ආණ්ඩුකාරයා මුසපත් කළ මහවැලිතැන්න හෝටන්තැන්න වෙයි

0
1432
hortan-plain

නම වෙනස් වුණේ ජනවාරි 01 දා

තොටුපළ කඳුයාය සිසාරා හමා එන සීත සුළං රැළි ගත හිරිගඩු නංවයි. අනේක වර්ණ විසිතුරු සමනළ රෑන් අපට මඟ පෙන්වන්නට මෙන් තුරුලතා, මල්ගොමු, ඔස්සේ ඉදිරිය බලා පියාඹති. ඒ සමනළ කන්ද බලා විය යුතු ය. විටෙක මල් ගොමුවත් සමනළ රෑනත් ඒකාත්මික වන්නාක් මෙන් ඈතට දිස්වෙයි.

අප දැන් පැමිණ ශ්‍රී ලංකාවේ අති සුන්දර තැන්නට ය. මේ මහම මහ තැනිතලාව අද ‘හෝර්ටන්තැන්න’ ලෙස හැඳින්වූව ද පුරාණයේ මෙය ‘මහවැලිතැන්න’ විය. ඊට හේතුව මහවැලි ග‍ඟේ ප්‍රධාන ශාඛාවක් වන ‘කොත්මලා ඔය’ නිර්මාණය වී ඇති ‘දඹගස්තලාඔය’ සහ ‘අග්‍රාඔය’ යන දෙකෙන් අග්‍රා ඔය ඇරැඹෙන්නේ මෙම සුවිසල් තැනිතලාවේ සිට බැවිනි. ශ්‍රී ලංකාවේ ප්‍රධාන දිය බෙත්මක් ලෙස සැලැකෙන හෝර්ටන්තැන්න සහමුලින්ම ජලාශ්‍රිත ය. ප්‍රධාන ගංගා කීපයකම මූලාරම්භය හෝර්ටන්තැන්නය. තැන්න තුළ පිහිටි තොටුපළ කන්දේ උස මීටර් 2357 කි.

නිරන්තරයෙන් මීදුමෙන් වැසී පවතින හෝර්ටන්තැන්න නැරැඹීමට සුදුසුම කාලය මාර්තු – මැයි කාලයයි. හෝර්ටන්තැන්න පිහිටියේ මුහුදු මට්ටමේ සිට අඩි 7200 (මීටර් 2187) පමණ උසකිනි. මෙහි විශාලත්වය අක්කර 700 කි. මහවැලිතැන්න, ‘හෝර්ටන් (Hortan Plain) ප්ලේන්’ යන ඉංග්‍රීසි නමින් හැඳින්වූයේ ඉංග්‍රීසීන් කන්ද උඩරට ආක්‍රමණය කිරීමෙන් පසුව ය.

1831 දී ශ්‍රී ලංකාවේ ආණ්ඩුකාර ධූරයට පත් ‘රොබට් විල්මට් හෝර්ටන්ට මනස්කාන්ත මහවැලිතැන්න නැරැඹීමේ දොළ දුකක් ඉපිද පිරිසක් ද සමඟ එහි සංචාරයට ගියේ මීට වසර 180 කට පමණ පෙර 1836 ජනවාරි පළමුවැනිදා ය‍. ‘මහවැලිතැන්න’ හෝර්ටන්තැන්න ලෙස නම් කළේ ඔහුය.

ජාතික උරුමයක් මෙන් ම ලෝක උරුමයක් ලෙස නම්කර ඇති හෝර්ටන්තැන්න වනෝද්‍යානයේ උද්භිද විද්‍යාත්මක වටිනා කමක් ඇති තුරු ලතා විශේෂ මෙන් ම වන සතුන් පක්ෂීන් හා සමනලුන් පිරි පාරාදීසයකි.

ලංකා සිතැසියා, වලිකුකුළා, ලංකා හීන කොණ්ඩයා, අඳුරු නිල් මැසිමාරා, ලංකා අරංගයා, රතු දෙමළිච්චා, ලංකා රුවි රුසියා, ලංකා මයිල ගොයා ආදී පක්ෂි විශේෂ මෙන් ම ක්ෂීරපායි සත්ත්ව විශේෂ 14 ක් පමණ ද සමනළ විශේෂ 40 ක් පමණ ද වෙසෙන බව නිරීක්ෂණයන්ගෙන් තහවුරු කර තිබේ. ගෝණුන්ඉතා බහුලව මෙහිදී දැකිය හැකි ය.

හෝර්ටන්තැන්න වඩාත් වර්ණවත් වන්නේ ‘නෙළු’ (Nelu Flower) මල් පිපෙන අවදියේ ය. (නෙළු මල් පිපෙනුයේ වසර ගණනාවකට වරකි.)

මෙසමයට තැන්න පුරා සැරි සරන වලිකුකුළන් බහුලව දැකිය හැකි ය.

හෝර්ටන්තැන්න ලොව පුරා වඩාත් ප්‍රචලිතව ඇත්තේ එහි දකුණු මායිමේ පිහිටි ලෝකාන්තය (World’s End) නිසා ය. මේ ආගාධයේ ඉස්මත්තේ උස (මුහුදු මට්ටමේ සිට) අඩි 7200 කි. (මීටර් 2187කි) එහි පතුල පිහිටියේ මුහුදු මට්ටමේ සිට අඩි 3500 (මීටර් 1063) කය. මෙම ආගාධයේ උස අඩි 3700 කි. (මීටර් 1124 කි)

තැන්න තුළ පිහිටි බේකර්ස් දිය ඇල්ල මෙහි සුන්දරත්වය වඩාත් තීව්‍ර කරයි.

හෝර්ටන්තැන්න ප්‍රාග් ඓතිහාසික යුගයේ සරු සැර වී වගා බිමකි. පසු කලෙක මේ තැන්න අර්තාපල් වගා බිමකි. තැන්න පුරා විල්, පොකුණු, දිය සීරා බහුලව දැක්ක හැකි ය.

ඝන මීදුම් සළු පොරවාගන්නා හෝර්ටන්තැන්න හිරු අවරට යත් ම දැඩි ශීතල විසින් ගිල ගනු ලබන්නේ පසුදා හිරු උදා වනතුරු පමණි.

නෙළු මල් පි‍ෙපන සමයේ නෙළු මල් යායෙන් පවන් සලා ගන්නා හෝර්ටන්තැන්න සැමදා මහරත්මල්, බෝවිටියා වැනි වනමලින් සුවඳවත් වෙමින් සැරසී සිටින්නී ය.

ආශ්‍රිත ග්‍රන්ථ : සුන්දර නුවරඑළිය – සිරිසේන දේවප්‍රිය

– Silumina