ශල්‍යාගාරයක්‌ මෝචරියක්‌ වුනොත්? – Operation theater becomes a Mortuary

0
980
opearation-theater

ඩොක්‌ටර් මොකද ලෙඩාට” ”සැත්කමක්‌ සිදු කරන්න වෙනවා” යෑයි වෛද්‍යවරයකු යම් රෝගියකු සම්බන්ධව පැවසූ විට රෝගියාටත් පවුලේ උදවියටත් අනිවාර්යයෙන්ම චකිතයක්‌ ඇතිවේ. එසේ චකිතයක්‌ ඇතිවන්නේ ශල්‍යාගාරය ගැන සිහිපත් වන විටදීය.

සුදු ඇඳුමින් සැරසී ට්‍රොලියක වැතිර ශල්‍යාගාරය වෙත රැගෙන යන රෝගියා නැවත ශල්‍යාගාරයෙන් පිටතට එන විට පියවි සිහියෙන් පැමිණේවි දැයි අප බොහෝ දෙනා තුළ බියක්‌ සැකයක්‌ මතුවේ. අප තුළ මෙවැනි බියක්‌ සැකයක්‌ මතුවීම සාධාරණය. අප කොයි කවුරුත් තම ජීවිතයට මෙන්ම අන් අයගේ ජීවිතවලටද ආදරය කරන බැවිනි. විශේෂයෙන්ම තම සමීපතමයකු වන මව පියා බිරිඳ සැමියා දූ දරුවන් කෙරෙහි ඇත්තේ අසීමිත බැඳීමකි.

මෙලොව සිටින පියවි ඇසින් දැකිය හැකි දෙවිවරු ලෙස වෛද්‍යවරු හඳුන්වන්නේ ජීවිතයත් මරණයත් අතර සිටිනා රෝගීන් සුවපත් කර යළි ජීවත්වීමේ වාසනාව උදා කර දෙන්නට සමත් කමක්‌ ඔවුන්ට හැකි බැවිනි. එලෙස ජීවත්වීමේ වාසනාව උදාකර දෙන විමානය රෝහලයි. එහි ඇති සුවිශේෂී ස්‌ථාන අතර ශල්‍යාගාරයට හිමිවන්නේ ප්‍රමුඛස්‌ථාන යකි. එනිසා එය නිසි ලෙස රැක බලා ගැනීමට ශල්‍ය වෛද්‍යවරු දක්‌වන්නේ දැඩි අවධානයකි. ශල්‍යාගාරය නිසි සෞඛ්‍ය ආරක්‍ෂාවෙන් තොර වුවහොත් වෛද්‍යවරුන් විසින් අසීමිත වෙහෙසක්‌ දරා සිදු කරන සැත්කම ප්‍රතිඵල රහිත වනු ඇත.

පසුගියදා ගාල්ල කරාපිටිය රෝහලේ ශල්‍ය වෛද්‍ය විශේෂඥ නාමල් ගමගේ මහතාද තමා සැත්කම් සිදුකරන ශල්‍යාගාරයේ ආරක්‍ෂාව වෙනුවෙන් දැඩි සටනක යෙදෙන අයුරු අපි මාධ්‍ය තුළින් දුටුවෙමු.

හෘද සහ උරස්‌ කුහර පිළිබඳ සැත්කම් සිදුකරන ඔහු සිය සැත්කම් සිදු කරන ශල්‍යාගාරයේ විෂබීජ පැතිරීමේ අවදානමක්‌ ගැන සඳහන් කරමින් සැත්කම්වල නිරතවීම තාවකාලිකව අත්හරින ලදී.

ශල්‍යකර්ම අතර ඉතා බරපතළ ශල්‍යකර්ම ලෙස හඳුන්වනුයේ ස්‌නායු පිළිබඳ සිදු කරන ශල්‍යකර්මය ඉන්පසු විකලාංග ශල්‍යකර්ම උරස්‌කුහර ශල්‍යකර්ම උදර කුහර ශල්‍යකර්ම, ප්‍රධාන ශල්‍යකර්ම, ලෙස වෛද්‍යවරු හඳුන්වති. මෙවැනි ශල්‍යකර්ම සිදු කරන ශල්‍යාගාර ඉතා සැලසුමකට සකස්‌ කළ නිසි ලෙස ජීවානුහරණය සිදු කළ (Sterile) ශල්‍යාගාරවේ (Roution Theater) මෙහි සිදුකරන සැත්කම් ඇතැම් විට පැය 10-12 පමණ දක්‌වා ඉතා දීර්ඝ සංකීර්ණ සැත්කම්ය.

