වවුලන්ගෙන් බෝවෙන බව කියන මොකක්ද මේ වෛරසය? – Virus infect from bats

0
1146
bat

පුරාණයේ  අපේ සෑම පන්සලකම වවුල් ගෙයක් නිර්මාණය වූයේ පරිසරයට හා කෘෂිකර්මාන්තයට උන්ගෙන් සිදුවූ මෙහෙය අති විශාල වූ බැවිනි.

අදත් ඇතැම් විහාරස්ථානවල වවුල් ගෙවල් දක්නට ලැබෙන්නේ  ඒ හේතුවෙනි. වගාබිම්වල වවුලන් සැරිසරන්නේ නම් වගාවන් කෘමි පළිබෝධවලින් ආරක්ෂා වෙන බව ගොවීහු එදා දැන සිටි බැවින් ඔවුහු වගාබිම්වල වවුල් පරිසරයන් නිර්මාණය කළහ.
එදා වවුලන් වෙනුවෙන් වෙනම පරිසරයන් නිර්මාණය වූයේ ඌ මිනිස් ජන ජීවිතයට බෙහෙවින්ම උදව් උපකාර කළ බැවිනි. එහෙත් වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් සමග අපට උදව් උපකාර කළ සත්වයන්ම මිනිස් ජීවිතවලට තර්ජනයක් වන බව සොයා ගෙන තිබේ. ඒ අනුව වවුලාගෙන් බෝවිය හැකි ඉන්ෆ්ලුවන්සා  රෝගකාරක වෛරසයක් පිළිබඳවය.

ඇමෙරිකා එක්සත් ජනපදයේ උතුරු කැරොලිනා විශ්වවිද්‍යාලයේ  වෛද්‍ය රැල්ෆ් බැරික් ඇතුළු කණ්ඩායමක් වවුලන් 5000ක් යොදා ගනිමින්    පරීක්ෂණයක් සිදු කළහ. මෙහිදී මිනිසාට තර්ජනයක් එල්ල කළ හැකි  ඉන්ෆ්ලුවන්සා  වෛරසයක් වවුලාගේ සිරුර තුළ තිබෙන බව සොයා ගන්නා ලදී. කොරෝනා ගණයට අයත් මෙම වෛරසය    ලෙස හඳුනාගෙන තිබේ.

ඉන්ෆ්ලුවන්සා  වයිරසය ගැන කතා කරන විට අපට එක්වරම සිහිගැන්වෙන්නේ ලොව පුරා මිනිස් ජීවිත 800ක් බිලි ගනිමින් 2003 – 2004 වසර වලදී පැතිර ගිය සාර්ස්  හෙවත් උග්‍ර ශ්වසන රෝග තත්ත්වයයි. මෙයද ඉන්ෆ්ලුවන්සා වයිරසයක් හේතුවෙන් ඇති වූ ආසාදනයකි. ලොව පුරා පුද්ගලයින් 8000ක් දෙනා රෝගයට ගොදුරු විය. “සාර්ස්” රෝගකාරක වයිරසය රැගෙන ආ වාහකයා වූයේද චීන වවුලාය. මෙම රෝගී වයිරසය මිනිසාට වවුලාගෙන් ආසාදනය වූ බව හඳුනා ගන්නා ලද්දේ 2002 – 2003 වසරවලදීය. වවුලාගෙන් මෙම වයිරසය පැතිරුණද පසුව මිනිසාගෙන් මිනිසාට බෝවීමට පටන් ගැනීමත් සමග ලෝකයේ රටවල් 37ක් පුරා මෙම  වයිරසය පැතිර ගියේය.

කොරෝනා ගණයට අයත් මෙම නව වයිරසය  මිනිසාට ශ්වසන රෝගී තත්ත්වයන් බෝකරලීමේ හැකියාවක් මෙය වවුලාගෙන් මිනිසාට බෝවිය හැකි වුවද මිනිසාගෙන් මිනිසාට බෝවිය හැකි බවට තවමත් තොරතුරු අනාවරණය වී නොමැත. එසේ වුවහොත් ලොව පුරා නැවත වසංගත තත්ත්වයක් ඇති වීම වැළැක්විය නොහැකි වෙනු ඇත.

