දෙමළ සන්ධානයත් නව ගමනකට සැරසේ

0
711

අභිනවයෙන් රැස්වූ මෙවර පාර්ලිමේන්තුවේ විපක්ෂනායක ධුරය හිමි වූයේ දෙමළ ජාතික සන්ධානයේ නායක ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජවරෝනියම් සම්පන්දන් හෙවත් ආර්. සම්පන්දන් මහතාටය.

දෙමළ පක්ෂයකට විපක්ෂ නායක තනතුර හිමිවූයේ වසර 33කට පසුවය. ඒ නිසා බ
ළ ජනතාව තමන් ලැබූ ජයග්‍රහණයක් ලෙස දෙමළ සන්ධානයට හිමි වූ විපක්ෂ නායක ධුරය සැලකුවේය. මීට පෙර 1977 දී දෙමළ එක්සත් විමුක්ති පෙරමුණට විපක්ෂ නායක ධුරය හිමි වූ අතර එහිදී විපක්ෂ නායක ධුරයට පත් වූයේ දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ නායක අජපාපිල්ලෙයි අමිර්තලිංගම්ය. (සම්පන්දන් මහතා දෙ.එ.වි.පෙ. මන්ත්‍රීවරයෙකු විය). අමිර්තලිංගම් මහතා විපක්ෂ නායක ධුරය දැරූ කාලය පිළිබඳව අතීතය දන්නා අය තුළ ඇත්තේ ඉතාමත් අමිහිරි මතකයකි. ඒ මක්නිසාද යත් අමිර්තලිංගම් මහතා විපක්ෂනායක ධුරය ඉසිලූ 1977 – 1983 කාලයේදී එල්.ටී.ටී.ඊ. ය ඇතුළු අවිගත් දෙමළ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම්වල විශාල වර්ධනයක් සිදු වූ අතර ඒ පිළිබඳව දෙමළ එක්සත් විමුක්ති පෙරමුණට චෝදනා එල්ල වූ බැවිනි. මේ තත්ත්වය දහස් සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයන්ට මරණය ගෙන ආ යුද්ධයක් නිර්මාණය කරන ලද අතර සිදු වූ දේපළ විනාශය නිසා ශ්‍රී ලංකාවේ සංවර්ධනය දශක ගණනාවකින් ආපස්සට ගියේය. ඒනිසාම බහුතර සිංහල ජනතාවට නව විපක්ෂනායක ධුරය පිළිබඳ ඇත්තේ සැකමුසු තත්ත්වයකි.

සම්පන්දන් මහතාට හිමි වූ නව විපක්ෂ නායක ධුරය පිළිබඳව උතුරු නැගෙනහිර දෙමළ ජනතාව අතරින්ද විවිධ අදහස් ප්‍රකාශ වේ. ලියුම්කරු නව තත්ත්වය පිළිබඳව උතුරේ වෙසෙන විවිධ වෘත්තිකයන්, දේශපාලකයන් සමග අදහස් හුවමාරු කර ගත්තේය. එහිදී පැහැදිලි වූයේ නව තනතුර පිළිබඳව සිතූ තරම් දෙමළ ජනතාව අමන්දානන්දයට පත්ව නැති බවකි. නව තනතුර හරහා තම ගැටලු සඳහා විසඳුමක් ලැබෙතැයි ඇතැමුන් තුළ විශ්වාසයක් තිබුණ ද තවත් පිරිසක් තුළ ඇත්තේ නව තනතුර සිංහල ආණ්ඩුව විසින් තමන්ට අටවන ලද තවත් උගුලක් ද යන්නයි. 2002 වසරේදී එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එල්.ටී.ටී.ඊ. ය හා රජය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කෙරුණි. එම අවස්ථාවේදී ද බහුතර දෙමළ ජනයා එය තමන්ගේ ජයග්‍රහණයක් ලෙස සැලකූ අතර දකුණේ සිංහල ජනතාවගෙන් ඊට විරෝධය එල්ල විය. අවසානයේදී එල්.ටී.ටී.ඊ. ය වන්නි පිල හා කරුණා පිල වශයෙන් දෙකට බෙදුන අතර එල්.ටී.ටී.ඊ.යේ පරාජයටද එය බලපෑවේය. “ඉස්සෙල්ලා වගේ දෙමළ සන්ධානය දෙකඩ කරන්න ගහපු රනිල්ගෙ ගැටයක් ද දන්නෙ නැහැ.” මේ පිළිබඳව කිහිප දෙනෙක් තම අදහස එසේ ප්‍රකාශ කළහ.

