How singapore is built – සිංගප්පූරුව හැදුව අපූරුව

0
1901
singapore

සතුටු කඳුළකැයි කියන්නේ, මානව සන්තානයෙන් උතුරා යන, මහා සොම්නසක්, නෙත’ඟින් ගලා යෑමකි. ඉවසා, දරාගත නොහෙන තරම් ප්‍රමෝදයක් හදවතට දැනුණු විට, එහි සංකේතය වන්නේ සතුටු කඳුළය. එහෙත් අද, අප වෙසෙන මේ ලෝකයේ, ඉතාම සමෘද්ධිමත් රාජ්‍යයක් බවට පත්ව සිටින, සිංගප්පූරු දේශය, මීට පනස් වසකට පෙර නිදහසේ විමුක්තිය ලද මොහොතේ සිදුවූයේ ඊට හාත්පසින්ම වෙනස් සිද්ධියකි.

තමන්ට නිදහස් දේශයක උත්තරීතර තත්ත්වය අයත් වූයේ යැයි, සිය කුඩා දේශවාසීන්ට, පැවසූ එම, නිදහස ලත් නායකයා ඒ ඓතිහාසික අවස්ථාව ප්‍රකාශකොට සිටියේ, දෙනෙතින් ගලා හැලෙන දුක් කඳුළැලි සහිතවයි. ස්වාධීනත්වය, ලබා ගැනීමේ, අතිවිශිෂ්ට සුබ මොහොතකදී, ඒ නිදහස ලබාගත්, හතළිස් දෙහැවිරිදි ලී ක්වාන් යූට, සිය ජනතාව හරිහැටි අමතන්නට බැරි වන තරමට, සෝ කඳුළින් බාධා පැමිණියේ ඇයි?

අතිශය දේශප්‍රේමී ලී ක්වාන් යූ, නිදහස ලද්දේ, සම්මාන පූර්වකව, ඉමහත් සන්තුෂ්ටියෙන් පිරිනැමෙන, ප්‍රශස්ත තිළිණයක් වශයෙන් නොවේ. සිංගප්පූරු රාජ්‍යයට, නිදහස ලැබුණේ එතෙක් ඒ පෞර රාජ්‍යය අයත්ව සිටි මැලේසියා දේශය විසින්, සිංගප්පූරුව මැලේසියා ඒකාබද්ධ රාජ්‍යයෙන් නෙරපා ලන ලද නිසාය. තමාත්, තමාගේ නායකත්වයෙහි පවත්නා කුඩා සිංගප්පූරු රාජ්‍යයත්, මෙසේ නෙරපාලීම, දැඩි ආත්ම ශක්තියක් සහිත, ලී ක්වාන් යූට පවා කිසිසේත් උසුලාගෙන සිටිය නොහෙන දුක්ඛ වේදනාවක් වූයේය.

1965 හේ අගෝස්තු නව වැනිදා, අගමැති ලී ක්වාන් යූ සිංගප්පූරු රාජ්‍යයේ නිදහස ප්‍රකාශ කරන විට, ඒ කුඩා දිවයින කාත් – කවුරුවත් නැති හුදෙකලා ජනපදයක් වැනි විය. ආර්ථිකය දියාරු වී, පිරිහෙමින් තිබිණි. වෙනෙකක් තබා ඒ ස්වෛරී රාජ්‍යයේ නිදහස රැකගනු පිණිස, එකම එක පළපුරුදු භටයෙකුවත් සිටියේ නැත.

