ජාත්‍යන්තර තලයේ දී ලංකාවට ඉන්දියාවේ පුර්ණ සහය

0
729
india

ඉන්දීය අගමැති

වෙළෙඳ, ආර්ථික, ආයෝජන හා තාක්ෂණ ක්‍ෂේත්‍ර පදනම් කර ගනිමින් ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර නව ගිවිසුමක් සකස් කිරීමට ඉන්දීය හා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරු දෙපළ එකඟත්වය පළ කර ඇත. මෙම ගිවිසුමෙහි මූලික කෙටුම් පත ලබන දෙසැම්බර් වෙද්දී සකස් කෙරෙන අතර, එය පදනම් කරගෙන සිදු කෙරෙන සාකච්ඡා මාලාවකින් අනතුරුව 2016 වසරේ මැද භාගයේදී එය අත්සන් කිරීමට ද කාලපරාස නියම කර ගන්නා බවටද දෙපාර්ශ්වය තීරණය කර තිබේ. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා අතර පැවැති නිල සාකච්ඡවන්හිදී මෙම එකඟතාවන්ට පැමිණ තිබේ.

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර වෙළෙඳ හා ආර්ථික සබඳතා වසර 2500 කටත් එහා යුගයකට දිව යන බවත්, තපස්සු – භල්ලුක වෙළෙඳුන් පිළිබඳ පුරාවෘත්තය ඊට සාධක සපයන බවත් පෙන්වා දුන් ඉන්දීය හා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරු, ඒ ඓතිහාසික ආර්ථික, සමාජයීය, සංස්කෘතික සහ ආගමික සම්බන්ධතාවන් පදනම් කරගනිමින්, කලාපයේ සාමය සහ සංහිඳියාව තහවුරු කිරීමත්, වේගවත් ආර්ථික සංවර්ධනයක් උදාකරලීමටත් ඇප කැප වී කටයුතු කළ යුතු බව අවධාරණය කළහ.
අද (15) පෙරවරුවේ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර ඉහළ පෙළේ සාකච්ඡා වාරය නවදිල්ලි නුවර හයිද්‍රබාද් මන්දිරයේදී පැවැත්විණි.

1956 වසරේ සිටම බලය ගැනීම සඳහා තරග වැදුණු පක්ෂ දෙකක් එකට එක් කර ජාතික ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට හැකිවීම විශේෂත්වයක් බවද, ඒ ආණ්ඩුව වසර දෙකක කාලයක් තිස්සේ පවත්වාගෙන යාමට එකඟත්වයකට එළැඹ ඇති බවද වික්‍රමසිංහ මහතා මෙහිදී පෙන්වා දෙන ලදී.

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය දෙමළ ජාතික සංධානයට ද, විපක්ෂයේ ප්‍රධාන සන්විධායක ධුරය ජනතා විමුක්ති පෙරමුණට ද හිමිවීම සහ, මුළු පාර්ලිමේන්තුවම ආණ්ඩු පාලනය සඳහා එක්කර ගැනීම සම්බන්ධයෙන් ද වික්‍රමසිංහ මහතා කරුණු පැහැදිලි කළේය.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පැවසූයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පිළිබඳව ඉන්දීය ජනතාව සහ රජය පූර්ණ විශ්වාසය තබා ඇති බව ය. ශ්‍රී ලංකාවේ අනාගත දියුණුව වෙනුවෙන් ඉන්දියාව පූර්ණ සහය දෙන බවද මෝදි මහතා පැවැසීය.

නව රජය යටතේ ජිනීවා මානව හිමිකම් සමුළුවේ දී ශ්‍රී ලංකාව ගත් ජයග්‍රහණය පිළිබඳ සුබ පැතූ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා, ජාත්‍යන්තර තලයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් පූර්ණ සහය ලබා දීමට ඉන්දියාව සූදානම් බවද අවධාරණය කළේ ය. යටිතල පහසුකම්, බලශක්ති, සංචාරක, අධ්‍යාපන, සංස්කෘතික, ආගමික, ගුවන් සේවා, ප්‍රවාහන ආදී ක්‍ෂේත්‍රයන්හි ප්‍රගමණය සඳහා ඉන්දියාවේ සහය දීම සම්බන්ධයෙන් ද, මෙහිදී අවධානය යොමු කෙරිණි.