වන්නි මානුෂීය මෙහෙයුම සමයේදී රජයේ හමුදා යුද අපරාධ කළ බවත් ඒ පිළිබඳව ජාත්‍යන්තර පරීක්ෂණයක් කළ යුතු බවත් කියමින් දෙමළ සන්ධානය විශාල හඬක් නැගුවේය. ජාත්‍යන්තර පරීක්ෂණයක් සඳහා මැදිහත් වන ලෙස ජාත්‍යන්තරයෙන් ඉල්ලීම් ද කළේය. කෙසේ නමුත් මේ වන විට දෙමළ ජාතික සන්ධානයේ ස්ථාවරය වී ඇත්තේ “යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් දේශීය පරීක්ෂණයක් පැවැත්වීම ප්‍රමාණවත් බවකි. ඒ බව සම්පන්දන් මහතා මෙන්ම දෙමළ ජාතික සන්ධානයේ ‍ලේකම් මාවෙයි සේනාධිරාජා මහතා ද ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේය. සම්පන්දන් හා මාවෙයි යන දෙදෙනාම දෙමළ ජාතික සන්ධානයේ හවුල්කාර පක්ෂයක් වන ඉලංගෙයි තමිල්අරසුකච්චි පක්ෂයේ සාමාජිකයෝය. එහි අනෙක් හවුල්කාර පක්ෂ වන ප්ලොට්, ටෙලෝ හා ඊ.පී.ආර්. එල්.එෆ්. යන පක්ෂ සම්පන්දන් මහතා විසින් ගන්නා ලද තීරණවලට එකඟ නැත. ඔවුන්ගේ අදහස වී ඇත්තේ යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය බවකි. ප්ලොට් නායක සිද්ධාර්ථන් හා ඊ.පී.ආර්. එල්.එෆ්. නායක සුරේශ් ප්‍රේමචන්ද්‍රන් මේ බව පැහැදිලිවම ප්‍රකාශ කර ඇත.

උතුරු පළාත් සභාව පත් වූ අවස්ථාවේදී එහි බලය හිමි කරගෙන සිටින දෙමළ ජාතික සන්ධානය ශ්‍රී ලංකාවේ සිදු වූ බව කියන යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය බවට යෝජනාවක් සම්මත කර ගත්තේය. පළාත් සභාවේ දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන්ගෙන් බහුතරයකගේ අදහස වී ඇත්තේ යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය බවකි. ඒ නිසාම පළාත් සභා මන්ත්‍රීවරුන් වන එම්.කේ. ෂිවාජිලිංගම්, ආනන්දි සෂිදරන් ඇතුළු පිරිසක් එක්ව යුද අපරාධ පිළිබඳව ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලා සකස් කළ පෙත්සමක් සඳහා අත්සන් ලක්ෂයක් එකතු කිරීමේ වැඩසටහනක් උතුරේ ක්‍රියාත්මක කර ඇත. වව්නියාව කුරුමන්කාඩුහි පිහිටි දෙමළ ජාතික සන්ධාන කාර්යාලයේදී ඉකුත් 05 දා පස්වරුවේ ඉලංගෙයි තමිල්අරසුකච්චි පක්ෂයේ ජනහමුවක් පැවැත්විණි. එහි ප්‍රධාන අමුත්තා වූයේ පක්ෂ ‍ලේකම් මාවෙයි සේනාධිරාජා මහතාය. එහිදී උතුරු පළාත් සභාවේ මහ ඇමැති සී.වී. විග්නේෂ්වරන් මහතා දැඩි ලෙස විවේචනය කළේය.
“විග්නේෂ්වරන් මේ තනතුරට ගෙනාවේ අපි. නමුත් එයා මහ මැතිවරණයේදී දෙමළ ජාතික සන්ධානය පරදවන්න කටයුතු කළා. එයා කටයුතු කළ ආකාරය නිසා ඡන්ද හයකින් එක් ආසනයක් අපට අහිමි වුණා. යුද අපරාධ ගැන ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලා අත්සන් කරන පෙත්සම පිටුපස ඉන්නේ විග්නේෂ්වරන්.

