අවදානමට පෙර අවධානය සහ සූදානම

0
1030
murder

ඊයේ “දිවයින” පුවත්පතේ මුල් පිටුවේ විශේෂ ප්‍රවෘත්තියක්‌ පළ වී තිබිණි. ඒ ‘තාවකාලික පදිංචිකරුවන්ට ලියාපදිංචිය අනිවාර්ය’යි, යන්නය.

පොලිස්‌ මූලස්‌ථානය විසින් නිකුත් කළ නියෝගයක්‌ එම ප්‍රවෘත්තියට පාදක වී තිබිණි. ඒ අනුව සෑම පොලිස්‌ බල ප්‍රදේශයකම සිටින තාවකාලික රැකියා කරන්නන් සහ පදිංචිකරුවන් අදාළ පොලිස්‌ ස්‌ථානයේ ලියාපදිංචි කිරීම/වීම අනිවාර්යය වේ.

අපේ විශ්වාසය මෙය පමා වී හෝ ගත් වැදගත් තීරණයක්‌ බවය. ප්‍රජාතන්ත්‍රවාදය ගැන අතිරික්‌තයකින් කතා කරන උදවියට හා මානව හිමිකම් කුලප්පුව හැදෙන උදවියට මෙය කටගැස්‌මට කාරණයක්‌ වනු නිසැකය. එහෙත් ආතක්‌ පාතක්‌ නැති උදවියට සෙනෙහෙ පාන්නට ගොස්‌ කනකර ආභරණ, මිල මුදල් නොව නෑසියන්ගේ ජීවිත පවා අහිමි කරගත් උදවියට නම් එය සතුටට කාරණයක්‌ වන බව සඳහන් කළ යුතුය.

මේ තාවකාලික පදිංචිකරුවන් යනු දේශපාලන රැකවරණ පතන්නන් හෝ, දේශ සීමා ප්‍රශ්නවලට මුහුණ දුන් අය නොවේ. එසේත් නැතිනම් පදිංචි ඉඩම්වලින් පන්නා දැමූ අයද නොවේ මානව හිමිකම් ප්‍රශ්න ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව ගැටලු මතුවන්නේ එවිටය. මේ කියන තාවකාලික පදිංචිකරුවන් කෙළින්ම අයි.ආර්.සී. කාරයන්ය. නොඑසේනම් “දිවයිනේ නමගිය අපරාධකරුවන්” ය.

එසේත් නැතිනම් කුඩුකාරයන්ය. ස්‌ත්‍රී දූෂකයන්ය, මිනීමැරුම්වලට වරෙන්තු ලද ඝාතකයන්ය.

මෙවන් අපරාධකරුවන් බොහොමයක්‌ රටපුරා තාවකාලික පදිංචිකරුවන් වන්නේ විවිධ වෙස්‌ ගනිමිනි. එක්‌කෝ විශාල වතුයායක මුරකරුවාය. නැතිනම් නිවසක මෙහෙකරුවාය. බොහෝ අය පිට ගමකින් හෝ නගරයකින් පැමිණ රක්‍ෂාවක්‌ සොයාගෙන පැමිණියෙකි. පුද්ගලයාගේ නියම ස්‌වරූපය දැනගන්නා විට ප්‍රමාද වැඩිය. එවැන්නකු දන්නා හඳුනන කිසිවෙකු නැත. මෙවැනි අයි.ආර්.සී. කාරයන්ගේ කෙරුවාවන් තේරුම් ගන්නට පසුගියදා පනාගොඩදී ම්ලේච්ඡ ආකාරයට කපා කොටා ඝාතනය කරන ලද කවිඳු දරුවාගේ ඝාතන සිද්ධියම ප්‍රමාණවත්ය.

මේ පාපතරයා පැමිණ සිටියේ කවිඳුගේ බාප්පාගේ (එනම්, පියාගේ සොහොයුරාගේ) ගල් වළේ මුරකරු ලෙස සේවය කිරීමටය. එහෙත් කිසිවෙකුත් මේ පුද්ගලයා දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවකු බව දැන හිඳ නැත. එය අතපසුවීමක්‌ යෑයි සිතමු. කිසිවෙකුත් මේ අයි.ආර්.සී. කාරයා කොයිබක සිට පැමිණියේද, ඒකාගේ ස්‌ථිර පදිංචිය කොයි ප්‍රදේශයකද, කාගේ කවරෙක්‌ද යන කාරණා පවා ගල්වළේ හිමිකරු නොදැන සිටීම බරපතළ කාරණයක්‌ නොවේද? අවම වශයෙන් ඒ අපරාධකාරයාට රැකියාවක්‌ දිය යුත්තේ ඇයි? යන්න හෝ ඒ කිසිවෙකුත් කල්පනා කර තිබුණු බවක්‌ පෙනෙන්නට නැත, කෙනෙක්‌ උදව්වක්‌ ඉල්ලාගෙන ආ විට උදව් කිරීම යහපත් මනුෂ්‍ය ගුණාංගයකි. එහෙත් රටේ තොටේ සිදුවන දේ ගැන අවබෝධයකින්, අවධානයකින් සිටින්නෙකුට, අනුකම්පාව, භූමිකම්පාවක්‌ වීමට ඉඩකඩක්‌ ඇති බව වැටහේ. මනුස්‌සකම පෙරට එනවිට අපට අවධානය සහ සුපරීක්‍ෂාව ගිලිහී යැම සාමාන්‍ය දෙයකි.

