ලෝකයේ කැළිකසළ ප්‍රශ්නයක් වී ඇති අවධියක බොහෝ රටවල් අවධානය යොමු කර ඇත්තේ ඒවා ප්‍රතිචක්‍රීයකරණයටයි. ඒ අතරින් කොම්පෝස්‌ට් පොහොර සෑදීම, ජීව වායු නිෂ්පාදනය සහ කසළ කළමනාකරණය මූලිකව සිදු කෙරේ. ජීව වායු නිෂ්පාදනයෙන් විදුලිය නිපදවීමට ප්‍රථම වතාවට ශ්‍රී ලංකාව මෙකල උත්සාහ දරමින් සිටින්නේය. එහිදී ජීව වායු සම්බන්ධයෙන් ලොව ඇති හොඳම ජර්මන් තාක්‍ෂණය භාවිතා කරමින් විදුලිය නිපදවාලීමට වෙර දරමින් සිටින එච්. එම්. රෝහිත කුමාර නමැති ව්‍යවසායක තරුණයා පසුගියදා අපට හමුවිය. මේ ඔහු සමග පැවැත්වූ සංවාදයකි.
“ඔබ ජීව වායු වලින් විදුලිය නිපදවන්න පුළුවන් කියලා කලින් හිතුවද?”
මම මුලින්ම ලංකාවේ ජීවවායු තාක්‍ෂණය අත්හදා බැලුවා. එහෙත් ඒ තාක්‍ෂණයෙන් විදුලි උත්පාදක යන්ත්‍රයක් ක්‍රියාත්මක කරන්න බැහැ. ඒ ජීව වායුව අපිරිසිදු නිසා. අපේ රටේ ක්‍රමවේදවලට අනුව ගමන් කළොත් අධික මුදලක් වැයවෙනවා. එමෙන්ම ලොකු භූමි ප්‍රමාණයකුත් අවශ්‍ය වෙනවා. ඒ නිසා මං ජර්මන් තාක්‍ෂණය යොදා ගන්න තීරණය කළා.
මොකද ජීව වායු සම්බන්ධයෙන් හොඳම තාක්‍ෂණය තියෙන්නේ ජර්මනියෙ නිසා. මම දැක්‌කා ජර්මනියේ රෝහල්වල ජීව වායු භාවිතයට ගන්න හැටි. ජර්මනියේ ජීව වායු වල සල්µර් නොමැති නිසා ජීව වායු භාවිතයට ගන්න යන්ත්‍රවල ක්‍රියාකාරිත්වය වැඩිය. ඒ අනුව තමා 2011 ජුනි මාසයේදී ජීව වායුවලින් විදුලිය නිපදවීමේ ව්‍යාපෘතිය ආරම්භ කළේ.
“එම වායුවෙන් විදුලිය නිපදවන්නේ කොහොමද?”
වෙන්කර ගත් කුණු නගර සභාවට හෝ ප්‍රාදේශීය සභාවට ලබා දුන් පසු ‘ඩයිජස්‌ටර්’ නමැති යන්ත්‍රයකට දමනවා. එලෙස දමන කුණු වලින් දින 15 ක් තුළදී බැක්‌ටීරියා එකක් පිටවෙනවා. ඒ බැක්‌ටීරියා මගින් ජීව වායු ක්‍රියාත්මක වෙනවා. එවිට ජෙනරේටරය ක්‍රියාවට නැංවෙනවා. ඒ මගින් විදුලිය නිපදවෙනවා. විශේෂයෙන් මේක තමා කුණුවලට තියෙන අවසන් විසඳුම. මෙහිදී දිරන දේවල් එනම් ඝන නොවන අපද්‍රව්‍ය, කෙලින්ම ඩයිජස්‌ටරයට දාලා ගෑස් හදනවා පස්‌සේ ඒ ගෑස් (වායුව) කෙළින්ම ජෙනරේටරයට දානවා. මේක ජීවවායු විදුලි උත්පාදන යන්ත්‍රයක්.
“මෙම ව්‍යාපෘතිය සඳහා වැයවෙන මුදල කොපමණද?”
