ඉන්දියාවේ ඇණේ ගැලවීමට පෙරය – Sri Lanka Cinema Industry

0
848
Digital-cinema

(ඩිජිටල් සිනමාවක්‌ වෙනුවෙනි)

එඩ්වඩ් මයබ්‍රිඡ් 1877 දී අශ්ව ධාවන පථයක එකදිගටම යොදන ලද කැමරා දොළහක්‌ ඇසුරින් ලබාගත් ඡායාරූප පෙළක්‌ එකදිගට ධාවනය කරවීමෙන් මුල්වරට චලන චිත්‍රයක්‌ ගොඩනඟන ලදි. 1882 දී “ජුල්ස්‌ මරේ” කැමරා රයිෆලය තැනීය. ජුල්ස්‌ මරේගේ කැමරා රයිෆලය කොකා ගැස්‌සීමෙන් (කැමරා ෂටරය විය යුතුය) තත්පරයට ප්‍රතිබිම්බ 12ක්‌ ලබාගත හැකිවිය.

1889 දී ඊස්‌ට්‌මන් සෙලොලයිඩ් පටය භාවිතයෙන් “ෆ්‍රෙ‍ඩී ඔටිස්‌ගේ කිවිසුම” නමින් චිත්‍රපටයක්‌ නිපදවූ බව සඳහන්ය. කිනෙස්‌ටස්‌කෝප් සහ කිනෙටෝග්‍රාෆ් සිනමා පට ධාවනය කිරීමේ නැතහොත් ප්‍රක්‌ෂේපනය කිරීමේ යන්ත්‍රය හඳුන්වා දුන් යුගයේ වත්මන් කාලයේ සේයා පටයේ දෙපැත්ත සිදුරු කිරීමේ ක්‍රමය හඳුන්වා දුනි. එපමණය…

දිගු ඉතිහාසයක කෙටි සංක්‍ෂිප්තයක්‌ ගෙනහැර දැක්‌වීම ගැන පාඨකයන්ගෙන් සමාව ඉල්ලා සිටිමු. අපට අද දවසේ අදාළ කතාව කියන්නට ඒ ප්‍රවේශය වුවමනාය. මේ කතා කරන්නේ දැනටමත් අභාවයට පත්වෙමින් තිබෙන දළ සේයාපටය පිළිබඳ කතාවය. මේ කතාව ශ්‍රී ලංකාවට වැදගත් වන්නේ කෙසේද? මේ වන විට ලෝකයේ සියලු රටවල් දළ සේයාපට භාවිතයෙන් ඈත් වෙමින් සිටිති.

ඒ සියලුම රටවල් මේ මොහොත වන විට ඩිජිටල් තාක්‍ෂණය භාවිත කිරීමට පටන්ගෙන තිබීම ඊට හේතුවයි. කොහොමත් මේ වන විට දළ සේයා පට නිෂ්පාදනය සිදුවන්නේ නැති තත්ත්වයක්‌ තුළ ලොව බොහෝ රටවල් ඩිජිටල් තාක්‍ෂණයට නැඹුරුවීම පුදුමයට කාරණයක්‌ නොවේ. දැන් ප්‍රශ්නය ඇත්තේ තවමත් දළ සේයා පට භාවිත කරන ශ්‍රී ලංකාවේ සිනමා කර්මාන්තය අනතුරුදායක අඩියකට පත්ව තිබීමය. මේ වන විටත් ඒ ආශ්‍රිත රැකියාවන්හි නිරත බොහෝ දෙනෙක්‌ගේ රැකියා අහිමිවීමේ බරපතළ අවදානමක්‌ මතුව තිබීම බොහෝ දෙනකුගේ (වගකිවයුතු කිසිවෙකුගෙත්) තවමත් අවධානයට ලක්‌වී නැත.

