දරුවන්ගේ ලෝකය දරුවන්ට නොදීමේ සංවේදනාව

0
1300

– ‘ඇනී ලෝරි’

“අප අතින් සිදුවී ඇති වැරදි සහ අඩුපාඩු බොහෝ වුවත්, අප සිදුකර ඇති විශාලතම අපරාධය නම් දරුවන් අතපසු කිරීමයි, ජීවයේ උල්පත නොසලකා හැරීමයි. අපට අවශ්‍ය බොහෝ දේ පසුව ලබා ගත හැකි ය. දරුවාට එසේ සිටිය නොහැකි ය. මේ මොහොතේ දී දරුවාගේ අස්ථි හැඩ ගැසෙමින් පවතී; රුධිරය නිපදවෙමින් පවතී; ඉන්ද්‍රියන් වර්ධනය වෙමින් පවතී. අපට ‍ ‘හෙට’ යනුවෙන් දරුවාට පිළිතුරු දිය නොහැකි ය. දරුවාගේ නම අදයි”

(1945 දී නොබෙල් සාහිත්‍ය ත්‍යාගයෙන් පිදුම් ලද ගබ්රියෙලා මිස්ට්‍රාල්)

වැඩිහිටියන් දරුවන් පිළිබඳ කොතරම් සියුම් අයුරින් සැලකිලිමත් විය යුතු ද යන්න පිළිබඳ අදහසක් උක්ත ප්‍රකාශයෙන් ලැබේ. මෙය උපුටන්නට හේතු වූයේ වෛද්‍ය ලංකා සිරිසේන විසින් පරිවර්තනය කරන ලද ‘ඇනී ලෝරි’ කෘතිය යි. ඇමෙරිකානු ලේඛිකා Anne Hall Whitt විසින් තම ජීවන අත්දැකීම් ඇසුරෙන් ලියන ලද ‘The Suitcases’ නවකතාව මෙහි මුල් කෘතිය යි. ඇමෙරිකාවේ උතුරු කැ‍ෙරාලිනා ප්‍රාන්තයේ 1930 දශකයේ මහා ආර්ථික අවපාතය සමයෙහි දිවි ගෙවූ කුඩා දැරියන් තිදෙනකුගේ ජීවන විත්තිය මේ කතාවට විෂය වේ.

මෙහි ආත්මය බවට පත්ව ඇති ඇනී ලෝරි ගීතය බිහි ව ඇත්තේ පැරණි ස්කොට්ලන්ත කවියකු වූ විලියම් ඩග්ලස් (1672 – 1748) විසින් රචනා කරන ලද කවියක් ඇසුරෙන් සැකසුණු ජන ගීයකිනි‍.

දරුවන්ගේ ලෝකයට එෙතයි
මගේ සිතුවිලි
වැඩිහිටියන් වූ අප ද
දරුවන් වී සිටි කාලයක් ඇත
දරුවන්ගේ හදවත් අපි හොඳින් දනිමු
එහෙත් ලෝකයේ ඇස්
දරුවන් වෙත විවරව තිබේ ද?

මේ ගීයෙහි ඇති පරිදි ම ඇනී හෝල් විට් තම නවකතාව ඔස්සේ ලොව දස දෙස වෙසෙන වැඩිහිටියන්ගේ ඇස් දරුවන් වෙත විවර කරන්නට සමත් වූවා ය.

මව අකාලයේ මිය යෑමත් පියාගේ දුප්පත්කම හා නොසැලකිල්ලත් නිසා අසරණ බවට පත් වන දැරියන් තිදෙනකු රජය භාරයට පත් වීමෙන් පසුව ඔවුන්ගේ දිවි සැරිය මෙහි දිග හැරෙයි. බෙටී, ඈන් සහ කැරොලින් යනු මේ දැරියන් තිදෙනා ය.‍ පියා රැකියාවට ගිය දිනෙක දැරියන් සොයා එන්නේ කළු ඇඳගත් කතකි. දරුවන් පාසල් නොයෑම, හරි අහරක් නොලැබීම හා ස්නානය නොකිරීම නිසා අපිරිසිදු ව සිටීම යනාදී කරුණු නිසා අසල්වැසියකු විසින් කරන ලද පැමිණිල්ලක් අනුව කළු ඇඳගත් කත පැමිණේ. ඇගේ අතේ කොපි පොතකි. “ඇයි මේ අයි‍ස් පෙට්ටියේ කෑම මුකුත් නැත්තේ?”

“ඔය ළමයි අන්ති‍මට නෑව දවස මොකද්ද?

“ඇයි ළමයෝ ඔයා ඉස‍්කෝලෙනෙ ඉන්න ඕනෑ.”

මේ ඇය දැරියන්ගෙන් අසන ප්‍රශ්න යි. මේ ප්‍රශ්නවලට පිළිතුරු නැත්තේ ඒවා නිවැරදි නිසා ය. කළු හැඳි කත ගෙනෙන සූට් කේස් තුන, දැරියන්ගේ ජීවිතය සමඟ ඉදිරියට යන සුපුරුදු සංකේතය බවට පත්වෙයි. කැප කාර දෙමාපියන් හට බාර කෙරෙන දැරියන් තිදෙනාට බොහෝ විට එබඳු නිවෙස්වල ගත කරන්නට ලැබෙන්නේ කෙටි කලකි. වැඩිහිටියන් ගේ හෝ ඔවුන්ගේ දරුවන්ගේ නොගැළපීම ඊට හේතුවයි. මේ අනුව කළු හැඳි කත සමඟ සූට් කේස් තුන ද රැගෙන කලින් කලට අලුත් දෙමාපියන් සොයා ය‍ෑම ඔවුන්ගේ ජීවන චර්යාව බවට පත්වෙයි.