පරිභෝජනය කරන කුණු ප්‍රමාණය අනුව වැය වෙන මුදල තීරණය වෙනවා. ඒ නිසා ව්‍යාපෘතියෙන් ව්‍යාපෘතියට වැයවෙන මුදල වෙනස්. සාමාන්‍යයෙන් කුණු ටොන් 20 ක බලාගාරයකට මිලියන 125 ක් වැයවෙනවා. එහෙත් වැයවෙන මුදල් වසර හතරකදී පහසුවෙන් ආපසු ලබාගන්න පුළුවන්. ඒ විදුලිබලය නිපදවීමෙන් හා කොම්පෝස්‌ට් පොහොර අලෙවි කිරීමෙන්.
“ඔබ මේ ව්‍යාපෘතිය ආරම්භ කරන්න සැලසුම් කරන්නේ කොහොමද?”
ප්‍රථමයෙන් ව්‍යාපෘතිය ආරම්භ කරන්න ඕනේ. ඉන්පසු ඊට අවශ්‍ය භෞතික සම්පත් සපයා ගන්න ඕනේ. ඒ සඳහා මාස තුනක පමණ කාලයක් වැය වෙනවා. 2014 වන විට ලංකාවේ නගර සභා සහ ප්‍රාදේශීය සභා කසළ වෙන් කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ දැනුවත් නිසා මේ ව්‍යාපෘතිය පහසුවෙන්ම ආරම්භ කරන්න පුළුවන්.
“කැළි කසළ සම්බන්ධයෙන් වෙනත් ආයතනවල මැදිහත්වීම කොහොමද?”
ලංකාවේ කසළ එකතු කරන විවිධ ආයතන තියෙනවා. හුදෙක් එම ආයතනවලින් සිදුවන්නේ කසළ එකතු කිරීම පමණයි. කොළඹ කුණු ටොන් 750 ක් පමණක් එකතු කරන්න මිලියන 140 ක් මාසෙට වැයවෙනවා.
“මේ මගින් කොපමණ විදුලි ප්‍රමාණයක් නිෂ්පාදනය කරන්න පුළුවන්ද?”
කුණු ටොන් 20 කින් දවසකට කිලෝ වොට් 3120 ක විදුලි බලයක් නිෂ්පාදනය කරන්න පුළුවන්.
“මේ සඳහා ලැබී ඇති අනුග්‍රාහකත්වය කොහොමද?”
විශේෂයෙන් පසුගිය මෙන්ම වර්තමාන රජයෙනුත් මට සහයෝගය ලැබුණා. නමුත් පෞද්ගලික අංශයෙන් නම් දැනට සහයෝගයක් ලැබිලා නැහැ. මගේ දැනුම සතයක්‌වත් අය නොකර නොමිලේම ලබාදෙන්න මම නිතරම සූදානමින් ඉන්නවා. ඒ නිසා පෞද්ගලික අංශයේ සහයෝගය ලැබෙයි කියලා හිතනවා.
ප්‍රතිචක්‍රීයකරණය ලෝකයේ සෑම රටකම සිදුවුවද මෙවැනි දෙයක් අපේ රටේ ප්‍රථම වරට සිදු කිරීම ඇගයීමට ලක්‌විය යුතු කරුණකි. වනජීවී දෙපාර්තමේන්තුව, වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව, ජල සම්පාදන සහ ජලාපවහන මණ්‌ඩලය අලුත්ගම ප්‍රාදේශීය සභාවේ අනුමැතිය මෙයට ලැබී ඇත. අලුත්ගම ප්‍රාදේශීය සභාවෙන් ආරම්භ කිරීමට නියමිත මෙම ව්‍යාපෘතිය ඉදිරියේදී සියලු ප්‍රාදේශීය සභා සහ නගර සභාවල ක්‍රියාත්මක කිරීමට නියමිතය. මෙමගින් ලංකාවට පිරිසිදු වාතාශ්‍රයක් සහිත පරිසරයක් නිර්මාණය වන බව නොඅනුමානය. කිසිදා හමාර කළ නොහැකි කැළිකසළ ප්‍රශ්නයට ජීව වායුව මගින් විදුලිය නිපදවා ගැනීමට ගත් මෙකී උත්සාහයෙන් සාර්ථක පිළිතුරක් නිසැකව ලැබේ යන බලාපොරොත්තුව සියල්ලන්ගේම සිත් තුළ ඇති එකම ප්‍රාර්ථනාවද වන්නේය.
දුලීකා සමන්මලී
නිර්මලා උදයංගනී
– Divaina