ජාතික ආණ්ඩුවේ ආර්ථික දැක්ම

0
859

පාර්ලිමේන්තු මහා මැතිවරණය පවත්වා අවසන්ය. එහෙත් කිසිදු පක්ෂයකට තනිව ආණ්ඩුවක් පිහිටුවීමට තරම් බලයක් හිමිව නොමැත. එක්සත් ජාතික පක්ෂයට ආසන 106ක් හිමිවන විට එක්සත් ජනතා නිදහස් සන්ධානයට ආසන 95 ක් හිමිව තිබේ. ඒ අනුව මේ පක්ෂ දෙකටම පාර්ලිමේන්තුවේ බහුතරය (මන්ත්‍රී ධූර 113) ලබාගැනීමට නොහැකිවීමෙන් දේශපාලනික සංක්‍රාන්තික සමයක් උදාවී තිබේ. මහ මැතිවරණය පැවැත්වූයේ අගෝස්තු 17 වෙනිදාය. නමුත් මෙම ලිපිය ලියන මොහොත (25) වනවිටවත් නව අමාත්‍ය මණ්ඩලය නම්කොට හෝ දිවුරුම් දීම සම්පූර්ණ කොට තිබුණේ නැත. මහ මැතිවරණයක් පවත්වා දින 8ක් ගෙවී ගියද අමාත්‍ය මණ්ඩලය නම්කර ගැනීමට නොහැකිවීමෙන් පෙනී යන්නේ කිසියම් දේශපාලන ව්‍යාකූලත්වයක පෙර නිමිති පහළ වී ඇති බවකි. අපගේ අරමුණ මැතිවරණය හෝ මැතිවරණ ප්‍රතිඵල පිළිබඳ පශ්චාත්  විග්‍රහයක් කිරීම නොව නව දේශපාලන වාතාවරණය රටේ ආර්ථිකය කෙරෙහි කවරාකාරයේ බලපෑමක් සිදු කළේද යන්න පිළිබඳ විමසා බැලීමය.

මෙවර මැතිවරණයට ඉදිරිපත්වූ සියලුම දේශපාලන පක්ෂ හා කණ්ඩායම් සිය මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශ තුළින් ඉහළම අවධානයක් යොමුකොට තිබුණේ ආර්ථික වර්ධනය හා  සංවර්ධනය පිළිබඳවය. විශේෂයෙන්ම යුද්ධ හා සිවිල් කලකෝලාහල නොමැති පසුබිමක් යටතේ ඉහළම අවධානය යොමුවන ක්‍ෂේත්‍රය ආර්ථීකය බව අමුතුවෙන් කිව යුතු නැත. රැකී රක්ෂා සම්පාදනය, ආදායම් ඉහළ නැංවීම, නව සංවර්ධන ව්‍යාපෘති ඇරඹීම, විදේශ වෙළෙඳාම පුළුල් කොට අපනයන ක්‍ෂේත්‍රයේ වර්ධනයක් ඇතිකරලීම එකී ප්‍රතිපත්ති ප්‍රකාශන තුළ ප්‍රධාන පෙළේ ආර්ථික අපේක්ෂාවන් කිහිපයකි.

දේශපාලන ස්ථාවරත්වය
කවුරුන් ආණ්ඩු කරනු ලැබුවද ආර්ථික වර්ධනය සහ සංවර්ධනය සඳහා අත්‍යවශ්‍ය කොන්දේසියක් වනුයේ ස්ථාවර දේශපාලන පසුබිමක් පැවතීමයි. විශේෂයෙන්ම විදේශ ආයෝජකයින් කිසියම් රටක මුදල් ආයෝජනය කිරීමට පෙර ප්‍රථමයෙන්ම සොයා බලන කාරණය වනුයේ එම රටේ ස්ථාවර දේශපාලන පසුබිමක් පවතීද යන්න පිළිබඳවය. එවැනි පසුබිමක් කිසියම් විටක නොමැතිවූ විට ස්ථාවර ආර්ථික ප්‍රතිපත්තියක් දිගින් දිගටම පවත්වාගෙන යාමට නොහැකිවන බව ආයෝජකයෝ දනිති. විශේෂයෙන්ම ඒ ඒ මුදල් වර්ෂ සඳහා ඉදිරිපත් කරනු ලබන අය-වැය ‍ලේඛන මගින් ආණ්ඩුවේ  ආර්ථික හා මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවෙන අතර අනාගත ඉලක්කය හා අපේක්ෂාවන්ද අවධාරණය කරනු ලබයි. එහෙත් අයවැය වැනි තීරණාත්මක මුදල් පනතක් පරාජයට පත් කිරීම හරහා ආණ්ඩු වෙනස් කළ හැකි බව දෙස් විදෙස් ආයෝජකයෝ අවබෝධ කරගෙන සිටිති.

