මිනින්දෝරු දිවියේ සොඳුරු මතකයන්
සොඳුරු රාජ්‍ය සේවයේ තැනින් තැන ස්ථාන මාරුවී ගිය අපේ මේ මිනින්දෝරු මහතාගේ තවත් එක් සේවා ස්ථානයක් වූයේ පස්සර ප්‍රදේශයේ බිබිලේගම යන ගම. බිබිලේගම යනු සිංහල බෞද්ධ සංස්කෘතිය නොකැලැල්ව ආරක්ෂා කරගත් ගැමියන් සිටින පුරාණ ගම්මානයකි. ගම දෙකෙළවරේ පුරාණ විහාරස්ථාන දෙකක් වූ අතර, ගම මධ්‍යයේ රජයේ පාසල හා මාතෘ නිවාසයක් සහිත රජයේ ඩිස්පැන්සරිය වීය. ගැමියන් වඩාත් ප්‍රිය කළේ අසනීපයකදී සිංහල වෙදකමය.
“එක සිංහල අවුරුද්දක් කිට්ටුව මම කෑම්ප් කරලා හිටියේ බිබිලේගම.
අවුරුද්දට සති ගණනකට කලින් ඉඳලා ලෑස්ති වෙනවා. නෑදෑයින්,වැඩිහිටියන් බලන්න, රස කැවිලි අහුරපු බටපොතුවලින් හදපු පෙට්ටි සුදෝ සුදු රෙදි කඩකින් වහලා ඉහ මත හරි කිහිල්‍ලේ හරි ගහගෙන නියරවල් දිගේ ගැමියන් යන ආකාරය හරිම පියකරුයි”
අඩසිය වසකට එපිට අතීතය ඔහුගේ මතකයේ රැඳුණු එක් දසුනක් වන්නේ එයයි.
ගම තුළ හෙල්මළු ක්‍රමයට වගාකළ විශාල කුඹුරු යායකි. යල මහ යන කන්න දෙකම වගා කරන අතර, හැම පවුලකටම පාහේ අවුරුද්ද පුරාවටම කෑම සඳහා ප්‍රමාණවත් වී අස්වැන්නක් ලැබෙන්නේය. ගම වටේම පිහිටි වැවේ කැලේ නමැති තේ වත්තේ වැඩ කිරීමත් රා සහ හකුරු සඳහා කිතුල් ගස් මැදීමත් ගම්මුන්ගේ ප්‍රධාන ජීවනෝපාය වේ. අවුරුද්දේ සෑම දිනම එකලෙස ගල්ගෙඩි අතුරින් බෑවුම් දිගේ හඬ නගාගෙන බුං ගහමින් වේගයෙන් ගලා බසින දොළවල් දෙක තුනක්ම මේ ගම මැදින් ගලා යයි. මේ නිසාමදෝ මේ ගැමියන් ඉතා පිරිසිදුවට ඇඳ පැළඳගෙන සිටිනවා දැකිය හැක. සුදු මහත්වරුන් අතීතයේදී ගැමියන්ගේ ඉඩම් අඩු ගණනකට මිලට ගෙන වැවේ කැලේ තේ වත්ත පුළුල් කිරීම නිසා ගමට ඉතිරිව තිබෙන්නේ කුඹුරු යාය සමග ගොඩ ඉඩම් සුළු ප්‍රමාණයකි. මේ නිසාම සමහර ගැමියන් ගල් උඩ පවා නිවාස තනාගෙන සිටිනවා දැකිය හැක. මේ නිවාස ප්‍රමාණයෙන් කුඩා වුවත් ගැමියෝ ඒවා ඉතා පිරිසිදුව හා පියකරුව පවත්වාගෙන යන්නෝය. හැම ගෙවත්තකම පාහේ අලංකාරයට මල් වවා තිබිණ. ඒ අනුව මිනින්දෝරු මහත්වරුද සිය කඳවුරු ලස්සනට පවත්වාගෙන යාමට උනන්දු වූහ.
“මගේ කෑම්ප් එකේ ඉස්සරහත් ලස්සනට මල් වවලා තිබුණා.”
හෙතෙම පවසයි.
“බිබිලේ ගමෙන් පස්සේ මට ස්ථාන මාරුවක් ආවා මහියංගනයට. මහවැලි ව්‍යාපාරය යටතේ වුණු මේ අලුත් ව්‍යාපෘතිය වුණේ උල්හිටියා ඔය වාරි කර්මාන්ත ව්‍යාපෘතිය ලෙසටයි”
“මේ අලුත් ප්‍රොජෙක්ට් එකට සර්වේයර්ස්ලා විශාල පිරිසක් යොදවලා හිටියා. සර්වේයර්ස්ලා තිහක් විතර මහියංගනයේ තාවකාලිකව කෑම්ප් කරලා හිටියා මාසයකට වැඩි කාලයක්.”
