‍පොලිතින් වලින් පෙට්‍රල් – ශ්‍රී ලාංකිකයෙකුගේ විස්කම් සොයා ගැනීමක්

0
1473
polythene

අප එදිනෙදා සිදු කරන ගමන්බිමන් රැකී රක්ෂා ආහාර පිසීම වැනි කටයුතු බොහෝමයකට ඛනිජ තෙල් දායක වෙයි. සැකැවින් පවසතොත් ඛනිජ තෙල් අපේ ජීවිතය හා බැඳී පවතී. එහෙත් ඉදිරි වසර පනහ තුළ ලෝකයේ ඇති තෙල් සම්පත නිමවන බවට විද්‍යාඥයන් මත පළකර ඇත්තේ කලක සිටය. ඛනිජ තෙල්වලට විකල්ප සොයා ලෝකයේ ප්‍රබල රටවල් පර්යේෂණවල නියැළෙන්නේ එබැවිනි. එහෙත් අපේක්ෂා කළ තරම් සාර්ථකත්වයක් ඒ කිසිදු පර්යේෂණයක් අත්පත්කරගෙන නොමැත. ලෝකයේ බලවත් රටවල් ඛනිජ තෙල් සම්පත ක්ෂයවීම හමුවේ නිරුත්තර වෙද්දී ශ්‍රී ලාංකිකයෙකු එම අභියෝගය සාර්ථකව ජයගැනීමට සමත්ව ඇත. ඒ ‍පොලිතින් සහ ප්ලාස්ටික් යොදාගෙන ඉන්ධන නිපදවීමේ ක්‍රමයක් සොයා ගැනීම තුළිනි.

ලාංකික නව නිර්මාණකරුවෙකු වන එන්.ඩබ්. ආනන්ද විතානගේ මහතා විසින් සොයාගත් මෙම නව ක්‍රමය එක ගලෙන් කුරුල්ලන් දෙදෙනකු මරා ගැනීමක් ලෙස දැක්විය හැක්කේ එමගින් බරපතළ පාරිසරික ගැටලුවක් වන ‍පොලිතින් ප්‍රශ්නයද විසඳෙන බැවිනි.
ඒ අනුව ඉවතලන ‍පොලිතින් වලින් පෙට්‍රල්, භූමිතෙල් හෝ ඩීසල් නිපදවන්නට හැකි පරිසර හිතකාමී කර්මාන්ත ශාලාවක් හොරණ ආයෝජන ප්‍රවර්ධන කලාපයේ ඉදිවෙමින් තිබේ.

bio-gas-plant1“‍පොලිප්්ටෝ ලංකා” නම් රාජ්‍ය අනුග්‍රහය සතු අර්ධ රාජ්‍ය ආයතනයක් සතු මෙම කම්හල ලෝකයේ ඉදිවෙන මේ වර්ගයේ පළමු කම්හල වෙයි.
ලාංකීය නිර්මාණකරුවන් විසින් බිහි කරන නව නිර්මාණ සඳහා රාජ්‍ය මැදිහත්වීම හා එය ඉහළට ඔසවා තැබිමට කටයුතු කරන්නේ ඉතා අවම මට්ටමකිනි යන චෝදනාව බොරුවක් බවට පත් කරමින් මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 400ක (හාරසියයක්) පමණ වියදමක් දැරීමට රජය එකඟ වී ඇත්තේද මෙම නව සොයා ගැනීමේ සාර්ථකත්වය හේතුවෙනි.