අප අමතක නොකළ යුතු කරුණක්‌ තිබේ. ඒ වසර කිහිපයකට පෙරාතුව යුද්ධය පැවැති වකවානුවේ කෙනකුට නවාතැන් දීමේදී පොලිස්‌ වාර්තා පිරික්‌සීම, ග්‍රාමසේවක සහතික ඉල්ලීම වැනි කාරණා වලට මුල් තැනක්‌ දුන් බවය. අද වනවිට ඒ අත්හැර නොදැමිය යුතු “හොඳ පුරුද්ද” අපෙන් ගිලිහී ගොස්‌ තිබේ. එදා අප බියවූයේ ත්‍රස්‌තවාදියාටය. එහෙත් ත්‍රස්‌තවාදියාත්, මදාවි අයි.ආර්.සී. කාරයාත් යන දෙදෙනාම එක සමානවම හිතක්‌ පපුවක්‌ නැති ම්ලේච්ඡ මස්‌වැද්දන් ලෙස සැලකීම ඇඟට ගුණ බව කිව යුතුය.

ඒ නිසාම පොලිස්‌ මූලස්‌ථානය කියන පරිදි අවධානයෙන් කටයුතු කිරීම කොහොමත් හොඳය. අපේ රටේ මෙවැනි දේ ගැන අඩු සැලකිල්ලක්‌ දැක්‌වුවත් වෙනත් රටවල මෙවැනි නීති තදින් ක්‍රියාත්මක වේ. අපේ රටේ බොහෝ විට ගෙදරට “සර්වන්ට්‌” සොයා දෙන්නේ මිතුරෙකි. සමහරවිට මිතුරාගේ මිතුරෙකි. බොහෝ විට ඊටත් එහා යන්නට පිළිවන. මිතුරා සොයා දුන් නිසා “සර්වන්ට්‌” හොඳවීම සාමාන්‍ය කාරණයකි. ටික කලකට පසු “සර්වන්ට්‌” අතුරුදන් වන්නේ නිවසේ තිබුණු බඩු මුට්‌ටු සමඟම පමණක්‌ නොව නිවසේ සිටි අය ඝාතනය කිරීමෙන්ද පසුවය. “සර්වන්ට්‌” ගෙන ආ අය ගැන සොයන විට මිතුරු දම්වැලම ඇය ගැන නොදැන සිටින්නටද පිළිවන. මෑතකදී උඩුගම්පොළ නයිවලදී පවුලක්‌ම ඝාතනය කළ සැකකරු ඊට පෙරද ඝාතනයකට සම්බන්ධ වූවෙකු බව කියති. මේ පුද්ගලයා ගැන දැන සිටි කිසිවෙකුත් නැත.

2014 දෙසැම්බර් මාසයේදී වෙන්නප්පුව ප්‍රදේශයේ කොහු මෝලක හිමිකරු සහ බිරිඳ ද දරුවන් දෙදෙනාද ඝාතනය කළ සැකකරු ද ඊට පෙර අපරාධවලට හවුල් වූ තැනැත්තෙකි. කොහු මෝලේ හිමිකරු ඒ ගැන නොදැන සිටි බව පසුව අනාවරණය විය.

තාවකාලික රැකියා කරන්නන් සහ පදිංචිකරුවන් පිළිබඳව අවධානයෙන් සිටින්නට මෙවැනි බොහෝ කරුණු උදාහරණ ලෙස පෙන්වාදිය හැකිය. පසුගිය කාලය අතරතුර සිදුවූ අපරාධ දාමය විමර්ශනය කරන්නකු මේ තාවකාලික පදිංචිකරුවන් ගැන අවධානය යොමුකරනවා නිසැකය. කොහොමත් “අවදානමට” පෙර අවධානයත් – සූදානමත් දෙකම තිබීම වඩාත් හොඳ බව අපි කියමු.

Source : Divaina