නීතිරීති හා චර්යා වෙනස් කර විෂ ආහාරවලට වැට බඳිමු

0
1695

ජගත් ආහාර දිනය ඔක්තෝබර් 16 වැනිදාට යෙදිණි. මෙවර තේමාව වූයේ ‘සමාජ සුරක්ෂිතතාව හා කෘෂිකර්මයයි’. එසේ වුවත් අපේ රටේ විකිණීමට ඇති බොහෝ ආහාරවලනම් සැබෑ සුරක්ෂිත බවක් තිබේදැයි සැක සහිතය.

අතීතයේ බත බුලතින් සශ්‍රීකත්වයෙන් යුතුව සෞභාග්‍ය සම්පන්න හා සෞඛ්‍ය සම්පන්නව සිටි අපේ ජනතාව අද කිසි දිනෙක අසා නොමැති රෝගවලට බහුලව ලක් වෙති. ඊට ප්‍රධාන හේතුව අපේ ආහාර රටාවේ හා ගොවිතැන් රටාවේ නවිකරණය බව පරිසරවේදීන්ගේ මතයයි.

පිටරටින් ගෙනෙන පාන් පිටිවලට, කිරි පිටිවලට දත නියවාගෙන සිටින අපේ බොහෝ අය රසායනික පෝර, වල්නාශක, කෘමිනාශක යොදා බෝග වවා ඉන් බඩකට පුරවාගෙන නැති ලෙඩ හදා ගනිති. ඒත් අපේ රට සහලින් බඩඉරිඟුවලින් ස්වයංපෝෂිතය. කොස් දෙල් කන්න කෙනෙක් නැත. ගස් යට වැටි කුණු වී යයි. ඒ සමඟම අපි වාර්ෂිකව පාන් පිටි පිටරටින් ගෙන්වීමට රුපියල් කෝටි 8000ක් පමණ වියදම් කරති. අද අපි දිනපතා කන ආහාරවලින් වැඩි හරියක් කන්නට සිදුවී ඇත්තේ වසවිස සමඟය. නමුත් අප ජීවත්වන්නේ ඉන්නක් නිකම් ඇන්නත් පැළවෙන රටකය, අප කන පිටරට හා මෙරට හැදු කෘත්‍රිම ආහාර සමඟ ශරීරයට එක්වන වසවිස හැටියට අපි ජීවත්වෙන එකත් පුදුමය.

අපේ මාධ්‍ය හිතවතකු මේ ළඟදී අපූරු තොරතුරක් අප සමඟ කීය. ඒ අපේ රටේ ආහාර රස කිරීමට ගන්නා කෘත්‍රිම කුඩු වර්ගයක් දැන් ගොවි ජනතාව පූර්ණ වල් පැළෑටි නාශකයක් ලෙස පාවිච්චි කරන බවයි. ඒ රසකාරකය අස්ථි හා ශරීර ඉන්ද්‍රියන් දුර්වල කරන බව පර්යේෂණවලින් පැහැදිලි වී ඇත. විදේශ රටවල තහනම් කර ඇති එය අපේ රටේ තවමත් බහුලව ආහාරවලට දමනු ලැබේ.

අපේ රටේ ආහාර පිළිබඳව දිගු කලක් පර්යේෂණ කරන පරිසර යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ පරිසර පර්යේෂක හේමන්ත විතානගේ පවසන්නේ අපේ රටේ ආහාර පිළිබඳව ප්‍රධාන ප්‍රශ්න දෙකක් ඇති බවයි. ඉන් ප්‍රධානම ප්‍රශ්නය අපේ එළවළු හා පලතුරුවලින් සියයට 40ක්ම ප්‍රවාහනයේදී අපතේ යෑමයි. අනෙක බෝග වගාවට බහුලව රසායනික ද්‍රව්‍ය යෙදීමයි

මේ සඳහා විකල්ප විසඳුම් තිබුණ ද ඒවා ජනප්‍රිය වී සාර්ථක වී නැත. ඒ අනුව මේ එළවළු හා පලතුරු දුම්රියෙන් ප්‍රවාහනය කිරීම විසඳුමක් බව හේමන්ත විතානගේ මහතා පෙන්වා දෙයි.

