම ඉන්න පාක්‌ෂිකයින්aගේත් සුබසාධනය සඳහායි. මෙන්න මේක තමයි අපේ රටේ අශීලාචාර දේශපාලනයේ ආරම්භය. අද මේකෙන් ගොඩඑන්න කිසිම දේශපාලකයෙකුට පුළුවන් වෙලා නෑ.

අද මැතිවරණයකට මුහුණ දෙන්න මුදල් වපුරන්නෙ නැතිව බෑ. දේශපාලකයා කියන පුද්ගලයාත් අද ව්‍යාපාරිකයකු බවට පත්වී සිටින්නේ මේ නිසා නේද?

අද දේශපාලකයො බලය ලබාගන්න බොරු පොරොන්දු දෙන්නත්, බලය ලබාගත් පසු මහා පරිමාණයෙන් මුදල් උපයන්නත් එක හේතුවක්‌ ඒක. ඔවුන් බලයට පත් වූ පසු මුදල් හම්බ කරන්න හේතු දෙකක්‌ තියෙනව. බලය ලබාගන්න වියදම් කරපු මුදල් හොයන්නත් ඊළඟ මැතිවරණයේදී බලය ලබාගැනීමට වියදම් කරන්න මුදල් හොයන්නත් ඔවුන්ට සිදුවෙලා තියෙනව. අපේ රටේ තියෙන මේ මැතිවරණ ක්‍රමයත් එසේ මුදල් වපුරන්න එක හේතුවක්‌. අද අපේ රටේ ඕනෑම මැතිවරණයක්‌ ආසන්නයේ දේශපාලකයින්ට අවශ්‍ය මූල්‍යමය පසුබිම හදල දෙන්න සූදානම් වුණු ව්‍යාපාරිකයින් පිරිසක්‌ ඉන්නව. මේ ව්‍යාපාරික-දේශපාලක සම්බන්ධය අද දැවැන්ත බලගතු බැඳීමක්‌. මේ පරිසරය තුළ අද රටේ රාජ්‍යය දිගුකාලීන ප්‍රතිපත්ති රාමු තුළින් ඉස්‌සරහට ගෙනයැමට වැඩිය ඒ රාජ්‍ය බලය තමන් අත පවත්වාගෙන යමින් තමුන් ගොඩනගාගත්ත දේවල් ඉදිරියට ගෙනයැම සඳහා යොදාගැනීමක්‌ තමයි අද සිද්ධවෙන්නෙ. නමුත් සමාජයේ හැමෝම මේ තත්ත්වය පිළිගන්නෙ නැතිබව, ඊට බරපතල සමාජ විරෝධයක්‌ ඇති බව පසුගිය මැතිවරණයෙන් පෙනුණා. මේ ගමන මෙහෙම යා නොහැකි බවත් වෙනස්‌ කළ යුතු බවත් ජනවාරි 8 වැනිදා ජනතාව තීරණය කළා. මේ රටේ පාලන තන්ත්‍රය යහපත් ආකාරයට ගොඩනැගිය යුතු බවට ජනතාව තීරණය කළා.

අපේ රටේ පාලන තන්ත්‍රය යහපත් ආකාරයට ගොඩනැගීම කියන ජනතා අපේක්‌ෂාව තවදුරටත් පැහැදිලි කරන්නෙ කොහොමද?

යහපත් ආකාරයට ගොඩනගාගන්නවා කියන්නෙ රටක තිබෙන ප්‍රශ්න ගැඹුරින් තේරුම් අරගෙන ඒ ප්‍රශ්නවලට කුමනාකාරයේ විසඳුම් දියහැකිද යන්න තීරණය කර ක්‍රියාත්මක කිරීමයි. රටක දැනුම හා අවබෝධය තිබෙන පිරිස නැතිව මේ කරන්න බෑ. ලෝකයේ අද දියුණු වී තිබෙන රටවල් ප්‍රශ්න විසඳාගෙන ඔවුන් දියුණු වුණේ රාජ්‍ය පාලනයට බුද්ධිමත් පිරිස යොදාගැනීමෙන්. ඔවුන් නිවැරදි තීරණ ගනිමින් රටේ විවිධ ආයතන ශක්‌තිමත් කිරීමෙන් තමයි ඒ ජයග්‍රහණ ලබාගත්තෙ. ඒ ජයග්‍රහණ පිටුපස මූලික හේතු ගණනාවක්‌ තිබෙනව. ප්‍රධාන හේතුව අධ්‍යාපනය දියුණු කිරීම. රටක්‌ දියුණු කිරීමට අත්‍යාවශ්‍ය කුසලතා පිරි ජනතාව බිහිවෙන්නෙ එතැනින්. දෙවැන්න ආර්ථිකය තමුන්ට ගැලපෙන විදිහට ප්‍රතිව්‍යqහගත කරගැනීම. එය කරන්නත් ක්‍රමානුකුල සැලැස්‌මක්‌ තිබෙන්නට ඕන. නිෂ්පාදන අංශ පසුබෑමකට ලක්‌ වුණොත් රටක්‌ දියුණු කරන්න බෑ. කෘෂිකර්මය විවිධාංගීකරණය කරගනිමින් පැහැදිලි සැලැස්‌මක්‌ නැතිව ඇඟලුම් කර්මාන්තයෙන් විතරක්‌ ඒක කරන්න බෑ. අපට අවශ්‍ය සියල්ල කෙසේවෙතත් අවශ්‍යකරන බහුතරයවත් මේ රට තුළ නිෂ්පාදනය කරගැනීමේ වැඩපිළිවෙළකට නොගොස්‌ මේ රට දියුණු කරන්න බෑ. අපට හදාගන්න පුළුවන් දේවල්වත් හදාගන්න අපි මේ රටේ කාර්මික අංශය විවිධාංගීකරණය කරල නෑ. අපේ රට ලෝකෙ තියෙන හැමදේම පරිභෝජනය කරන රටක්‌. නමුත් හදාගන්න පුළුවන් දෙයක්‌ වත් මේ රටේ හදාගන්න හිතන ජාතියක්‌ නොමෙයි. ඒ නිසා අද අපේ රට මුහුණ දී තිබෙන අර්බුදය වලින් ගොඩඑන්න පුළුවන් වෙන්නේ අපේ රටේ අධ්‍යාපනය හා ආර්ථිකය දියුණු කරගත්තොත් විතරයි.