මෙම කර්මාන්ත ශාලාවේ නිරීක්ෂණ චාරිකාවකට සහභාගි වීමට මාධ්‍යවේදී අපට පසුගියදා හැකි විය. මේ අවස්ථාවට මෙම කාර්යයේ නිර්මාතෘ එන්.ඩබ්. ආනන්ද විතානගේ මහතාත් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාත්, මොරටුව විශ්ව විද්‍යාලයේ විද්වතුන් පිරිසක් හා රාජ්‍ය නිලධාරීන් කිහිප පළක්ද එයට එක්ව සිටියහ.

bio-gas-plant2

මේ වන විට කර්මාන්ත ශාලාවේ ඉදිකිරීම් කටයුතු අවසන් අදියරේ පවතී. එහි යන්ත්‍රසූත්‍ර සියල්ල සවිකර ඇත. මෙහි ඇති බොහොමයක් උපකරණ ලංකාවේම නිෂ්පාදනය කළ ඒවාය. මෙම කම්හල් භූමියේ ටොන් ගණනක ප්ලාස්ටික් ‍පොලිතින් ගබඩාකර නිෂ්පාදන කාර්යට සූදානම් කර ඇත.
අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා නිරීක්ෂණ චාරිකාවට එක්වෙමින් ප්‍රකාශ කර සිටියේ යටියන්තොට කඹුළුමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටින ආනන්ද විතානගේ මහතා කුඩා යන්ත්‍රයක් භාවිතයෙන් ‍පොලිතින් හා ප්ලාස්ටික් භාවිතා කර පෙට්‍රල්, ඩීසල් නිපදවන ආකාරය තමා සියැසින් නිරීක්ෂණය කළ බවයි. පසුව කළ විද්‍යාත්මක තහවුරු කිරීමේදී පෙට්‍රල්, ඩීසල් හා භූමිතෙල්වල තත්ත්වයන් පිළිගත හැකි මට්ටමක තිබූ බවකි. ඒ අනුව තමන් පරිසර හා වන සම්පත් අමාත්‍යවරයා ලෙස කටයුතු කරද්දීත් විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා ලෙස කටයුතු කරද්දීත් අර්ධ රාජ්‍ය ආයතනයක් ලෙස ‍පොලිප්ටෝ ලංකා සමාගම ස්ථාපිත කර මෙම ව්‍යාපෘතියට මුලපිරූ බවයි.

ලංකාවේ පමණක් දිනකට ටොන් 200ට වැඩි ප්ලාස්ටික් හා ‍පොලිතින් ප්‍රමාණයක් පරිසරයට විවිධ අයුරින් මුදා හැරේ. එම තත්ත්වය දිනෙන් දින වැඩිවෙමින් තිබේ.

නව ක්‍රමය තුළ එක් ‍පොලිතින් කිලෝ එකකින් ඉන්ධන ලීටර් 1.25ක ප්‍රමාණයක් නිෂ්පාදනය කරගත හැකිය. ඒවා පිරිපහදු කර පෙට්‍රල් ඩීසල් හෝ භූමිතෙල් නිපදවාගත හැකිය. හොරණ ඉදිවන කර්මාන්ත ශාලාවෙන් දිනකට ‍පොලිතීන් ටොන් පහක් යොදාගෙන ඉන්ධන ලීටර් 6000කට ආසන්න ප්‍රමාණයක් නිෂ්පාදනය කර ගත හැකිය. මේ ආකාරයට ඉන්ධන ලීටරයක් නිපදවීමට වැය වන්නේ සුළු මුදලකි.
ඔබ පරිසරයට විසි කරන ‍පොලිතින් ප්ලාස්ටික් සඳහා එක් කිලෝවක් සඳහා රුපියල් 22ක මුදලක් ගෙවීමටද ‍පොලිප්ටෝ ලංකා සමාගම අපේක්ෂාවෙන් සිටියි. මෙය විනයවත් පාරිසරික ආකල්පයන් ගොඩනැගීමටද හේතු වනු ඇත.