අගමැති ලී ක්වාන් යූ, සිය දිවයින් රාජ්‍යයේ පාලනය සියතට ගත්තේ, දැඩි අධිෂ්ඨානයෙකින් යුක්තවයි. පරිවාර කුඩා දිවයින් 62 ක් සහිත සිංගප්පූරු දිවයින ප්‍රමාණයෙන් වර්ග කිලෝමීටර් 720 කටත් අඩුයි. (ශ්‍රී ලංකාව වර්ග කිලෝමීටර් 65610 ක ද්වීපික රාජ්‍යයකි.) සිංගප්පූරුව, මෑතක් වන තෙක් පානීය ජලයෙන් ද තොර වූයේය. එහි ජනගහණය පනස්පන්ලක්ෂයකි. (ශ්‍රී ලංකාවේ දෙකෝටියකි.) සිංගප්පූරු වැසියෝ, අද ඉහළ ජීවන තත්ත්වයක් සහිත වෙති. ඔවුහු ලෝකයේ ඉතාම දීර්ඝායුෂ ජන කණ්ඩායම්වලින් එකකට අයත් වන්නෝයි.

1965 හේදි, සිය අසල්වැසි මැලේසියා රාජ්‍යයටත් එපා වූ, අනාගත සුබ සිද්ධියක මති- මාත්‍ර වූ හෝ ලකුණකින් තොර වූ, මේ සිඟිති දිවයින් රාජ්‍යයේ අද තත්ත්වය මඳක් සලකා බැලිය යුතු වේ.

විචක්ෂණ ජාත්‍යන්තර ලේඛිකාවක වන හනා බීඩ් මහත්මිය මෙසේ පවසන්නීය:

“ජාතියක් වශයෙන් නැඟී සිටින්නට මුලදී කිසිම බලාපොරොත්තුවක් නැතිව සිටි, සිංගප්පූරුව ‍ස්වෛරී දේශයක් වශයෙන් ප්‍රකාශයට පත්කළ මොහොතෙහි ලී ක්වාන් යූ සිටියේ දැඩි ආත්ම වේදනාවකින් තැවෙමිනි. එහෙත් එදා අකමැත්තෙන් නිදහස ලද සිංගප්පූරුව, අද සිය පනස් වන ජන්ම ජයන්තිය පවත්වන මොහොතෙහි ඒ රාජ්‍යය පෘථිවියේ ඉතාම සමෘද්ධිමත් රාජ්‍ය අතුරින් එකකි. එහි ඒක පුද්ගල ආදායම ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයේ හෝ වරක් ඒ දේශයේ පාලකයාව සිටි බ්‍රිතාන්‍යයේ හෝ ඒක පුද්ගල ආදායමට වඩා සරුය. විවෘත වූත් විනිවිද පෙනෙනා වූත් ආර්ථික ක්‍රමයකට කැප වී සිටින සිංගප්පූරු පෞර රාජ්‍යය, බහු ජාතික සංවිධානයන්හි ආදරය දිනූ දේශයකි.”

ඉතා සුළුවෙන් පටන්ගත් මේ පෞර රාජ්‍යය, අද ජගත් නිරීක්ෂකයන් විසින් සලකනු ලබන්නේ ආසියාවේ ඉතාම ප්‍රබල නගරය වශයෙන් හා ලෝකයේ ප්‍රබල නගර අතුරින් හතරවැන්න වශයෙනුත්ය.

සිංගප්පූරු රාජ්‍යයට, මේ සා විභූතිමත් භෞතික ‘ප්‍රාතිහාර්යයක්’ පාන්නට හැකි වූයේ කවර හේතුවක් නිසා ද? අනිවාර්යයෙන්ම, ඒ විශිෂ්ට ජයග්‍රහණයේ නිර්මාතෘවරයා, නිදහස් සිංගප්පූරුවේ “පියා” වන ලී ක්වාන් යූ ය. 1965 හේදී ඇඬු කඳුළින් සිංගප්පූරු දේශයට නිදහස ලබා දුන් ලී ක්වාන් යූ, මේ දිවයින් ‍රජය, ලෝකයේ බලවත් පෞර රාජ්‍යයක් බවට පත් කිරීමේ සිහිනය සැබෑ කොට ගත්තේය. 1923 හේ සැප්තැම්බර් මස 16 වැනි දින උපන් ලී ක්වාන් යූ, මේ අසහාය පෞර රාජ්‍යය ලොවට පිරිනමා, ජීවිතයෙන් සමුගත්තේ සිය සිහිනයෙන් පහළ වූ සිංගප්පූරු රාජ්‍යය, පනස් වන නිදහස් දිනය සමරනු දැකිය නො හැකිවයි.