ප්‍රදේශයට ජීප් රථ මාර්ගයක් සකස් කරගැනීම සඳහා ලොකු කාලයක් ගතවීය. එක් මිනින්දෝරුවරයකුගේ බඩු බාහිරාදිය අඩු වශයෙන් තුන් වරකදී වත් ජීප් රථයෙන් ඇදිය යුත්තේය. සැතැපුම් දහයක් පමණ මහවනය මැදින් ගල්මුල් උඩින් යාමට සිදු වූ ජීප් රථයට දිනකට යා හැක්කේ දෙවරක් පමණි.
මේ ඉංජිනේරු මැනුම සඳහා උල්හිටිය ඔයේ අතු ඔයවල් වන පුහුල්වින්න ඔය හා රත්කිඳ ඔය යන ඔයවල් අයිනේ මිනින්දෝරු කඳවුරු පිහිටුවා ගන්නා ලදී. උල්හිටිඔය යනු මහවැලි ගඟේ ප්‍රධාන අතු ගංගාවක් වුවද වියළි කාලයේදී එහි වතුර සම්පූර්ණයෙන්ම සිඳී යයි.
“අපි බිමට පවා වතුර ගත්තේ ඔය පතුලේ වළවල් හාරා,එයට උනන වතුරයි”
මේ එක පේළියට ගැසූ මිනින්දෝරු කඳවුරු අතර, එක් සුවිශේෂී මිනින්දෝරුවරයකු සිටියේය. සභාපති නම් වූ ඔහු අති දක්ෂ දඩයක්කරුවෙකි. නිතිපතා වන සතුන් එළාගත් සභාපති නිසා, මේ මිනින්දෝරු කඳවුරු අතර හැම වේලකටම පාහේ දඩමසින් අගහිඟයක් නොවූයේය.
ආදි වාසී ජනයා ජීවත් වූ දඹාන පිහිටියේ ඒ කිට්ටුවය.
“ඒ ගමේ නායකයෙක්ගේ පුතෙක් තමන්ගේ තාත්තාගේ තුවක්කුවක් රැගෙන විත් ෂිකාරි විදිහට මා ළඟ සේවයට බැඳුණා.”
මේ තරුණයාගේ වයස අවුරුදු විස්සක් පමණ විය. අපේ කථානායක එම්.කළුතන්ත්‍රී මිනින්දෝරු මහතාගේ වයස එවකට අවුරුදු විසිපහක් පමණය. මේ තරුණයාගේ සිත් දිනාගත් අපේ තරුණ මිනින්දෝරු මහතා හැම හවසකම ආදි වාසී ජනයාගේ ගති පැවතුම් ගැන ඔහු සමග කතා කිරීම පුරුද්දක් කර ගත්තේය. මේ තරුණයා දෙයක් කීමටත් තම පරපුර ගැන ඓතිහාසික තොරතුරු කීමටත් දැක්වූවේ පුදුමාකාර දස්කමකි. හැබැයි ඒ විස්තර අහන්නේ ඔවුන් හාස්‍යයට ලක් කරන්න කියලා හිතුණොත්, ඒ විස්තර කියන්න අදි මදි කරනවා. ඒත් මම එහෙම දේකට අහන්නේ නැති බව මේ තරුණයා දන්නා නිසා මිනිහා ඒ විස්තර කිව්වා.
දඹාන රජයේ පාසල ඒ කාලයේද එහි තිබිණ. ඒත් ඉහළ පන්තිවල සිටියේ ආදි වාසී
ළමුන් කිහිප දෙනෙකි. බොහෝ විට ළමුන්ගෙන් වැඩි පිරිසක් වයස අවුරුදු දහය දොළහ පමණ වන විට පාසල් යාම නවතා දමා, ගෙදර දොරේ වැඩට දෙමව්පියන්ට උදව් කළහ. මී පැණි එකතු කිරීම වැනි දේ සඳහා පිරිමි දරුවන් යෙදවිණ. ගැහැණු ළමුන් තම කුඩා සහෝදර සහෝදරියන් බලාගැනීමටත්, දඩයම් කරගෙන එන මස් ආදිය වේලා ගැනීම වැනි වැඩපළවලටත් උදව් වූහ. කොලු වයසේ හිටි හැම පිරිමි ළමුන් අතම පුරුද්දක් ලෙස ගල් විදින දුන්නක් වීය. මේ ගල් දුන්නෙන් කුඩා පක්ෂීන් ලේනුන් වැනි සතුන් ආහාර පිණිස දඩයම් කිරීම ඔවුන්ගේ සිරිත විය.
අපේ මිනින්දෝරු මහතාගේ ෂිකාරි දඩයමට යොදා ගත්තේ තුවක්කුවට වඩා ගල් දුන්නය.
