යුද අපරාධ හතර පොලේ ගාගැනීම සහ එහි සත්‍ය කතාව – Sri Lanka War Crimes What s the Truth

0
1685
sri-lanka-army

ශ්‍රී ලංකාවේ (2002 – 2010) සිදුවූවායි සඳහන් කරන යුද අපරාධ සොයා බැලීමට නියමිත යාන්ත්‍රණය ඉදිරියේ වන්නි මෙහෙයුම සම්බන්ධයෙන් මෙතෙක්‌ කල් අවධානය යොමු නොකරන ලද වැදගත් කාරණා කීපයක්‌ මතු කිරීමේ අවස්‌ථාව ශ්‍රී ලංකා රජයට දැන් උදා වීඇති බව මගේ අදහසය. ත්‍රස්‌තවාදය පරාජය කළ පැවැති රජයේ තිබූ අඩුපාඩුකම් සහ දුර්වලතා හේතුවෙන් දේශීයව සහ ජාත්‍යන්තරව ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය ප්‍රධාන එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය අපකීර්තියට පත්විය. එපමනක්‌ නොවේ බටහිර බලවතුන් පැවැති රජයේ නොහැකියාව තමන්ගේ වාසියට හරවාගත් අතර, 2012, 2013, සහ 2014 යන වසරවලදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යෝජනා ජිනීවා නුවර පිහිටි එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සම්මත කරගන්නා ලදී. ස්‌ථාපිත කිරීමට යන යුද අපරාධ විමසීමේ යාන්ත්‍රණය කවර ආකාරයෙන් හැඳින්වූවත්, එහි සංයුතිය කෙසේ වෙතත්, මෙම වරද නිවරදි කරගැනීමේ අවස්‌ථාව ප්‍රයෝජනයට ගැනීම රටට හිතැති කාගේත් යුතුකමයි.

නැඟෙනහිර පළාත නිදහස්‌ කර ගැනීමේ මෙහෙයුම 2006 සැප්තැම්බර් ආරම්භ කර 2007 ජුනි මසදී සාර්ථකව නිම කිරීමට ආරක්‍ෂක හමුදා සමත්විය. වන්නිය මුදා ගැනීමේ සටන 2007 මැයි මස පටන් ගැනුන අතර, එය 2008 අගෝස්‌තු වන විට තීරණාත්මක අවස්‌ථාවට පත්වී තිබිණි. ත්‍රස්‌තවාදීන්ගේ ප්‍රධාන පරිපාලන නගරය වන කිලිනොච්චිය හමුදාවට අත්පත්කර ගැනීමට හැකියාවක්‌ තිබෙන බව වටහා ගත් එක්‌සත් ජාතීන්ගේ සංවිධානය වහාම දිනපතා වන්නියේ තත්ත්වය පිළිබඳව වාර්තාවක්‌ සකස්‌ කිරීමට උපදෙස්‌ දුන් බව දැන් රහසක්‌ නොවේ.

එම උපදෙස්‌ මත, වන්නියේ සිටි එක්‌සත් ජාතීන්ගේ සංවිධානයට සම්බන්ධ සියලු පාර්ශ්ව, විදේශීය රාජ්‍ය නොවන සංවිධාන, දේශීය රාජ්‍ය නොවන සංවිධාන, ජාත්‍යන්තර රතු කුරුසිය, රෝහල් පද්ධතිය, ආගමික නායකයන් සහ දමිළ රාජ්‍ය නිලධාරීන් යන සියල්ලන්ගෙන් ලබාගත් දත්ත/ තොරතුරු මතඑක්‌සත් ජාතීන්ගේ සංවිධානය වන්නි සටන සම්බන්ධයෙන් යුද සමයේ සනාථ කරන ලද සවිස්‌තරාත්මක වාර්තාවක්‌ පිළියෙල කරන ලදී. එම වාර්තාව අදටත් ජනතාවට හෙළිකර නැත. නමුත් එවැනි වාර්තාවක්‌ එක්‌සත් ජාතීන්ගේ සංවිධානය අත තිබෙන බව 2011 මාර්තු මස 31 දින නිකුත් කරන ලද දරුස්‌මාන් වාර්තාවේ පිළිගෙන ඇත. (පිටුව 40á 134 කරුණ). එම වාර්තාවට අනුව 2008 අගෝස්‌තු මස සිට 2009 මැයි 13 වැනි දින දක්‌වා මුළු වන්නි ප්‍රදේශයේ මියගිය ගණන 7,721 ක්‌ සහ තුවාල ලැබූ සංඛ්‍යාව 18,479 ක්‌ බවට සඳහන් කර ඇත.