අනූ එක් හැවිරිදිව, ඒ පුරෝගාමී පාලන විචක්ෂණයා, අභාවයට පත්වූයේ 2015 හේ මාර්තු මස 23 වැනිදායි. එහෙත් පීපල්ස් ඇක්ෂන් පක්ෂයේ නිර්මාතෘව සිට, 1965 හේ පටන් 2011 වන තෙක් අගමැති පදවියේත්, ජ්‍යෙෂ්ඨ අමාත්‍ය පදවියේත්, උපදේශකාමාත්‍ය පදවියේත් සිටි ලී ක්වාන් යූ, සිංගප්පූරු පෞර රාජ්‍යයේ ඉතිහාසයේ හැම මොහොතක්ම සැලසුම් කොට ක්‍රියාත්මක කළ, අසහාය පාලන වේදියෙක් වූයේය.

ඔහුගේ ප්‍රඥා මහිමයෙන් පහළ වූ සිංගප්පූරු රාජ්‍යය, වචනාර්ථයෙන්ම ගෝලීය පුරවරයකි. ලෝකයේ බොහෝ දේශවල නාකයන්ගේ පරමාදර්ශී පුරවරය පිළිබඳ චින්තනය සත්‍යය බවට පරිවර්තනය කරන ලද්දේ සිංගප්පූරුව විසිනි. ලොව බොහෝ නායකයන්ට උවමනා කරන්නේ සිය දේශයත්, සිංගප්පූරුවක් කරන්නටයි. සිංගප්පූරු රාජ්‍යය, ලෝකයේ උච්චතම නගරාලංකරණයෙන් සැරසුණු ජගත් ජන මණ්ඩලයෙහි ඉතාම විනීත හා යහචර්යා සහිත පුරවැසියන්ගේ වාසස්ථානය වූ පෞර රාජ්‍යයක් බවට පත්කරනු පිණිස, අගමැති ලී ක්වාන් යූ තුළ පැවැති, ආත්මාර්ථයෙන් මුළුමනින්ම තොර කැපවීම, ලෝකයේ සෙසු රාජ්‍ය නායකයන්ගේ පවා විස්මයට හේතු විය.

විශිෂ්ට නගර නිර්මාණ ශිල්පීන්ගේ හා ගෘහ නිර්මාණ ශිල්පින්ගේත්, උච්චතම ප්‍රවීණතාව උපයෝගී කොටගෙන මවන ලද සිංගප්පූරු නගරය, සර්ව සම්පූර්ණ නගරයක විභූතියට ඉතාම ඉහළින් නෑකම් කියන පුරවරයක් වූයේ අගමැති ලී ගේ අප්‍රතිහත දර්ශනයෙනි.

පුරවැසියන්ගේ පෞද්ගලික දිවි පෙවෙතෙහි චර්යා රටාවන්, ඔවුන්ගේ විනීත භාවයත්, තහවුරු කරනු පිණිස අගමැති ලී දැඩි නීති රිති ක්‍රියාවේ යෙදවූයේය.

මේ මහා නාගරික සංස්කෘතිය, සාර්ථක ලෙස කුළුගන්වනු පිණිස, අගමැති ලී, පුරවැසියන්ගේ පෞද්ගලික චර්යාවන් ද දැඩි ශික්ෂණයකට නතු කළේය.

