අප දන්නා හැටියට තවමත් රටේ ප්‍රශ්නවල අඩුවක් නැත. අපරාධ එමටය. ළමා අපචාර, ස්‌ත්‍රී දූෂණ, රණ්‌ඩු සරුවල්, ඝාතන මේ ආදී වශයෙන් සිදුවන සියලු අපරාධ පිටුපස මත්පැන්, මත්ද්‍රව්‍ය භාවිතය යහමින් ඇති බව ද කියෑවේ. ඇත්ත……. අරක්‌කු ටිකක් බීගත් පසු යක්‍ෂාවේශ වී ගෙදර, උදවිය ගේ රීරි මාංසය කන්නට හදන, හොඳම මිතුරා මරා දමන, කොටින්ම ලේ පිපාසිත වනචාරියකු බිහිවීම ගැන උදාහරණ සහිත ප්‍රවෘත්ති වාර්තා ඕනෑ තරම් දක්‌නට ලැබේ.
කොළඹට ‘රා’ ගැසට් එක එන්නේ මෙවැනි පසුබිමක් තුළය. ඊයේ (04 වැනිදා) ඉරිදා දිවයින පුවත්පතේ ද මේ ගැන විශේෂාංග ලිපියක් පළ වී තිබිණි. පසුගිය මාසයේ 18 වැනිදා නිකුත් කරන ලද අංක 1933 දරන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය මගින් කොළඹ රා තැබෑරුම් පිහිටි ස්‌ථානවලට අයත් බල ප්‍රදේශය තවදුරටත් පුළුල් කරමින් තිබේ. මේ ‘බල ප්‍රදේශ පුළුල් වීමේ’ රා තැබෑරුම් පිහිටි ප්‍රදේශ පහකි. කොටබෝම, කොටහේන, මෝදර, µර්ගියුසන් පාර, මාදම්පිටිය වැනි ප්‍රදේශ එම කලාපවලට අයත්ය. මේ ‘රා’ කලාපවලට එරෙහිව මේ වන විට විශාල විරෝධතාවක් ගොඩ නැඟෙමින් තිබේ.
මේ විරෝධතාව ‘රා’ කර්මාන්තය වනසා දැමීමේ වුවමනාවෙන් ක්‍රියාත්මක වන්නක් නොවේ. බොහෝ දුර අතීතයක සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල ‘කරදරයක්’ නොවන ආකාරයෙන් ක්‍රියාත්මක වූ රා කර්මාන්තයෙන් දිවි රැකගන්නා පිරිස බොහෝ ය. ප්‍රශ්නය වන්නේ රා තැබෑරුමේ වපසරිය පුළුල් කිරීමය. එම පුළුල් කිරීමේ වපසරිය තුළ ඕනෑම ආගමික ස්‌ථානයක් ආසන්නයෙත් රා තැබෑරුමක් විවෘත කිරීමේ හැකියාව පවතී.
අප සඳහන් කළ රා කලාප පුළුල් වීමේ ප්‍රදේශවලට අයත් ස්‌ථාන කොළඹ නගරය ආසන්නව තිබුණ ද, යම් පමණකට හුදකලා වූ ස්‌ථාන බව කොළඹ ගැන වැටහීමක් ඇති කවරකු හෝ දනිති. අතීතයේ මේ ප්‍රදේශවල ජනතාව ගැවසුනේ ඉතා අඩුවෙනි. එපමණක් නොව පාසල්, වෙනත් අධ්‍යාපනික ආයතන, පූජනීය ස්‌ථාන එම ප්‍රදේශවල පිහිටා තිබුණේ නැත. ‘රා’ වෙනුවෙන් එන පිරිසට අවශ්‍ය වන නිදහස එම ප්‍රදේශවල තිබුණ අතර, බාහිර සමාජයේ අයට ඉන් ඇතිවන අපහසුතා මඟහැරීමක් ද ඉන් සිදුවිණි. පුළුල් කිරීමට නියමිත මේ කලාප තුළට කොළඹ 01, 09, 10, 11, 12, 13, 14, 15 යන ප්‍රදේශ සියල්ල අයත් ය.
