මරණීය දණ්‌ඩනයද අපරාධ මර්දනයද – Death penalty or avoid crimes

0
824
ancient-punishments

සේයා සදෙව්මි දැරියගේ කෘර ඝාතනයත් සමඟ අපේ සමාජය කැලඹුනි. එය හැම අතින්ම සාධාරණය. අපරාධකරුවන්ට දැඩි දඬුවම් දිය යුතු බවට හඬක්‌ නැඟුණි. සෑම තැනකම උද්ඝෝෂණ දක්‌නට ලැබුණි. මෙවන් අපරාධකරුවන් එල්ලා මරා දැමිය යුතු බවට ජනතාව මහ හඬින් කියා සිටියේය. මේ හඬ වියෑකෙන්නටත් මත්තෙන් තවත් මලක්‌ මිලින විය. තනිවම නිවසේ නිදා සිටි කවිඳු දේවින්ද අධම කෲරතරයෙක්‌ විසින් කපා කොටා ඝාතනය කොට තිබුණි. මෙවන් සිද්ධීන්වලින් සමාජය අනාරක්‌ෂිත බව පිලිබිඹු වෙයි.

විශේෂයෙන්ම මිනීමරුවන් හා දරුවන් කෙලෙසන්නා වූ නරුමයන්ට එරෙහිව මරණ දඬුවම බලාත්මක කරන්නැයි සමාජය ප්‍රබල හඬක්‌ නඟයි. දැන් දැන් මරණ දණ්‌ඩනය ක්‍රියාත්මක කළ යුතු දැයි යන්න පිළිබදව කතිකාවක්‌ ගොඩ නැඟෙමින් පවතී. මරණ දඬුවමට පක්‌ෂව විපක්‌ෂව අදහස්‌ ප්‍රකාශවන බව පෙනේ. මේ ඒ පිළිබඳ විවරණයකි.

දඬුවමින් පමණක්‌ අපරාධ අවම කරගත හැකි යෑයි සිතන්නේ නම් එය මිථ්‍යාවකි. දඬුවමට මූලික අරමුණු හතරක්‌ තිබේ.

1. අපරාධ වැළැක්‌වීම

2. පුනරුත්ථාපනය

3. අකර්මන්‍ය කිරීම හා

4. පළිගැනීමයි

ඒ සෑම දඬුවමකම ඉහත ලක්‌ෂණ අඩු වැඩි වශයෙන් දක්‌නට ලැබෙන අතර මරණීය දණ්‌ඩනය හුදෙක්‌ම පළිගැනීම මතම ගොඩනැගෙන දඬුවමකි. ලෝකයේ බහුතරයක්‌ රටවල් මරණීය දණ්‌ඩනය සම්පූර්ණයෙන්ම අහෝසි කොට ඇත. අප රටේ මරණීය දණ්‌ඩනය තිබේ. 1976 න් පසු එය ක්‍රියාත්මක කර නැත. මරණීය දණ්‌ඩනය ක්‍රියාත්මක කිරීමෙන් අපරාධ අඩු වූ බවට කිසිදු සාධකයක්‌ සොයා ගැනීමට නොහැක. මැදපෙරදිග අරාබි රටවල ප්‍රසිද්ධියේ හිස ගසා දැමීමෙන් මරණීය දණ්‌ඩනය ක්‍රියාත්මක කරයි. මරණීය දණ්‌ඩනයෙන් අපරාධ වළකින්නේ නම් මැදපෙරදිග රටවල යළි යත් ඒ දඬුවම දීමට තරම් අපරාධ සිදු නොවිය යුතුය. එහෙත් එය එසේ නොවේ. මරණීය දණ්‌ඩනය බලාත්මක කර ඇත්තාවූ බොහෝ රටවල නිරන්තරයෙන්ම මිනීමැරුම් බහුලව දක්‌නට ලැබේ. තවත් වැදගත් කරුණක්‌ නම් වැරදි සාක්‌ෂි හෝ ගොතන ලද සාක්‌ෂි මත නිර්දෝෂී පුද්ගලයෙකු මරණීය දණ්‌ඩනයට යටත් වීමට ඉඩකඩ තිබීමයි. මෙවන් සිද්ධින් විදේශ රටවල පමණක්‌ නොව අප රටේ ඉතිහාසයේ ද සිදු වී තිබේ. ශිෂ්ට සමාජය මරණීය දණ්‌ඩනය තිරශ්චීන කෘර දඬුවම් ක්‍රමයක්‌ ලෙස සලකයි. මෙහි භයානකකම නම් එය ආපසු හැරවීමට නොහැකි වීමයි. වඩාත් වැදගත් වන්නේ අපරාධ සිදුවීමට හේතුවන කරුණු මොනවාද යන්න සොයා බැලීමයි. එම හේතූන්ට ප්‍රතිකර්ම නොකළහොත් කිනම් දඬුවමක්‌ දුන්නේ වුවද අපරාධ ශේෂ කිරීම උගහට කටයුත්තක්‌ වනු ඇත.