“අපගේ රජය පුරවැසියන්ගේ පෞද්ගලික ජීවිතයේ සිද්ධි දාමයන්ටත් අත පෙවූයේ නැත්නම්, අපට කිසි දිනෙක අප විසින් ජයගන්නා ලද උච්ච කූට දිනා ගත නොහැකි වන බව, මතිමාත්‍ර වූ හේ පසුතැවිල්ලකින් තොරව මම පවසා සිටින්නෙමි. ඔබගේ අසල්වැසියා කවුද, ඔබගේ ජීවන ශෛලිය කෙසේ ද? ඔබ නඟන අනවශ්‍ය ශබ්ද කවරේ ද ආදිය පමණක් නොව ඔබ කෙළ ගසන්නේ කෙසේ ද? ඔබ භාවිත කරන්නේ කවර භාෂාව ද ආදි හැම දෙයක්ම රජයේ අවධානයට ලක් වූයේය. එවැනි විනයානුකූල අවධානය නොතිබුණේ නම් අපට ආර්ථික ප්‍රගතිය ලබාගත හැකි නොවන්නට ඉඩ තිබිණි.”

ජන ජීවිතයේ ශික්ෂණය කෙරෙහි, සිංගප්පූරු රජය විසින් අවධානය යොමුකරන ලද්දේ ඉතාම තියුණු හා දැඩි ක්‍රමාවලියක් අනුගමනය කරමිනි.

ප්‍රසිද්ධ වැසිකිළි භාවිතය ජන සෞඛ්‍යයට හානි වීගෙන එන විට, රාජ්‍ය මාධ්‍ය නිසි පියවර ගත්තේය. යමෙකු වැසිකිළිය භාවිත කොට, එය යුතු පරිදි පිරිසුදු නොකොට, ඉවත්ව ගියේ නම්, එවැන්නෝ පොලිස් භටයන් විසින් අල්ලා ගනු ලැබූහ. ඔවුහු අධිකරණය හමුවටත් පත් කරනු ලැබූහ.

“මේ තැනැත්තා නරක විදියට වැසිකිළිය භාවිත කළ නිසා, ඔහු අධිකරණය හමුවට පත් කෙරී” යැයි පුවත්පත්වල පළ කෙරුණේ නම්, එවැන්නෙකුට විඳ දරාගන්නට සිදුවන ලජ්ජා පරිභව අපට සිතාගත හැකි වේ.

සිංගප්පූරු පෞර රාජ්‍යයේ විස්මය උපදවන සුලු ප්‍රගතියට හේතුකාරක වූ එක් බලවේගයක් නම්, තමාගේ පෞද්ගලික අයිතිවාසිකම්වලටත් වඩා ඉහළින් රාජ්‍යයේ සුබසිද්ධිය සලකන්නට පුරවැසියන්ට ශික්ෂණයක් ලබාදීමය.

1992 කේදී සිදුවූ සිද්ධියක් මෙයට ඉතාම හොඳ නිදසුනකි. සිංගප්පූරුවේ උමං දුම්රිය සේවය වන එම්. ආර්. ටී. (මෙට්‍රොපොලිටන් රැපිඩ් ට්‍රාන්සිට්) ව්‍යාපාරය, ලෝකයේ එවැනි ප්‍රවාහන ක්‍රම අතුරින් මුල් තැන ගන්නකි. 1992 කේ දවසක් දා, ඒ උමං දුම්රියක විදුලි දොරටු වසන්නට බැරිවීමෙන් දැඩි හදිසි තත්ත්වයක් උදා වූයේය. පරීක්ෂා කිරීමේදී හෙළි වූයේ, ඇතැම් මඟීන්, චුයිංගම් හපා, එහි හපය උමං දුම්රියේ දොරටුවල අලවන බවයි. ජන නේතෘ ලී ක්වාන් යූ, සිය දේශයට “චුයිං ගම්” ගෙන්වීමත්, සිංගප්පූරුවේ ඒවා අලෙවි කිරීමත් වහාම තහනම් කළේය. දැන් ඒ තහනම මඳක් ලිහිල්කොට ඇත්තේය. චිකිත්සක හේතු නිසා චුයිංගම් හපන්නෙකුට දැන් ඒ සඳහා අවසර ලැබේ.