(ඒ කලාප දැක්‌වෙන පිඹුරුපතක් ද නිකුත් කර තිබේ.) මේ කියන ප්‍රදේශ ආශ්‍රිතව තිබෙන ආගමික ස්‌ථාන 186 ක් පමණ වේ. වෙන් වෙන්ව දක්‌වතොත් බෞද්ධ පාසල්, විහාර ගණන 82 කි. හින්දු දේවස්‌ථාන 31 කි. ඉස්‌ලාම් ආගමික ස්‌ථාන 26 කි. ක්‍රිස්‌තියානි ආගමික ස්‌ථාන ගණන 47 කි. මේ සියල්ලට අමතරව මේ ප්‍රදේශ පුරාම පාසල් හා අධ්‍යාපනික මධ්‍යස්‌ථාන රැසක් පිහිටා තිබේ.
රා තැබෑරුම්වල ප්‍රදේශ පුළුල් කිරීමේ ගැසට් පත්‍රයට අනුව අයත් බල ප්‍රදේශ කොළඹ ගැන දන්නා කාගේත් අවධානය පිණිස සටහන් කරමු. හෙට්‌ටියාවත්ත, කොටහේන, මරදාන, සංඝරාජ ප්‍රදේශය, පිටකොටුව, ඕල්කට් මාවත, බ්ලූමැන්ඩල් පෙදෙස, සිරිල් සී. පෙරේරා මාවත, මාදම්පිටිය, ස්‌ටේස් පාර, කොස්‌ගස් හන්දිය, පරාක්‍රම මාවත, සුගතදාස ක්‍රීඩාංගනය, බණ්‌ඩාරනායක මාවත ඒ ප්‍රදේශය.
මේ සීමාව තුළ ඕනෑම ස්‌ථානයකදී අනාගතයේ රා තැබෑරුමක් ආරම්භ කිරීමේ හැකියාවක් ගැසට් පත්‍ර නිවේදනයට අනුව තිබේ.
මේ අරුම පුදුම රා කඩ ගැසට් පත්‍රය නිකුත් වන්නේ සුරාබදු දෙපාර්තමේන්තුව අයත් මුදල් අමාත්‍යාංශයේ හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාල අයත් ස්‌වදේශ කටයුතු අමාත්‍යාංශය හෝ නොදැන වීම විශේෂත්වයකි. සුරාබදු කොමසාරිස්‌වරයාගේ අනුමැතිය මත කොළඹ ප්‍රාදේශීය ලේකම්වරයාගේ මැදිහත්වීම මත මෙහෙයුම දියත් වන්නේය.
දැනටත් කොළඹ බොහෝ ප්‍රදේශ හඳුනාගන්නේ ගංජා කලාප, කුඩු කලාප, පාතාල රාජධානි වශයෙනි. පසුගිය කාල වකවානුව තුළ කොළඹට ‘කැසිනෝ’ කලාපයක් ගෙන ඒමේ යෝජනාවක් ද තිබිණි. මත්පැන්, විවිධ මත්ද්‍රව්‍ය, ගණිකා වෘත්තීය ඉතා නරක අන්දමින් ව්‍යාප්ත වීමේ වැඩි ඉඩකඩක් ඇති නිසාම එයට දැඩි ජනතා විරෝධයක් එල්ල විණි. වපසරිය පුළුල් කරන ‘රා’ කඩ ව්‍යාපෘති මගින් සිදුවන හොඳ කවරක් දැයි කිව හැක්‌කේ කාටද?
රට ‘මත්වන’ තරම ගැන අමුතුවෙන් කිව යුතු නැත. දිනපතා අත්අඩංගුවට ගන්නා හොර මත්පැන් තොග, බලපත්‍ර නොමැතිව ඇති අරක්‌කු කඩ රට පුරාය. දානයට, පිරිතට, මඟුලට අවමඟුලට බෝතලය වරදින්නේ නැත. කොළඹට අමුතුවෙන් ‘රා’ කඩ අවශ්‍ය නොවන බව හවස්‌වරුවේ කොළඹ රවුමක් ඇවිද යන සිහිබුද්ධිය ඇති ඕනෑම අයකුට අවබෝධ වේ.
‘බඹර පදම්’ වූ ඕනෑතරම් පුද්ගලයන් සවසට කොළඹින් හමු වේ. ‘මතට තිත’ නිතර ඇසුණු වචනයකි. දැන් ඇසෙන්නේ ‘මතින් තොර නිදහස් රටක්’ යන්නය. නිදහස් රටක ‘රා’ කඩ අයත් වන්නේ කුමන වර්ගයට දැයි අපට පැහැදිලි කළ යුතුය.
Source : Divaina