තුවාල සඳහා ප්‍රතිකාර සිදුකරන සහ සුළුÊසැත්කම් සිදුකරන බාහිර රෝගී ශල්‍යාගාර OPD Theater සඳහා රෝගීන් පැමිණෙන්නේ එක්‌ දින ප්‍රතිකාර සඳහාය. එවැනි ශල්‍යාdගාරවලට වඩා ඉතා දැඩි ආරක්‍ෂාවක්‌ ප්‍රධාන සැත්කම් සිදු කරන ශල්‍යාගාරයක පැවතිය යුතුය.

වෛද්‍ය නාමල් ගමගේ මහතාද පවසා සිටියේ තමා සැත්කම් සිදු කරන ශල්‍යාගාරයේ තත්ත්වය බාහිර රෝගී ශල්‍යාගාරයක තත්ත්වයට පත් නොකරන ලෙසය. මන්දයත් ප්‍රධාන සැත්කමක්‌ සිදු කිරීමේදී රෝගියා සම්පූර්ණයෙන් නිර්වින්දනය එසේත් නැතිනම් සිහිසුන් කරනු ලබයි. ශරීරයේ අභ්‍යන්තර කොටස්‌ සඳහා ප්‍රතිකාර කිරීම සඳහා ගැඹුරු කැපුම් සිදු කරමින් ශරීරය අභ්‍යන්තරය විවෘත කරයි. මෙවැනි අවස්‌ථාවකදී රෝගියාගේ ශරීරයට විෂ බීජයක්‌ ඇතුළුවුවහොත් ඉතා බරපතළ තත්ත්ව මතුවේ. එහි අවසාන ප්‍රතිඵලය වනුයේ මරණය සිදුවීමය.

සාමාන්‍ය පුද්ගලයන්ට ඇතුළුවීමට අවසර නොමැති සහ බාහිරයට විවෘත නොවූ ශල්‍යාගාරයක්‌ පිළිබඳ තොරතුරු බොහෝ දෙනා නොදන්නා නිසා වෛද්‍යවරයෙක්‌ ශල්‍යාගාරයක්‌ ගැන යම් ප්‍රකාශ සිදු කරන විට ඇතිවන බිය දෙගුණ තෙගුණය.

ප්‍රධාන සැත්කම් සිදුකරන ශල්‍යාගාරයක්‌ ප්‍රධාන කොටස්‌ හතරකින් යුක්‌තය.

සැත්කම සිදු කිරීම සඳහා රෝගියා නේවාසිකව සිටි වාට්‌ටුවේ සිට ශල්‍යාගාරය වෙත රැගෙන විත් බාර දෙන ප්‍රදේශයක්‌ ඇත. එහිදී පළපුරුදු හෙදියක්‌ විසින් සැත්කමට අදාළ රෝගියාගෙන් නම, සැත්කම පිළිබඳව තොරතුරු විමසා අදාළ රෝග නිරීක්‍ෂණ වාර්තාව පරීක්‍ෂා කර බලනු ලැබේ. එලෙස පරීක්‍ෂා කර සැත්කමට අදාල රෝගියා බව තහවුරු කරගත් පසු රෝගියා සැත්කමට සූදානම්ව සිටීද යන්න බව පරීක්‍ෂා කරනු ලබයි. මේ සියලු පරීක්‍ෂාවන්ගෙන් පසු රෝගියා සැත්කම සඳහා තම කැමැත්ත ලිතව ප්‍රකාශ කර ඇත්නම් පමණක්‌ ශල්‍යාගාරයට ඇතුළු කර ගැනීම සඳහා ශල්‍යාගාර ට්‍රොලියකට රෝගියා මාරුකරනු ලබයි. සාමාන්‍යයෙන් අප බොහෝ දෙනා දකින්නේ වාට්‌ටුවේ සිට රෝගියා රැගෙන යන ට්‍රොලියේම තබා ශල්‍යාගාරයට ඇතුළු කර සැත්කම සිදුකර යළි එම ට්‍රොලියේම වාට්‌ටුව වෙත රැගෙන එනු බවකි. නමුත් සිදුවන්නේ ශල්‍යාගාරය වෙත රෝගියා ඇතුළු කරන්නේ ජීවානුහරණය කළ ශල්‍යාගාරය තුළ පමණක්‌ භාවිතා කරන ට්‍රොලියකිනි.

දැන් රෝගියා ශල්‍යාගාරයේ දෙවැනි කොටසට පිවිස සිටී. එහිදී නිර්වින්දන වෛද්‍යවරයා විසින් රෝගියාගේ සෞඛ්‍ය තත්ත්වය සහ සැත්කම සිදුකිරීමට අදාළ ශල්‍ය වෛද්‍යවරයාගේ වාර්තාව යළිත් පරීක්‍ෂා කර රෝගියා නිර්වින්දනයට සුදුසු මට්‌ටමක සිටින්නේ දැයි තවදුරටත් තහවුරු කරගෙන ශල්‍යාගාරය තුළට ඇතුළු කිරීමට අනුමැතිය දෙනු ලැබේ.

