මියගිය ආච්චි වැල්ලවායේ සිටි මුනුපුරා බුත්තල මහගෙදරට ගිහිං ඇරලවලා!

0
767
saman-putha-3

ආච්චි මියගිහින් වසර 19යි

පුතා කවදාවත් අපේ අම්මා දැක නෑ. ඒත් පුතා කියන අම්මාගේ හැඩරුව හරියට හරි

– සමන්ගේ මව

අතුරුදන් වූ බවට පොලීසියට පැමිණිලි කර සිටි දොළොස් වියැති දරුවෙකු ඔහුගේ මිය ගිය ආච්චි විත් කැඳවා ගෙන ගොස් ආච්චි ජීවත් ව සිටි මහ ගෙදර රඳවා සිටියදී සොයා ගැනීමේ අද්භූතජනක සිද්ධියක් වැල්ලවාය වෙහෙරයාය වසමේ දෙමටත්තාර ගමෙන් පසුගියදා වාර්තා විය. මේ ආරංචිය මා වෙත ගෙනාවේ වැල්ලවාය ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී සුනිල් ඩී. ආනන්ද මහතාය. ඒ ලද ‍තොරතුරු ඔස්සේ අපි දරුවාගේ නිවෙස සොයා ගියෙමු.

වෙහෙරයාය දෙමටත්තාර ගමේ පදිංචි තිලක් සමරවික්‍රම හා ඩබ්ලිව්.ආර්.එම්. නදීකා යුවළට දරුවන් තිදෙනෙකි. මද්දුමයා වූයේ තිලක් සමන් කුමාර නමැති දොළොස් හැවිරිදි දරුවාය. අතුරුදන් වූ සමන් කුමාර වෙහෙරයාය මහ විදුහලේ හත වසරේ ඉගෙනුම ලබයි.

සමන්ගේ මව සමන්ගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් අප හා මෙසේ විස්තර කළාය.

saman-putha-1“සිද්ධිය වූ දින සමන් පුතා පාසල ඇරී ගෙදර ආවා. පසුව සෙල්ලම් කරන්න පාසලට ගියා. සවස පහ පමණ වෙන තුරු පුතා ගෙදර නොපැමිණි නිසා අපි පාසලට ගොස් සොයා බැලුවා. එදින රාත්‍රියේත් සොයා බැලුවා. සමන් පිළිබඳ හෝඩුවාවක් නැති නිසා පොලීසියට පැමිණිලි කළා. තුන්වන දිනයේ (05.08.2015) දැන ගන්න ලැබුණේ පුතා බුත්තල කටුගහ කොලනියේ මහගෙදර ඒ කියන්නේ, මගේ ගෙදර සිටින බව. අපට හරිම පුදුමයි. පුතාට ඒ ගෙදර සොයා ගෙන තනියම යන්න බැරි බව අපි දන්නා නිසා.”

කෙසේ වුවද ගමේ පිරිසක් එදින රෑ මහ ගෙදරට ගියේ සමන් පිළිබඳ සොයා බැලීමට ය. එහිදී එහි නිවැසි චන්ද්‍රාවතී නමැති අය (සමන්ගේ මවගේ පුංචි අම්මා) කීවේ පුතා ගෙදර සිටින බවය. එහෙත් ඒ මොහොතේ ඔහු එහි නොවූයෙන් සැවොම ගේ වටලා සමන් සෙවූහ. දිගු වෙලාවකට පසු ඉස්තෝප්පුවේ නවතා තිබූ ට්රැක්ටරය යට ඔහු සැඟවී සිටියදී සොයා ගැනිණ. පසුව පිරිස සමන් ද රැගෙන ආපසු පැමිණියහ.

“එන අතරතුරදී වැල්ලවාය හමුදා කඳවුර අසලදී සමන් ත්‍රීවීලරයෙන් බහින්න උත්සාහ කළා. ඒ සමඟ ත්‍රීවිලරය පාලනය කර ගන්නත් බැරි තත්වයක් ඇති වුණා. පුතාගෙන් ඇහුවා ඇයි බහින්නේ කියා. ආච්චි ඇවිත් බහින්න කියනවා කියා පුතා කිව්වා. අපට මෙය අදහා ගන්න බෑ. වහාම කඳවුරේ බුද්ධ ප්‍රතිමාව ළඟට ගොස් බාරයක් වුණා. ඊට පසු කරදරයක් නැතිව ආවා” යැයි එදින සිදුවූ තවත් දෙයක් සමන් ගේ පියා අප හා විස්තර කළේය.

අනතුරුව අපි සමන් කුමාරගෙන් ද කරුණු විමසුවෙමු.

“එදා මං සෙල්ලම් කරන්න ඉස්කෝලෙට යන කොට කලින් දවසක මට ඇඳුමක් හා සෙරෙප්පු ජෝඩුවක් දුන් ආච්චි හමුවුණා. ආච්චි මාව කැඳවාගෙන බස් රියෙන් වැල්ලවායට ආවා. එහිදී මට කිව්වා ලොතරැයි පතක් ගන්න. ඒ ලොතරැයි පතට රු. පන්සීයක් මට ලැබුණා. ඊට පසු බුත්තල කටුගහ කොලනියේ ගෙදරකට මා එක්ක ගෙන ගොස් එහි ඉන්න කිව්වා. ඒ ගෙදර ආච්චිට කියන්න කිව්වා අපේ අම්මලා දින තුනකින් එන බව. අම්මලා තුන්වන දිනයේ රෑ ආවා.” යැයි සමන් පැවසීය.