මෙම කර්මාන්ත ශාලාව තුළදී ඕනෑම වර්ගයක ‍පොලිතින් හෝ ප්ලාස්ටික් වර්ගයක් පිරිසිදු කිරීමකින් තොරවම අදාළ යන්ත්‍රයට ඇතුල් කිරීමට හැක. මෙලෙස ඇතුල් වන ‍පොලිතින් යන්ත්‍රය තුළ පිරිසිදු වී ඒවා යම් ඝන කුඩක් බවට පත්වේ. පසුව අඩු උෂ්ණත්වයක් සහිත උත්ප්‍රේරකයක් මගින් එම ප්ලාස්ටික් කුඩ දියරයක් බවට පරිවර්තනය කරයි. මෙහිදී සිදුවන්නා වූ යාන්ත්‍රික ක්‍රියාවලිය සඳහා බලශක්තිය ලෙස යොදා ගන්නේද අදාළ ක්‍රියාවලිය තුළ නිපදවනු ලබන ගෑස් විශේෂයකි. මේ නිසා නිෂ්පාදන වියදමද අවම මට්ටමක පවතී.

bio-gas-plant3මේ අගනා නිර්මාණයේ නිර්මාණකරුවා ආනන්ද විතානගේ මහතා තම නිර්මාණයත් ඒ සඳහා විඳි අභියෝගත් පිළිබඳ අප සමග පැවැසුවේ මෙසේය.
“මම රුවන්වැල්ල රාජසිංහ මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා ‍පොලිස් සේවයට එක්ව උතුරු නැගෙනහිර ක්‍රියාන්විත රාජකාරියේ පවා යෙදී සිට පසුව විශ්‍රාම ගෙන කුඩාවට ගොඩනැගිලි ඉදිකිරීම් කර්මාන්තයක් ආරම්භ කළා. එහිදී ක්ෂේත්‍රයට අවශ්‍ය විවිධ යෙදවුම් ද්‍රව්‍ය මමම නිපදවා ගැනීමට උත්සාහ කළා. ඒ සඳහා සැටලිම් ලෙස යොදන ලෑලි වෙනුවට අහක දමන ‍පොලිතින් ප්ලාස්ටික්වලින් සැටලිම් ලෑලි නිර්මාණය කළ හැකිදැයි මම ‍පොඩි අත්හදා බැලීමක් කළා. එහි එක් අවස්ථාවක මම යෙදූ භාවිතය තුළ ගිනිගන්නා ද්‍රවයක් නිපදවෙන ආකාරය දැක්කා ඒ ඔස්සේ ගිහින් තමයි මම මේ සොයා ගැනීම කළේ. ඉන් පසුව මගේ සොයා ගැනීමට අදාළ පේටන්ට් එක ලබාගත්තා.
මම කුඩා යන්ත්‍රයක් ආධාරයෙන් පෙට්‍රල් ඩීසල් නිෂ්පාදනය කර පෙන්වූවා.

මගේ වාහනයට දමා එය ධාවනය කළා. මේ පිළිබඳ ප්‍රදේශයේ මාධ්‍යවේදීන් මට විශාල ප්‍රචාරයක් ලබා දුන්නා. ඒ නිසා බොහෝ දෙනකුගේ අවධානය මා කෙරෙහි යොමු වුණා. නමුත් මේ රටේ බොහෝ විද්‍යාඥයන්, ආචාර්ය මහාචාර්යවරු මාව පිළිගත්තේ නැහැ. ඒ මට විද්‍යා උපාධියක් නැති නිසා.
ඒත් මොරටුව විශ්ව විද්‍යාලයේ රසායන විද්‍යා අංශයේ ආචාර්ය ජගත් ප්‍රේමචන්ද්‍ර මහතාගේ අවධානය මේ නිපදවීම වෙත යොමු වුණා. ඒ එක්කම මේ
පිළිබඳ විමසිල්ලකින් සිටි අයෙකු තමයි මධ්‍යම පරිසර අධිකාරියේ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ රොෂාන් ගුණවර්ධන මහතා. එතුමාගේ මඟ පෙන්වීම අනුව එවකට පරිසර අමාත්‍යවරයාව සිටි පාඨලී චම්පික රණවක මැතිතුමා හමුවීමටත් මේ පිළිබඳව දැනුවත් කිරීමටත් හැකි වුණා.