එක් දිනක කඳවුර අසල ගසක සිටි දඬු ලේනකුට ගල් දුන්න ඉලක්ක කරන විට, ෂිකාරිගේ දෙවුර මත හුරතලයට ඇති කරන තවත් ලේනුන් දෙදෙනකුද සිටිනු කළුතන්ත්‍රී මහතා දුටුවේ මෙය අපූරු දසුනක් මෙන්ම මතකයෙන් කිසිදා නොමැකෙන රූපයක්ද විය.
ආදිවාසියෙක් මියගිය විට තරමක් විශාල හල්මිල්ල ගසක් කපා අඩි හයක පමණ කුට්ටියක් වෙන්කර පොරව බඳෙන් තලා වටේට ඇති පොත්ත පැදුරක් මෙන් සිටින ලෙස ගලවාගෙන මළ සිරුර එහි ඔතා වැල්වලින් ගැටගසා කැලය තුළට ගෙනගොස් වළ දැමීම ආදීවාසීන්ගේ සිරිතකි. මේ සියල්ල සිදුවන්නේ මියගොස් පැය විසි හතරක් ඇතුළතය. හැටේ දශකයේ මුල් කාලයේ ඇමෙරිකා එක්සත් ජනපදයේ ආධාර ඇතිව මහියංගනයේ සිට පදියතලාවට අලුතින් මහා මාර්ගයක් සකස් කරන ලදී. මේ මහා මාර්ගය වැටී ඇත්තේ දඹාන ගමට තරමක් ආසන්නයෙනි. ඊට පෙර මහියංගනයේ සිට දඹාන ගමට සැතපුම් හයක් හතක් දුර ගෙවා යාමට තිබුණේ අඩි පාරකි. නැතහොත් කරත්ත පාරකි.
දඹානෙන් රත්පුරයට ස්ථාන මාරු වී පැමිණි කළුතන්ත්‍රී මිනින්දෝරු මහතා 1969 වසරේ අවසානයේ කොළඹ ප්‍රධාන කාර්යාලයේ ගුවන් මැනුම් අංශයේ රාජකාරි සඳහා පැමිණියේය. ඒ ගුවන් මැනුම් අංශයේ ගණනය කිරීමේ ශාඛාවට අනුයුක්ත වෙමිනි.
“මේ කැලය තුළ මහවැලි යෝජනා ක්‍රමයට අදාළ බෝවතැන්න හා පොල්ගොල්ල යන උමගවල් වල කැණීම් කටයුතු කෙරෙමින් පැවැතුණා. මේ උමං කටවල් පොළොවේ ලකුණු කර ඒවා නිවැරදිව කපාගෙන යාම සඳහා අවශ්‍ය පාලන ලක්ෂ්‍ය සැපයීම අපිට පැවැරුණු තවත් රාජකාරියක්”
මේ කාලය වන විට කටුනායක ගුවන්තොටුපළේ ධාවන පථය දික් කිරීමේ කටයුතුද ආරම්භ කර තිබිණි. විශාල ගුවන් යානා පදවාගෙන එන ගුවන් නියමුවන්ට ඈත සිට ගුවන් තොටුපළේ ධාවන පථය දෙසට තම යානය එල්ල කරගැනීම පහසුවීම සඳහා සැතපුම් හතරක් පමණ ඈතින් උස කුළුණු දෙකක් සාදා තිබූ අතර මෙම කුළුණු දෙකේ භූගෝලීය ඛණ්ඩාංක ගණනය කර ගුවන් ගමන් මැනුම් පාලන දෙපාර්තමේන්තුවට සැපයීමට මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ගුවන් මැනුම් අංශයට භාර වීය. මේ අනුව පැරණි මැනුම් පරික්‍රමණ විවෘත කර, එම කුලුනු පාදයන් තෙක් මැනූ පළමුව ග්‍රීඩ් ඛාණ්ඩාංකද පසුව ඒවායින් භූගෝලීය ඛණ්ඩාංකද ගණනය කර ගුවන් මැනුම් පාලන දෙපාර්තමේන්තුවට සපයන ලදී. මින් මාස ගණනකට පසුව ගුවන් මැනුම් අධිකාරී වරයාට ගුවන් ගමන් පාලන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂතුමාගෙන් හදිසි දුරකථන පණිවුඩයක් ලැබුණි. එම පණිවුඩයෙන් කියවුණේ දෙන ලද භූගෝලීය ඛණ්ඩාංක උපයෝගී කරගෙන තම ගුවන් යානය ගොඩබැස්සීමට උත්සාහ කළ ගුවන් නියමුවෙක් එම ඛණ්ඩාංක අනුව එම යානය ස්ථාපිත කරගත් පසු, ඔහුට කටුනායක ගුවන් තොටුපළ පේනතෙක් මානයකවත් දක්නට නොලැබුණු බවත්, ඔහුගේ ගුවන් යානය මහනුවරට ඉහළින් අහසේ තිබෙන බවය. ගුවන් නියමුවා ඛණ්ඩාංක භාවිතා නොකර වෙනදා මෙන් ගුවන් තොටුපළ පේනතෙක් මානයට පැමිණ ගුවන් යානය ගොඩ බැස්සීමේ කටයුතු සිදුකර තිබේ. මේ සම්බන්ධව සොයා බැලීමේදී පෙනී ගියේ, දී ඇති ඛණ්ඩාංක දෝෂ සහිත බවය. ඒ කාලයේ දැන් මෙන් අල්ල මත තබා ගන්නා පරිගණක යන්ත්‍ර භාවිත වූයේ නැත. එවකට තිබුණේ මේන් ප්‍රේම් නමැති ඉතා මිල අධික කාමරයක් තරම් විශාල පරිගණක යන්ත්‍රයන්ය.
