අබිරහස් රැසක් සඟවාගත් කොළඹ ගිනි දෙවොල

0
2837
colombo-fire-temple

වසර හයදාහක් පැරැණි පූජා විධියක්

කොළඹ කොල්ලුපිටියේ කුඩා ගෙඋයනක් මැද පිහිටි පැරැණි පන්නයේ නි‍ෙවසක ගේට්ටු කණුවේ වූ විදුලි සීනුව නාද කළෙමි. ගෙවුණු දස වසර තුළ කිහිප වතාවක් මා මෙහි පැමිණ ඇත. ඒ හැම විටම විදුලි සීනුව නාද කළ විට මා පිළිගන්නට මුලින්ම පැමිණියේ හොඳින් වැඩුණු බල්ලෙකි. එහෙත් නාගරික කොල්ලුපිටියේ වුණත් ඒ බල්ලා ගමේ තාලයේ බල්ලෙකි. වෙනසක් නැත. මෙවර ද මා පිළිගන්නට පැමිණියේ ඒ ජාතියේම බල්ලෙකි. අනතුරුව ගෙඋයන මැද නිවෙසින් වයෝවෘද්ධ පුද්ගලයෙක් අසීරුවෙන් ඇවිදගෙන මතු වූයේය.

මා පැමිණි මෙම ස්ථානය හිරු දෙවිඳු හා ගිනි දෙවිඳු වෙනුවෙන් ලොව ඉපැරැණි යාතුකර්ම හා පුද පූජා පවත්වන පූජනීයස්ථානයකි. කොටින්ම ගිනි දෙවොලකි. මට මේ ස්ථානයට ඇතුළුවීමට අවශ්‍ය අවසරය ලබා දුන්නේ අබාන්ස් සමාගමේ අධිපතිනිය වන ආබන් පැස්තොන්ජි මහත්මියයි. ඇය පාර්සි අන්ජුමාන් නම් මෙම ගිනි දෙවොලේ වත්මන් භාරකාරවරිය ලෙස කටයුතු කරන්නීය. ලංකාවේ සංඛ්‍යාත්මකව පණහකට අඩු ජන සංඛ්‍යාවක් ජීවත්වන පාර්සි ප්‍රජාව අදහන සරතුස්ත්‍ර දහමේ පූජනීයස්ථානය මෙම ගිනි දෙවොලයි.

“මෙතන සිදු කරන පුද පූජා අවුරුදු 6000 ක් විතර පැරැණියි, මොකද අපි අදහන සරතුස්ත්‍ර දහම වර්තමාන ලෝකයේ ප්‍රධාන ආගම් හැම එකකටම වඩා පැරැණියි. ලෝකයේ පළමු ඒක දේවවාදී ආගම අපේ ආගමයි”. මා පිළිගත් ගිනි දෙවොලේ භාරකාර පූජකවරයා වන සයිරස් පෙස්තොන්ජි උනවාලා පැවසුවේය.

colombo-fire-temle-2අපට නුහුරු නමක් ඇති මෙම පූජකවරයා පිළිබඳව ද යමක් පැවසිය යුතුය. මෙරට පාර්සි ප්‍රජාව සම්පූර්ණයෙන්ම ව්‍යාපාරිකයන්ගෙන් සමන්විතය. එබැවින් ඔවුන් අතර පූජකයන් නොමැත. එබැවින් මෙම ගිනි දෙවොලේ සේවය සඳහා පූජකවරුන් ඉන්දියාවෙන් ගෙන්වා ගැනීම සිරිතක් වී ඇත. වත්මන් පූජක සයිරස් පැස්තොන්ජි උනවලා ද බොම්බායෙන් පැමිණි පුද්ගලයෙකි. ඔහු සිය බිරිය ද සමඟ ගිනි දෙවොලට යාබදව පිහිටා ඇති පූජක නිල නි‍ෙවසේ නතර වී සිටිමින් මෙරට පාර්සි ප්‍රජාවගේ ආගමික අවශ්‍යතා ඉටු කර දෙයි.

කපාඩියාගේ තෑග්ගක්

“ලංකාවෙ විතරක් නෙමෙයි ලෝකයේම පාර්සි ජනගහනය ඉක්මනින් අඩු වෙනවා. හැබැයි අපේ සරතුස්ත්‍ර ආගම තවමත් කොහොමහරි පූජකයන් පුහුණු කරනවා. ඉන්දියාවේ තමයි අපේ පූජකයන් පුහුණු කරන්නෙ. සරතුස්ත්‍ර දහමත් එක්ක බැඳිල තියෙන වසර දහස් ගණනක් පැරැණි රහස් අනාගතයට පවත්වාගෙන යන්නෙ අපේ පූජක පරම්පරාවයි. සරතුස්ත්‍ර දහමේ දර්ශනය අපේ ප්‍රජාවට කියල දෙන්නෙ අපි. ඒ වගේම යාග හෝම යාතුකර්ම කරන්නෙත් අපි. නපුරු ගුප්ත බලවේග විනාශ කරන්නත් සෞභාග්‍යය සඳහා කළ යුතු ගුප්ත කටයුතු අපි ඉගෙන ගෙන තියෙනවා” පූජක සයිරස් පවසයි.