කිසියම් සමාජයක අපරාධ වැඩිවීම කාලයට සාපේක්‌ෂව සැලකිය යුත්තකි. පහත සදහන් කරුණු මූලික හේතූන් ලෙස නිරීක්‌ෂණය කළ හැක.

1. ජනගහනය වැඩි වීම.

අප රටේ ජනගහනය වැඩි වූ වේගයට වඩා වැඩි වේගයෙන් අපරාධ වැඩි වී තිබේ. එබැවින් අපරාධ වැඩිවීමේ අනුපාතය වැඩි වී තිබෙන බව පෙනෙන්නට තිබේ. ජනගහනය වැඩි වීමත් සමග සමාජ ආර්ථික ව්‍යqහයට විශාල බලපෑම් එල්ල වේ.

2. සමාජ ආර්ථික හේතු

ඉහත කරුණ සමඟ සෘජුවම බැඳී පවති. දුප්පත්කම බෙහෙවින්ම බලපාන කරුණකි. ඇති නැති පරතරය වැඩි වීමත් සමග වෛරයද, ක්‍රෝධයද නැති අය තුළ ඇති වීම ස්‌වභාවිකය. මේ නිසාම ඔවුන් සොරකම් කිරීම ආදී දෑ කිරීමට පෙළඹෙනු ඇත. රටක්‌ හා එහි වෙසෙන ජනතාව ආර්ථික වශයෙන් පෝෂණය වීමෙන් බොහෝ සෙයින් අපරාධ අඩු වන බව සොයාගෙන තිබේ. කෙනෙකු ජීවත්වන පරිසරය හා තත්ත්වයන්ද සෘජුවම ඔහුගේ ජීවන රටාවට බලපෑම් ඇති කරයි.

3. පවුල් පසුබිම

මිනිසකු හැඩගැසෙන්නා වූ (Formative) වයස ලෙස සලකන්නේ උත්පත්තියේ සිට වසර 7 දක්‌වා කාලයයි. මෙය බොහෝ සෙයින් මාපියන් ඇසුරේම වර්ධනය වන කාලයකි.

දශක කිහිපයක සිට අපේ රටේ මවුවරු බොහෝ දෙනෙක්‌ රැකියාවන් සදහා විදේශගත විය. කුඩා දරුවන් නිවසේ තනි වුණි. සැමියන් වෙනත් බිරින්දෑවරුන් සොයන්නට විය. මවු සෙනෙහස කුඩා දරුවන්ට අහිමි විය. සමහර විටක කුඩම්මෙකුගේ සැලකිලි ද ලැබුනි. මෙවන් දරුවෙකුගේ මානසිකත්වයට කුමක්‌ වන්නේද?