සිංගප්පූරු දේශය, එහි පාරිසරික විභූතිය සඳහා ජගත් ව්‍යාප්ත කීර්තියක් දරන්නේය. ඇතැම් තැනකදී සිංගප්පූරුව නම් කෙරෙන්නේ “උද්‍යාන නගරය” (ගාඩ්න් සිටි) වශයෙනි. අහස උසට නැගෙන, මනා කේතුමතී ගොඩනැඟිලි අතරම සිංගප්පූරුව, එහි හරිත ප්‍රභාව රැකගනී. ඒ නිසාම, සිංගප්පූරු රාජ්‍යය, “උද්‍යානයක පිහිටි නගරයක්” වශයෙන් ද සැලකෙයි.

නාගරික පවිත්‍රතාව රැක ගැනීමට, මුඛ්‍යතාවක් සපයන සිංගප්පූරුව, ඒ සඳහා දැඩි නීති-රීති ද ක්‍රියාවේ යොදවන්නේය. මහ මඟට කුණු කසළ දමන අය වහාම අල්ලාගෙන, ඔවුන් අඩ දිනක මාර්ග සේවයෙහි යෙදෙන්නට නියම කෙරෙන්නේය.

මේ නීතිය වලංගු වූ අලුතම, එක් මාධ්‍යවේදිනියක් මෙය සොයා බලන්නට සිතුවාය. ඒ කාන්තාව, වටපිට බලා, කිසිවෙකු නැතැයි සිතා කඩදාසි කැබැල්ලක් පාරේ දැමුවාය. ගතවූයේ සුළු වේලාවකි. නීතියේ නිලධාරීහු අවුත් ඒ කාන්තාව අල්ලා ගෙන ඇයට අඩ දිනක් පා‍රේ වැඩ කරන්නට නියම කළහ.

දඬුවම, වෘත්තිය ජයග්‍රහණයක් බවට පරිවර්තනය කොටගත් මාධ්‍යවේදිනිය, සිය නව අත්දැකීම ගැන විචිත්‍රාංග රචනයක් කළාය. පරිසරය අකලිෂ්ටව පවත්වාගෙන යන්නට කැපවූ නවීන රාජ්‍ය අතර, සිංගප්පූරුව ප්‍රමුඛස්ථානයක සිටී. සිංගප්පූරු පුරවරය, පෙර – අපර දෙදිගම සංචාරකයන්ට ප්‍රමෝදාගාරයකි. ඔවුන් සඳහා සැපයෙන ආකර්ෂණ සංඛ්‍යාව දේශයේ ප්‍රමාණයට අනුව, ඉතාම විශාලය. “නයිට් සෆාරි” නමින් හැඳින්වෙන “රෑ වනසත් උයන”, සිංගප්පූරුවේ විනෝද ස්ථානවලින් මුඛ්‍ය ස්ථානයක් ලබයි.

සංචාරකයන් බහුලව අදනා ආකර්ෂණයක් නම් “සෙන්තෝසා” දිවයිනයි. සිංගප්පූරුවේ පරිවාරක ද්වීපයක් වන මේ පෙදෙස සංචාර සත්කාරක ස්ථානයන් අතුරෙන්, අධි ජනප්‍රියතාවක් ලබන තැනකි.

පමණින් කුඩා වුවද, ආකර්ෂණ මාලා හේතුකොටගෙන ආගන්තුකයන් බහුලව ඇදගන්නා රාජ්‍ය අතර සිංගප්පූරුව එකතු වන්නේ, එහි විචිත්‍ර නගරාංග හේතුකොටගෙනයි. ගුවනින් පැමිණෙන අමුත්තෝ, “චංගි” ගුවන් තොටුපළින් සිංගප්පූරුවට එළඹෙති. “චංගි ගුවන් තොටුපළක් නොව, අති නවීන මානව ජනපදයක් වැනියි. මූද ගොඩ කොට තනා ගත් බිම් පෙදෙසක තැනුණු “චංගි” ගගන ගමන් මධ්‍යස්ථානය, ලෝකයේ හොඳම ගුවන් තොටුපොළ වශයෙන් ජගත් සම්මාන හිමිකොට ගත් සංචාරක ආකර්ෂණයකි.

