පසුගිය දිනවල පුවත්පත් හා විද්යුත් මාධ්‍ය වාර්තා තුළ ඝාතන සිදුවීම් බොහෝමයක් දකින්නට ලැබිණි. තිහගොඩදී ඉතා සුළු සිදුවීමක් නිසා ඝාතනයට ලක්‌වූයේ 12 වියෑති දරුවෙකි. ඒ දරුවා මැරයකු නොවේ, අපරාධකරුවෙකුද නොවේ. පාතාල සාමාජිකයකුද නොවේ. සුළු බහින් බස්‌වීමක කෙළවර ඇතිවූ මාරාන්තික සටනක ගොදුරක් බවට පත්වීමට ඒ දරුවාට සිදුවුණේ අපරාධවල වත්මන් ස්‌වභාවයේ ඇති ම්ලේච්ඡත්වය ප්‍රකට කරවමිනි. පසුගිය කාලයේ වාර්තා වී තිබුණු බොහෝ ඝාතන සිදුවීම්වලට මුල සොයා ගිය විට අසන්නට ලැබෙන්නේ එය අපරාධයක් සිදුකිරීමට තරම් කාරණයක් නොවන ඉතා සුළු සිදුවීම් බවය. රට හෙල්ලු අනුරාධපුරයේ සමාජ ශාලා හිමිකරුගේ ඝාතනයට හේතු වී තිබුණේද කතා බහ කර විස¹ ගත හැකි ප්‍රශ්නයක් බව පෙනේ. ප්‍රධාන සැකකරුම කියන පරිදි අපරාධයට හේතු වී තිබුණේ “තමාට පාට් එකක් දැමීමය.” මෙවැනි පාට් දැමීම් අවසානයේ ශරීරාංග කපා කොටා පාට්‌ස් වෙන් කිරීමට තරම් දරුණු වී තිබේ.
දශක හතරකට පමණ පෙර “චණ්‌ඩින්” සිටි යුගය දැන් අවසන්ය. එකල “චණ්‌ඩින්” අතර සිදුවූ සටනකදී ම්ලේච්ඡ සිදුවීම් වාර්තා වුණේම නැති තරම්ය. දැන් චණ්‌ඩින් වෙනුවට ආදේශ වී සිටින්නේ මැරවරයන්ය. එසේත් නැත්නම් ම්ලේච්ඡයන්ය. අවාසනාවකට මෙන් මේ දරුණු ප්‍රචණ්‌ඩත්වය තරුණ කොලු ගැටව් කෙරෙහිද ක්‍රම ක්‍රමයෙන් විකාශය වී ඇති බවක් පෙනේ.
පාසල් සිසුන් අතර ඇති වූ ගැටුම්වලදී පිහි, බයිසිකල් ෙච්න්, පොලු මුගුරු පවා සොයාගත් බව පසුගිය කාලය පුරාම විටින් විට වාර්තා විණි. එපමණක් නොව අපරාධවලට හවුල් වී සිටිනුයේද ගැටවර විය හෝ නොඉක්‌ම වූ තරුණ පිරිසක් බව එම තොරතුරු විමර්ශනය කරන්නකුට වැටහේ.
මේ කාරණා අප සඳහන් කරන්නේ එල්ලුම් ගස ඉක්‌මන් කරන්නට යෑයි කියන තදියම පෙරදැරිව නොවේ. අප කාටත් නොදැනී විශාල අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින බව කියන්නටය.
අප වාසය කරන්නේ තුන් වේලටම බණ අසන, නිතර බණ පොත්වල කවර පිරිමදිමින් සිටින සමාජයකය. එවැනි සමාජයක මෙවැනි නොගැළපෙන ඝාතන සංස්‌කෘතියක් සහිත වටපිටාවක් ගොඩනැඟුණේ කෙසේද? 80 දශකයේදී ආරම්භ වූ සමූහ ඝාතන සංස්‌කෘතිය නිර්මාණය වී තිබුණේ දේශපාලන පසුබිමක් සහිතවය. එය පසුකාලීනව දශක තුනක කාලයක දේශපාලනික සන්දර්භය තුළ ම්ලේච්ඡත්වය ප්‍රකට කරන අන්දමට වර්ධනය වූයේ එල්ටීටීඊ ත්‍රස්‌තවාදයත් සමගිනි. එදවස සිට ඝාතනය (අපරාධය) සාමාන්‍යකරණීය වන වට පිටාවක් ශ්‍රී ලාංකීය සමාජය තුළ ගොඩ නැගිණි. අප අද අත් විඳිමින් සිටින්නේ ඒ නරක අත්දැකීම්වල පසු ක්‍රියාකාරකම්ය. අනියම් බිරිඳ පමණක් නොව තම බිරිඳද මරා දමන තරමට, තමන්ගේම ලෙයින් මසින් උපන් දරුවන් මරා දමන තරමට පණ මෙන් ආදරය කළ පෙම්වතිය මරා දමන්නට, එකට මීවිත තොලගාමින් සිටින මිතුරා මරා දමන තරමට සමාජය ප්‍රචණ්‌ඩව ම්ලේච්ඡ වී ඇත්තේ ඒ මුල් අත්දැකීම්වල පසු ප්‍රතිඵලයන් වශයෙන්ය. මිනිසකු ඝාතනය කිරීම සුළු කාරණයක් බවට පත්ව ඇත්තේ ප්‍රචණ්‌ඩත්වයට, ම්ලේච්ඡත්වයට මුල්වූ පෙර කාරණා තවමත් සමාජයෙන් ඉවත් කිරීමට තරම් යාන්ත්‍රණයක් සකස් වී නැති නිසා බව අපේ අදහසයි.
දිගින් දිගටම අසන්නට දකින්නට ලැබෙන අවලස්‌සන සිද්ධීන් වළකාලීමට අදාළ ආයතන ගෙනයන කිසිදු වැඩපිළිවෙලක් සාර්ථක නොවන්නේ මන්දැයි විමසා බැලිය යුත්තකි. අපරාධ වැළැක්‌වීම පිණිස සමාජය තුළ සංවාදයට බඳුන්වන විධිමත් යාන්ත්‍රණයක් සකස් කළ යුතුය. නැතහොත් සිදුවන්නේ රට ඉක්‌මනින්ම චිකාගෝවක් බවට පත්වීම පමණි.
– Divaina