ජිනීවා මානව හිමිකම් කවුන්සිලය තුළ සිදු වූ ශ්‍රී ලංකා විරෝධී මෙහෙයුම් – Sri Lanka anti operations in UNHRC

0
745
Geneva

 

කොටි ජාත්‍යන්තර ජාලය සතු අරමුදල් ස්‌විට්‌සර්ලන්තය තුළ කොපමණ තිබේද යෑයි කිසිවෙක්‌ දන්නේ නැත. එහෙත් මේ අරමුදල් ශ්‍රී ලංකා රජයට එරෙහිව භාවිතා වේ.

ගඡේන්ද්‍රකුමාර් පොන්නම්බලම්, සෙල්වම් අඩෙයිකලානන්දන්, එම්. කේ. සිවාජිලිංගම්, එස්‌. ශ්‍රිධරන්, සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්, මාවයි සේනාධිරාජා, උතුරු පළාත් සභා මන්ත්‍රීනි ආනන්දී සසිදරන්, පලාත් සභා මන්ත්‍රී ශාන්තන්, ත්‍රිකුණාමලයේ යෝගේවරන් පියනම සහ රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීහු ජිනීවා ගොස්‌ කරන්නේ කුමක්‌දැයි සෙවීමටද කිසිවෙක්‌ නැත.

ඊට අමතරව තමිල්නාඩුවේ සිටද බෙදුම්වාදීහු ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රියාකිරීමට ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට පැමිණ සිටියහ.

එසේම ව්‍යාජ ජංගම දුරකථන ජාවාරමක්‌ සම්බන්ධව ශ්‍රී ලංකාවට පිටුවහල් කළ සොහොයුරන් දෙදෙනකුද රාජ්‍ය නොවන සංවිධානයක්‌ ඔස්‌සේ මානව හිමිකම් සමුළුව වෙත පැමිණ සිටිනු දක්‌නට ලැබුණි.

මේ පසුබිම මැද මානව හිමිකම් කවුන්සිලය තුළ සිදුවන ක්‍රියාදාමයන් වසන් කිරීමට බොහෝ පාර්ශ්ව උත්සාහ කළහ.

එසේ වුවත් මානව හිමිකම් කවුන්සිලයේ සිදුවන තක්‌කඩි ක්‍රියා ශ්‍රී ලංකාවේ ජනතාව දැන ගත යුතුයි. අපි උදේ 8 සිට සවස 4 දක්‌වා එකී තක්‌කඩි ක්‍රියා විමර්ශනය කළෙමු.

geneva22ඉන්දීය රජය ඉසිප්‍රියා නැමැති කොටි නිවේදිකාවගේ චිත්‍රපටය තහනම් කළේය. එහෙත් එය මානව හිමිකම් කවුන්සිලයේදී තිරගත විය. ඊළම් ද්‍රවිඩ ජාත්‍යන්තර කමිටුවට සම්මන්ත්‍රණයක්‌ පැවැත්වීමටද කවුන්සිලය ඉඩ දුන්නේය.

එම් කේ. සිවාජිලිංගම්, ආනන්දි සසිදරන්, ගඡේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මානව හිමිකම් සැසිවාරය අමතනු ලැබුවේ විදෙස්‌ රාජ්‍ය නොවන සංවිධාන මගිනි.

 

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර අධිකරණයට ගෙන යා යුතු යෑයි සිවාජිලිංගම් මානව හිමිකම් සැසිවාරයේදී හඬ නැඟුවේය. ගෝලීය ද්‍රවිඩ සංසදයේ නායක එමානුවෙල් පියනම ලිබරේෂන් නැමැති රාජ්‍ය නොවන සංවිධානය මගින් ශ්‍රී ලංකාවට එරෙහිව දේශනයක්‌ පවත්වනු ලැබීය.

සිවාජිලිංගම්, ගඡේන්ද්‍රකුමාර් පොන්නම්බලම් හා ආනන්දි සසදරන් ශ්‍රී ලංකාවට දඬූවම් කළ යුතු යෑයි පැවසූවේ මාරුටානියා සහ මාලි රාජ්‍යවල කෘෂිකාර්මික සංවිධානවල නියෝජිතයන් ලෙස පෙනී සිටීමෙනි.

එකී රාජ්‍ය නොවන සංවිධාන මානව හිමිකම් සංවිධාන නොවේ. එසේ නම් එය තක්‌කඩි ක්‍රියාවක්‌ නොවන්නේද? තමිල්නාඩුවේ සිට බෙදුම්වාදී තිරුමාවලන් ගාන්ධි, මහාචාර්ය පෝල් නියුටන් හා හිටපු සෞඛ්‍ය ඇමැති රාමදෝස්‌ද ශ්‍රී ලංකාවෙන් ගිය ද්‍රවිඩ සන්ධාන කණ්‌ඩායමට එක්‌විය.