සිංගප්පූරුව විසින් මූද ගොඩ කිරීමේ සිද්ධිය ද, කතාබහට සුදුසු තේමාවකි. මුල් දිවයින කුඩා නිසා, පාලකයෝ එක්කෝ, පරිවාර දිවයින් අවට මූද ගොඩ කොටගෙන අතිරේක භූමි ලබා ගනිති. අවට මූද ගොඩ කිරීමේ සිංගප්පූරු ප්‍රතිසංස්කාරක ප්‍රතිපත්තිය ආශ්‍රිත විචිත්‍ර කතාත් ඇත්තේය.

“යම්කිසි දවසක ලී ක්වාන් යූ” පයින්ම අපේ රටට ඒවියැයි අසල්වැසි ඉන්දුනීසියානු රාජ්‍ය නායකයෙකු පැවසුවේයැයි කථාවක් ඇත්තේය. සිංගප්පූරු – ඉන්දුනීසියා රාජ්‍ය දෙක එකිනෙකින් වෙන් වී තිබෙන්නේ පටු මූදු තීරයකිනි.

වරක් සිංගප්පූරුවට ගිය කෙනෙකුට, යළි යළිත් ඒ දේශයට යා යුතු යැයි කියන අදහස, නිතැතින්ම ආධ්‍යාත්ම ගත වේ. මේ ලිපිය ලියන මම, තිස් තුන් වතාවක් සිංගප්පූරුවට ගියෙමි. ඉන් බොහෝ වාරවල මගේ සංචාරය සිදු වූයේ, සිංගප්පූරු සංඝනායක, සිංගප්පූරුවේ බෞද්ධ භාවනා මධ්‍යස්ථානාධිපති වේරගොඩ නාහිමියන්ගේ ඇරියුමෙන් හා අනුග්‍රහයෙනි. සිංගප්පූරු සංචාරය, අත්හළ නොහෙන ඇබ්බැහියක් බවට පත් වේ. එහි යන මම, අනිවාර්යයෙන්ම, ෂෝ සහෝදරයන්ගේ සිනමා සංකීර්ණයට යන්නෙමි. එහි සිනමා ශාලා සංකීර්ණයක් වෙයි. දවසක් පුරාම විවිධ චිත්‍රපට නරඹා, රෑ බෝවී පෙරළා ඒම මගේ සිංගප්පූරු සංචාර ඇබ්බැහියේ එක් අංගයකි.

ශ්‍රී ලංකාවෙන් යන සංචාරකයන්ගෙන් බොහෝ දෙනාගේ ‘සිද්ධ ස්ථානයක්’ වන්නේ, මුස්තාපා වෙළෙඳ සංකීර්ණයයි. ඇතැම් ශ්‍රී ලාංකිකයන් එහි යන්නේ පෙරුම් පුරා යන වන්දනා ගමනක යෙදෙන ආකාරයෙනි. අල්පෙනෙත්තේ පටන් අහස් යානයක් දක්වා (ෆ්‍රොම් පින් ටු අ පෙල්න්) ඕනෑම දෙයක් අලෙවි කරන සල්පිල් දැවැන්තයෙකු වන “මුස්තාපා” සංකීර්ණය, සිංගප්පූරු යන බොහෝ දෙනාගේ අනිවාර්ය ගමන් ඉලක්කයක් වේ.

සිංගප්පූරුවේ සෑම පෙදෙසක්ම, ළගන්නා සුලුය. එහි සුප්‍රසිද්ධ “ඕචාඩ් රෝඩ්” මාවත නිදසුනකි. (ඕචාඩ් යනු පලතුරු උයනකි.) ඒ පාර අයිනේ පදික වේදිකාවේ තැනින් තැන පිත්තලෙන් කළ පලතුරු රූප තහඩු ඇත. මීට පසු එහි ගිය විටෙක ඒ අංගයන් කෙනෙකුට බැලිය හැකි වේ.

