1948 පෙබරවාරි 04 දින බ්‍රිතාන්‍ය යටත්විජිත පාලනයෙන් ශ්‍රී ලංකාව නිදහස ලබා ගැනීමෙන් පසුව ගත වූ අවුරුදු 67 ක කාලය තුළ දී ශ්‍රී ලංකාව මෙතෙක් මුහුණ නොදුන් අතිශය බරපතල අන්තර්ජාතික අභියෝගයකට මේ වන විට මුහුණ දී තිබේ. ඒ වූ කලී ජිනීවා අග නගරයේ පැවති එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලයේ 28 වන සැසි වාරයේ දී ශ්‍රී ලංකාව තුළ පුරා අවුරුදු 30 කට ආසන්න කාලයක් මුළුල්ලේ පැවති වාර්ගික ගැටුමේ දී සිදු වූවා යෑයි සැලකෙන මානව හිමිකම් කඩ වීම් සහ යුද්ධ අපරාධ විනිශ්චය කිරීම සඳහා දේශීය හා ජාත්‍යන්තර විනිශ්චයකරුවන්ගෙන් සමන්විත දෙමුහුන් අධිකරණයක් ස්‌ථාපිත කරන ලෙස මානව හිමිකම් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවේ ආණ්‌ඩුවට නිර්දේශ කර තිබීම ය. එම මානව හිමිකම් කඩකිරීම් සහ යුද්ධ අපරාධ පහත දැක්‌වෙන ක්‌ෂේත්‍ර යටතේ ගොනු කර ඇත.
i. නීත්‍යානුකූල නොවන මනුෂ්‍ය ඝාතන
ii. මිනිස් නිදහසට හානි කළ ක්‍රියාවන්
iii. බලහත්කාරී ලෙස කරන ලද අතුරුදන් කිරීම්
iv. වධ හිංසා සහ වෙනත් කෲර අමානුෂික ක්‍රියා
v. ලිංගික වධ හිංසා
vi. බලහත්කාරීව පැහැරගෙන යාම
vii. ළමයින් හමුදා සේවයට බඳවා ගැනීම
viii. සිවිල් වැසියන්ට සහ සිවිල් ඉලක්‌කවලට පහර දීම
ix. සිවිල් වැසියන්ගේ සංචලනය වීමේ අයිතිය අහිමි කිරීම
x. මානුෂීය ආධාර ලබා ගැනීම වැළැක්‌වීම
එල්ල වී ඇති මෙම චෝදනා සත්‍ය හෝ අසත්‍ය විය හැකි ය. එසේත් නැත්නම් අතිශයෝක්‌තියෙන් දක්‌වන ඒවා විය හැකි ය. මේ සඳහා පරීක්‌ෂණයක් කරන ලෙස ඉල්ලා සිටීම අසාධාරණ නොවේ. හේතුව එහිදී සැබෑ ලෙසම සත්‍යය අනාවරණය කර ගැනීමට හැකි වීම ය. එහෙත් මෙහිදී මතුවන ප්‍රශ්නය වන්නේ එම පරීක්‌ෂණ කාර්යය සඳහා දේශීය සහ ජාත්‍යන්තර විනිශ්චයකරුවන්ගෙන් සමන්විත දෙමුහුන් අධිකරණයක් පිහිටුවන ලෙස මානව හිමිකම් කවුන්සිලය ලංකා රජයට නිර්දේශ කළේ ඇයිද යන්න ය. මේ කෙරෙහි බල පෑ හේතු සාධක දෙකක් මානව හිමිකම් කවුන්සිලය පෙන්වා දේ. මෙයින් එකක් වන්නේ 2009 වර්ෂයේ සිට අන්තර්ජාතික සමාජය, එක්‌සත් ජාතීන්ගේ සංවිධානය හා වෙනත් ජාත්‍යන්තර සිවිල් සංවිධාන යුද්ධයේ දී සිදුවූවා යෑයි සැලකෙන මානව හිමිකම් කඩකිරීම හා යුද්ධ අපරාධ සම්බන්ධයෙන් පරීක්‌ෂණයක් පවත්වන මෙන් කරන ලද ඉල්ලීම එවකට පැවති මහින්ද රාජපක්‌ෂ පාලනය මඟින් නොසලකා හැරීම ය. එසේ පැහැර හැරියා පමණක් නොව ඒ ඒ අවස්‌ථාවල දී ජාත්‍යන්තර ප්‍රජාව සහ රාජ්‍ය නායකයින්ට පොරොන්දු දීම, ඒවා සිතාමතාම කඩ කිරීම යන කරුණුද අන්තර්ජාතික සමාජය ශ්‍රී ලංකාව කෙරෙහි කලකිරීමට බලපෑවේය. දෙවන කරුණ වන්නේ ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය කෙරෙහි අන්තර්ජාතික සමාජය විශ්වාස නොකරන තත්වයකට පත්ව තිබීම ය.