සමහර පවුල්වල දෙමවුපියන් දෙදෙනා රණ්‌ඩු කර ගනී. මවට පහර දෙන පියවරු ද සිටිති. දරුවා මේ සියලු දේ දකී. සමහර විටෙක කුඩා කාලයේදී දරුවෝ අපචාරයන්ට හා අපයෝජනයන්ට ලක්‌වෙති. මේ සියලු සංසිද්ධීන්වලට මුහුණ දෙන්නා වූ දරුවෝ වැඩිහිටියන් වනවිට සමාජයට වෛරකරන්නා වූ අස්‌වාභාවික මානසිකත්වයෙන් යුතු පුද්ගලයෝ නොවෙත්ද?

4. සදාචාර පිරිහීම

නිර්මල වූ බුදු දහමත් සමඟ මහත් වූ ශික්‌ෂණයෙන් යුතු සදාචාරයක්‌ හා සංස්‌කෘතියක්‌ අපට උරුම වී තිබේ. මීට දශක ගණනාවකට පෙර බෞද්ධ සංස්‌කෘතිය පදනම් වූ අධ්‍යාපන ක්‍රමයක්‌ සැකසී තිබුණි. ආචාර සම්පන්න බව, සමාජ ආචරණය, සුචරිතය, සදාචාරය හා අචාරධර්ම පාසැල්වල ඉගැන්වුණි. සුභාෂිතය, ලෝවැඩ සගරාව ආදී පොත් පරිශීලනය කෙරුණි. මේ සියල්ලෙන්ම සාරධර්ම, වැඩෙන දරුවන්ගේ මනස්‌ තුළ තදින් කාවැදුන අතර ඒ සාරධර්මවලින් ඔවුන් හසුරුවන ලදී.

පසුගිය දශක කිහිපය තුළ අපේ අධ්‍යාපනයෙන් ක්‍රමයෙන් මෙය ඉවත්වීම වර්තමානයේ අපරාධ ගහන වීමට හේතුවක්‌ වී ඇත. සදාචාර හා ආචාර විධි උගන්වන්නා වූ විෂයන් අපේ අධ්‍යාපන ක්‍රමයට ඇතුළත් විය යුතුය.

5. මත්ද්‍රව්‍ය උවදුර

මද්‍යසාර භාවිතය කොයි තරම් ඈත අතීතයක සිට පැවත එන්නේදැයි නිශ්චිතවම කිව නොහැක. එහෙත් බොහෝ ඈත අතීතයේ සිටම එය පැවතුන බවට සාක්‌ෂි තිබේ. මත්වතුර අපරාධ වැඩිවීමට හේතු වී ඇත. වර්තමානයේදී හෙරොයින් ඇතුලු මත්කුඩු භාවිතයෙන් මිනිසෙකු පිස්‌සෙකු කරයි. මෙය මහා ඛේදවාචකයක්‌ බවට පත් ව ඇත. ඇබ්බැහි වූ පුද්ගලයා මානසික රෝගියෙකු බවට පත් වෙයි. ඔහු මත්කුඩු සපයා ගැනීම සදහා නොකරන දෙයක්‌ නොමැත. බොහෝ විට මෙම ව්‍යවසනයට ගොදුරු වන්නේ ළමා කාලය ගෙවී තාරුණ්‍යට ප්‍රවිෂ්ට වෙමින් සිටින පුද්ගලයන් වීම මෙම ව්‍යවසනයේ රුදුරු බව තවත් තීව්‍ර කරයි.

