ජපානය දෙවැනි ලෝක යුද්ධයෙන් බිඳවැටුණ පසු යළි රට ගොඩනැඟීමේ සටන පටන් ගත්තේ යන්තං පොළවට පය තබා නැඟිටින්නට පටන් ගත් දරුවන් ගෙනි.
“පුතේ… දුවේ… ඔබට බඩගිනි දැනෙනවාද? එහෙමනං ආහාරපාන අවශ්‍යය. ආහාර පාන ලබා ගැනීමට මුදල් වුවමනාය. මුදල් උපයා ගැනීමට වෙහෙසී වැඩ කළ යුතුය.”
මෙය ජීව මන්තරයක් මෙන් හැම ජපන් දරුවෙකුටම කට පාඩම් කරවා ඔවුන්ගේ ජීවිතවල සමීප ඉලක්‌කය බවට පත්කරනු ලැබීය. මේ නිසා කවුරුත් දවසේ උපරිම කාලය ප්‍රයෝජනයට ගනිමින් වැඩ කරන්නට පටන් ගත්හ. වාහනයක් පදවා ගෙන යන රියෑදුරා වුවත් දිවා ආහාර වෙලාවට දුම්රිය හරස් පාරක ගේට්‌ටුව වසා තිබුණොත් ඒ සුළු කාලයේදී ආහාර පැකට්‌ටුව අනුභවයට ගනී. ඔවුහු ඒ තරමටම කාලය රත්තරං සේ සැලකූහ. ඒ නිසා ඔවුහු ඉතාම කෙටි කලකින් ලෝකයේ පෝසත් රටක් බවට යළි පත්විය.
අප සමඟ එකවර මහා බ්‍රිතාන්‍ය පාලනයෙන් නිදහස ලබාගත් ඉන්දියාවද ස්‌වයංපෝෂණය සඳහා මෙහෙයවීමට ජාතික නායකයෝ නායකත්වය දුන්හ. ශ්‍රීමත් ගාන්ධි දණහිසට කදර් රෙද්දක් ඇඳගෙන ජනතාව අතරට ගොස් දේශීය අනුරාගය පෝෂණය කරමින් ජනතාව වැඩට පෙලඹවූහ. ආහාරපාන, රෙදිපිළි නිෂ්පාදනය සඳහා ජනතාව දිරිගන්වමින් මග පෙන්වූහ. දේශීය නිෂ්පාදන “සිය රට දේ සිරි සැප දේ” යෑයි කියමින් හැමදෙනාම දේශීය නිෂ්පාදන අගය කළහ. පාලන තන්ත්‍රයේ පෙරමුණේ සිටි මැති ඇමැතිවරුන් පමණක් නොව, අගමැතිවරයා පවා ඉන්දියාවේ නිෂ්පාදිත “එම්. බෙසඩර්” වැනි කුඩා වාහන භාවිතයට පුරුදු වූහ. මේ වන විට ඉන්දියාව ස්‌වකීය නිෂ්පාදනවලින් අපේ රට පුරවා ඇති අතර අහසට රොකට් විදීමට පවා ශක්‌තිමත් වී සිටිති. දේශානුරාගය හා බැඳි ස්‌වදේශීය නිෂ්පාදන අගය කෙරෙන ජීවන රටාවකට හුරුවී ඇති ඉන්දියාවද මේ වන විට ජපානය තරමටම ශක්‌තිමත්ව සිටී.
නිදහස ලැබී වසර 67 ක් ගෙවී ගියත් ශ්‍රී ලංකාවේ අප තවමත් ලෝකයාට දිව දික්‌කිරීමේ පුරුද්ද අතහැර නැත, 1948 දී සුදු පාලකයන් විසින් අපේ රට ස්‌වදේශීය පාලකයන්ට භාරදෙන විට රුපියලක්‌වත් පිටරටවලට ණය වී සිටියේ නැත. ඒත් අපේ ස්‌වදේශීය පාලකයන් රටේ පාලනය භාරගෙන වසර 67 ක් ගෙවීගිය විට, සෑම පුරවැසියෙකුම රුපියල් තුන් ලක්‍ෂයකට වඩා ලෝකයට ණයකර ඇත. අපේ පාලකයන්ගේ දේශානුරාගය, ජාත්‍යාලය, වැඩ කිරීමේ හැකියාව, කොයිතරම් දැයි අද වන විට රට වැටී ඇති තත්ත්වයෙන් හිතා ගැනීමට බැරිකමක් නැත.