මෙයින් පෙනී යන්නේ දෙමුහුන් අධිකරණයක් ස්‌ථාපිත කරන ලෙස ඉල්ලීම යුද්ධය හා සම්බන්ධ පාර්ශව විසින් කරන ලද වැරදි හා අපරාධ නිසාම පමණක් සිදු වූ එකක් නොවන බව ය. එසේම මේ සම්බන්ධයෙන් යුද්ධයට සම්බන්ධ වූ පාර්ශව පමණක් නොව එවකට බලයේ සිටි මහින්ද රාජපක්‌ෂ ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්‌ඩුව ද එක හා සමාන ලෙස වග කිව යුතු වේ. හේතුව බොරු පොරොන්දු දී ඒවා කඩ කරමින් ජාත්‍යන්තර සමාජයේ විශ්වාසය කඩකිරීම කෙරෙහි මෙන්ම නීතියේ ආධිපත්‍යය බිඳ දැමීම හා අධිකරණයේ ස්‌වාධීනත්වය විනාශ කර දැමීම සම්බන්ධයෙන් ද මහින්ද රාජපක්‌ෂ පාලනය වග කිව යුතු බැවිනි. මහින්ද රාජපක්‌ෂ පාලනය මගින් කෙරුණ මෙම අපරාධය යුද්ධ අපරාධ තරම්ම ප්‍රබල වන බව මානව හිමිකම් කවුන්සිලයේ වාර්තාව විමර්ශනය කිරීමේ දී පැහැදිලි වේ.
එසේ නම් අද ශ්‍රී ලංකාව මුහුණ දී ඇති අතිශය බරපතල ජාත්‍යන්තර අභියෝගයට බල පෑ හේතුකාරක දෙකක් පැහැදිලිව හඳුනා ගත හැක. මෙයින් එකක් වන්නේ යුද්ධයට Rජුවම සහභාගි වූ පාර්ශවකරුවන් ය. දෙවැන්න වන්නේ හිතුවක්‌කාරකම, ආඩම්බරය සහ අහංකාරය හේතුවෙන් මෙම ප්‍රශ්නයට විසඳුමක් නොදී අයාලේ යාමට ඉඩ හැරීමෙන් අන්තර්ජාතික සමාජය කුපිත කරමින් ලංකාවට එරෙහිව නැඟී සිටීමට පෙළඹ වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ හා ඔහුගේ පාලනයේ අනිකුත් කොටස්‌කරුවන් ය.