පාර්ලිමේන්තුවේ වැඩි බහුතරයක් සහිත ආණ්ඩු පක්ෂයක් පැවතුණහොත් අයවැය වැනි තීරණාත්මක අවස්ථාවකදී අවිනිශ්චිත තත්ත්වයක් උදා නොවේ. එහෙත් වත්මන් මැතිවරණ ප්‍රතිඵලය මත තේරී පත්වූ මන්ත්‍රීවරුන්ගෙන් එසේ බහුතරයක් සහිත තනි පක්ෂයක ආණ්ඩුවක්  බිහිකරගත නොහැකි බව පැහැදිලිවම පෙනී යන කාරණයකි. එම තත්ත්වය යටතේ සුළු බහුතරයක් සහිත (ආසන 106) එක්සත් ජාතික පක්ෂයට තනිවම ආණ්ඩුවක් පිහිටුවිය නොහැකිය. පිහිටුවනු ලැබුවද අයවැය වැනි තීරණාත්මක අවස්ථාවක ඡන්දය විමසීමේදී බහුතර බලය පෙන්වීමට නොහැකිවුවහොත් ආණ්ඩුව  විසුරුවා හැර යළි මහා මැතිවරණයකට යෑමට සිදුවන්නේය. නැවත නැවත මැතිවරණ පැවැත්වීම රට ආපස්සට යැවීමකි.
මීට විකල්පය වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික ආණ්ඩුවක් බිහි කිරීමේ කතිකාවත් කරළියට පැමිණ තිබේ. එජාපයේ හා ශ්‍රීලනිපයේ මැති ඇමැතිවරුන්ගෙන් සමන්විත ජාතික ආණ්ඩුවක් තුළින් බහුතර බලයක් සහිත ආණ්ඩුවක් ගොඩනගාගත හැකිය යන්න ජනාධිපතිවරයාගේත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේත් විශ්වාසය වී තිබේ.

ඒ සඳහා වන අවබෝධතා ගිවිසුමට ඉකුත්දා  අත්සන් තැබූ බවද මාධ්‍ය වාර්තා කළේය.
කෙසේවෙතත් ජාතික ආණ්ඩුව අවුරුදු දෙකක කාලයක් සඳහා යෝජනා වී ඇති බවද මෙම කාලය දීර්ඝ කළ හැකිවන බවද අවබෝධතා ගිවිසුමෙහි සඳහන්ව ඇතැයි පැවසේ. පවතින තත්ත්වය  යටතේ මෙය මද අස්වැසිල්ලක් සේ පෙනී ගියද වසර දෙකකින් යළි දේශපාලන අස්ථාවරත්වයක් හා අවිනිශ්චිතතාවන් නිර්මාණය නොවේයැයි පැවසිය නොහැකිය. මෙවැනි පසුබිමක් යටතේ දිගු කාලීන අපේක්ෂා සහිතව දේශීය හා විදේශීය ආයෝජකයන් මෙරට ආයෝජන කටයුතු සඳහා ආකර්ෂණය කරගත හැකිවේද යන්න ගැටලුවකි. මක්නිසාදයත් ආයෝජකයන් සාමාන්‍යයෙන් වසර 5ක් හෝ 10ක් ස්ථාවර ආණ්ඩුවක් සමග නොවෙනස්වන ආර්ථික ප්‍රතිපත්තියක් පැවතීම ඉඳුරාම අපේක්ෂා කරන නිසාය.