පාර්සිවරුන්ගේ දහම සරතුස්ත්‍ර දහම ලෙසින් හැඳින්වෙන්නේ එම ධර්මය දේශනා කළ සරතුස්ත්‍ර තුමාගේ නාමයෙනි. ඉතිහාසයේ පටන්ම සරතුස්ත්‍ර ලබ්ධිකයන් ප්‍රකට වූයේ අපූරු ආගමික වත්පිළිවෙත් සහිත පිරිසක් ලෙසිනි. එසේ ම එම වත්පිළිවෙත් බාහිර සමාජයට හෙළිදරව් නොකර රහසිගතව සිදු කළ පිරිසක් ලෙසය. මා කොළඹ පිහිටි හිරු දෙවොලේ ආගමික කටයුතු සිදු කරන අවස්ථාවක් නිරීක්ෂණය කිරීමට අවසර ඉල්ලු විට අනුමැතිය ලැබුණේ නැත.

“අපේ අය ආගම අදහනවා, පිට අය දකිනවාට කැමැති නැහැ. ඒ දේවල් අපි අතර පමණයි තියා ගන්නෙ” ආබන් පැස්තොන්ජී මහත්මියගේ සැමියා වන පෙස්ටොන් නඩිෂොන් පැස්තොන්ජි මහතා මට දැනුම් දුන්නේය.

ඉකුත් ශතවර්ෂයේ මුල් භාගයේ දී මෙරට පාර්සි ජාතිකයන් 300 ක් පමණ සිටි බව සඳහන්ය. ඔවුන්ගේ ආගමික කටයුතු වෙනුවෙන් මෙම භූමිය හා ගොඩනැඟිල්ල පරිත්‍යාග කර ඇත්තේ මෙහ්රාබායි පාලොන්ජී කපාඩියා මහත්මිය විසිනි. ඒ ඇගේ සැමියා වූ පාලොන්ජී නව්රෝජී කපාඩියා සිහිවීමටයි. වර්ෂ 1927. 03. 31 වැනිදා සිදු කර ඇති මෙම පරිත්‍යාගය සඳහා භූමිය මිලට ගැනීමට හා ගොඩනැඟිල්ල ඉදි කිරීමට රු. 35,000 ක මුදලක් වැය වී තිබෙන බව එහි කිරිගරුඬ පුවරුවක සටහන් කර තිබේ. මේ කපාඩියාවරු එකල කොළඹ පිහිටි ප්‍රකට ආයුර්වේද බෙහෙත් බඩු වෙ‍ෙළඳ සලක් වන කපාඩියා සාප්පුවේ හිමිකරුවෝය.

දොර ජනෙල්වල සංකේත

ගොඩනැඟිල්ලට ඇතුළු වන සෑම දොරටුවකම බිම හුණුවලින් විවිධ සංකේත සටහන් කර ඇත. ජනෙල් කවුළුවල ද විවිධ සංකේත එල්ලා ඇත්තේය. ඒ මේ ස්ථානයේ ආරක්ෂාව හා සෞභාග්‍යය පතාය. විවිධාකාරයේ ගුප්ත බලපෑම් පිළිබඳව පර්සියානුවෝ අතීතයේ සිටම දැඩි ලෙස විශ්වාස කළහ.

මා ගිනි දෙවොලට ගියේ පුද පූජා නොකෙරෙන දිනයකය. එබැවින් එහි අභ්‍යන්තරය දැක බලා ගැනීමේ අවස්ථාව මා හට ලබා දීමට පූජක සයිරස් කාරුණික විය.

“මෙතන තියෙන්නෙ යාච්ඤ ශාලාවයි. ගිනි පූජා පවත්වන ස්ථානයයි විතරයි. මොකද ලංකාවෙ ඉන්නෙ ටික දෙනයිනෙ. හැබැයි ඉන්දියාවේ ගිනි දෙවොල් හරි විශාලයි. ඒ වගේම කාර්ය බහුලයි.” පූජක සයිරස් පැවසුවේය.

ඉන්දියාවේ ගිනි දෙවොල්

යාච්ඤා ශාලාව තුළ බිත්තියෙහි සරතුස්ත්‍ර දහමේ නිර්මාතෘ සරතුස්ත්‍ර තුමාගේ විශාල රූපයක් එල්ලා තිබේ. ඊට අමතරව එම දහමට සම්බන්ධ සාන්තුවරයන්, අභෞතික බලවේග හා සංකේත එල්ලා තිබේ. පසෙකින් වැලි පිරවූ ගිනි උඳුනකි. පූජක සයිරස් ඒ උඳුනට සඳුන් දර හා සඳුන් කුඩු ඇතුළු තවත් සුවඳ ද්‍රව්‍ය දමා ගිනි දල්වා ගිනි පූජාව පවත්වන හැටි සංකේතාත්මකව ප්‍රදර්ශනය කළේය. ඔහු ගින්න නිසි පරිදි හැසිරවූයේ විශාල හැන්දක් වැනි උපකරණයකිනි.

