සර්වපාක්ෂික ආණ්ඩුවකට රනිල්ගෙන් විවෘත ඇරයුමක්

0
619

ඉදිරි වසර පහක කාලය සම්මුතිවාදයෙන් රට ඉදිරියට ගෙනයාම සඳහා එකතු  වන ලෙස සියලු දේශපාලන පක්ෂවලට සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට ආරාධනා කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (19) ප්‍රකාශ කළේය. රට ගොඩ නැගීමේ මෙම ජාතික කාර්ය භාරය ඉටු කිරීම සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂවලට රජය සමග එක්ව කටයුතු කළ හැකි බවද අගමැතිවරයා කීවේය.

ආණ්ඩුව ඉදිරියට පවත්වා ගෙන යාම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග සාකච්ඡා කළ බවද අගමැතිවරයා සඳහන් කළේය. අරලිය ගහ මන්දිර පරිශ්‍රයේ පැවැති මාධ්‍ය හමුවකදී විශේෂ ප්‍රකාශයක් කරමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේය.
ඇමැති නියෝජ්‍ය ඇමැති තනතුරුවලට අමතරව පාර්ලිමේන්තු තේරීම් කාරක සභා පිහිටු වන බවත් එහි සභාපති තනතුරුද පක්ෂ විපක්ෂ භේදයෙන් තොරව මන්ත්‍රීවරුන්ට පවරන බවද ඒ මහතා පැවැසීය.

දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුද මන්ත්‍රීවරයන්ගේ ප්‍රධානත්වයෙන් පත් කරන අතර ගමේ සංවර්ධනය සඳහා සිවිල් පුරවැසියන්ගේ සහභාගිත්වයෙන් සංවර්ධන කමිටු පත් කරන බවද කීවේය. ගමේ කමිටුවටද ව්‍යවස්ථාදායකයට සම්බන්ධ විය හැකි සේ පරිපාලන ක්‍රමවේදයක් සකස් කරන බවද අගමැතිවරයා පැවසීය. මේ ජාතික කාර්යභාරයට එකතු වන ලෙසත් වසරක් දෙකක් ඊට සම්බන්ධ වී  එහි අඩු පාඩු ඇත්නම් ඉන් ඉවත් විය හැකි බවද පැවැසීය.

Source : Lakbima