අප රටේ වයඹ වෙරළාසන්නයේ අතීත රැජිනන් විසූ මාලිගා දෙකක්

0
1827

සම්මත ඉතිහාසකරුවන් විසින් කුවේණිය ලක් ඉතිහාසයෙන් අතුගා දැමීමට දරා ඇති වෑයම සුළුපටු නැත. මිනී කන යකින්නක ලෙස හුවා දක්වා ඇති කුවේණිය කෙරෙහි ශ්‍රී ලාංකීය ජන විඥානය තුළ අනිසි භීතියක් ජනිත කරවීමට සම්මත ඉතිහාසකරුවන් දරා ඇත්තේ නොමඳ පරිශ්‍රමයකි. එහෙත් ඔවුන් එසේ කීවද කුවේණිය පිළිබඳ දයානුකම්පාව මුසුවූ ගෞරවනීය ප්‍රතිරූපය අද ද ශ්‍රී ලාංකිකයන්ගේ මනැස් තුළින් මුළුමනින්ම සිඳී බිඳී ගොස් නැත. එනිසාම සම්මත ඉතිහාසකරුවන්ගේ කුරිරු මැර ප්‍රහාරවලට ලක්වුවද කුවේණිය අප්‍රකට ලෙසින් හෝ ශ්‍රී ලාංකීය ජන විඥානය තුළ අද ද ලැඟුම් ගෙන හිඳින්නීය.
කුවේණියගේ වාසභූමිය වන තම්මැන්නාව ශ්‍රී ලාංකික වයඹ පළාතේ කිසියම් ස්ථානයක් බවට තහවුරු කර ගත හැකි මානව විද්‍යාත්මක සාධක රැසකි. ඒ අනුව කුවේණියගේ මාලිගය දැනට විල්පත්තු ජාතික වනෝද්‍යානය තුළ කිසියම් ස්ථානයක පිහිටි බවට ‍පොදු පිළිගැනීමක් තිබේ.

පුත්තලම, අනුරාධපුර පාරේ පහළ මාරගහ වැව ඇඩ්ලින් විතාරණ සිහිවටනය අද්දරින් වමට හැරී කිලෝමීටර් අටක් යන විට විල්පත්තු ජාතික වනෝද්‍යානයට පිවිසෙන හුනුවිලගම ප්‍රවේශය හමුවෙයි. එතැන් සිට ජාතික වනෝද්‍යාන තුළින් කිලෝමීටර් තිහක පමණ දුරක් යනවිට හමුවන කාලි විල්ලුව නම් ප්‍රදේශයේ ඇති ගල්කණු කිහිපය කුවේණියගේ මාලිගාවේ නටබුන් ලෙස හඳුන්වනු ලැබේ.

එහෙත් එය ඓතිහාසික හෝ පුරාවිද්‍යාත්මකව සනාථ වූ ස්ථානයක් නොවේ. කුවේණිගේ මාලිගය යනුවෙන් හැඳින්වුවද දැනට එහි දක්නට ඇත්තේ ගල්කණු කිහිපයක් පමණි. එම ගල් කණු අද්දර චතචජඥ ධට ම්භඹඥදඪ
(කුවේණි ස්ථානය) යනුවෙන් ඉංග්‍රීසි බසින් පමණක් සටහන් කොට ඇති නාම පුවරුවක් දක්නට ඇත. විල්පත්තුව ජාතික වනෝද්‍යානයට අයත් කාලි විල්ලුව ජලාශය ඇත්තේ ඊට මඳක් පහළිනි. විල්ලු සිය දහස් ගණනක් සහිත විල්පත්තුවේ ඇති මෙම විල්ලුවට කාලි යන දෙවඟනකගේ නමක් පටබැඳී ඇත්තේ මන්දැයි කිව නොහැක. ඒ කෙසේ හෝ අද වන විට විල්පත්තුව ජාතික වනෝද්‍යානය තුළ ඇති මෙම කුවේණි ස්ථානයට පෙර නොවූ විශේෂ ජන අවධානයක් යොමුව ඇති බව අපගේ සංචාරක මග පෙන්වන්නා කීය.

සම්මත ඉතිහාසයේ කිසිදු තැනක සඳහන්ව නැතත් කුවේණියට අල්ලි රාණි නම් නැගෙණියක ද සිටි බව ජනවහරේ එයි. අක්කාගේ සුව දුක් බලා එන අතරේ නංගී අමතක කර දැමීම හොඳ නැති බැවින් මෙම සංචාරයේදී අපි එහි ද ගියෙමු.