මිනින්දෝරු දෙපාර්තමේන්තුව සතුව එවැනි යන්ත්‍රයක් නොතිබුණු අතර එවකට එවැන්නක් තිබුණේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ පමණි එය කඩිනම් මහවැලි ව්‍යාපාරයට මිලදී ගැනුණක් හෙයින් අපේ මිනින්දෝරු දෙපාර්තමේන්තුවට එය පාවිච්චි කිරීමට අවසර ලැබිණ. ගණනය සඳහා දත්ත ඇතුළු කරනුයේ හිල් විදින ලද කඩදාසි මගිනි. කලින් කියූ ඛණ්ඩාංක දෝෂ සහිත වී තිබෙන්නේ මෙම කාඩ් සිදුරු කිරීමට සිටි නිලධාරියා අතින් සිදු වූ ප්‍රමාද දෝෂයක් හේතුවෙනි. අතීතයේ මිනින්දෝරු ජීවිතය යනු මෙවැනි අත්දැකීම් රැසකින් පිරුණු එකක් වූ නමුත් අද ඒ තුළ මෙවැනි අත්දැකීම් ලැබිය නොහැකි බව වත්මන් සර්වේර් ජනරාල් පී.එම්.පී. උදයකාන්ත මහතා කීය. ඒ මහතා මේ බව පැවසුවේ මිනින්දෝරු දෙපාර්තමේනතුවේ ටී-18 ටී-18 නමැති මිනින්දෝරු කණ්ඩායමේ විසිහය වන සංවත්සර සුහද හමුවක් පැවැත්වුණේ අවිස්සාවේල්ල ප්‍රදේශයේ හෝටලයකදීය.
“එදා තිබුණු සොඳුරු වෘත්තිය ජීවිතය අවසන් වරට අත්විඳීමේ භාග්‍යය ලැබූයේ මේ ටී.-18 මිනින්දෝරු කණ්ඩායමයි.” සර්වේයර් ජනරාල් පී.එම්.පී. උදයකාන්ත මහතා රාත්‍රී උත්සව සභාව ආමන්ත්‍රණය කරමින් පැවැසීය.
මීට විසිහය අවුරුද්දකට පෙර ටී.-18 මිනින්දෝරු කණ්ඩායමේ කණ්ඩායම් භාර කථිකාචාර්ය වරයා වූයේ මේ පී.එම්.පී. උදයකාන්ත මහතාය. ඔහු විසිහය වසරකට පසුව මෙරට 43 වන සර්වේයර් ජනරාල් වරයා වශයෙන් පත්වී සිය සිසුන්ගෙන් උපහාර ලැබිය. වෘත්තියේ සොඳුරු මතකයන් දිග හැරීමට මේ අවස්ථාව සංවිධානය කිරීම පිළිබඳව බලයලත් මිනින්දෝරු සුමිත් ප්‍රනාන්දුට ‘ජයන්ත සමරසිංහට’ විපුල අබේරත්නට සහ එස්.එම්.බි. මුදියන්සේට කාගේත් ප්‍රශංසාව හිමි වූහ.
සිය වෘත්තිය දිවියේ නොමැකෙන සොඳුරු මතකයන් සමාජගත කිරීම උදෙසා මායිම්ගල විශේෂාංග ලිපි පෙළ කළ මෙහෙය වෙනුවෙන් ‘ඉරිදා ලක්බිමට’ කෘතවේදීත්වය පළ කිරීමටද මෙහිදී වත්මන් මැනුම්පතිවරයා අමතක නොකළේය. ‘මායිම්ගල’ විශේෂාංග ලේඛක මේ ලියුම්කරුද ටී 18 මිනින්දෝරු කණ්ඩායම නියෝජනය කරන, වත්මන් සර්වේයර් ජනරාල් වරයාගේ සිසුවකු බවටද සටහන් කර තැබිය යුතුය.