එක්‌සත් ජාතීන් පවසන පරිදි 2007 මැයි 13 දින මෙම ක්‍රියාවලිය නවතා දමා ඇත.

වන්නි යුද මෙහෙයුම ඊට දින 6 කට පසු නිමාවිය. ඒ කෙසේ වුවත් කොළඹ පිහිටි එක්‌සත් ජාතීන්ගේ කාර්යාලය සහ දරුස්‌මාන් වාර්තාව පසුව පැවසුවේ පෙර කී තමන් එකතු කළ සංඛ්‍යා ලේඛන පිළිගත නොහැකි බවය. ඔවුන් එයට දුන් හේතුව වූයේ එම ලේඛනය වන්නියේ තිබූ තත්ත්වය හරිහැටි පිළිබිඹු නොකළ බවයි.

ලංකාව සම්බන්ධයෙන් තමන් විසින්ම පිළියෙල කරන ලද වාර්තාවක්‌ තමන් විසින්ම පිළිගත නොහැකියෑයි යමකු පැවසූ ප්‍රථම අවස්‌ථාව මෙය බව ඉතාම පැහැදිලිය. මෙම වාර්තාව යෝජිත යුද අපරාධ අධිකරණයට ඉදිරිපත් කළ යුතු බව ලියුම්කරුගේ විශ්වාසයයි. රජය මේ පිළිබඳව තමන්ට ගතහැකි සෑම ක්‍රියා මාර්ගයක්‌ම ගතයුතු බවට වාදයක්‌ තිබිය නොහැක.

ඉතාම වැදගත් කරුණු වන්නේ කොළඹ පිහිටි එක්‌සත් ජාතීන්ගේ කාර්යාලය මගින් පිළියෙල කරන ලද මෙම වාර්තාව නිව්යෝර්ක්‌ නුවර එ.ජා. මූලස්‌ථානයේ අනුදැනුම මත කරන ලද ක්‍රියාවලියක්‌ බවත්, ඊට සම්බන්ධ වූ සියලු විදේශ සහ දේශීය පාර්ශ්ව එම වාර්තාව ගැන විමර්ශනයක්‌ කිරීමට යෝජිත අධිකරණයට කැඳවීමට හැකියාව තිබෙන බවත්ය.

එංගලන්තය මූලස්‌ථානය කරගෙන සිටින ජාත්‍යන්තර ක්‍ෂමා ආයතනය (Amnesty International) 2011 සැප්තැම්ර් මස නිකුත් කරන ලද විශේෂ වාර්තාවක සඳහන් කළේ වන්නි සටනේදී 10,000 ක සාමාන්‍ය වැසියන් ප්‍රමාණයක්‌ මියගිය බවයි. ඉතාම අවාසනාවන්ත ලෙස පැවැති රජය මෙම වාර්තාව පිළිබඳව කිසිදු අවධානයක්‌ යොමු නොකරන ලද්දේය. සියලු විදේශීය වාර්තා පිළිකුලෙන් බැහැර කළ පැවැති රජය, රටේ ප්‍රතිරූපය නැංවීමට ඇමරිකානු ඩොලර් මිලියන ගණනක්‌ විදේශීය මහජන සම්බන්ධතා ආයතනවලට නිකරුණේ ගෙවන ලද්දේය. එම මුග්ධ ක්‍රියාදාමය රටට අත්කළ කිසිදු සෙතක්‌ නැත.