කොළඹ පුත්තලම ප්‍රධාන මාර්ගයේ කිලෝමීටර් එකසිය විස්සක් ගිය විට හමුවන පාලවි හන්දියෙන් වමට හැරීයන කල්පිටිය පාරේ තවත් කිලෝමීටර්
තිස්හයක දුරක් ගිය විට හමුවන පල්ලිවාසල්තුරේ හන්දියෙන් නැවත වමට හැරෙන අතුරු පාරේ හන්දියෙන් නැවත වමට හැරෙන අතුරු පාරේ තවත් කිලෝමීටර් හතරක් පමණ ගිය විට මෙම අල්ලිරාණි ස්ථානයට පිවිසිය හැක. එහෙත් ඒ ගමන ඇරඹීමට පෙර මෙම හන්දිය හැඳින්වෙන පල්ලිවාසල්තුරේ යන ග්‍රාම නාමය ගැනද යමක් කිව යුතුය. මෙහි පල්ලි යනු අප රට යටත් විජිතයක් බවට පත් කරගත් ඕලන්දකාරයන් පාසල් හැඳින්වූ නමය. ඒවා රෙපරමාදු ආගමික ආයතන වූ බැවින් පසුව ‍පොදුවේ සිංහලයෙන් කිතුණු සහ ඉස්ලාම් දේවස්ථාන හැඳින්වීම පිණිස ද ඒ පල්ලි යන වදනට නම යොදා ගෙන තිබේ. පසුගිය දිනවල ඝාතනයට ලක්වූ තංගල්‍ලේ උක්කුවා නමැත්තාගේ මරණය සමගද තංගල්‍ලේ පල්ලික්කුඩාව නම් ප්‍රදේශයක් ගැන කියැවිණි. එයද ඕලන්ද සමයේ පැවැති විද්‍යායතනයක් හෙවත් පාසලක් මුල්කොට පටබැඳුණු නමකි. අතීතයේ ඒවායේ ඉගැන්වූ ආචාර්යවරු පල්ලියගුරු නමින් හඳුන්වනු ලදහ.

කුවේණියගේ මාලිගය කාලි විල්ලුව නම් ජලාශයක් සමීපයේ ඇති බව මම කලින් කීවෙමි. එමෙන්ම ඇගේ සොයුරිය වන අල්ලි රාණිගේ මාලිගයද එබඳුම ජලාශයක් අද්දර පිහිටා තිබිම තරමක් පුදුමයට කරුණකි. එම ජලාශය හැඳින්වෙනුයේ ගෙන්ගේ යන නමිනි. මෙම ගෙන්ගේ ජලාශය අල්ලි රාණි ජල ක්‍රීඩා කිරීමට යොදා ගත් රාජකීය තටාකය බවට ජන විශ්වාසයක් ඇත. එමෙන්ම මුහුදෙන් තරමක් රට අභ්‍යන්තරයට වන්නට පිහිටි ජලාශයක් වන මෙහි පතුලක් නොමැති ස්ථානයක් ඇති බවටද පැරණි විශ්වාසයක් පවතී. ශ්‍රී ලංකාව සම්බන්ධ ප්‍රශස්ථ අධ්‍යයනයක් කළ විසිවන සියවසේ මුල් භාගයේ මෙරට මිනින්දෝරු වෘත්තියේ යෙදුණු විද්වතකු වන ඒ.එල්. බ්‍රෝහියර් තම ච්ඪඵජධමඥපඪදඨ
ඛිඥරතධද කෘතිය තුළින්ද මෙම ජලාශයේ ඇති ගුප්ත බව විස්තර කරයි. එහිදී ඔහුගේ අනුමානය වනුයේ මෙහි පතුලක් නොමැති වීම කෙසේ වෙතත් එම ජලාශය සහ ආසන්නයේ ඇති මහ මුහුද භූ කුහර මගින් එකිනෙක සම්බන්ධ වී තිබිය හැකි බවකි.

මෙම අල්ලිරාණිය අතීතයේ මෙම ප්‍රදේශය පාලනය කළ මහා බලගතු රැජිනක් බවත් පුරුෂ පක්ෂය
තරයේ ප්‍රතික්‍ෂේප කළ ඇගේ යුද සේනාව පවා කාන්තාවන්ගෙන් සැදුම් ලත් බවත් කියනු ලැබේ. මෙහි සත්‍යතාව කෙසේ වෙතත් අල්ලිරාණි යනුවෙන් හැඳින්වෙන මැය දුරාතීතයේ අප රට තුළ පැවැති මාතෘ මූලික සමාජ ක්‍රමයක ජන නායිකාවක වීමට හොඳටම ඉඩකඩ තිබේ.
මෙම අල්ලිරාණි මාලිගයේ නටබුන් බැලීම සඳහා යන ගමනට මම කල්පිටිය ආශ්‍රිත කොරල්පර සංරක්ෂණය සම්බන්ධයෙන් මහත් කැපවීමකින් ක්‍රියා කරන පරිසරවේදියකු වන උපාලි මල්ලිකාරච්චි ද එක් කර ගතිමි. දැනටමත් පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙස වෙන්කොට ඇති එම අල්ලිරාණි පුරාවිද්‍යා පරිශ්‍රය මධ්‍යයේ බැලූ බැල්මට පිහිටි ‍පොළොවෙන් උසට නැගුණු ගොඩැල්ලක් තිබේ. ඊට අමතරව එහි ශිලා කර්මාන්ත අවශේෂ කිහිපයක්ද තැනින් තැන දැකිය හැක. එමෙන්ම දැනට මුළුමනින්ම වනයෙන් වැසී ගත් එම ගොඩැල්‍ලේ බොහෝ තැන්වල පැරණි ගඩොල් සේම කිසියම් ඉදිකිරීමක් සඳහා යොදා ගැණුනු හිරිගල් පාෂාණ කොටස් ද දැකිය හැක. එමෙන්ම එම ගොඩැල්ල මුදුනේ පසුකාලීනව සිදු කරන ලද හෑරීම් ලකුණු කීපයක් ද දක්නට තිබිණ. නොඅනුමානව ඒවා නිදන් හොරුන්ගේ ක්‍රියා විය යුතුය.