මේ වන විටදී ආර්ථිකයේ ගැටලු ගණනාවක් පැන නැගී තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම සංඛ්‍යා දත්තවලට අනුව ජුනි මාසයේ මෙරට වෙළෙඳ හිඟය (ආනයන අපනයන පරතරය) සියයට 51.9 කින් පුළුල් වී තිබේ. මෝටර් රථ ආනයනය වාර්තාගත ලෙස ඉහළ යාම ඒ සඳහා බලපෑම් කොට තිබුණද මෙරටින් විදේශ ගත වූ විනිමයට සාපේක්ෂව උපයාගැනීම් (අපනයන ආදායම් ප්‍රධාන වශයෙන්) පහළ මට්ටමක තීරණය වී පැවතුණි.
වසරේ මුල් මාස 06 සඳහා වන සමුච්චිත වෙළෙඳ හිඟය සියයට 15.6 අගයකින් වැඩි වී ඇත. ඒ සඳහා කාර්මික අපනයන සියයට 1.6 කින් හා කෘෂිකාර්මික ආනයනය සියයට 11.5 කින් පහළ වැටීම ආසන්නම හේතුවක් වී තිබේ.

ඇඟලුම් අපනයනය සමස්ත අපනයන වලින් නම් හරි අඩකි. එය 2014 වසර හා සැසදීමේදී මේ වසරේ (2015) මුල් හය මාසය තුළ සියයට 4.9 කින් පහත වැටී තිබේ. රබර් නිෂ්පාදනය සියයට 14.5 කින් පහත වැටී ඇති බවත් මැණික්, දියමන්ති හා ස්වර්ණාභරණ අපනයනය පසුගිය වසර හා සැසදීමේදී සියයට  30.4 කින් පහත වැටී ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකුව දක්වයි. එසේම අපනයන ආදායමට ඉහළ එකතු කළ ආදායමක් ගෙනෙන තේ අපනයනය සියයට 20.1 කින් පහළ වැටී තිබේ.

අපනයන ආදායම් පහළ වැටී ඊට සාපේක්ෂව ආනයන වියදම් ඉහළ යාම ආර්ථිකයේ ගැටලු ගණනාවකට අතවැනීමකි. වෙළෙඳ පරතරය පියවා ගැනීමට වැඩි වැඩියෙන් ණය ගැනීමට සිදුවීමට අමතරව විදේශ මුදල්වලට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වීම අර්බුද ගණනාවක් ඇති කරන්නකි. මේ වන විට ඇමෙරිකන් ඩොලරයක ගැනුම් මිල රුපියල් 132.45කි. විකුණුම් මිල රුපියල් 136.16කි. රුපියල අවප්‍රමාණය වීම කරන කොටගෙන ආනයනික භාණ්ඩ හා සේවා සඳහා ගෙවිය යුතු රුපියල් ප්‍රමාණය  ඉහළ යන්නේය. අනෙක් පැත්තෙන් ශ්‍රී ලංකාව ලබාගත් විදේශ ණය සඳහා වන වාරික හා ‍පොලියේ වටිනාකම වැඩි වී නොපිය වූ රාජ්‍ය ණය ප්‍රමාණය වැඩි වන්නේය.

ආර්ථිකය හමුවේ ගැටලු රාශියක් පැන නැගී තිබෙන බව මේ අනුව පෙනීයයි. මේවාට තනිවම විසඳුම් සෙවීම දුෂ්කරය. ඒ සඳහා විදේශ ආයෝජන හා දේශීය ආයෝජන වැඩි වැඩියෙන් ආකර්ෂණය කොටගෙන නිෂ්පාදනය සහ සේවා නියුක්තිය ඉහළ නංවා ගත යුතුය. ඒ සඳහා සපුරා ගත යුතු අත්‍යවශ්‍යම කොන්දේසියක් වන්නේ අප මුලින් සඳහන් කළ දේශපාලන ස්ථාවරත්වයයි. එය වසර දෙකකට පමණක් සීමාවීම කිසිසේත්ම ප්‍රමාණවත් නැත. මෙහිදී පටු දේශපාලන වාසි හා බලය යන සාධකය ප්‍රමුඛ කාර්යය කරනොගෙන, ආණ්ඩු මාරුවුවත් වෙනස් නොවන ජාතික ආර්ථික ප්‍රතිපත්තියක් මත පිහිටා කටයුතු කළහොත් රට මුහුණ දී  ඇති ආර්ථික ගැටලුවෙන් මිදීමට මගක් පාදාගත හැකිය.

Source : Lakbima