ජාත්‍යන්තර ක්‍ෂමා ආයතනය මගින් යුද්ධය අවසන් වී වසර 2 කට පසුව නිකුත් කරන ලද එම වාර්තාව ලංකාව සම්බන්ධයෙන් දරුස්‌මාන් වාර්තාව ඇතුළු නොයෙකුත් පාර්ශ්වයන් ඉදිරිපත් කරන ලද වාර්තා නිෂ්ප්‍රභ කළේ කවුරුත් නොසිතූ ආකාරයටය. එම සංඛ්‍යා ලේඛනවල තිබෙන පුළුල් පරස්‌පර බව ලොව ඉදිරියේ පෙන්වා දීමටත් පැවැති රජය උත්සුක වූයේ නැත. එක්‌සත් ජාතීන්ගේ සංවිධානය විසින් සකස්‌ කරන ලද වාර්තාව සහ ජාත්‍යන්තර ක්‍ෂමා ආයතනයෙන් හෙළිදරව්ව, ලොව ඉදිරියේ පුන පුනා සඳහන් කළ සාමාන්‍ය වැසියන් 40,000 ක්‌ ඝාතනය කිරීමේ චෝදනාව මොට කිරීමට කිසි විටෙක පාවිච්චි කළේ නැත. එය මෙම රට ත්‍රස්‌තවාදයෙන් බේරාගැනීමට තම ජීවිතය පරදුවට තබා සටන් කළ මියගිය, තුවාල වූ, සදා ආබාධිත තත්ත්වයට පත්වූ නිලධාරීන්ට සහ සෙසු නිලයන්ට කළ බලවත් අකටයුතුකමකි.

යෝජිත අධිකරණයට මෙම වාර්තා සියල්ල ඉදිරිපත් කළ යුතු බව මෙම ලියුම්කරුගේ හැඟීමයි. යුද අපරාධ විමර්ශන යාන්ත්‍රණය පිහිටුවීම පිළිබඳ ශ්‍රී ලංකා රජය, එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සහ ඇමරිකාව ප්‍රධාන අනෙකුත් පාර්ශ්ව කරන සාකච්ඡාවලදී එක්‌සත් ජාතීන්ගේ වන්නි සටන පිළිබඳ වාර්තාව සහ ජාත්‍යන්තර ක්‍ෂමා සංවිධානය නිකුත් කරන ලද වාර්තා ඉදිරිපත් කිරීම පිළිබඳව තීරණයකට පැමිණිය යුතුය.

යෝජිත යුද අපරාධ අධිකරණය පිහිටුවීමට ප්‍රධාන ලෙස පාදක වූ දරුස්‌මාන් වාර්තාවේ සඳහන් චෝදනා අද වනතුරු කිසිදු වග විභාගයකට ඉදිරිපත් කර නැත. පැවැති රජය එම අකටයුත්ත පිළිබඳව ජිනීවා නුවර පැවැති ප්‍රධාන සමුළුවේ කිසි විටකත් සඳහන් කළේ නැත. දරුස්‌මාන් යෝජනාව හිස මුදුනෙන් පිළිගත් එක්‌සත් ජාතීන්ගේ ප්‍රධානි (හිටපු දකුණු කොරියානු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරි) බැංකි මූන් එම චෝදනා දරුස්‌මාන් වාර්තාව ඉදිරිපත් කර වසර 20 යනතුරු කිසිදු පරීක්‍ෂණයකට ලක්‌විය යුතු නැති බව සනාථ කළේය. එම වාර්තාව 2011 මාර්තු 31 නිකුත් කරන ලද අතර, එය 2031 මාර්තු 31 දක්‌වා පරීක්‍ෂණයට භාවිතය කිරීමේ හැකියාවක්‌ නැත. වසර 20 කට පසුවත්, එම වාර්තා එළිදැක්‌වීමට හෝ පරීක්‍ෂාවට ලක්‌ කිරීමට ප්‍රථම, නැවතත් විශේෂ අධ්‍යයනයක්‌ කළ යුතු බවත් එම තීරණය මත වාර්තාවේ කරුණු නැවත විමර්ශනය කිරීම සලකා බැලිය හැකි බවත් පැවසේ. මෙම තීරණය නිසාවෙන් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් කළ 2,300 කට අධික පුද්ගලයන් ප්‍රමාණයක්‌ වසර 2031 වනතුරු පරීක්‍ෂාවට ලක්‌වන්නේ නැත. (දරුස්‌මාන් වාර්තාව පිටුව 5 සහ 6( 17 සහ 23 කරුණු)