අතීතයේ අල්ලිරාණිගේ මාලිගය තිබිම කොහොම වුණත් මේක ස්ථූප ගොඩැල්ලක් වෙන්න තියන ඉඩකඩ හුඟක්ම වැඩියි කියලයි මට නම් හිතෙන්නේ. මේ ගොඩැල්ල පුරාවිද්‍යාත්මක ගවේෂණයකට ලක් කරලා කැණීමක් කළොත් සමහර විට අපි කවුරුත් නොහිතන වටිනා තොරතුරු රැසක් මතු කරගන්න පුළුවන්. පළමුව මගේ අනුමානය උපාලි හමුවේ එලෙස හෙළි කළ මම ඊට පසු දිනයෙක ඒ සම්බන්ධයෙන් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායකයන්ද දැනුවත් කළෙමි.

අපි ළඟදීම ඔය අල්ලිරාණි පුරාවිද්‍යා ස්ථානය සම්බන්ධ ගවේෂණ පටන් ගන්නවා. ඊට පස්සේ අවශ්‍ය පරිදි කැණීම් එහෙමත් කළාට පස්සේ ඔය සම්බන්ධ වැදගත් තොරතුරු රැසක් මතු කර ගන්න පුළුවන් වෙයි තමයි. අධ්‍යක්ෂ ජනරාල්වරයා කීය. ඒ කෙසේ හෝ මෙම අල්ලිරාණිය සම්බන්ධ අල්ලිරාණි කෝට්ටේ නම් ස්ථානයක් මන්නාරම අරිප්පුව ආසන්නයේද තිබේ. ශ්‍රී ලාංකීය කිතුණු ප්‍රජාවගේ උතුම් පුදබිමක් වන තලවිල ශාන්ත ආනා දෙව් මැදුර පිහිටා ඇත්තේද පාලවි කල්පිටිය ප්‍රධාන මාර්ගයෙන් වමට හැරී යන අතුරුමගක අතිරමණීය සමුද්‍රාසන්න බිම්කඩකය. ශාන්ත ආනා මුණිතුමිය සම්බන්ධ දෙව් මැදුරට දාහත්වන සියවසේ සිට දිවඑන ඉතිහාසයක් තිබේ. එහෙත්, එම දෙව්මැදුර එහි ස්ථාපිත වීමට පෙර එම ප්‍රදේශයේ වෙනයම් අප්‍රකට පුරාතන ප්‍රාදේශීය ඇදහිලි ද ඕනෑ තරම් තිබෙන්නට ඇත. ඒවා සහ කුවේණිය අතර පූර්වාපර සන්ධි ගැළපීම කළ යුතු නැතැයි මට සිතේ.
පන්සිය පනස් ජාතකයේ එන වලාහක හෙවත් වලාහස්ස ජාතකයේ එන අන්දමට තම්බපන්නියේ (ශ්‍රී ලංකාවේ) තම්මැන්නා නුවර මිනී කන යක්ෂණියන්ගේ රජ දහනකි. මුහුදු මාර්ගය ඔස්සේ වෙළෙඳුන් පැමිණෙන නැව් කෙරෙහි පරීක්ෂාවෙන් එම යක්ෂණියෝ නාගදීපයේ සිට කැලණිය දක්වා සමුද්‍ර තීරයේ සැරිසරා ඇත. ඒ කෙසේ හෝ මෙම යක්ෂණියන් හා මිනී කෑමේ කතාව පුරුෂෝත්තම ආර්යවාදීන් අතීතයේ මෙරට පැවැති මාතෘ මූලික සමාජයට එල්ල කළ කුරිරු උපහාසයක් සහිත ජනප්‍රවාදයක් බව පෙනේ. ජාතකකතාකරු එම වස්තු බිජය ගොඩනගා ගෙන ඇත්තේ එම ජනප්‍රවාදය ඇසුරින් විය යුතුය.

මා ඉහත සඳහන් කළ කුවේණි මාලිගය සහ අල්ලිරාණි මාලිගය යන ස්ථාන දෙකම පිහිටා ඇත්තේ වයඹ වෙරළට නුදුරිනි. එමෙන්ම බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්නොවන තවත් ඉපැරණි අප්‍රකට දෙවඟනක් පිළිබඳ පුදබිමක් මීගමුව ආසන්නයේ ඇති බව මට අසන්නට ලැබුණේ මෙම ගවේෂණයේ අතරතුරදීය. එබැවින් කුවේණිගේ සුලමුල සොයා යන ගමනේදී මම ඒ පිළිබඳවද විශේෂ විමසුමක යෙදුණෙමි.

Source : Lakbima