ශ්‍රී ලංකාවේ සංවර්ධනය වෙනුවෙන් ඉන්දීය රජය දක්වන සහය වෙනුවෙන් සිරිසේන ජනාධිපතිවරයා සහ තමන්ගේ කෘතඥතාවය පළ කළ වික්‍රමසිංහ මහතා රැකියා දස ලක්ෂයේ වැඩ සටහන සඳහා ඉන්දියාව  දීමට බලා‍පොරොත්තුවන සහයෝගය පිළිබඳද අගය කළේය.
ද්විපාර්ශ්වික සාකච්ඡා වලින් පසුව සාර්ක් කලාපීය චන්ද්‍රිකාව සඳහා වූ අවබෝධාත්මක ගිවිසුමට අත්සන් තැබිණි. විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා සහ ඉන්දීය අභ්‍යවකාශ කොමිසමේ මහකොමසාරිස්වරයා ඊට අත්සන් තැබූහ.

ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර සම්බන්ධතා තව තවත් වැඩි දියුණු කරමින් කුඩා සංවර්ධන ව්‍යාපෘති, වෛද්‍ය උපකරණ හා ගිලන් රථ සේවාවන් දීම සම්බන්ධ ගිවිසුම් තුනකට ද මෙහිදී අත්සන් තැබිණි. පළාත් පාලන ආයතන, රාජ්‍ය නොවන සංවිධාන, අධ්‍යාපන හා වෘත්තීය පුහුණු ආයතන හරහා කුඩා පරිමාණයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා සහය සහ ආධාර සැපයීමට එක් ගිවිසුමක් මගින් ඉන්දියාව කටයුතු කරනු ඇත.
අනෙක් ගිවිසුම මගින් වවුනියාව දිස්ත්‍රික් රෝහ‍ලේ ඇඳන් 200 කින් සමන්විත වාට්ටුව සඳහා සියලුම වෛද්‍ය උපකරණ සැපයීමට  ක්‍රියා කරනු ඇත.

ශ්‍රී ලංකාව තුළ හදිසි ගිලන් රථ සේවාවක් ස්ථාපිත කිරීම සඳහා ඉන්දීය ආධාර සැපයීමේ ගිවිසුම ඊයේ අත්සන් තැබුණු තෙවැන්නයි.
මේ ගිවිසුම් සඳහා ඉන්දියාව වෙනුවෙන් විදේශ ‍ලේකම් ආචාර්ය එස්. ජයශන්කර් මහතා ද, ශ්‍රී ලංකාව වෙනුවෙන් අග්‍රාමාත්‍ය ‍ලේකම් සමන් ඒකනායක මහතා ද අත්සන් තැබූහ. නවදිල්ලි නුවරට පැමිණ සිටින ශ්‍රී ලංකා නියෝජිත පිරිස වෙනුවෙන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා විසින් දිවා භෝජන සංග්‍රහයක් ද පිරිනැමිණි.

විදේශ අමාත්‍ය මංගල සමරවීර, සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍ය මලික් සමරවික්‍රම, අග්‍රාමාත්‍ය ‍ලේකම් සමන් ඒකනායක, අතිරේක ‍ලේකම් සමන් අතාවුදහෙට්ටි, ඉන්දීය නව ශ්‍රී ලංකා මහකොමසාරිස් ලෙස පත් කිරීමට නියමිත ඇසළ වීරකෝන්, වැඩ බලන මහකොමසාරිස් එම්. ආර්. කේ. ලෙනගල, විදේශ අමාත්‍යාංශ මාධ්‍ය ‍ලේකම් ඩැනියෙල් අල්ෆොන්සස් යන මහත්වරු ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ද, ඉන්දීය විදේශ ඇමතිනී සුස්මා ස්වරාජ්, ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල්, ඉන්දීය විදේශ ‍ලේකම් ආචාර්ය එස්. ජයශන්කර්, බලශක්ති අමාත්‍යාංශ ‍ලේකම් පී. කේ. පූජාරි, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් යසවර්ධන සිං, ශ්‍රී ලංකා – මාලදිවයින් සහ ඉන්දීය සාගර කලාප සම ‍ලේකම් සුචිත්‍රා දුරායි, ප්‍රචාරක සම ‍ලේකම් වයිකාස් ස්වරූප් යන මහත්ම මහත්මීන් ඉන්දියාව නියෝජනය කරමින් ද මේ සාකච්ඡාවට සහභාගි වූහ.

Source : Lakbima