ගිනි සිළුවේ හාස්කම්

“මෙ පමණයි ඔබට පෙන්නන්න පුළුවන්. මෙතන සිදු කරන අනෙක් හැම දෙයක් ම අපි අතරෙ පමණයි. මෙතන ගිනි පූජාව කරද්දි ගිනි දැල්ලෙ හැසිරීමෙන් අපට දැනගන්න පුළුවන් පාර්සි නොවනා අය ඉන්නවානම්” සයිරස් ගිනි පූජාව සමඟ බැඳුණු රහසක් ද හෙළි කළේය.

නොනිවෙන ගිනි සිළුව

මීට වසර ගණනකට පෙර මෙම ස්ථානයේ අඛණ්ඩව දර දමමින් නිවෙන්නට නොදී ආරක්ෂා කරගත් ගිනි උඳුනක් තිබී ඇත. එම ගිනි උඳුනට ගින්දර රැගෙන විත් ඇත්තේ බොම්බායේ පිහිටා ඇති සරතුස්ත්‍ර දහමේ මූලස්ථානය ලෙස සැලකෙන ගිනි දෙවොලකිනි. බොම්බායේ ගිනි දෙවොලේ ගිනි දැල්ල ද වසර දහස් ගණනක් පුරා අඛණ්ඩව දැල්වෙන බව සරතුස්ත්‍ර භක්තිකයන්ගේ විශ්වාසයයි. කෙසේ නමුත් ශ්‍රී ලංකාවේ ගිනි සිළුව වෙනුවෙන් වැඩි අවධානයක් යොමු කිරීමට මෙන්ම කුඩා පාර්සි ප්‍රජාවට නොහැකි වූ බැවින් වර්තමානයේ එය දක්නට නැත.

අතීත පාර්සි අධිරාජ්‍යය

පාර්සි ජාතිකයන් ඉතා වේගයෙන් නෂ්ට වන ජාතියක් ලෙස සැලැකේ. අතීතයේදී යුරෝපයේ සිට ඉන්දියාව දක්වා මහා අධිරාජ්‍යයකට හිමිකම් කියූ ඔවුන් වඳ වෙන්නට හේතුව ද ඔවුන්ටම ආවේණික සිරිතකි. ඒ මව සහ පියා දෙදෙනාම පාර්සි සරතුස්ත්‍ර භක්තිකයන් නම් පමණක් දරුවන් පාර්සි ලෙස සැලකීමේ සිරිතයි. මව හෝ පියා පාර්සි නොවන්නේ නම් දරුවන් පාර්සි සමාජයෙන් ඉවතට විසි වෙන්නේය. මේ සම්ප්‍රදාය ද සරතුස්ත්‍ර භක්තිකයන්ගේ ඉපැරැණි විශ්වාස හා යාතුකර්ම රහස් ලෙස පවත්වා ගැනීමේ අරමුණින් ඇති වූවකි.

ලොවින් තුරන් වන ජාතියක්

කොළඹ ගිනි දෙවොල පිළිබඳව තොරතුරු ලබාගන්නට මා හමුවූ තවත් පුද්ගලයෙක් වූයේ ආබන් පෙස්තොන්ජි මහත්මියගේ සැමියා වන පෙස්ටොන් නඩීෂාන් පෙස්තොන්ජීය. ඔහු ඉතා වයෝවෘද්ධය. ඉපැරැණි පර්සියානු චිත්‍රවල දැක්වෙන පාර්සියානු ජාතිකයන්ගේ මෙන් දිගැටි නාසයක් හා දිඟු කන් යුගලයක් ඔහුට පිහිටා තිබීමෙන් පැහැදිලි වෙන්නේ ඉපැරැණි ජන ප්‍රජාවක ජාන ඔහු සතු බවය.

“අපේ ආගමත් ජාතියත් වැහිලා තියෙන්නෙ. විවෘත නෑ. අපේ අය අපි කරන දේවල් පිට අය දැන ගන්නවට කැමැති නෑ. ඒකයි අපි වඳවෙන ජාතියක් බවට පත්වෙලා තියෙන්නෙ” ඔහු පැවසුවේය. අනතුරුව මඳක් නිහඬව සිටි ඔහු නැවත කටහඬ අවදි කළේය.

“මගෙ ජීවිත කාලය පුරාම දැක්කෙ පාර්සි ජාතිය අඩුවෙනවා. හැබැයි මං වගේ සරතුස්ත්‍ර භක්තිකයො සුළු පිරිසක් තවමත් තමන්ගෙ ඉපැරැණි වත්පිළිවෙත් අදහාගෙන තවමත් ජීවත් වෙනවා” ඔහු අවසන් වශයෙන් කීවේය.