ලෝක වැඩිහිටි දිනය යෙදී තිබුණේ පසුගිය ඔක්‌තෝබර් 01 වැනිදාටය. වැඩිහිටි දිනය එළැඹ දින 15 ක් ගත වන විට ඊයේ පුවත්පත් සියල්ලෙහිම ප්‍රධාන ශීර්ෂ පාඨය බවට පත්ව තිබුණේ වැඩිහිටි දිනය තබා මවුපියන්ට සැලකීම ගැන හෝ නොදන්නා අමනුස්‌ස කාන්තාවක් අත්අඩංගුවට ගැනීමක් ගැනය.
සිත් කම්පා කරවන ඒ කතාව මෙසේය. මහනුවර කෙන්ගල්ල ප්‍රදේශයේ පදිංචි කාන්තාවක සුපිරි වර්ගයේ බලු සුරතලුන් හය දෙනකු නිවසෙහි කාමරයක ඇති දැඩි කරමින් සිය පියා වසර දෙකක් තිස්‌සේ බලු කූඩුවක සිරකරමින් කෲර අයුරින් සළකා තිබේ.
විශේෂයෙන් ඒ අසරණ පියාට මේ දියණිය කෑම බීම සපයා ඇත්තේද සුනඛයන්ට ලබාදෙන ආකාරයටය. කාන්තාව තිදරු මවක වන අතර ඇයගේ සැමියාද, මවද විදේශගතව රැකියාවල යෙදී සිටිති. 73 හැවිරිදි වියෙහි පසුවන මේ අසරණ පියා වෘද්ධභාවය හේතුවෙන්ම දුර්වලව සිටිනවා විනා බරපතළ රෝගයකට හෝ ගොදුරුව නැති බව කියවේ.
මේ යහගුණ නොදන්නා දියණිය එසේ කළේ ඇයි දැයි විමසූ විට දී ඇත්තේ අපූරු පිළිතුරකි. සිය පියා නිවසෙහි කැත කරන (මළ, මුත්‍ර) බවය. ඒ හේතුවෙන් සිය දරුවන්ට රෝග වැළඳීමේ අවදානමක් තිබුණ බවත් ඒ නිසාම සිය පියා සුදුසුම ස්‌ථානයේ තැබූ බවත්ය.
අපූරුම කාරණය වන්නේ සනීපාරක්‍ෂාව ගැන එපමණකටම සළකන මේ නරුම ගැහැනිය ගේ තුළ රඳවාගෙන ඇත්තේ විශාල ජර්මන් ෂෙපර්ඩ් සුනඛයකු හා පැටවුන් හය දෙනෙකි. සිහි කල්පනාව ඇති කවරෙකුට වුවද ඒ කතාව සිනහා උපදවන එකක් බව කිව යුතු නැත. සිය බැල්ල පැටව් දැමූ පසු උන්ට ආවතේව කිරීම හේතුවෙන් පියා ගැන සෙවීම අතපසු වූ බවද මේ ගැහැනිය පොලිසියට කියා තිsබිණි. කුඩා වියෙහි තම මවත්, පියාත් දෙදෙනාම තමන් රැක බලා ගත්තේ “බැල්ලක” මෙන් නොව සුර දූතියක මෙන් බව මේ නරුම ගැහැනිය අමතක කර තිබිණි. තමාගේ කැත කුණු අතගෑ මේ තාත්තාට වඩා බල්ලන්ගේ මළ මුත්‍රවල වටිනාකමක් මේ පාපිෂ්ඨ ගැහැනියට දැනෙන්නේ ඇය සුනඛ පරම්පරාවටම අයත් එකියක් නිසා යෑයි සිතීම කිසිසේත් අසාධාරණ නැත. ජර්මන් ෂෙපර්ඩ් වර්ගයේ බැල්ලක සැපට හදන්නටත් උගේ ආවතේවවලට කාලය මිඩංගු කරන්නටත් හැකි අයෙකුට එහෙමටම ආර්ථික අහේනියක් තිබෙන්නට බැරි බව අපේ විශ්වාසයයි. එහෙව් කෙනකුට තම පියා වෙනුවෙන් බොහෝ දේ කළ හැකිව තිබෙන බව අමුතුවෙන් කිව යුතු නැත.