bio-gas-plant2පසුව මොරටුව විශ්ව විද්‍යාලයෙන් මෙම ඉන්ධන පිළිබඳව ශක්‍යතා අධ්‍යයනයක් කළා. එහි සාර්ථකත්වය එම අධ්‍යයනයෙන් පසු තහවුරු කෙරුණා. එහිදී මොරටුව විශ්ව විද්‍යාලයේ ආචාර්යවරුන් දෙපළක් වන ශාන්ත වල්‍පොල මහතා හා ශාන්ත අමරසිංහ මහතා විශේෂයෙන් මතක් කළ යුතු වෙනවා.
ප්ලාස්ටික් හා ‍පොලිතින් මගින් ඉන්ධන නිපදවීම සම්බන්ධව මහා පරිමාණ කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීමේ අරමුණ ඇතිව 2009 වර්ෂයේදී මධ්‍යම පරිසර අධිකාරිය සමග මා ගිවිසුමක් අත්සන් කළා.”

මෙම ගිවිසුම ප්‍රකාරව ‘‍පොලිප්ටෝ ලංකා’ සමාගම ආරම්භ කෙරෙන අතර ආනන්ද විතානගේ මහතාගේ පේටන් අයිතිය සමාගම වෙත පැවැරේ. එහිදී බලශක්ති අමාත්‍යාංශයට 60ක කොටස් ප්‍රමාණයක්ද ආනන්ද විතානගේ මහතාට 30ක කොටස් ප්‍රමාණයක්ද මෙම කාර්ය සඳහා ලබා දෙන විද්‍යාත්මක උපදේශකත්වය සඳහා මොරටුව විශ්ව විද්‍යාලයට 10ක කොටස් හිමිකමක්ද ලැබේ.
විතානගේ මහතා මේ වන විට පරිසරයට මුදා හැරෙන කාබනික අපද්‍රව්‍ය යොදාගෙන ජීව වායුව ඉතා කෙටි කාලයක් තුළ නිපදවීමට ක්‍රමයක් සොයාගෙන ඇත. එම වායුව සම්පීඩනය කර සිලින්ඩර් තුළට ඇතුළු කිරීමටත් ක්‍රමවේදයක් සොයාගෙන ඇති බැවින් ඔහුගේ ඉලක්කය ජීව වායුව භාවිතයෙන් මෝටර් රථයක් ධාවනය කිරීමයි.

මීට අමතරව ආනන්ද විතානගේ මහතා වාහනවලින් කළුතෙල් ලෙස නිකුත්වන දැවි තෙල් මගින් සාර්ථකව ග්‍රීස් නිපදවීමටද සමත් වී ඇත.
මේ අනුව ඔහු පරිසරයට මුදා හැරෙන සියලුම කැළිකසළ කළමනාකරණයට සාර්ථක විසඳුම් ලබා දුන් පරිසර විද්‍යාඥයෙකි.
හොරණ ආයෝජන ප්‍රවර්ධන කලාපය තුළ ඉදිව ඇති ‍පොලිප්ටෝ ලංකා සමාගමේ මෙම ව්‍යාපෘතිය රටට මෙන්ම ලෝකයටද ආදර්ශයක් සපයන තැනක් බවට පත්වනු ඇත. හෙට දිනයේ පාසල් මට්ටමින්, ගම් මට්ටමින් ‍පොලිතින් ප්ලාස්ටික් එකතු කිරීමේ මධ්‍යස්ථාන බිහිවනු ඇත. විශාල තරුණ පිරිසකට ඉන් ආර්ථික ප්‍රතිලාභ හිමි වනු ඇත. එය රටේ සංවර්ධන ක්‍රියාවලිය තව තවත් වේගවත් කරනු ඇත.

බන්ධුල ධර්මතිලක

Source : Lakbima