6. මානසික ආබාධ

සමහරු උත්පත්තියෙන්ම මානසික ආබාධ ඇතුව උපදිති. මානසික ආබාධයන්ගේ ප්‍රභේද විශාලය. කෙනෙක්‌ බැලූ බැල්මට සාමාන්‍ය පුද්ගලයෙක්‌ ලෙස පෙනේ. එහෙත් ඔහුද නොදන්නා රෝගයක්‌ ඔහු තුළ සැඟවී තිබෙන්නට පුළුවන. මෙවැනි රෝග මා මුලින් කී පරිදි පවුල් පසුබිම තුළින් ඇති විය හැක. සමහර විටක ලිංගික අපචාරයකට ලක්‌ වූ දරුවෙකු මෙවන් රෝගියෙකු වීමට බොහෝ විට ඉඩ තිබේ. ඔහු වැඩිවිය පැමිණෙන්නේ විකෘති මානසිකත්වයක්‌ ඇතුවයි. එලෙස වැඩිවියට පැමිණුන පසු තමන්ට සිදුවූ දෙයින්ම තවකෙකු පෙලා දැමීමට ඔහුගේ විකෘති වූ මනස ඔහුව පොලඹවයි.

7. ගිණි අවි

අපි යුද්ධය නිමා කළෙමු. එහෙත් දැන් අපි යුද්ධයේ ආදීනව විඳින්නෙමු. යුද්ධයක්‌ තිබුණු රටක ආයුධ සුලබ වීම සාමාන්‍යයෙන් සිදුවන්නකි. මේ හේතුව නිසාම පාතාලයක්‌ බිහිවන අතර එය පෝෂණය ද වන්නේය. මීට දින කිහිපයකට පෙර කඩුවෙල මහේස්‌ත්‍රාත් අධිකරණයේ දී සැකකරුවෙකුට පිස්‌තෝලයකින් වෙඩි තබා පලා යැම ගිණි අවි බහුලව ගැවසීමෙන් අපරාධ සිදුවන බවට හොඳම නිදසුනකි. එපමණක්‌ නොව ගිණි අවි භාවිතයට හොදට හුරු පුරුදු වූ හමුදා සොල්දාදුවන් හමුදාව හැර ගොස්‌ පාතාල ලෝකයට සම්බන්ධ වී සිටීම ද මෙවන් අපරාධ වැඩිවීමට තවත් හේතුවකි.

8. ජනමාධ්‍ය හා ප්‍රචණ්‌ඩත්වය

දෘෂ්‍ය හා මුද්‍රිත මාධ්‍ය තුළින් ප්‍රචණ්‌ඩත්වය ප්‍රදර්ශනය කිරීම බෙහෙවින්ම හානිදායකය. නිදහසේ මිනිසුන් මරා දමනු ලැබීම කුඩා දරුවන්ට දකින්නට සැලැස්‌වීමෙන් මිනීමැරුම් කෙරෙහි ඔවුන් තුළ තිබෙන බිය ඔවුන්ගේ මනසින් තුරන් වෙයි. බොහෝ අවස්‌ථාවලදී මෙම ප්‍රචන්ඩත්වය පෙන්වනු ලබන්නේ වීරත්වය ඉස්‌මතු කරමිනි. එනිසා දුර්වල මනසකින් යුත් තරුණයන් එවැනි දෑ අනුකරණය කිරීමට පෙළඹීම වැලැක්‌විය නොහැක. සමාජ වෙබ් අඩවි අපේ සමාජයට මහත් ව්‍යසනයක්‌ ගෙන දී ඇත. මුහුණු පොත, ට්‌විටර් ආදී සන්නිවේදන මාධ්‍යය මගින් නොමේරු දරුවන්ගේ මනස්‌ විකෘති කිරීමට හැකිය. මේවා භාවිතයට සුදුසු වයස එනතුරු තම දරුවන් මෙම විනාශකාරී තාක්‌ෂණයෙන් මුදවා ගැනීමට දෙමාපියන්ද, ගුරුවරුන්ද කැප විය යුතුය.