කොහොමත් ඇති හැකි බොහෝ දෙනෙක් “මවුපියන්ට සැළකීම” හඳුනාගෙන තිබෙන්නේ ඒ ආකාරයට බව පසුගිය කාලය පුරාමත් විවිධ අවස්‌ථාවල ලැබුණු ප්‍රවෘත්තිවලින් පැහැදිලි වේ. අම්මා, තාත්තා වැඩිහිටි නිවාසයකට ගාල් කර, එය මවුපිය උපහාර වන්දනාවක් ලෙස අර්ථ ගැන්වීම වත්මන් සමාජයේ බහුලව දකින්නට ලැබෙන දෙයකි. ගෙදර පියාට, කිටියාට ලැබෙන තැන කෙසේ වෙතත්, උන්ට ලබාදෙන සුපිරි ආහාර වට්‌ටෝරුව හෝ අහිමි මවුපියන් ඕනෑ තරම් සමාජයෙන් සොයා ගන්නට හැකියාව තිබේ. බල්ලා ගෙට ගෙන තාත්තා බලුකූඩුවට යෑවූ කාන්තාවගේ කතාව එම ප්‍රවණතාවේ 2015 වර්ෂයේ සංකේතයයි.
මනුස්‌සකම බල්ලට දමා මුදල් ඉපැයීම තුළ ඉතාම නරක ආකාරයෙන් සංස්‌කෘතික සෝදා පාළුවක්‌ද සිදුවන බව අමුතුවෙන් කිව යුතු නැත.
අම්මා, තාත්තා ඇතුළුව ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට සැළකීම, වැඳුම් පිදුම් කිරීම, ගෞරව කිරීම, පිළිගැනීම, රැකබලා ගැනීම ඉතිහාසයේ පටන් අප අත්පත් කරගත් යහපත් ගුණාංගයක් බව කිව යුතුය. මේ මොහොතේ තර්ජනයට ලක්‌ව ඇත්තේ ඒ ක්‍රියාවලියයි.
වැඩිහිටියන් ගැන කරන සමීක්‍ෂණයකදී ඔවුන්ගේ ජීවන රටාව ආකාර කිහිපයකට වර්ග කළ හැකිය. ඒ අනුව තම දරුවන් සමග එකට ජීවත් වීම, හුදකලාව මවුපියන් පමණක් ජීවත් වීම, මෙහෙකරුවන්ගේ ආධාරයෙන් ජීවත් වීම, වැඩිහිටි නිවාසවල ජීවත් වීම, ස්‌ථිර නිවහනක් නැති මහමඟ අනුන්ගෙන් ඉල්ලාගෙන යෑපීම වැනි අවස්‌ථා මූලිකව දැක්‌විය හැකිය. මේ ආකාරවල අමානුෂික සහ කෲරතරම අවස්‌ථාවන් වත්මන් සමාජයේ බහුලය. දම්වැල්වලින් බැඳ තබා තිබීම, අඳුරු කාමරවලට හුදකලා කිරීම, නිවසේ අනිත් සාමාජිකයන්ගේ ඇස නොගැටෙන නිවසින් බැහැර මඩුවල (කුටි) රඳවා තැබීම, බලු කූඩුවලට ගාල් කිරීම ඒ ප්‍රවණතාවන්ය. වැඩිහිටියන් (මවුපියන්) සඳහා මීටත් වඩා සොඳුරු හෙටක් තනා දීම ආරම්භ කරන්නට මේ සිදුවීම ප්‍රයෝජනවත් උදාහරණයක් බව අපි සිතමු.
තවත් සිහිපත් කළ යුතු කාරණයක් තිබේ. මේ කියන සුනඛ පරපුරේ කාන්තාවට දරුවන් තිදෙනෙකි. දරුවෝ වැඩිහිටියන් කරන දේ පූර්වාදර්ශයට ගනිති. අනාගතයේ මේ දරුවන් ඇය කුමන කූඩුවක රඳවා තබයිද?
– Divaina