අපේ රටේ වර්තමාන දේශපාලනය තුළ ඒ සඳහා වැඩපිළිවෙළක්‌ නැද්ද?

අද තිබෙන දේශපාලන තරගය තුළ එබඳු වැඩපිළිවෙලක්‌ නෑ. ඒනිසා තමයි ඔය පොරොන්දු දේශපාලනය ඉස්‌මතු වෙලා තිබෙන්නෙ. හැම දේශපාලකයෙක්‌ම අද ජනතාවට අරක දෙන්නම් මේක දෙන්නම් ජන්දෙ මට දෙන්න කියල කියනව. මේකෙ තියෙන ලොකුම විහිලුව තමයි භාණ්‌ඩාගාරෙ සතයක්‌වත් නෑ කලින් කට්‌ටිය ඒක හිස්‌කරල කියන ගමන්ම අපි බලය ගත්තු ගමන් මෙන්න මේවා මෙන්න මේවා දෙනවයි කියනව. දේශපාලකයො මේව කියන්නෙ මේ රටේ ජනතාව පොල් බූරුවො කියල හිතාගෙනද?

මේ රටේ ප්‍රශ්න විසඳන්න පුළුවන් කාටද කියල ජනතාව තීරණය කළ යුත්තේ දේශපාලකයො කියන දේවල්වලින් නොමෙයි ඔවුන් කරපු දේවල්වලිනුයි. රට බාරදිය යුත්තේ කාටද කියල ජනතාව තීරණය කළ යුත්තේ අපේ රටේ නිදහසින් පසු ගතවුණු දශක ගණනාව තුළ සිදුවුණු දේවල් පදනම් කරගෙනයි.

අපේ රටේ අධ්‍යාපනය නගා සිටුවන්න කටයුතු කරල තියෙන්නෙ කවුද? විශ්වවිද්‍යාල අධ්‍යාපනය නගාසිටුවන්න කටයුතු කරල තියෙන්නෙ කවුද? එය විනාශකරන්න කටයුතු කරල තියෙන්නෙ කවුද? රටකට කළ හැකි ලොකුම හානිය ඒ රටේ විශ්වවිද්‍යාල පද්ධතිය විනාශ කිරීමයි. රටේ බාල පරපුරේ අනාගතය තමයි රටේ අනාගතය. ඒ බාලපරපුරේ අනාගතයට මගපෙන්වන විශ්වවිද්‍යාල පද්ධතිය දේශපාලනීකරණය කරල අවුල් කළොත් තරුණ පරපුරේ අනාගතය ඉවරයි. අපේ රටේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය අවුල් කළේ කවුද? පාසල් අධ්‍යාපනය අවුල් කළේ කවුද? තමුන්ගෙ කතිරෙ ගහන්න කලින් ජනතාව කල්පනා කළ යුතු වැදගත් එක කාරණයක්‌ ඒක.

රටේ ආර්ථිකය අරගෙන බැලුවත් ප්‍රවාහනය අරගෙන බැලුවත් මේවායේ දියුණුවක්‌, ප්‍රගතියක්‌ නෙමෙයි අද දකින්නට තියෙන්නෙ පරිහානියක්‌. අපේ රටේ කිසිදෙයක්‌ නරකට තිබිල හොඳ වෙලා නෑ. අතීතයේ හොඳට තිබුණු බොහෝ දේ අද නරක්‌ වෙලා තිබෙනවා. හොඳට තිබුණු ඒ දේවල් නරක්‌ කළේ කවුද? මෙය ජනතාව කල්පනාවට ගන්නට ඕන. දේශපාලකයින් මේ කියන්නෙ මොනවද? ඔවුන් මෙතෙක්‌ කරල තියෙන්නෙ මොනවද? මේ අය කියන දේවල් සහ කරපු දේවල් මොනවද කියල ජනතාව තේරුම් ගත්තොත් දේශපාලන බලය රටේ සංවර්ධනයට සහ ජනතාවගේ යහපතට යොදන රජයක්‌ පිහිටුවාගන්න අපේ රටේ ජනතාවට පුළුවන්.

සාකච්ඡා කළේ
පාලිත සේනානායක
Source : Divaina