ජිනීවා සහ නිව්යෝර්ක්‌ නුවර තමුන්ට ලද හරසර පිළිබඳව මහත් උද්දාමයට පත්වී සිටින රජය, දරුස්‌මාන් වාර්තාවට 4000 කට අධික චෝදනා පත්‍ර සැපයූ 2,300 පුද්ගලයන් යෝජිත අධිකරණයට යොමු කරවිය හැකි අවස්‌ථාව පිළිබඳව විමසිය යුතුය. මෙම 4000 වන වාර්තා බොහොමයක්‌ම ආකෘති පත්‍ර පුරවා කරන ලද ව්‍යායාමයකින් ලබාගත් බව ඔප්පු කිරීමට සාක්‍ෂි ඇත. කොටින්ම කිවතොත්, ලැබුණ පැමිණිලි ප්‍රමාණය ප්‍රමාණවත් නොවීම නිසා දරුස්‌මාන් කමිටුව පැමිණිලි ලබාගැනීමට දී තිබූ 2010 ඔක්‌තෝබර් 27 – 2010 දෙසැම්බර් 15 කාලය 2010 දෙසැම්බර් 31 දක්‌වා දික්‌කළ බව රහසක්‌ නොවේ. එය දරුස්‌මාන් වාර්තාවේ සඳහන් වේ. (පිටුව 5(17 කරුණ)

කොටි ත්‍රස්‌තයන්ගේ පරාජය ඉවසාගත නොහැකි නොයෙකුත් පාර්ශ්ව තරගයට මෙන් සටනේදී මියගිය සාමාන්‍ය වැසියන්ගේ සංඛ්‍යාලේඛන ඉදිරිපත් කළ අතර, එංගලන්තයේ පාර්ලිමේන්තුව මෙම පිළිබඳව අවධානයක්‌ යොමුකළ යුතු බව ලියුම්කරුගේ හැඟීමයි.

පෙර සඳහන් කළ පරිදි එංගලන්තය මූලස්‌ථානය කරගත් ජාත්‍යන්තර ක්‍ෂමා ආයතනය 2011 සැප්තැම්බර් මස වන්නි සටනේ මියගිය සාමාන්‍ය වැසියන් සංඛ්‍යාව 10,000 වූ අතර, එම මාසයේදීම එංගලන්තයේ පාර්ලිමේන්තුව ලංකාවට චෝදනා කරන ලද්දේ යුද්ධය අවසන් කාලයේදී (2009 ජනවාරි 1 සිට 2009 මැයි 13) 100,000 සටන්කරුවන් සහ සාමාන්‍ය වැසියන් මියගිය බවය. පැවති රජය මේ පිළිබඳ අවධානය යොමු නොකරන ලද අතර, විදේශීය බලවේග ක්‍රියාත්මක කරන ලද එම දුෂ්ට ක්‍රියාවලිය තවදුරටත් ඉදිරියට යැමට සලස්‌වන ලදී. එංගලන්ත පාර්ලිමේන්තුව තුළ මෙම චෝදනාව කරන ලද්දේ කම්කරු පක්‍ෂයේ මන්ත්‍රීවරියක වන අතර ඇය එංගලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකික ද්‍රවිඩ ප්‍රජාව නියෝජනය කරන සංවිධානවල හිතවතියක බව කිව යුතුය. 2011 සැප්තැම්බර් මස 15 කළ එම චෝදනාව අදටත් එලෙසම පවතියි.

ශ්‍රී ලංකාව සම්බන්ධව දේශීය සහ විදේශීය ලෙස කරන චෝදනා අතර 2011 ජුනි මස මුලදී එවකට ලංකාවේ සිටි ඇමරිකානු යුද කටයුතු සම්බන්ධ නිලධාරියා වන ලුතිනන් කර්නල් ලෝරන්ස්‌ ස්‌මිත් කරන ලද ප්‍රකාශය බැහැර කළ නොහැක. ඉතාම වැදගත් වන්නේ මෙම ප්‍රකාශය වන්නි මෙහෙයුම අවසන්වී වසර 2 කට අධික කාලයකට පසු එම රාජ්‍ය තාන්ත්‍රීය නිලධාරියා විසින් සිදු කළ බවත්, ඒ වන විට එම අදහස ඉදිරිපත් කිරීමට අවශ්‍ය සියලු පසුබිම් තොරතුරු ඔහු දැන සිටි බවත්ය. එම ඇමරිකානු හෙළිදරව්ව හරියාකාරව කළමනාකරණය කර ගැනීමට පැවැති රජයට හැකිවූයේ නැත.