9. නීතියේ ආධිපත්‍ය බිඳ වැටීම

මීට දශක ගණනාවකට පෙර අපගේ යුක්‌තිය පසිදලීමේ ආයතන සියල්ල ආසියාවේ අග්‍රගන්‍ය ආයතන බවට පිළිගැනීමක්‌ තිබුණි. විධායක ජනාධිපතිධූරයේ අනිසි ප්‍රතිඵලයක්‌ ලෙස එවන් මහඟු ඇගයීමකට ලක්‌ වී තිබු එකී ආයතන ක්‍රමානුකූලව පිරිහෙන්නට පටන් ගත්තේය. ඊට හේතුව ජනාධිපතිවරයා සතු අසීමිත බලතල නිසා එකී ආයතනවල ස්‌වාධීනත්වය පළුදු වීමයි. උපරිම අධිකරණවල විනිශ්චකාරවරු , නීතිපතිවරයා , පොලිස්‌පතිවරයා , නියෝජ්‍ය පොලිස්‌පතිවරුන් ආදී සියලු පත්කිරීම් ජනාධිපතිවරයාට පැවරුණි. මෑත කාලයේදී ස්‌වාධීනව තිබූ නීතිපති දෙපාර්තුමේන්තුව ද ජනාධිපතිවරයා යටතට ගැනුණි.

ඕනෑම ප්‍රජාතන්ත්‍රවාදී රටක අධිකරණය ස්‌වාධීන විය යුතුය. නීතිය ක්‍රියාත්මක කරන්නා වූ පොලීසිය ආදී ආයතනවලට ද ස්‌වාධීනව කටයුතු කිරීමට හැකියාව තිබිය යුතුය. මෙම ස්‌වාධීනත්වය අහිමි වීමේ ප්‍රතිඵලයක්‌ ලෙස නීතියේ ආධිපත්‍ය බිද වැටුනි. මහජනතාවගේ නීතිය කෙරෙහි තිබු විශ්වාසය පළුදු විය. බිය තුරන් විය. නීතිය සැමටම එක සමාන යෑයි අප තුල තිබූ විශ්වාසය නැති වුණි. දේශපාලන බලවතෙකුට සමීප වන්නෙකුට ඕනෑම අපරාධයක්‌ කොට නිදහසේ සැරිසැරීමට හැකි බව දක්‌නට ලැබුණි. මේ සිදුවීම්වලින් සමස්‌ථ නීති ක්‍රියාදාමයම කඩා වැටුණි.

10. යුක්‌තිය පසිදලීම

පොලිසිය

හදිසි නීතිය යටතේ බොහෝ කලක්‌ රට පාලනය කිරීමත් පොලිස්‌ භටයින් යුද්ධයේදී සටන්කරුවන් ලෙස යොදා ගැනීමත් හේතු කොටගෙන අපරාධ මර්ධනය සම්බන්ධයෙන් පොලීසිය සතුව තිබුණ හැකියාව බෙහෙවින්ම අඩු විය. පොලීසිය දේශපාලඥයින්ට රැකවරණය සැලසීමෙන් බැහැර කළ යුතුය. පොලීසියේ ප්‍රධාන කාර්ය වන්නේ අපරාධ මර්ධනය හා අපරාධකරුවන් නීතියේ රැහැනට හසුකර ගෙන ඔවුන්ට නඩු පැවරීමයි.