මේ වෙද්දි අවශ්‍ය සාක්ෂි ලබාගෙන ජාත්‍යන්තරව පරීක්ෂණයක් සිදුකරලා අවසන් කරලා වාර්තාව සකස් කරලත් ඉවරයි. දැන් තියෙන්නෙ ඒ සම්බන්ධයෙන් ගන්නා තීන්දු තීරණ මොනවද කියන එක. හිටපු විනිසුරුවෙක් කියන විග්නේෂ්වරන්ට මේ දේ තේරුම් ගන්න බැරිද යන්න අපිට ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඒ වගේම එල්.ටී.ටී.ඊ. ය ගැන අපට ගෞරවයක් තිබෙනවා. නමුත් පහුගිය මහ මැතිවරණයේදී අපේ උපදෙස් නොතකා හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් පිරිසක් වෙනමම ඡන්දයට ඉදිරිපත් වුණා. ඔවුන්ට හිමිවුණේ ලැජ්ජාසහගත පරාජයක් යැයිද මාවෙයි සේනාධිරාජා මහතා කීවේය.
පවතින තත්ත්වය මත දෙමළ ජාතික සන්ධානයේ පැවැති අභ්‍යන්තර ගැටුම් එළිපිට විවේචනය කර ගන්නා තරමට උග්‍ර වී ඇත.
මේ අතර දෙමළ සන්ධානයේ යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී ෂිවඥානම් ශ්‍රීදරන් මහතා ඉකුත් 04 දා කිලිනොච්චිහිදී මාධ්‍ය හමුවක් තබමින් ප්‍රකාශ කළේ තම පක්ෂය ඇමරිකාවට අවශ්‍ය ආකාරයට නටන රූකඩයක් නොවන බවයි. තවද අතීතයේ මෙන් සිංහල ආණ්ඩුවලට තම පක්ෂය නොරැවටෙන බවද ප්‍රකාශ කළේය.

දෙමළ ජනතාව දෙමළ සන්ධානයට මතෛක් ලබාදුන් බලයෙන් කිසිදු ප්‍රයෝජනයක් නැති බවට අදහස් කරන දෙමළ වැසියෝද වෙති.
උතුරු පළාත් සභාවේ බලය අරන් දුන්නොත් දෙමළ ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුමක් ලබා දෙනවා කියලා ටීඑන්ඒ එක කීවා. අපි විශිෂ්ට ජයග්‍රහණයක් අරගෙන දුන්නා. පළාත් සභාව පිහිටුවලා අවුරුදු දෙකකුත් ගිහින්. එත් ලැබුණ දෙයක් නැහැ. මේ පාර මහ මැතිවරණයේදී මන්ත්‍රීධුර 20ක් අරන් දෙන්න කියලා කීවා. අපි 16ක් අරන් දීලා විපක්ෂධුරයත් අරන් දුන්නා. ඒත් අපේ ප්‍රශ්නවලට විසඳුමක් අරන් දෙන පාටක් නම් නැහැ. වව්නියාවේ ව්‍යාපාරිකයෙකු වන කන්නන් කීවේය.