සිංගප්පූරු ප්‍රාතිහාර්යයෙහි ගැඹුරු පැති කිහිපයක් දෙස අප විසින් සිත් යොමුකළ යුතු වේ. ජාතියේ පිතෘ තැන්පත් ලී ක්වාන් යූ පෞර නායකයා ඉතා හොඳින් අනාගතය දුටුවේය. එතුමාගේ සැලැස්ම වූයේ, සෞභාග්‍යයේ සමෘද්ධියේ සංස්කාරකයන් විය හැකි වන පරිදි, දේශයේ දරුවන් හැඩ ගස්වාලීමය. ඔහු අධ්‍යාපනයට මුල් තැනක් දෙමින්, ලෝකයේ ප්‍රධාන භාෂා දෙක, අනිවාර්ය ලෙස උගත යුතු යැයි තහවුරුව කියා සිටියේය. ඒ භාෂා දෙක නම් ඉංගිරිසි සහ මැන්ඩරින් චීන භාෂාවයි.

ඉංගිරිසිය අද ලොව ප්‍රධානතම ව්‍යාපාරික භාෂාවයි. මැන්ඩරින් චීන භාෂාව, ලෝක ජනගහණයෙන් විශාලතම සංඛ්‍යාවක් විසින් භාවිත කෙරෙන භාෂා විශේෂයයි. සිංගප්පූරුවාසීන් ජගත් පුරවැසියන් බවට පත්කරනු පිණිස, ඔවුන්ට මේ ද්වි භාෂාත්මක ඥානය අත්‍යවශ්‍ය යැයි ලී ක්වාන් යූ, ස්ථාවර ලෙස විශ්වාස කළේය. මෙහි ප්‍රතිඵලය කවරේදැයි මහාචාර්ය කිෂෝර මාබුබානි පවසන්නේය:

“මෙය ආසියානු ශතවර්ෂයයි. එහි අගනුවර සිංගප්පූරුවයි.” නිදහස් සිංගප්පූරුව විසින් ගත යුතු මඟ, ලී ක්වාන් යූ ඉතාම පැහැදිලිව ප්‍රත්‍යක්ෂ කොටගෙන සිටියේය. ඒ දූරදර්ශී නායකයා, නිදහස් සිංගප්පූරුව ලෝකයේ අන්ත දෙකේ මහ බලවතුන් අතර සමබල තුලයෙන් ගමන් කළ යුතු යැයි කියා සිටියේය. ඒ ගමන පහසු කරනු පිණිස, ඔහු මැන්ඩරින් චීන භාෂාවට සිංගප්පූරු අධ්‍යාපනයෙහිදී ප්‍රමුඛ ස්ථානයක් ආරෝපණය කළේය. දෙවැනි මහ බලවතා, නම් ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයයි. ඒ බලවතා ගැන ලී ක්වාන් යූ පැවසුවේ මෙයයි:

“අපගේ කලාපයේ ස්ථාවර බල තුලනය සඳහා ඇමෙරිකාව විසින් අර්ථවත් සහයෝගයක් සපයන්නේ යැයි අපි සිතන්නෙමු. ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යය විසින් ඉටු කෙරෙන්නේ ඉතාම වැදගත් මෙහෙයකි.”

නිදහසින් පසු ස්වර්ණ ජයන්තිය පවත්වන සිංගප්පූරු රාජ්‍යය, අපගේ අනාගතය සඳහා ඉතාම ප්‍රශස්ත සහායයක් සම්පාදනය කිරිමේ බලය සහිත දේශයකි. එහි වර්තමාන අගමැති හැටතුන් හැවිරිදි ලී ඩියෙන් ලූං මහතා, සිය පියාණන් වන ලී ක්වාන් යූ විසින් තනා ලූ රාජ්‍යයේ, අනාගත මාර්ග සිතියම සකස් කරමින් සිටී.