මෙතැනින් දැන් රෝගියා ඇතුළු වන්නේ ශල්‍යාගාරයේ සැත්කම් සිදුකරන ප්‍රදේශයටය. බරපතළ රෝගී තත්ත්වයක නැත්නම් තවමත් පියවි සිහියෙන් සිටින රෝගියාට දැන් ශල්‍යාගාරයේ සිටින සැත්කම සිදු කිරීමේදී නියමිත ඇඳුම් පැළඳුම් වලින් සැරසී සිටින ශල්‍ය වෛද්‍යවරු හෙද හෙදියන්, සාත්තු සේවක සේවිකාවන් ආදීන් දැක ගත හැකිය. වොට්‌ දහසක පමණ ආලෝකයෙන් යුත් ශල්‍යාගාර විදුලි පහන් දැල්වෙනු පෙනේ.

රෝගියා සැත්කම සිදුකරන විශේෂිත ඇඳට මාරුකරනු ලබන්නේ ශල්‍යාගාරය තුළදීය. සැත්කම සිදු කිරීමට පෙර ප්‍රධාන ශල්‍ය වෛද්‍යවරයා විසින් රෝගියාට යළිත් වරක්‌ සැත්කම පිළිබඳව සිහිපත් කිරීමක්‌ සිදු කරනු ලබයි. ඉන් පසු රෝගියා නිර්වින්දනය කර සැත්කමට භාජනය කරයි.

ඉතා බරපතළ රෝගී තත්ත්වයන් යටතේ සිටින රෝගීනට මෙලෙස සැත්කම පිළිබඳව දැනුවත් කිරීමට වෛද්‍යවරුනට අවස්‌ථාවක්‌ නොලැබේ. එහිදී වෛද්‍යවරු සිසු කරනුයේ රෝගියා නිර්වින්දනය කර අදාළ සැත්කම සිදු කිරීමය.

ශල්‍යාගාරයක්‌ තුළ උෂ්ණත්වය සෙල්සියස්‌ අංශක 20-23 අතර මට්‌ටමක පවත්වාගෙන යනු ලබයි. එවන් උෂ්ණත්වයක පවත්වාගෙන යන්නේ ක්‍ෂුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරිත්වය ඇතිවීම පාලනය සඳහාය. මෙවැනි උෂ්ණත්වයකදී ක්‍ෂුද්‍රජීවී ක්‍රියාකාරීත්වය සිදු නොවේ. එනිසා ශල්‍යාගාරයක්‌ පැය 24 පුරාම සැත්කමක්‌ සිදු කළත් නොකළත් එකම උෂ්ණත්වයකින් පවත්වාගෙන යැම සිදු කරනු ලබයි.

ශල්‍යාගාරය තුළදී සැත්කම සිදු කිරීම සඳහා භාවිතා කරන සියලු උපකරණ ජීවානුහරණය සිදු කළ ඒවාය. ශල්‍යකර්මයකින් පසු නැවත ශල්‍යකර්මයක්‌ සිදුකිරීමට පෙර ශල්‍යාගාරයේ බිම අවට ප්‍රදේශය විෂබීජ නාශක භාවිතා කර පවිත්‍ර කරනු ලබයි. එක්‌ සැත්කමක්‌ සඳහා යොදාගත් සියලු උපකරණ ඇඳ ඇතිරිලි ආදිය ඉවත් කරයි. ඒවා යළි භාවිතා කරන්නේ නිසි ලෙස ජීවානුහරණය කිරීමෙන් පසුය.

ශල්‍යාගාරයට වෛද්‍යවරුන් සහ කාර්ය මණ්‌ඩලය ඇතුළුවන්නේ රෝගීන් ශල්‍යාගාරයට ඇතුළු කරන දොරටුවෙන් නොව වෙනත් දොරටුවකිනි. ඉන් ඇතුළුවීමට පෙර ඔවුන් නිසි ලෙස ජීවානුහරණය කළ ඇඳුම් පැළඳුම්වලින් සැරසේ.

ශල්‍යාගාරයක්‌ සතියකටවත් ජීවානුහරිත වායු යොදා පිරිසිදු කරනු ලබයි. මාසයකට වරක්‌වත් ශල්‍යාගාරයේ සෑම ස්‌ථානයකින්ම ලබාගත් විෂබීජ පරීක්‍ෂා කිරීමේ සාම්පල ශුද්‍ර ජීවීන් වර්ධනයවී ඇති දැයි කියා (Cමකඑමරු ඔesඑ) පරීක්‍ෂාවකට ලක්‌ කරනු ඇත.