නායක කාරකාදීන්ගේ ජාතික වගකීම වන්නේ සංවර්ධනය සඳහා ජනතාව පෙළගැස්‌වීමය. රටේත්, අපේත්, අවාසනාවට නොකෙරෙන්නේත් ඒ ජාතික වගකීමය. 1948 සිට මේ දක්‌වාම රටේ පාලකයන් විසින් ජනතාව පෙළගස්‌වා ඇත්තේ වැඩ කිරීමට නොව ණයට කෑමට… නිකන් ඉඳීමට සහ නිවාඩු ගැනීමටය. මේ රටේ රාජ්‍ය සේවාවට සහ වෙනත් සේවා කටයුතුවලට සම්බන්ධ වී සිටින ජනතාව අවුරුද්දේ මොන තරම් කාලයක් වැඩ කරන්නේ දැයි විමසා බැලීමක් වත් රාජ්‍ය පාලකයන් විසින් මේ දක්‌වා සිදුකර නැත. ජපානයේ රියෑදුරා දුම්රිය හරස් මග ඇහිරීම නිසා නවතා සිටින මිනිත්තු කීපයට ආහාර ගනිමින් කාලය රත්තරං සේ අගය කරයි. අපේ රටේ බහුතරයකට කාලය ලැබී ඇත්තේ නිදා ගැනීමට සහ නිකං ඉඳීමටය. දෙකෝටියකට අධික ජනතාවක් සිටින මෙ රටේ කාලය අපතේ නොයවා වැඩ කිරීමේ ජීවන රටාවකට පොලඹවන්නේ නම් මේ පුංචි රට දිව්‍යලෝකයක් බවට පත් කිරීම නොකළ හැකි දෙයක් නොවේ. නමුත් පාලකයන් තුළ “දේශපාලන පිස්‌සුවෙන්” ඔබ්බට ගිය ජාත්‍යානුරාගයක් හා ජාතික ප්‍රතිපත්තියක් නැති නිසා අද වන විට මුළු රටම වල්මත් කර දමා ඇත.
අනෙක් බොහෝ දේට මෙන්ම අපේ රටට නිවාඩු පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් නැත. වසරේ දින 365 තුළ වැඩ කරන දින ඇත්තේ 189 කි. දින 176 ක් ම නිවාඩුය. එය සෑදී ඇත්තේ මෙසේය. වාර්ෂික රජයේ ප්‍රසිද්ධ නිවාඩු දින 27 කි. සති අන්ත නිවාඩු දින 104 කි. රාජ්‍ය නිලධාරීන්ට ලබාගත හැකි අනියම් නිවාඩු දින 21 කි. අසනීප සඳහා නිවාඩු දින 24 කි. මේ සියල්ල එකතු වූ විට දින 176 ක් වෙයි. වැඩ කිරීමට නියමිත දින 189 න් දිනකට වැඩ කරන්නේ පැය 8 කි. ඒ අනුව අවුරුද්දේ වැඩකරන පැය ගණන 1512 කි. අවුරුද්දේ වැඩ නොකර නිකන් ඉන්න, නිදාගන්න, පැය ගණන (8760 – 1512) 7248 කි. වසරේ පැය 8760 න් අපේ රටේ අය පැය 7248 ක් නිදාගෙන හෝ නිකන් ඉඳගෙන කාලය ගත කරති. ඉතින් අපේ රටට ඉදිරියක් තිබේද? ලෝකයට ණය වෙමින් ණයට නොකා සිටිය හැකිද?
රජයේ සේවකයන්ට මෑතකදී විශාල ලෙස වැටුප් වැඩිකරන ලදී, වැඩි කරන ලද වැටුපට සාපේක්‍ෂව ඔවුන්ගේ සේවා කාලයේ වැඩි කිරීමක් කළේ නැත. විශේෂයෙන් කළමනාකරණ මට්‌ටමේ රාජ්‍ය සේවකයන් මාසික වැටුපට අමතරව යාන වාහන, නිල නිවාස සහ වෙනත් වරදාන ලබා ගනිති. ජනතාවට සේවය කිරීම වෙනුවෙන් මේ සියලු වරදාන ලබන නමුත් ජනතාවට සේවය කරන්නේ ඉතා සුළු කාලයකි. සැබැවින්ම මුදල ලබාගෙන නොව රට බලාගෙන මේ අය සේවය කළ යුතුය. ජනතාවගෙන් රජයේ සේවකයා සහ ඔහුගේ පවුල ජීවත් වෙන බව සැබෑ නම් ඒ මුදලට සමබර වන්නට ජනතාවට සේවය කිරීම රාජ්‍ය සේවකයන්ගේ පරම යුතුකමකි. අපේ රට දියුණු කරන්නට ජනාධිපතිටවත් අගමැතිටවත් පුළුවන්කමක් නැත. අපේ පවුල දියුණු කර ගැනීමට කාලය හා ශ්‍රමය අප වැය කරන්නාක් මෙන් රාජ්‍ය සේවකයන් රට දියුණු කර ගැනීමටද කාලය කැප කළ යුතුය.
දියුණුවට පත්වී ඇති බොහෝ රටවල් දියුණු වී ඇත්තේ වැඩ කිරීමෙනි. අපේ රට ණයට කකා නිදි වැදී සිටින්නේ වැඩ නොකිරීමෙනි. බොහෝ රටවල සතියේ දින හයක්‌ම වැඩ කරති. වැඩ නොකර සිටින්නේ ඉරිදා දිනයේ පමණි. සමහර රටවල දිනකට පැය 9-10 වශයෙන් වැඩ කරති. අපේ රටේ සේවා කාලය පැය අටට සීමා වී ඇත. පැය අටත් මුලින් අගින් ටික ටික කැපී ගිය විට සැබවින්ම වැඩකරන තැන රැඳී සිටින්නේ පැය හයක් හතක් පමණි.