අම්මලා එන විට සමන් හැංගුණේ ඇයි දැයි අපි විමසීමු. ඔහු කීවේ එයාට උදව් කළ ආච්චි තමාට හැංගෙන්නැයි පැවසූ බවය.

සමන් මේ තොරතුරු විස්තර කරන ආච්චි කවුරුන්දැයි අපි සමන්ගේ දෙමවුපියන්ගෙන් විමසීමු. එයට පිළිතුරු දුන්නේ සමන්ගේ මවය.

saman-putha-2“පුතා ඔය කියන්නේ මගේ අම්මා ගැනයි. මගේ අම්මා නැතිවෙලා දැන් වසර දහනවයක්. මගේ පුතාට වයස අවුරුද දොළහයි. එයා කවදාවත් අම්මාව දැකලා නැහැ. ඒත් එයා හැඩහුරුකම් විස්තර කරද්දී ඒ අම්මාගේ හැඩරුවමයි. අ‍පේ ගෙදර අම්මාගේ හා තාත්තාගේ පිංතූරයක් තියෙනවා. පුතා ඒ පිංතූරය පෙන්නා ආච්චිව පෙන්නුවා.”

සමන්ට ලොතරැයි පත අලෙවි කළ බව කියන අලෙවි නියෝජිත මහතා ද අපට තොරතුරු පැවසීය.

“මේ දරුවා ලොතරැයි පතක් මිලදී ගන්න පැමිණියා මට මතකයි. ඒ ආවේ තනියමයි. ඔහුට එදා රුපියල් 500 ක් ඇදුණා. මෙවැනි කුඩා දරුවකු ලොතරැයි හූරන එක ගැන එදා මං අසල සිටි අයකුටත් පැවසුවා” යැයි ඔහු විස්තර කළේය.

අනතුරුව අප ගියේ සමන් කුමාර රඳවා සිටි බුත්තල කටුගහ කොලනියේ මහ ගෙදරටයි. ඩබ්ලිව්.ඩී. චන්ද්‍රාවතී හා ඇගේ සැමියා එහි වූහ. සමන්ගේ පැමිණීමට අදාළව කතා කළ චන්ද්‍රාවතී මහත්මිය මෙසේ පැවසුවාය.

“මේ නිවෙස මිය ගිය මගේ අක්කා බේබිනෝනා පදිංචිව සිටි ගෙදරයි. අක්කාගේ දුවෙක් වන සුදූ (සමන්ගේ අම්මා) ඉන්නේ වෙහෙරයායේ. සමන් සුදූගේ පුතා කියා මා දැන ගත්තේ ගෙදරට විත් බිස්කට් පැකට් එකක් මගේ අතට දී මට වැන්දාට පසුවයි. මං ඇහුවා පුතා පාර සොයා ගත්තේ කොහොමද කියා. එවිට ඔහු කීවා ආච්චි කෙනෙක් විත් ගෙදර පෙන්නුවා කියා. තවද අම්මා දින තුනකින් එන බවත් එතෙක් අපේ ගෙදර සිටින ලෙසත් ආච්චි කිව්වලු. මුලින් මං හිතුවේ අපේ ගමේ කාන්තාවක් දරුවාට ගෙදර පෙන්වා ගියා කියලයි. සමන්ගේ අම්මලා පැමිණි පසුයි අපට තේරුණේ සමන්ගේ පැමිණීම ගුප්තසහගත බවක්. ඊට අදාළව ඔහුගේ ක්‍රියා කලාපවලින් හා ප්‍රකාශවලින් හෙළි වෙනවා. වරෙක ඔහු කීවා ඔහුට දේව බලයක් තිබෙන බව.” යැයි ඇය පැවසුවාය.

මේ අතර වාරයේදී සමන් අප පැමිණි ස්කූටරය අතපත ගාමින් එදෙස ආසාවෙන් බලා ඉන්නවා මා නෙත ගැටිණි. “පුතාට බයික් පදින්න පුළුවන්ද? මම දරුවාගෙන් විමසීමි. දරුවා එයට පිළිතුරු ලෙස හිස සෙලවීය. මා ඔහුට ස්කූටරය පණ ගන්වා දුන් පසු ඔහු එහි නැගී රවුමක් ගොස් වේගෙන් ගෙදර ළඟට පැමිණියේය. ගෙදරට හරවන විට එය පෙරළුණ ද හානියක් සිදු නොවීය. සමන්ගේ ගෙදර පරිසරය අනුව ඔහුට ස්කූටර පැදීමේ හුරුවක් නැති බව මට හැඟී ගියේය.

කරුණු සොයා යෑමේදී සහාය වූ සුනිල් ඩී. ආනන්ද මහතාට විශේෂ ස්තුතිය.

Source : Silumina