කෙසෙල් ඉදවීමට කාබයිට් මඟින් ඇයිටලින් වායුව යවා මුළු කෙසෙල් මලම එකවර ඉදීම නිසා තවත් අපතේ යෑම් වැඩි වී ඇත.

අද අපේ රටේ මහා පරිමාණයෙන් එළවළු පලතුරු වවන අය ඒවා නෙළීමට දින 2 – 3කට පෙර ඒවාට විවිධ රසායනික ගසති. අද මඤ්ඤොක්කා ගැලවීමට පෙර වල්නාශක යොදා පස බුරුල් කරති. ඒ විස කෙළින්ම ප්‍රතික්‍රියා කරන්නේ අපගේ ශරීරයේය.

අද අගනගරවල විකිණීමට ඇති ඇපල් මිදි කහපාට නාරං හා දෙළුම් ගෙඩිවලට පවා විවිධ රසායනික ද්‍රව්‍ය එන්නත් කර ඒවා සති ගණන් විකිණීමට තබා ගනී. මේ ආහාරවලට වස විස එක්කිරීම ගැන මෙරට කිසිම පර්යේෂණ ආයතනයකින් පර්යේෂණ කර ඒවා මාධ්‍ය මඟින් පැහැදිලිව රටට හෙළිකර නොමැත.

අද අපේ රටේ හාල්, මුංඇට, කව්පි, පරිප්පු ගබඩා කරන ස්ථානවල ඒවා කල් තබා ගැනීමට මැලතියන්, ඩීඩීටී වැනි රසායනික මඟින් ධුමායනය කරනු ලැබේ. වසර ගණනාවක් සමහර විට එකම තොගය ධුමායනය කරනු ලැබේ. මෑතකදී සිසිල් බීම බෝතලයක තිබි ඉදිකටුවක් හසු විය. අව්වේ තිබු ප්ලාස්ටික් සිසිල් බීම බෝතලයක තිබු පැණි බීම පානය කළ පුද්ගලයෙක් මරණයට ද පත්විය.

අද ආප්ප ඝනකම් කිරීමට විවිධ හුණු වර්ග යෙදීම, ඉදිආප්පවල සුදු ගතිය වැඩි කිරීමට රසායනික ද්‍රව්‍ය දැමීම පරිප්පු, අල, වැනි ව්‍යාංජන රසවත් කිරීමට කහබත්වලටත් පොල්තෙල්, පාන්පිටි වැනි දේ යෙදීම සිදුකරන බවට පුවත් පළ වේ.

පොල්තෙල්වලට වෙනත් බාල තෙල් වර්ග කවලම් කිරීම, රටකජු වැනි ධාන්‍ය වර්ග බදින විට ඊට විවිධ අපද්‍රව්‍ය දමා එහි විශාලත්වය හා පෙනුම වැඩි කිරීම වැනි නීති විරෝධී ක්‍රියා අද අපේ නගරවලත් ගමෙත් නිතර නිතර සිදු වේ. නමුත් පාරිභෝගික ආරක්ෂණ බලධාරීන් මේ පිළිබඳව නිසි පියවරක් ගෙන නොමැත. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් – වැටලීම් කරන්නේ ඉඳහිටය. ඔවුන්ට නිලධාරී හිඟයක් පවතින බව පවසති.