අපරාධකරුවෙක්‌ ක්‌ෂනිකවම නීතියේ රැහැනට හසු කර ගැනීමට සමත් වන්නේ නම් එයම අපරාධ වැළැක්‌වීමට පිටුවහලක්‌ වනු ඇත. මේ සදහා පොලිසිය නිපුනත්වයක්‌ ලැබිය යුතුව තිබේ. අවශ්‍ය වන්නේ නම් අපේ පොලිස්‌ නිළධාරීන්ට විදේශ පුහුණුවක්‌ හෝ ලබා දිය යුතුය. අපරාධ වැළැක්‌වීම, විමර්ෂණය හා මර්ධනයේ ප්‍රවීණතාවයක්‌ ඔවුන් ලබාගත යුතුය. මහේස්‌ත්‍රාත් අධිකරණවල නඩු මෙහෙය වන බොහෝ පොලිස්‌ නිලධාරීන් අවශ්‍ය තරම් නිපුනත්වය හා අත්දැකීම් නොමැති බව පෙනෙන්නට තිබේ. මේ හේතුව නිසාම චුදිතයන් නිදහස්‌ වන අවස්‌ථා ද දක්‌නට ඇත. අපරාධ අධිකරණවලට ඉදිරිපත් වන්නාවූ නඩුවලින් චුදිතයින් වැරදිකරු වන්නේ සියයට දහයකට අඩු ප්‍රමාණයක්‌ බව දැනට තිබෙන දත්ත ඇසුරෙන් දැනගත හැක. මෙයට එක්‌ හේතුවක්‌ නම් අපරාධ විමර්ෂණය අසම්පූර්ණ ලෙස සිදු වී තිබීමයි. අපරාධ විමර්ෂණයක්‌ කඩිනමින් නිම කිරීමට පොලීසිය උනන්දු විය යුතුය. මෙලෙස පොලීසියේ කාර්යක්‌ෂමතාවය දියුණු කිරීම අපරාධ වළක්‌වා ගැනීමට උපකාරීවේ.

අධිකරණය හා නීතිය

මරණීය දණ්‌ඩනයට කෙනෙකු නියම කිරීමේ අධිකරණ බලය ඇත්තේ මහාධිකරණයටයි. අපේ රටේ මරණීය දණ්‌ඩනය පැනවිය හැක්‌කේ අපරාධ කිහිපයකට පමණි. මනුෂ්‍ය ඝාතනය, ඊට අනුබල දීම, එවන් නඩුවකදී බොරු සාක්‌ෂි දීමෙන් චුදිත වැරදිකරු වීම, රජයට විරුද්ධව යුධ වැදීම හෝ ඊට තැත් කිරීම, ග්රෑම් 2 කට වැඩි හෙරොයින් ප්‍රමාණයක්‌ සන්තකයේ තබා ගැනීම හා/හෝ ප්‍රවාහනය කිරීම ආදිය මරණීය දණ්‌ඩනයට යටත් වන අපරාධයි. දැනට සිදුවෙමින් පවතින අපරාධ සැලකිල්ලට ගත් විට මරණීය දන්ඩනය පැනවිය හැකි අපරාධ ගනයට කුඩා දරුවන් දූෂණය කිරීම හා ආයුධ පෙන්වා මංකොල්ල කෑම යන අපරාධ ද ඇතුලත් කළ යුතු බැව් මම විශ්වාස කරමි. මෙම ලිපිය අවසන් කිරීමට පෙර තවත් එක්‌ දෙයක්‌ මතක්‌ කිරීමට කැමැත්තෙමි. කුඩා දරුවන් ආරක්‌ෂා කර ගැනීම දෙමවුපියන්ගේ වගකීමකි. දෘඩ කාමාශාවන්ගෙන් පෙළෙන්නා වූ විකෘති මනසින් යුතු පුද්ගලයන් මේ සමාජයේ සිටින තාක්‌කල් මේ මල් කැකුළු ආරක්‌ෂා කරගත යුතුය. මෙවන් පුද්ගලයන් සමාජයට පිළිකාවකි. සමාජය ශෝධනයට ලක්‌වන තුරුම සිය දරුවන් රැකබලා ගැනීම දෙමාපියන් විසින්ම කළ යුතුය. නීතියෙන් එයට කිසිවක්‌ කළ නොහැක. ඊට හේතුව එවන් රෝගීන් හඳුනාගන්නට ලැබෙන්නේ ඔහු තවත් මලක්‌ මිලින කළ පසුවයි.

* නීතිඥ එස්‌. ටී. ජයනාග
LL.B (Ceylon.); LL.M. (Colombo)
– Divaina