මේ අතර උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ. ෂිවාජිලිංගම් මහතා ඉකුත් 05 දා මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ එළඹෙන ජිනීවා මානව හිමිකම් සමුළුව සඳහා තමාත්, පළාත් සභා මන්ත්‍රීනි ආනන්දි සෂිදරන් හා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කාරක සභික සෙල්වම් අඩෙක්කලනාදන් මහතාත් සහභාගි වන බවකි.
සම්පන්දන් මහතාට විපක්ෂ නායක ධුරය හිමි වීමට දින කීපයක් තිබියදී ඒ මහතා උතුරේ පිහිටි වනගත ගම්මාන කිහිපයක හදිසි චාරිකාවක නිරත විය. ගුවනින් කෙරුණ එම චාරිකාව සඳහා හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියද එක්වූවාය. ඉකුත් අගෝස්තු 30 දා මෙම ගමන සිදු වූ අතර ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානයකින් ගිය එම පිරිස ගොඩබසිනු ලැබුවේ පූලියන්කුලම මදියමඩු විවේකානන්දා විදුහල් ක්‍රීඩාංගණයටයි. එහිදී ගම්වාසීන් හමු වූ සම්පන්දන් මහතා ඔවුන්ගේ ගැටලු පිළිබඳව සාකච්ඡා කළේය. මෙම ගමන පිළිබඳව මාධ්‍යයෙන් එතරම් ප්‍රසිද්ධියක් ලබා නොදුන් අතර මෙහිදී සම්පන්දන් මහතා ප්‍රකාශ කර තිබුණේ ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර යානයක අවසන් වරට ගොස් තිබුණේ 1994 දී බවත්, වසර 21කට පසුව මෙම ගමන සිදු වූ බවත්ය.

මේ අතර ඉකුත් අගෝස්තු 29දා සිට ඕමන්ත මාර්ග බාධකයේදී සිදු කෙරුණ පරීක්ෂා කිරීම් හා රථවාහන ලියාපදිංචි කිරීමේ කටයුතු මුළුමනින්ම නවතා දැමීමට යුද හමුදාව පියවර ගත්තේය. ඕමන්ත මාර්ග බාධකය 2002 මාර්තු 15 දා විවෘත කෙරුණු අතර එහි ප්‍රධානම අරමුණ වූයේ එවකට රජයේ පාලන ප්‍රදේශ හා මුදානොගත් ප්‍රදේශ අතර සිදුකෙරුණ යුද උපකරණ ඇතුළු තහනම් භාණ්ඩ ප්‍රවාහනය වැළැක්වීම මෙන්ම ත්‍රස්තවාදී සැකකරුවන් අත්අඩංගුවට ගැනීමයි. නමුත් යුද්ධය අවසන් වී වසර 06ක් ගත වීත් මුර‍පොළ ක්‍රියාත්මක වීම පිළිබඳ විශේෂයෙන් දෙමළ ජාතික සන්ධානය විරෝධතාවය දැක්වීය. ඒ නිසා ඉකුත් ජනාධිපතිවරණය අවසන් වී දින කීපයක් ගිය පසු ඕමන්ත මාර්ග බාධකයේ පරීක්ෂා කිරීම් නවතා දැමීමට හමුදාව කටයුතු කළේය. නමුත් එම තත්ත්වය ක්‍රියාත්මක වූයේද දින දෙකක් පමණි. ආරක්ෂක අංශවල ඉල්ලීම මත නැවත පරීක්ෂා කිරීම හා ලියාපදිංචි කිරීම ආරම්භ කෙරුණි. මෙවර ඉවත් කිරීම ස්ථිරවම සිදු වූ ආකාරයක් දක්නට ලැබේ. මේ වන විට අවි ආයුධ එල්.ටී.ටී.ඊ. සැකකරුවන් ඕමන්ත හරහා යාමක් සිදු නොවුණද හොර හරක් ප්‍රවාහනය කේරළ ගංජා ප්‍රවාහනය නීති විරෝධී දැව ප්‍රවාහනය ඕමන්ත හරහා සිදුකෙරෙන බැවින් පරීක්ෂා කිරීම කළ යුතු බව ඇතැමුන්ගේ අදහස වී තිබේ.