එහිදී, රැකියා පතා ශ්‍රී ලංකාවෙන් එහි යන අපගේ ශ්‍රමික පිරිසට වඩාත් අර්ථවත් ජීවන ක්‍රමයක් සලසා දෙනු පිණිස අගමැති ලූංට අප විසින් වගකීමෙන් යුක්තව කරුණු කියා සිටිය යුතු වේ. සිංගප්පූරුව විසින් 2013 යේදී පළ කරන ලද ධවල පත්‍රිකාවට අනුව, ප්‍රබල සුදුසුකම් සහිත සංක්‍රමණිකයන්, සිය ජනගහනයට එක් කරගන්නට සැදී පැහැදි සිටී.

අප විසින් ගෘහ සේවා සඳහා යවනු ලබන පිරිස ඉමහති. එහෙත්, සිංගප්පූරු ප්‍රගතියට, වඩාත් ප්‍රබල ලෙස සහාය විය හැකි සංක්‍රමණිකයන්ට ද සිංගප්පූරුවේ ප්‍රගතියට සහාය විය හැකි මං අප විසින් සොයා බැලිය යුතු වේ. අපගේ දේශයේ විශාල පිරිසකට, රැකි රක්ෂා අනුග්‍රහය සපයන සිංගප්පූරුවේ පනස් වන නිදහස් සමරුවේදී විශේෂයෙන් ම සඳහන් කළ යුත්තක් වෙයි.

අපි, සිංගප්පූරුව මෙන් දියුණු විය යුතු වෙමුයි අපේ දේශයේ බොහෝ දෙනා පුන – පුනා කියූ කාලයක් තිබිණි. එහෙත්, අසුබවාදී නොවමින් යථා තත්ත්වය පිළිබඳව පැහැදිලි දර්ශනයකින් මෙහිලා කිව යුත්තක් වේ. සිංගප්පූරුව, වර්ධනය සඳහා අවශ්‍ය බොහෝ දේවලින් තොරව, නිදහසින් අඩ සියවසේදී ජගත් ජන මණ්ඩලයේ ප්‍රබල සමෘද්ධිමත් රාජ්‍යයක් වී සිටී. එක් ලේඛකයකු විසින් නොබෝදා පවසන ලද පරිදි, සිංගප්පූරුවෙන් එදා පහළ වූ මහා පුරුෂයා මේ යුගයේ මහා පුරුෂයෙක් වූයේය.

අප 1948 දී නිදහස ලැබුවේ, අවුරුදු 2300 ක පමණ සරුසාර ඉතිහාසයකුත් ස්වාභාවික සම්පත් අතින් ලෝකයේ ඉතාම වාසනාවන්ත වූත්, ආශිර්වාද ලද උතුම් දේශයක් හැටියටයි. නිදහසින් හැටහත් අවුරුද්දක් ගෙවුණු තැන අප දකින්නේ, කොපමණ හොඳට සාමයේ අරුණලු උදා වුණත්, තාමත් ඔවුනොවුන් පාගා දමන්නට සැරසෙන පිරිසක් සහිත වාතාවරණයකි. එවැනි පසුබිමක් තිබෙන තාක්, අපට සිංගප්පූරුවක් තබා නොදියුණු ජනපදයක් වෙනු පිණිසවත්, ඒකාග්‍ර ප්‍රතිපත්තියක් තනා ගන්නට බැරි සේ පෙනේ.

එවැනි තැනකදී, මේ දේශයේ බොහෝ දෙනාට කළ හැකි වන්නේ ඉඳහිට සිංගප්පූරුවේ විභූතිය බලාගෙන පෙරළා මේ දේශයට පැමිණ, ඔවුනොවුන් ඇන-කොටා ගන්නා පුරුද්දට අනුගත වීම පමණකැයි මට සිතේ.

එහෙත්, මහා කවි තොටගමුවේ රහල් මාහිමියන්ගෙන් යමක් උපුටාගෙන මෙසේ කිව හැකිය.

“නොව පැරැණිය වන රමණිය විටින් විට
සිංගප්පූරු අරුමය බැලියැක ඔබට”

එය ද සිංහ පුරයකි. අපි ද සිංහ රාජ්‍යයක් වෙමු. එහෙත්, මේ සිංහ කම් දෙක අප දැකිය යුත්තේ කෙසේ ද