එම ප්‍රකාශය සිදුකළේ කොළඹ ගලධාරි හෝටලයේ පැවැති පළමුවැනි ආරක්‍ෂක සමුළුවේදීය. විශ්‍රාම ගිය ඉන්දීය මේජර් ජෙනරාල්වරයකු වන අශෝක්‌ මේතා (මොහු ඉන්දීය සාම සාධක හමුදාව සමඟ නැගෙනහිර පළාතේ ස්‌ථානගත විය) 58 බළකායේ මේජර් ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා මහතාගෙන් 2011 ජුනි 1, විමසා සිටියේ යටත්වන කොටි සාමාජිකයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් හමුදාව ඝාතනය කළ බව කරන ලද චෝදනාවලට පිළිතුරකි. නමුත් මේජර් ජෙනරාල්වරයා පිළිතුරු දීමට ප්‍රථම එම ප්‍රශ්නය ගැන අදහස්‌ ඉදිරිපත් කිරීමට, ලුතිනන් කර්නල් ස්‌මිත් මහතා අවස්‌ථාවක්‌ ඉල්ලා සිටිය අතර, එම අවස්‌ථාව ලබා දෙන ලදී. මෙම ලියුම්කරු එම අවස්‌ථාවේදී එහි සිටි අතර සියල්ලන්ම පුදුමයට පත්කරමින් ඇමරිකානු නිලධාරියා පවසා සිටියේ, කොටි සංවිධානය කිසි විටෙකත් යටත්වීමට යෝජනා නොකළ බවත්, එම හේතුවෙන් යටත්වන පුද්ගලයන් ඝාතනය කිරීමේ චෝදනාව අදාළ නොවන බවත්ය. ශ්‍රී ලංකා හමුදා නිලධාරීහු මෙන්ම සමුළුවට සහභාගිවූ විදේශීය හමුදා නිලධාරීන් එම ප්‍රකාශයට පුදුමය පළකරන ලදී.

ඇමරිකානුවා පැවසුවේ යටත් වීමට කථා කළේ යෑයි සඳහන් කරන පුලිතේවන් හෝ නඩේසන් යන අය කිසි විටකත් කොටි සන්නද්ධ අංශය නියෝජනය නොකළ බවය, එම මෙම පුවත ඔයෑ ෂික්‌බා පුවත්පතේ පමණක්‌ වාර්තා කරන ලද අතර (Sri Lanka defence symposium: Now US suspects credibility of LTTE surrender offer – The Island, June 3, 2011) ඊට ප්‍රතිචාර ලෙස එක්‌සත් ජනපදයේ රාජ්‍ය දෙපාර්තමේන්තුව පැවසුවේ එය ලුතිනන් කර්නල්වරයාගේ පෞද්ගලික ප්‍රකාශයක්‌ බවත් එයට ඇමරිකානු රජයේ අනුමැතියක්‌ නොමැති බවත්ය. නමුත් එම ප්‍රකාශය සත්‍ය නොවන බව රාජ්‍ය දෙපාර්තමේන්තුව පැවසුවේ නැත. ඊට කෙටි කාලයකට පසුව ඔහු ලංකාවෙන් ඉවත්කර ගන්නා ලදී.

යෝජිත යුද අධිකරණයට එම ඇමරිකානු නිලධාරියා ගෙන්නා ගැනීමට තිබෙන හැකියාව පිළිබඳව ශ්‍රී ලංකා රජය අවධානය යොමු කළ යුතුය.

නොයෙකුත් පාර්ශ්ව ඇමරිකාවට යුද අපරාධ අධිකරණයක්‌ පිහිටුවීමට ක්‍රියා කිරීම පිළිබඳව චෝදනා නැඟුවත්, ඇමරිකානු රජය කොටි ත්‍රස්‌තයන් විනාශ කිරීමට පැවැති රජයට සැලකිය යුතු ශක්‌තියක්‌ ලබාදුන් බව අවිවාදයෙන් පිළිගත යුතුය.