දියුණු වී ඇති හැම රටක්‌ම එසේ දියුණු වී ඇත්තේ කාලය, වැස්‌ස, අව්ව, නින්ද, විවේකය ආදිය ගැන නොසැලකීමෙනි. අපේ රටේ වුවත් දියුණු වී ඇති හැම ව්‍යාපාරිකයෙකුම දියුණු වී ඇත්තේ වැඩ කිරීමේ මග ඔස්‌සේ දුක් කඳුළු මැදින් ගමන් කිරීමෙනි. මේ නිසා සෙනසුරාදා දිනයද ඇතුළත් වන සේ කාර්යාලවල සහ පාසල්වල වැඩ කිරීමේ කාලය යළි සැලසුම් කිරීම, යහපාලනය හරහා දියුණුව සොයා යන ගමනට මහත් පිටිවහලක් වනු ඇත.
අපේ රටේ හිරගෙවල්වල හිර කරගෙන සිටින පිරිස තිස් දහසකට වැඩිය. මේ අයට රසමසවුළුවලින් කෑම බීම සපයමින් නිකම්ම හිර කරගෙන සිටිති. මේ අතර සිටින වැඩි දෙනා තරුණයන් සහ මැදිවියේ අයයි. මේ අයට ආහාර දෙනවා මෙන්ම මේ අයගේ බුද්ධියෙන් ශක්‌තියෙන් රටට වැඩක් ගැනීමට කිසිදු ක්‍රමවේදයක් නැත. ඇමැතිවරුන් ද නිලධාරිවරුන් ද, හිරකරුවන් ද අඩුවක් නැත. නමුත් මේ අයගෙන් රටට වැඩක් නැත.
පසුගිය දිනවල පැවැති යුද්ධය නිසා අසීමිත ලෙස තරුණයෝ හමුදාවට බඳවා ගත්හ. මේ පිsරිස ලක්‍ෂයකට වැඩිය. දැන් යුද්ධයක් නැත. යහපාලනයේ ක්‍රමවේදයක් ඇත්නම් මේ ශ්‍රම හමුදාවෙන් රටේ සංවර්ධනය සඳහා මොන තරම් සේවයක් ලබාගත හැකිද?
රටට විනයක් වී ඇති නිකන් කන්න දීම දේශපාලකයන්ගේ ඡන්දය ගරා ගැනීමේ රටාවක් වී ඇත. ජන සවිය, සමෘද්ධිය, පාසල් පොත්, නිල ඇඳුම්, ආහාර පාන සහ තවත් බොහෝ දේ නිකන් ලබා ගැනීමේ රටාවට දේශපාලකයන් විසින් ජනතාව පෙළ ගස්‌වා ඇත. රටේ පාලකයන්ගෙන් සිදුවිය යුතුව ඇත්තේ ජනතාව වැඩට පෙළ ගැස්‌වීමයි. අපේ රටේ දේශපාලකයන් කරන්නේ තමන්ගේද තම පක්‍ෂයේද ඡන්ද ගොඩ වැඩිකර ගැනීම සඳහා විවිධ දේ ජනතාවට නිකන් බෙදීමය. ඉතින් අපේ රට දවසින් දවසම හිඟමනට පත්වීම පුදුමයක් ද? වැඩකොට උපයාගෙන නොව ලෝකයෙන් ණයට ගෙන ජනතාවට නිකන් බෙදති. ඉතින් දෙයියනේ.. රටක් හැදෙයිද?
මේ දේශපාලන ප්‍රොaඩාව නිසා ජනතාවත්, ලෝකයට ණයකාරයෝ වෙති. රටත් හිඟමනට පත්වෙති. රට හා ජාතිය පිළිබඳව දේශපාලකයන්ට සැබෑ දැක්‌මක් නැත. ඔවුන් තුළ ඇත්තේ මොන උප්පරවැට්‌ටියකින් හෝ බලය ඩැහැ ගැනීමය. බල වපසරිය පුළුල් කර ගැනීමය. ඌරාගේ මාළු ඌරාගේ ඇඟේම තියා කපන්නාක් මෙන් කපටි දේශපාලකයන් රට හා ජනතාව බද්දට තියා ලෝකයෙන් ණය මුදල් ගෙන ඒවා එක් එක් මාර්ගවලින් ජනතාවට බෙදා දී තමන්ගේ ඡන්ද ගොඩ ලොකුකර ගනිති. මෙහෙව් දේශපාලන පිළිවෙතක් පවත්නා තාක් අපේ රටටත්, ජනතාවටත් අනාගතයක් නම් නැත. යහපාලනය තුළින්වත් මේ පිළිවෙත් සෝදා හරින්නේ නම් රටටත් ජනතාවටත් යහපතක් වේ.
එප්පාවල – රත්න බී. ඒකනායක
Source : Divaina