කෙසේ වුවත් මේ හිතක් පපුවක් නැති අය ආහාරවලට වස විස එකතු කිරීම වැළැක්වීම නීතියෙන් පමණක් නොහැකිය. ඒ සඳහා රටේම පරිසර හිතකාමී ජනතාවගේ සිත්සතන් හා චර්යාව වෙනස් කළ යුතුය. අද අප රටේ වී අතිරික්තයක් ඇත. වී විකුණා ගැනීමට බැරිව වී ගොවියා ළතවෙයි. සහල්වලින් ද්විතියික ආහාර නිපදවීමට හැකි බව පැහැදිලිව පෙන්වා දී තිබේ. සහල්වලින්, පාන්, බනිස්, විස්කෝතු නිපදවීමට පුළුවන. නමුත් ඒවා ජනතාව එතරම් ප්‍රිය නොකරයි. පාන්පිටිවලට සමහරු ඉතා කැමැතිය. නමුත් පාන්පිටි මාරකයෙකු බව ඒ අය දන්නේ නැත. අනුරාධපුර පසු අස්වනු තාක්ෂණ ආයතනයේ අධ්‍යක්ෂිකා ආචාර්ය ස්වර්ණශිකා තිලකරත්න මහත්මිය පවසන්නේ පාන්පිටි දියවැඩියාව හා කොලෙස්ටරෝල් වැඩි කරන බවයි. පාන්පිටි වෙනුවට කොස් ද හොඳ විකල්පයකි. කොස් ගෙඩියේ කොටස් සියල්ලම වස විස නැති ආහාරය. පොලොස් ගෙඩිය හා කොස් දලු පවා ඖෂධීය ආහාරය. අපි ඒවා ප්‍රචලිත කළ යුතුය.

වස විස නැති වස් දොස් නැති කොස් දෙල් වගාවට මීට වඩා ජනතාව යොමු කිරීමට කෘෂිකර්ම හා ගොවිජන සේවා බලධාරීන් නිලධාරීන් පියවර ගත යුතු කාලය ද එළඹ ඇත. එමෙන්ම ඒවායේ ඇති ගුණ පිළිබඳව ද දැනුම්වත් කිරීම අවශ්‍යය. කොස් ඇටයක බිත්තරයක ගුණ ඇතැයි ද මතයක් ඇත. කොස්වලින් සාම්ප්‍රදායික හා අලුත් ආහාර වර්ග 150ක් පමණ සෑදීමට පුළුවන.

මේ අතර රජය දීප ව්‍යාප්ත ජාතික ආහාර නිෂ්පාදන වැඩ පිළිවෙළක් ද ආරම්භ කර තිබේ. දේශීය ආහාර සඳහා පිටරට යන විදේශ විනිමය මෙරටම ඉතිරි කරගෙන දේශීය ආහාර කිරි බිත්තර ආදිය ජනප්‍රිය කරවීම මෙහිදී සිදු කෙරෙන බව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් රොහාන් විජේකෝන් මහතා පැවැසීය.

කෙසේ නමුත් අලුත් අධ්‍යයන අනුව ලොව පුරා තහනම් කර ඇති ජාන තාක්ෂණික ආහාරය අද අපේ රටේ සුපිරි වෙළෙඳ සල්වල විකිණීමට තිබේ. ඊට අමතරව අද අපේ රටට කිසිම පාලනයකින් තොරව කෘත්‍රිම, රසායනික ක්ෂණික ආහාර (Fast Foods) වෙළඳපොළට පැමිණේ. ඒවා නිපදවන බහුජාතික බූවල්ලෝ අපේ රටේ විවිධ පුද්ගලයන්ට සන්තෝසම් දී අපේ අහිංසක ජනතාවගේ බඩට ඉහත ආහාර දමා ජනතාව ලෙඩ කරවා තමන්ගේ මඩි තර කර ගැනීමට උත්සාහ දරති. මේ සියලු කටයුතු නිසා අපේ ජනතාව වකුගඩු රෝග, සමේ රෝග, පිළිකා, ලියුකේමියා වැනි රෝගවලට ලක්වීම ක්‍රමයෙන් වැඩි වෙමින් තිබේ.