කොටින්ගේ අවි ප්‍රවාහන යානා හතරක්‌ විනාශ කිරීමට අවශ්‍ය ඉතාම නිවැරදි බුද්ධි තොරතුරු (2007) ලබාදුන් අතර, අතර වේග ප්‍රහාරක යාත්‍රාවල ප්‍රධාන අවිය ලෙස මිලි මීටර් 30 බුෂ් මාස්‌ටර් ලබාදෙන ලදී.

එවකට තිබූ වේග ප්‍රහාරක යාත්‍රාවල මිලි මීටර් 23 ප්‍රධාන අවිය මිලි මීටර් 30 ආදේශනය කිරීම 4 වැනි ඊළාම් යුද්ධය නව මගකට යොමුකිරීමට ප්‍රධානම ලෙස ඉවහල් විය. ඇමරිකාව ලංකාවට ඉතාම සහනදායි කොන්දේසි යටතේ ලබාදුන් ඔවුන්ගේ වෙරළාරක්‍ෂක යාත්‍රාව පාවෙන අවි ගබඩා විනාශ කිරීමේ මෙහෙයුම්වලට එකතු වූ අතර, ඇමරිකාව, ඊශ්‍රායලය ලබාදුන් යුද උපකරණ සහ උපදෙස්‌ නැවැත්වීමට ක්‍රියා කළේද නැත. ඊට අමතරව පැවැති රජය ඇමරිකාව සමඟ 2007 මුල් කාලයේදී ඇමරිකානු හමුදාවලට ශ්‍රී ලංකාවේ ගුවන් තොටුපළ සහ වරාය පාවිච්චි කිරීමට අවශ්‍ය ගිවිසුම්ගත වීමක්‌ද සිදුකෙරිණි.

නමුත් වන්නි සටන අතරමග නතර කිරීමට ඇමරිකාව කළ නියෝගයට එවකට රජය දැක්‌වූ ප්‍රතිචාරය ඇමරිකාව විමතියට සහ කෝපයට හේතුවූ බව ඉතා පැහැදිලිය. එය තමන්ට කළ අවමානයක්‌ ලෙස රාජ්‍ය දෙපාර්තමේන්තුව සලකන බව අද සක්‌ සුදක්‌ සේ පැහැදිලිය. එම තත්ත්වය පැවැති රජය ඉවත් කිරීමේ ක්‍රියාවලියට මුල පිරූ අතර, එම මෙහෙයුම බටහිර බලවතුන්ගේ පැත්තෙන් බලන විට සාර්ථකව නිම කිරීමට ඔවුන්ට හැකිවිය.