මෙලෙස දැඩි ආරක්‍ෂාව යටතේ පවත්වාගෙන යනු ලබන ශල්‍යාගාරයක්‌ තුළ සැත්කමක්‌ සිදු කළ රෝගියා වාට්‌ටුව වෙත රැගෙන යැමට පෙර ශල්‍යාගාරයේ ඇති යළි ප්‍රකෘති තත්ත්වයට පත්කරන ප්‍රදේශයට යොමු කරනු ලැබේ. මෙය ශල්‍යාගාරයේ හතරවන සහ අවසාන ප්‍රදේශයයි.

නිර්වින්දන වෛද්‍යවරුන්ගේ පරීක්‍ෂාව යටතේ මෙහිදී රෝගියාගේ හෘදය ක්‍රියාකාරිත්වය හුස්‌ම ගැනීමේ වාර ගණන සැත්කමින් පසු රෝගියාගේ පවතින මානසික සහ ශාරීරික තත්ත්වය පිළිබඳව පරීක්‍ෂා කරනු ලබයි. මෙහිදී රෝගියාගේ සෞඛ්‍ය තත්ත්වය සාමාන්‍ය තත්ත්වයට පත්වන තුරු පැය කාලක්‌ භාගයක්‌ පමණ රඳවා තබාගනු ලබයි.

රෝගියා සාමාන්‍ය තත්ත්වයට පත්වූ බව තහවුරු කර ගත් පසු වාට්‌ටුවට රැගෙන යයි.

ඇතැම් අවස්‌ථාවලදී සැත්කමේ බරපතළ බව සහ රෝගියාගේ සෞඛ්‍ය තත්ත්වයේ පවතින දුර්වලතාවක්‌ මත සාමාන්‍ය වාට්‌ටුවක්‌ වෙත නොව කෙළින්ම රෝගියා දැඩි සත්කාර ඒකකයට යොමු කරනු ලබයි.

මෙලෙස නිසි ක්‍රමවේදයක්‌ තුළ සිදුකරන සැත්කමකින් සහ නිසි අයුරින් නඩත්තු කරන ශල්‍යාගාරයක්‌ තුළ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරුන් සිදු කරන සැත්කමකින් පසු රෝගියා යළි ජීවය ලබයි.

යම් ශල්‍යාගාරයක්‌ තුළ විෂ බීජ පැතිරීමක්‌ සිදුවුවහොත් ඊට ප්‍රධාන වශයෙන් බලපානුයේ නිසිලෙස ශල්‍යාගාරය නඩත්තු නොකිරීමය. දිනපතා ශල්‍යාගාරයේ විෂබීජ නාශක යොදා පවිත්‍ර කරමින් සතිපතා ජීවානුහරණය කරමින් නිසි උෂ්ණත්වයක්‌ යටතේ පවත්වාගෙන යමින් ශල්‍යාගාරයේ සුරක්‍ෂිත බව රැකගත යුත්තේ එබැවිනි. එසේ නොවුණහොත් සිදුවන්නේ අති විශාල මුදලක්‌ වැය කර ඉදි කරන සහ නඩත්තු කරන ශල්‍යාගාරයක්‌ අකාලයේ විනාශයට පත්වීමය.

වෛද්‍යවරුද ශල්‍යාගාරයක්‌ තුළදී එක්‌ දිනකදී සැත්කම් වලට ලක්‌ කරන රෝගීන් ඒ සඳහා යොමු කරවන්නේ නිසි වෛද්‍ය ක්‍රමවේදයකට අනුවය.

තුවාල විෂබීජ රහිත අභ්‍යන්තර ඉන්ද්‍රිය සැත්කම් සිදු කළ යුතු රෝගීන් පළමුවත් තුවාල විෂබීජ සහිත ශල්‍යාගාරයක්‌ තුළ විෂබීජ පැතිර යාහැකි අවදානම් සහිත රෝගීන් දෙවනුවත් ලෙසින් නිසි වෛද්‍ය ක්‍රමවේදයක්‌ අනුව ශල්‍යාගාරයට ඇතුළු කර ගනු ලබයි. එවිට දිනය අවසානයේදී ශල්‍යාගාරය ජීවානුහරණය කිරීමද පහසුවනු ඇත. අන් රෝගීන්ට විෂබීජ පැතිර යැමේ ඇති අවදානමද අවම වේ.

මේ අනුව ශල්‍යාගාරයක්‌ යනු සිනමා ශාලාවක්‌ වත් උත්සව ශාලාවක්‌ වත් මෙන් නොව සුවිශේෂී ස්‌ථානයක්‌ ලෙස අප කවුරුත් වටහාගත යුතුය.

ශල්‍යාගාරයක ක්‍රියාකාරීත්වය පිළිබඳ තොරතුරු ලබා දුන් වෛද්‍ය පියල් එදිරිසිංහ මහතාට විශේෂ ස්‌තූතිය.

– Divaina