රත්නපුර හාදයාගේ ඉල්ලම

0
879
ratnapuraya

ඔන්න එකමත් එක දවසක කිරිබත්ගොඩ මාකොළ පැත්තේ මළ ගෙයක්‌ තිබුණා. මියගිය පුද්ගලයා ගැන සෑම පුවත්පතකම මරණ දැන්වීමකුත් පළ වුණා. හිටිහැටියේ මේ මළ ගෙදරට තරුණ හාදයෙකුත් ආවා. මේ හාදය මියගිය තැනැත්තගෙ හිතවතෙක්‌ ලු. රත්නපුර ඔහුගෙ ගම ලු.

මේ රත්නපුරේ හාදය මළ ගෙදර ඇවිල්ල එක විනාඩියක්‌ නිකම්නම් හිටියෙ නෑ. අර වැඩේ ද මේ වැඩේද හැම දෙයක්‌ම හරි අපූරුවට කළා. මළ ගෙදර ඇත්තන්ට නෑදැයින්ට හරිම සතුටුයි මේ හාදයාගෙ වැඩපළවලට. මෙයාගෙ උනන්දුව කොහොමද කිව්වොත් දෙතුන් දෙනෙක්‌ කරන වැඩ මේ හාදය දඩබඩගාල සටපටගාල කළා.

මළගෙයි සියලු වැඩ අවසන් වෙලා හත්දොහේ දානේ කටයුතුවලටත් මේ හාදය මේ ගෙදරම නවාතැන් අරගෙන හිටිය. මේන් මේ අල්ලපනල්ලෙ ඔහුත් සමඟ රෑක කතා බහට එක්‌වුණු මියගිය අයගෙ ඥතියෙකුට මේ අපූරු හාදය ගැන පුංචි පහේ සැකයක්‌ හිතුන. ඒ සැකේ ඔඩුදිව්ව. නෑදැය නීතිඥයෙක්‌ වගේ දිගට හරහට උඩට පහළට ඔහුගෙන් ඇසූ ප්‍රශ්නවලට අත්තිමේ මේ හාදයට උත්තර පත්තර බඳින්න කොපමණ දහන්ගැට දැම්මත් බැරි වුණා. අන්තිමේ මේ හාදය වැමෑරුව. වැමෑරුවේ ඔහුගේ ඇත්ත කතාව. ඕන් අහගන්න ඔහුගේ කතාව.

“මම ඇත්ත කියන්නම්. මම අවුරුදු ගණනාවක්‌ මේ විධියට රඟපාල තියෙනව. මේක මගේ රක්‍ෂාව. මමයි මගේ නෝනයි දරුවො දෙන්නයි මෙතෙක්‌ කලක්‌ ජීවත් වුණේ මේ විධියට මම සල්ලි හොයල තමයි. මම දැනට ලංකාවේ මළ ගෙවල් දාහකට වැඩිය ගිහිල්ල හොඳට කාල බීල කීයක්‌ හරි අතට අරගෙන එනව. ඒ කිසිම ගෙදරකින් මම ශත පහක්‌ හොරකම් කරල නෑ. මහත්තය ඕනම පොලිසියකින් අහල බලන්න මං ගැන. ඔය හැම මළ ගෙදරකම මිනිස්‌සු මට හොඳට සලකල ගෙදර එනකොට හොඳ ගතමනාවකුත් දෙනව. සමාවෙන්න මම මෙහෙම කියනවට, මිනිස්‌සු මැරුණම තමයි මගේ කල දවස හොඳ.”

ඔහුගේ අතීත කතාව ඇසූ මළ ගෙදර නෑ. නෑ. දැන් දානෙ ගෙදර ඇත්තේ තුෂ්නිම්භූත වී කතාව අසාගෙන සිට ඔහුට විරුද්ධව කිසිවක්‌ කීවේ නෑ. පොලිසියට අල්ලා දුන්නේ ද නැත, තව දවස්‌ දෙක තුනක්‌ ඉඳ ගේ දොර අස්‌පස්‌ කරලාම යන්නට යෑයි කිව්වැයි කියමුකෝ.

අශෝක කාරියවසම්
Source : Divaina