ඉන්ෆ්ලුවන්සා  වයිරසයට දිගු ඉතිහාසයක් පවතී. එය කොයි මොහොතක කුමන ආකාරයට වෙස්වලාගෙන මිහි මතට පැමිණේවිද කාටනම් කිව හැකිවේද? අදින් වසර 100කට පෙර එනම් 1918 – 20 වකවානුවේදී ලෝක ජනගහනයෙන් මිලියන 500ක පිරිසක් සැපනිෂ් ෆ්ලු            නමැති ස්පාඤ්ඤ උණ වැළඳී රෝගී වූහ. මෙහිදී රෝගී තත්ත්වය උග්‍ර වී මිලියන  50 – 100 අතර  පිරිසක් මියගිය බව වෛද්‍ය විශේෂඥයින් පවසා තිබේ.

මෙම වකවානුවේදී ලොව පුරා පර්යේෂකයින් විසින් මෙම වයිරසය පිළිබඳව පර්යේෂණ පවත්වන්නට විය. මෙහිදී වයිරසය ආසාදනය වී මියගිය පුද්ගලයෙකුට ඉන්ෆ්ලුවන්සා වයිරස් දෙකක් ආසාදනය වී තිබුණි. දෙවන වරට ආසාදනය වූ වයිරසය දෙමුහුන් වයිරසයක් බව පර්යේෂණයන්ගෙන් අනාවරණය වූවා පමණක් නොව එය මාරාන්තික බව තහවුරු කර ගන්නා ලදී.
සැපනිෂ් ෆ්ලු වෛරසය ප්‍රථම වරට වාර්තා වූයේ ඇමෙරිකාවේ බොස්ටන් නගරයෙන් හා ඉන්දියාවේ බොම්බායි නගරයෙනි. මෙසේ අන්ත දෙකකින් රෝගීන් දෙදෙනා වාර්තා වුවද පසුව ඉතා කෙටි කාලයක් තුළ ලොව පුරා වසංගතයක් ලෙස පැතිර යමින් මිලියන 500ක් දෙනා රෝගීන් බවට පත් කරන ලදී.

එදා එසේ තහවුරු කර ගන්නා ලද මාරාන්තික  වෛරසයමද අද වවුලන්ගේ සිරුරේ වර්ධනය වෙමින් අද මෙසේ පැමිණෙන්නේ ද යන්න වහාම සොයා බැලිය යුතු වන්නේය.

වයිරසයන්  බහුලව සැරි සරන්නේ ‍පොළෝ තලයේ සිට ඉහළ අහස තුළ බව විද්‍යාඥයින්ගේ මතය වී තිබේ. ලෝ ප්‍රකට තාරකා විද්‍යා මහාචාර්යවරයෙකු වන  චන්ද්‍රා වික්‍රමසිංහ පවසන්නේ විශ්වයේ සිට දිනපතා පෘථිවියට පැමිණෙන ටොන් 100ක දූවිලි අංශුවලින් සියයට එකක් නැතහොත් ටොන් එකක් අන්තර්ගත වනුයේ බැක්ටීරියා , නැනෝ බැක්ටීරියා වැනි ක්ෂුද්‍ර ජීවී අංශුය.
මෙසේ ජීව විද්‍යාත්මක දෑ ලොව පුරා සිදුවෙද්දී අපගේ වෛද්‍ය පරීක්ෂණයන් තවමත් ඉබි ගමනින් යෑම පිළිබඳව දෙවරක් සිතිය යුතුය. අපට ඇති තරම් සම්පත් තිබේ.එහෙත් අවශ්‍ය වන්නේ එම සම්පත් නිසි කළමනාකරණයකින් යෙදවීම පමණි.

රජයේ වෛද්‍ය රසායනාගාර තාක්ෂණ විද්‍යාඥයන් තමන්ගේ වෘත්තීය අයිතීන් පමණක් නොව සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පැන නගින අනාගත ව්‍යයසනයන් වෙනුවෙන් ද සක්‍රිය දායකත්වය ලබා දීමට ඕනෑම මොහොතක  සූදානමින් සිටින බව රජයේ රසායනාගාර තාක්ෂණ විද්‍යාඥයන්ගේ සංගමයේ ‍ලේකම් කීර්ති වික්‍රමරත්න මහතා අවධාරණය කරයි.

රජයේ රසායනාගර තාක්ෂණ විද්‍යාඥයන්ගේ සංගමයේ ‍ලේකම්
කීර්ති වික්‍රමරත්න

සටහන ශ්‍රියානි විජේසිංහ
– Lakbima