දළ සේයාපට නිෂ්පාදනය කරන බොහෝ සමාගම් සිය නිෂ්පාදන කටයුතු නවතා දමා තිබේ. ශ්‍රී ලංකාවේ සිනමා කර්මාන්තය තවමත් ආරක්‍ෂාවී ඇත්තේ සංරක්‍ෂණය සඳහාත්, පර්යේෂණ ක්‍රියාදාමයන් සඳහාත් නිෂ්පාදනය කරනු ලබන සීමිත දළ සේයාපට පුංච නිසාය.

එහෙත් මේ වන විටත් එම දළ සේයාපට යොදාගෙන රූගත කරන ලද සිනමා පටවල පිටපත් ලබා ගැනීමේ දැඩි දුෂ්කරතාවයකට මුහුණ දීමට ශ්‍රී ලාංකීය සිනමාකරුවන්ට සිදුව තිබේ. ඉන්දියාවේ ප්‍රසාද් රසායනාගාරය සහ ප්‍රකට දළ සේයාපට මුද්‍රණ රසායනාගාර කිහිපයක්‌ මේ වන විට වසාදමා තිබේ. ශ්‍රී ලාංකීය සිනමාකරුවන් මේ අඩුව පිරිමසා ගන්නේ ඉන්දියාවේ මුම්බායි හි පිහිටි “සිනෙ ලැබ්” නම් රසායනාගාරයකිනි.

සිනමාව තුළ අර්බුදයක්‌ ඇතැයි කියන අයත් එසේ නැතැයි කියන අයත්, සිනමාව ගොඩගැනීමේ සංවර්ධන යෝජනා ඉදිරිපත් කරන අයත් මේ සැබෑ අර්බුදය තේරුම්ගෙන නැති බවක්‌ පෙනේ. මුම්බායි හි “පුංචි ලැබ්” එකේ කල් පැන්න, නැවත අලුත්වැඩියා කළත් පලක්‌ නොවන යන්ත්‍ර සූත්‍රවල එක ඇණයක්‌ බුරුල් වූ පසු ශ්‍රී ලංකාවේ චිත්‍රපට කර්මාන්තය ඉවර බව සිනමාවට ආදරය කරන අය කියන්නේ “කට කහනවාට” නොවේ. මේ වන විටත් ඒ පුංචි රසායනාගාරයේ චිත්‍රපට පිටපත් මුද්‍රණය කරන්නේ ශ්‍රී ලංකාව හා නයිජීරියාව පමණකි. නයිජීරියාව යනු ලොව තෙවැනි විශාලතම සිනමා කර්මාන්තය ඇති රටයි. හොලිවුඩ්, බොලිවුඩ්, කොලිවුඩ් (දකුණු ඉන්දියාව) හැරුණු විට නයිජීරියාවද “නොලිවුඩ්” ලෙස නම්කර තිබේ. මේ ඩිජිටල් අර්බුදය තේරුම් ගැනීම නිසාම නයිජීරියාවද ක්‍රම ක්‍රමයෙන් ඩිජිටල්කරණයට අත ගසා ඇති බව කියෑවේ.

ඇත්ත වශයෙන්ම අප මේ ඩිජිටල්කරණයට පිවිසිය යුතුව තිබුණේ මීට බොහෝ කලකට පෙර සිට බව අපේ හැඟීමයි. මේ තත්ත්වය වසර ගණනාවක්‌ තිස්‌සේ රටේ නායක කාරකාදීන් හමුවේ පවා සිනමා කර්මාන්තයේ ප්‍රවීණ බොහෝ පිරිසක්‌ කරුණු ඉදිරිපත් කර ඇති නමුත් මේ වනතෙක්‌ එය “තිරගත නොවූ චිත්‍රපටයක්‌” බවට පත්ව තිබේ. ඒ චිත්‍රපට කර්මාන්තය කිසිවෙකුටත් නොතේරෙන නිසා විය හැකි බව අපි අනුමාන කරමු. කෙසේ වෙතත් මුම්බායේ පුංචි රසායනාගාරයේ ඇණයක්‌ ගැළවුණු විට ඇද වැටෙන ශ්‍රී ලංකාවේ සිනමා කර්මාන්තය මුක්‌කු ගසාවත් කෙළින් කළ නොහැකි බව සිහිපත් කරමු.
– Divaina