කෙසේ වුවත් මෙවන් තත්ත්වයක් යටතේ වුවද මේ අපේ ජනතාව ‘හෙමිහිට මරණය’ කරා ළඟා කරන උවදුර තරමක් හෝ වළක්වන්න හරිත ව්‍යාපාරය ‘දිගාසිරි ගෙනෙන සොබාදම් අහර’ නමින් ගමන් අපේ දේශීය ආහාර ජනප්‍රිය කරවීමේ වැඩ පිළිවෙළක් අරඹා තිබේ.

ඒ අනුව අපේ ගමේ කොරටුවේ ගෙවත්තේ දෙනියේ, නියරේ වැටේ ඕවිටේ වැවෙන පලා වර්ග මැල්ලුම් කොළ වර්ග මෙන්ම අල වර්ග එළවළු වර්ග කෙසෙල් මුව, කොහිල අල, ඇඹරැල්ල, ඕළු දඬු වැනි ආහාර වර්ග රැසක් පිළිබඳව ජනතාවට යළි මතක් කිරීමට හරිත ව්‍යාපාරයේ කටයුතු කර තිබීම සතුටට කරුණකි. ඒ පිළිබඳව ‘දිගාසිරි ගෙනෙන සොබාදම් අහර – අහරක අසිරිය, නම් පොත් මාලාවක් ද ඔවුන් නිකුත් කර ඇත.

අලුත්ම ගවේෂණ අනුව අපේ රටේ ප්‍රධාන නගරවල කාබනික ආහාර ලෙස විකිණීමට ඇති ආහාර සියයට සියයක්ම කාබනික ආහාර නොවන බව හෙළි වී ඇතැයි පරිසර පර්යේෂක හේමන්ත විතානගේ පවසයි.

මේ අතර පිටකොටුවේ මිදි හොර තරාදිවලින් කිරීම, පිටකොටුවේ පලතුරුවලට දිනපතා රසායනික එන්නත් කිරීම ආදිය නිතර සිදු වේ. නමුත් මේවා පිළිබඳව වැටලීම් කිරීමට නගර සභාවේ හෝ පාරිභෝගික ආරක්ෂණ අධිකාරියේ හා නිලධාරීන් මෑතකදී පැමිණි බවක් වාර්තා වී නොමැත.

මෙවැනි කටයුතු පිළිබඳව නීතිරිති අනුව උපරීම දඬුවම් දීමට අදාළ නිලධාරීන් මේ ආහාර දිනය සමරන වකවානුවේදීවත් පියවර ගත යුතුය. ඒ අපේ පමණක් නොවේ අපේ දරුවන්ගේත් රටේත් උන්නතියටය.

අද අලුත්ම පර්යේෂණ අනුව මුළු ලෝකයේම ආහාර නිපයුම ජනතාවට ඕනැවටත් වඩා වැඩිය. නමුත් මේවා නිපදවන්නේ ස්වාභාවික ක්‍රමවලින් ද නොවේ. අධික ලෙස රසායනික පොහොර, වල් නාශක, කෘමිනාශක පාවිච්චි කරමිනි. එමඟින් අපේ සරු පසත් ඒවා අනුභව කරන අපේ නිරෝගී ගතත් විනාශ වෙයි. එමෙන්ම එලෙස පසත්, ගතත් ලෙඩ කරන ආහාරවලින් සැබෑ ආර්ථික ප්‍රතිලාභ ලැබෙයි ද? ඉහත වස විස යොදා ආහාර වැඩියෙන් නිපදවුවත් ඒ ආහාර නිසා හැදෙන ලෙඩ රෝග සඳහා අපට මෙන්ම රජයට යන මුදල ආහාර නිපැයුමේ ලාභයට වඩා වැඩිය.

මේ ගැටලුවට විසඳුම මිහිකත සුරකින පරිසර හිතකාමී තිරසාර ගොවිතැන් රටාවකට හා දේශීය ආහාර රටාවලට හුරු වීමය. එය අපේ බඩටත්, සාක්කුවටත්, පසටත් පොදුවේ මුළු රටටමත් ලොකු ප්‍රතිලාභයක්ම වනු ඇත.