ශ්‍රී ලංකාව සිදු කළායෑයි කියන යුද අපරාධ සම්බන්ධව පිහිටුවීමට යන අධිකරණය පිළිබඳව එවකට හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා පළ කළේ මෙවන් අදහසකි( “අප ආරක්‍ෂක හමුදාවට එල්ලවන ප්‍රබලම චෝදනාවක්‌ වන්නේ, එවකට රජය සහ කොටි සංවිධානය අතර ඇතිකරගත් ගිවිසුමකට අනුව යටත්වීමට පැමිණි කණ්‌ඩායමක්‌ ඝාතනය කළ බවයි. එම චෝදනාව සම්බන්ධයෙන් එවකට කොළඹ සිටි ඇමරිකානු හමුදා නිලධාරි ලුතිනන් කර්නල් ලෝරන්ස්‌ ස්‌මිත් සඳහන් කළ හෙළිදරව්වට අමතරව, එවකට ලංකාවේ සිටි, නොර්වීජියානු තානාපති ටොරේ හැට්‌රම් (Tore Hattrem) කටුයුතු කළ ආකාරය යෝජිත උසාවියට ඉදිරිපත් කිරීමට ඇති හැකියාව සොයා බැලිය යුතුය”. රාජපක්‍ෂ මහතා පවසන පරිදි, නෝර්වීජියානු තානාපතිවරයා 2009, මැයි මස 16 දින රාත්‍රි 8 ට පමණ තමන්ගේ බෞද්ධාලෝක මාවතේ තිබෙන නිල නිවසට පැමිණ ඇත. කොටි සංවිධානයේ ප්‍රධාන නායකයන් සියලු දෙනාම මියගොස්‌ ඇති බවත්, දෙවැනි පෙළ කණ්‌ඩායමක්‌ යටත්වීමට සූදානම් බවත් එම කටයුත්තට රජයේ හමුදාවල දායකත්වය තමන්ට අවශ්‍ය බවත්ය. හිටපු ආරක්‍ෂක ලේකම්වරයාගේ ස්‌ථාවරය වී ඇත්තේ ඒ පිළිබඳව තීරණයක්‌ දීමට ප්‍රථමයෙන්, වහාම යටත් වීමට සූදානම් කණ්‌ඩායම් සාමාජිකයන්ගේ නම් තමන්ට ලබාදිය යුතු බවයි. පසුව හැට්‌රම් මහතා විද්යුත් කෙටි පණිවිඩයක්‌ (SMS) රාජපක්‍ෂ මහතාගේ ජංගම දුරකථනයට එවා ඇත්තේ, කොටි සංවිධානය වෙනුවෙන් යටත්වීමේ යෝජනාව තමන්ට ඉදිරිපත් කළ පුලිතේවන් නමැති පුද්ගලයා තමන්ට සම්බන්ධ කරගත නොහැකි බවත්, එම හේතුවෙන් මෙම ක්‍රියාදාමය තවදුරටත් ඉදිරියට ගෙනගිය නොහැකි බවත්ය.

රාජපක්‍ෂ මහතා පවසන පරිදි, එම තානාපතිවරයා 2009, පෙබරවාරි 16 දා, බැසිල් රාජපක්‍ෂ මහතාට කෙටි ලිපියකින් දන්වා සිටියේ, කොටි සංවිධානය රඳවාගෙන සිටින සිවිල් ජනතාව නිදහස්‌ කිරීමේ අවස්‌ථාව ඉතාම අඩු බවය. එම ලිපිය ශ්‍රී ලංකාවේ සාම ක්‍රියාවලියට සම්බන්ධ වූ එක්‌සත් ජනපදය, යුරෝපීය සංගමය සහ ජපානයේ අනුදැනුම මත බැසිල් රාජපක්‍ෂ මහතා වෙත එවූ අතර, එය කොටි ත්‍රස්‌තයන්ගේ දරදඬු පිළිවෙත පිළිබිඹු කරන ලදී. යෝජිත යුද අපරාධ උසාවිය, එවකට ලංකාවේ සිටි ඇමරිකානු, යුරෝපීය සංගමය. ජපානය සහ නෝර්වේ නියෝජනය කළ තානාපතිවරුන් කැඳවීමෙන් සංවිධානාත්මක යටත්වීමක්‌ සිදුකිරීමට ගිවිසුමක්‌/ අවබෝධයක්‌ තිබුණාදැයි කියන කරුණ පැහැදිලි කරගත හැකිය.

රහස්‌ හෙළිකරන විකිලීක්‌ස්‌ ((Wiki Leaks) වෙබ් අඩවිය ශ්‍රී ලංකාවේ යුද සමයේ තිබූ තත්ත්වය ගැන සඳහන් කරන අතිශය රහස්‍ය තානාපති ලිපි අධ්‍යයනය කිරීම මගින්ද සත්‍ය තොරතුරු ස්‌ථාපිත කර ගැනීමේ හැකියාවක්‌ ඇත. පැවැති රජය ඒ පිළිබඳව කිසිදු උනන්දුවක්‌ පෙන්වූයේ නැත. කෙසේ වෙතත් ලංකාවේ තත්ත්වය පිළිබඳව නොර්වේ රාජ්‍ය කරන ලද අධ්‍යයනයකින් පසුව 2011 අවසන් භාගයේ නිකුත් කරන ලද වාර්තාවක්‌ හෙළිකළේ එම වාර්තාවට විකිලීක්‌ස්‌ විසින් නිකතු කරන ලද ඇමරිකානු තානාපති වාර්තාද පාදක වූ බවය.