අතීතයේ කවුරු වැරදි කළ ද, ඒ හේතුවෙන් ශ්‍රී ලංකාව සහ ජාතිය කෙතරම් අමාරුවේ වැටුණද, අද එම චෝදනාවලට මුහුණ දෙමින් ඒවාට වග කියමින් ශ්‍රී ලංකා ජනරජය සහ ශ්‍රී ලංකාවේ ජනතාව එම චෝදනාවලින් බේරා ගැනීමේ භාරදූර වගකීම පැවරී ඇත්තේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට සහ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාට ය. මේ සම්බන්ධයෙන් මේ දෙපළ කළ යුතු ප්‍රධානම කාර්යය වන්නේ දෙමුහුන් උසාවි ක්‍රමයෙන් රට බේරා ගෙන දේශීය යාන්ත්‍රණයක් නිර්මාණය කරමින් මෙම ප්‍රශ්නයට විසඳුම් ලබා දිය හැකි බව අන්තර්ජාතික සමාජයට ඔප්පු කර සිටීම ය. මේ සඳහා අවෙශ්‍යයෙන්ම කළ යුතු අතිශය වැදගත් කාර්යයන් දෙකක් තිබේ. එකක් වන්නේ ජාත්‍යන්තර විශ්වාසය යළි ගොඩනැගෙන පරිදි දේශීය අධිකරණ පද්ධතිය ප්‍රතිසංස්‌කරණය කිරීම ය. මේ සඳහා නීතියේ ආධිපත්‍යය මෙන්ම අධිකරණයේ ස්‌වාධීනත්වය යළි තහවුරු කළ යුතුය. අගතිගාමී තත්වයන්ගෙන් තොරව විනිශ්චයකරුවන් පත් කළ යුතු ය. විධායකයේ සහ ව්‍යවස්‌ථාදායකයේ මැදිහත්වීම් හා ඇඟිලි ගැසීම්වලින් තොරව කටයුතු කිරීමට අවශ්‍ය පරිසරය සපයා දිය යුතු ය. මෙයට අමතරව ප්‍රජාතන්ත්‍රවාදී යහපාලනය හා මානව හිමිකම් ආරක්‌ෂා කිරීම විවෘතවම තහවුරු කළ යුතු ය.
දෙවන අවශ්‍යතාවය වන්නේ අන්තර්ජාතික සමාජයේ විශ්වාසය ගොඩනැඟෙන අයුරින් ජාතික මට්‌ටමින් මෙම අභියෝගයට මුහුණ දීම සඳහා ජාතික ඒකාග්‍රතාව ඇති කරමින් එක්‌සත් ජාතියක් ගොඩනැගීම ය. වෙනත් ආකාරයකට කියනවා නම් එක් රටක් හැටියට, එක් ජාතියක් හැටියට එකමුතුව, එක්‌සත්ව සමගියෙන් මුහුණ දීම සඳහා, ජාතික සංහිඳියාව ගොඩනැගීම සඳහා කටයුතු කිරීම ය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ තත්ත්වය නිවැරදිව තේරුම් ගෙන රට සහ ජාතිය නිවැරදි දිශාවට මෙහෙයවීමට උත්සාහ ගන්නා ආකාරය මේ වන විට දැකිය හැකි වේ.
44 වන අග්‍රවිනිශ්චයකාරවරයා පත් කිරීමේ දී, විපක්‌ෂ නායකවරයා පත්කිරීමේ දී ඔවුන් දෙදෙනා ජාතික සංහිඳියාව ගොඩනැගීම වෙනුවෙන් නිර්භයව කැප වී කටයුතු කරන ආකාරය පැහැදිලිව පෙන්නුම් කළ අතර, උතුරේ හමුදා බැරැක්‌කවලට ආපසු යෑවීම, උතුරේ සිවිල් පරිපාලනය යළි ස්‌ථාපිත කිරීම, හමුදා යටතේ තිබූ උතුරේ සමහර ඉඩම් යළි සිවිල් ජනතාවට පවරා දීම, සමාන පුරවැසියන් හා සමාන ඉඩප්‍රස්‌ථාවන් යන සිද්ධාන්තය ක්‍රියාවට නැංවීමට උත්සාහ ගැනීම, නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක් සම්පාදනය කිරීමට පියවර ගැනීම යනාදියෙන් ජනාධිපතිවරයාගේ හා අගමැතිවරයාගේ කැපවීම තවදුරටත් පෙන්නුම් කෙරේ.