මොවුන් මානව හිමිකම් කවුන්සිලශ අමතමින් ඝෝෂාකාරී ලෙස දේශන පවත්වන අයුරු බ්‍රිටිෂ් ටැමිල් කොන්සර්වටිව් සංවිධානයේ ප්‍රධානී සිවනාදන්ද බලා සිටියේය.

ටෙලෝ සංවිධානයේ අඩෙයිකලානන්දන් සහ සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මානව හිමිකම් සැසිවාර තුළ රඟ දක්‌වන රැඟුම ඔහුට විහිළුවක්‌ විය.

මේ පසුබිම මැද ජිනීවාහි ඇමරිකානු යෝජනාව සභාගත කිරීමට නියමිත වූයේ පසුගිය බ්‍රහස්‌පතින්දා සවසයි.

ඊට පෙර ශ්‍රී ලංකාවට එරෙහි පරීක්‍ෂණ වාර්තාව සකස්‌ කළ ත්‍රිපුද්ගල විනිසුරු මණ්‌ඩලයේ විනිසුරුවරියක්‌ වූ සිල්වියා කාට්‌රයිට්‌ හදිසි සාකච්ඡාවක්‌ පවත්වනු ලැබීය. ඊට ඇරයුම් කර තිබුණේ ශ්‍රී ලංකාවට එරෙහි විදෙස්‌ මාධ්‍යකරුවන් කීප දෙනකුට පමණකි.

එහෙත් ඒ ගැන තොරතුරු සෙවීමට අපිද ඊට සම්බන්ධ වූවෙමු.

මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන් ශ්‍රී ලංකාව සම්බන්ධ නිර්දේශ කළ හයිබ්‍රිඩ් අධිකරණ යෝජනාව තමා අනුමත කරන බව ඇය කීවාය.

ශ්‍රී ලංකාව සම්බන්ධ පරීක්‍ෂණ වාර්තාවේ කටයුතු අවසන් වී ඇතත් තවදුරටත් තමාට මානව හිමිකම් කවුන්සිලයේ රැඳී සිටින ලෙස මානව හිමිකම් කොමසාරිස්‌ ඉල්ලා සිටි බව ඇය තවදුරටත් සඳහන් කරනු ලැබීය.

මේ හැර ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ ඊළාම්වාදීන්ගේ පාරාදීසයක්‌ බවට පත්වී තිබුණි.

ද්‍රවිඩ සන්ධානය සමඟ එක්‌ වූ ගෝලීය ද්‍රවිඩ සංසදය ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාවට සංශෝධන ඇතුළත් කිරීමට දැඩි බලපෑම් පවා එල්ල කෙරුණි.

නැගෙනහිර පළාත් සභා මන්ත්‍රී ජනා නැමැත්තාද ද්‍රවිඩ සන්ධාන කණ්‌ඩායමට එක්‌විය.

එසේම ඊළාම් ජාත්‍යන්තර කමිටුව තහනම් සංවිධානයකි. එකී සංවිධානයටද මානව හිමිකම් කවුන්සිලය තුළ සම්මන්ත්‍රණයක්‌ පැවැත්වීමට ඉඩ ලැබුණි.

එහෙත් මේ ගැන නිරීක්‍ෂණය කිරීමට ශ්‍රී ලංකා යාන්ත්‍රණයේ කිසිවෙක්‌ සිටියේ නැත. මෙම ඊළාම්වාදීන්ගේ ක්‍රියාවලට අදාළ සාක්‍ෂි අපි සතුව ඇත.

මානව හිමිකම් කොමසාරිස්‌ නිව්යෝර්ක්‌ නුවර සිට සැසිවාරය ඇමතීමට පෙර ඔහු වෙත විද්යුත් ලිපි යවමින් තව තවත් සාවද්‍ය ප්‍රචාර යෑවීමට විවිධ පාර්ශ්ව ක්‍රියා කරනු ලැබීය. එහි ප්‍රතිඵලය වූයේ එකී සාවද්‍ය ප්‍රචාරද මානව හිමිකම් කොමසාරිස්‌ගේ ප්‍රකාශයට ඇතුළත් වීමයි.

මාවයි සේනාධිරාජලාගේ සිට සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්ලා දක්‌වා පිරිස ජිනීවා මානව හිමිකම් කවුන්සිලය තුළ රැඳී සිටියේ ජාතික සංහිඳියාව වෙනුවෙන් නොවන බව අවධාරණය කළ යුතුය. අපි ඔවුන්ගේ සියලු මෙහෙයුම් දුටුවෙමු.

කීර්ති වර්ණකුලසූරිය
ජිනීවා සංචාරයෙන් පසු
Source : Divaina