විකිලීක්‌ස්‌ වාර්තා හිටපු ආරක්‍ෂක ලේකම්තුමා සහ නෝර්වේජියානු තානාපතිවරයා අතර 2009 මැයි 16/17 සිදුවූ කතාබහ තහවුරු කර ඇත. එලෙසම විකිලීක්‌ස්‌ හෙළිකළ ඉතාම වැදගත් ලියවිල්ලක්‌ වන්නේ ජිනීවා නුවර සිටින ඇමරිකානු තානාපතිවරයාට ජුනි 2009 එවකට ජාත්‍යන්තර රතු කුරුසිය වෙනුවෙන් එම සංවිධානයේ නිලධාරියකු කළ ප්‍රකාශයයි. ශ්‍රී ලංකාවේ හමුදා සමූල ඝාතන ප්‍රයත්නයක්‌ දරා නැති බවත් එම වන්නි සටනේදී සාමාන්‍ය ජනතාවට සිදුවිය හැකි තත්ත්වය තේරුම් ගෙන කටයුතු කිරීම හේතුවෙන්, තම හමුදා පුද්ගලයන් වැඩි ජීවිත ප්‍රමාණයක්‌ අහිමි කරගත් බවත් ජාත්‍යන්තර රතු කුරුස නිලධාරියා තමන්ට පැවසූ බව ඇමරිකානු තානාපති තුමා රාජ්‍ය දෙපාර්තමේන්තුවට දන්වා තිබිණි. සිවිල් ජනතාව රැඳී සිටි ස්‌ථානවලට හමුදා ප්‍රහාර එල්ල වූ බවත්, නමුත් එවැනි අවස්‌ථාව හමුදාවට දැන්වූ සැණින් ප්‍රහාර අත්හිටුවූ බවත් එම තානාපතිවරයා වැඩිදුරටත් පවසා ඇත.

යෝජිත උසාවියට අදාළ සියලු කරුණු වාර්තා කිරීම සහ විශේෂ ප්‍රකාශ කළ පුද්ගලයන් කැඳවීමට අවශ්‍ය කටයුතු කිරීම නව රජය සහ එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ වගකීම විය යුතුය. තව දුරටත්, සාක්‍ෂිකරුවන්ගේ රහස්‍යභාවය සුරැකීමට යෑයි කියා ලොව ප්‍රබලම ත්‍රස්‌තවාදී කණ්‌ඩායමක්‌ පරාජය කළ ශ්‍රී ලංකා හමුදා අපහසුවට පත්කළ යුතු නැත.

මේ සම්බන්ධව විදේශ ඇමැති පසුගිය සැප්තැම්බර් 14 දින ජිනීවා නුවර කළ ප්‍රකාශයේ සඳහන් වන එම වැකියත් ඉතාම කාලෝචිතයෑයි පැවසිය හැක. එනම් ත්‍රස්‌තවාදය පරාජය කිරීම අත්‍යවශ්‍ය කරුණක්‌ බවය.

සැප්තැම්බර් 30 වැනිදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිව්යෝර්ක්‌ නුවරදී පැවසුවේ, ශ්‍රී ලංකාව කුරිරු ත්‍රස්‌තවාදය පරාජය කළ බවත්, නමුත් තවත් බොහෝ රටවල් එම උවදුරෙන් තවමත් මිරිකෙන බවත්ය. එතුමා ත්‍රස්‌වාදය යුදමය ක්‍රියාමාර්ගයෙන් පරාජය කිරීමේදී ඇතිවන ගැටලු සහගත තත්ත්වයද සඳහන් කළේය.

එම ගැටලුවට ශ්‍රී ලංකාව අද මුහුණපා සිටින අතර, යෝජනා කර ඇති අධිකරණ ක්‍රියාමාර්ගය රටට එරෙහිව කරන බොරු චෝදනා නිශ්ප්‍රභ කරන අවස්‌ථාවක්‌ විය යුතු අතර, එම ක්‍රියාවලිය කිසිවිටත් හිතාමතා අපරාධ කළ නිලධාරීන්ට හෝ සෙබළුන්ට ආරක්‍ෂාවක්‌ නොවිය යුතුය.

ෂමින්ද්‍ර ෆර්ඩිනැන්ඩු
Source : Divaina