එහෙත් ජනාධිපතිතුමා සහ අගමැතිතුමා තමන්ගේ රට සහ ජාතිය බේරා ගෙන, රටේ සහ ජනතාවගේ නිදහස හා පරමාධිපතිත්වය ආරක්‌ෂා කොට පවත්වාගෙන යාම උදෙසා සද්භාවයෙන් කරන මෙම ක්‍රියාවන්ට බරපතල ලෙස අකුල් හෙළමින්, එම ක්‍රියාවන් කඩාකප්පල් කිරීමට උත්සහ දරමින්, යළිත් වරක් වර්ගවාදී අරගලයකට ජාතිය පැටළවීම සඳහා කටයුතු කරන අන්තවාදී ජාතිෙද්‍රdaහී කොටස් කිහිපයක්‌ද මෙම අවස්‌ථාවේ දී අප රට තුළ සිටින ආකාරය දැකිය හැකිවේ. මෙයින් එක් කණ්‌ඩායමක් වන්නේ උතුරේ සිටින දෙමළ අන්තවාදීන් ය. දෙවන කොටස වන්නේ විදෙස්‌ගතව සිටින දෙමළ ඩයස්‌පෝරාවේ අන්තවාදීන් ය. තුන්වන කොටස වන්නේ දකුණේ සිටින සිංහල බෞද්ධ අන්තවාදීන් ය. මේ සෑම කණ්‌ඩායමක්‌ම සැලකිය යුත්තේ ජාතිෙද්‍රdaහීන් සහ දේශෙද්‍රdaහීන් ලෙස ය. එසේ නම් මධ්‍යස්‌ථවාදී මෙන්ම අන්තවාදී නොවන ශ්‍රී ලාංකික ජනතාව කළ යුත්තේ කුමක්‌ද? වර්ගවාදී, ආගම්වාදී, ප්‍රදේශවාදී සහ භාෂාවාදී යන සෑම ආකාරයකටම අන්තවාදීන් ප්‍රතික්‌ෂේප කොට, විවෘත සැබෑ ශ්‍රී ලාංකික ඇසකින් හා ශ්‍රී ලාංකික මනසකින් ජිනීවා ප්‍රශ්නය දෙස බැලීම ය. පොදු ජාතිකත්වයකින් එයට මුහුණ දීම සඳහා කටයුතු කිරීම ය.
මෙයින් පෙනී යන එක් කරුණක් තිබේ. ජිනීවා අභියෝගයට මුහුණ දීමට නම් ආණ්‌ඩුව මෙන්ම සමස්‌ත රටවැසියන්ටද පැහැර හැරිය නොහැකි අතිශය බරපතල වගකීමක් පැවරී තිබෙන බව ය. එක් අතකින් මේ සඳහා ජාත්‍යන්තර සමාජයේ මෙන්ම රටේ සමස්‌ත ජනතාවගේ විශ්වාසය හා සහය දිනා ගැනීම සඳහා අතිශය වෙහෙසකර කාර්යයක නියුක්‌ත වීමට සිදු ව තිබේ. මේ සඳහා ආණ්‌ඩුව සක්‍රීයවම ප්‍රජාතාන්ත්‍රික ආණ්‌ඩුකරණය හා ඒ සමඟ බැඳී පවතින යහපාලනය, නීතියේ ආධිපතිත්වය, අධිකරණයේ ස්‌වාධීනත්වය, ව්‍යවස්‌ථානුකූල පාලනය, ජනතා පරමාධිපතිත්වය, සමාන පුරවැසියන් හා සමාන ඉඩ ප්‍රස්‌ථාවන් ජාතික සම්පත් සාධාරණව බෙදා හැරීම යනාදී වැඩ කටයුතු රාශියක් ක්‍රියාවට නැංවිය යුතුය. අනෙක් අතට ලාංකික ජාතිය වර්ගවාදය, ආගම්වාදය, භාෂාවාදය හා ප්‍රාදේශීයවාදය යනාදිය පිටුදකිමින් ශ්‍රී ලාංකික ජාතිය ලෙස එක්‌සත්ව නැගී සිටිමින් ජිනීවා අභියෝගයට මුහුණ දීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ අත්වැල් බැඳගත යුතු ය. මෙම තත්ත්වය ඇති කරගත හොත් ජිනීවා අභියෝගයට මුහුණ දීම ප්‍රශ්නයක් නොවේ.
මහාචාර්ය එම්.ඕ.ඒ. ද සොයිසා
Source : Divaina