අවසන මේ දැරියන් තිදෙනාගේ ඉරණම විස‍ඳෙන ‘සැබෑ දෙමාපියෝ’ හමුවෙති. හමුවීමට පෙර ගමන අවිනිශ්චිත ය. ඇනීගේ හදවතට ඇතිවන කම්පනය මෙසේ ය.

“මාර්තු මාසයේ සීතල සුළඟ ගම්බද පෙදෙස් හරහා හමමින් තිබුණි. වැහි වලාකුළු අහස පුරා පාවේ. මා මෝටර් රථයේ කවුළුවෙන් ‍ පිටත බලන විට අනන්තය තෙක් පැතිරුණ අහස් වලාවන් අතර පාවෙනු දැනේ.

“මේ වතාවේ අප රැගෙන යන්නේ කුමන තැනකට ද?

මගේ අසලින් හිඳ සිටින සොහොයුරියන් දෙස බලමි. ඔවුන්ගේ අවපැහැ ගැන්වුණු දුඹුරු පැහැති කබාත්, බලාපොරොත්තු විරහිත සුදුමැලි මුහුණුත් මට පෙනේ. වෙනසක් සිදුවූ සෑම අවස්ථාවක ම අප එයට මුහුණ දුන්නේ බියෙනි. පියා නැවත හමුවීමේ බලාපොරොත්තුව කාලය විසින් සෙමෙන් තුරන් කරනු ලබමින් පවතී‍. අපට ගැලවීමක් නොමැති වියරුවක් වැනි වූ මේ තාවකාලික තත්ත්වය ජීවිතය රැක ගැනීමේ අභියෝගය අප ඉදිරියේ තැබුවේ ය. අපේ අවධානයේ කේන්ද්‍රය වූයේ එම අභියෝගය පමණි.

මෝටර් රථයේ අපේ දෙපා ළඟ තබා ඇති ස‍ූට්කේසය මගේ දෙපාවල ගැටේ. මුලදී නම් මේ වටේ පටි සහිත කාඩ්බෝඩ් පෙට්ටිවලට අපි කිසි කැමැත්තක් නොදැක්වීය. නමුත් දැන් ඒවා අපේ නිදන් ගබඩා වැනිය. අපේ බිඳී විසිරී ගිය, අස්ථිර ජීවිතවල ස්ථිරව පැවතුණේ ඒවා පමණි.”

(91 පිටුව)

දැරියන් තිදෙනාගේ ජීවිත ගමන මුළුමනින් ම වෙනස් කිරීමට බලපාන මවක සහ පියකු හමුවන මොහොතට පෙර ‍‍ඔවුන් ගේ ජීවිත වෙලාගෙන සිටි අඳුරු ප්‍රවාහය ඇනීගේ සිතුවිලි දහරාව ඔස්සේ පිළිබිඹු වේ.

මෙසේ ජෙනින්ස් නියේ, ඔහුගේ බිරිය සහ මැරිලින් නමැති දියණිය ජීවත්වන නිවස ක්‍රමයෙන් ඔවුන්ගේ ද නිවස බවට පත්වේ.

එමෙන් ම අත්හැර දමා තිබුණු අධ්‍යාපනය ලැබීමේ අවස්ථා ද හිමි වේ. වඩාත් වැදගත් කරුණ වූයේ නියේ මහත්මිය දැරියන්ගේ දුබලතා සහ ශක්‍යතා පිළිබඳ අවබෝධයෙන් යුතුව, අභියෝගවලට මුහුණ දෙමින් ඉදිරියට යෑමේ ශක්තිය ඔවුන් සිත්හි ඇති වන පරිදි උපක්‍රමශීලීව කටයුතු කිරීමයි.

එහෙත් ඇනී අධ්‍යාපනය සඳහා හික්මවා ගැනීම නියේ මහත්මියට ද ගුරුවරුනට ද දුෂ්කර වෙයි.

අවසන, අඩු වරප්‍රසාදලාභීන් සඳහා පිහිටුවන ලද විශේෂ විද්‍යාලයක ඉගෙනීමේ අවස්ථාව ඇනීට උදාවෙයි‍. මාතෘ විහීනතාව හෝ පීතෘ විහීනතාවට ලක්වූ දරුවන් අතර දුක සැප බෙදා ගනිමින් ජීවත්වන ඇනී හරි මඟට වැටෙයි. නියේ මහත්මිය ඒ වන විට ඇනීගේ “අම්මා වී හමාරය. ඇනීගේ ජීවිතයේ සාර්ථකත්වයේ රහස, වැදූ අම්මා අහිමි ව සිටි ඇයට හැදූ අම්මාගේ මවු සෙනෙහස ලැබීම ය. ඉගෙනුම අවසන්ව වොෂිංටන් නගරයේ සමාගමක අධ්‍යක්ෂවරයකුගේ ලේකම් ධූරයට පත් වන ඇනී තම පියාගේ මළගමට යෑමට හිත හදා ගනී. එහෙත් හදාවඩා ගත් මවගේ මරණයෙන් ඇය සසල වෙයි.‍

“අම්මා! මට ඔයා නැති ව ජීවත් වන්න බැහැ” ඇය තනිව ම මුහුණයි.

“කවදාවත් බැහැයි කියල කියන්න එපා!”

මවගේ දෝංකාරය ඇයට ඇසෙයි.

ඇනී ලෝරී නවකතාව අතිශයින් සංවේදී එකක් වීම හා සමාජමය අගයකින් යුක්ත එකක් වීම කෙරෙහි බලපා ඇති ප්‍රධාන කරුණ වන්නේ ඇනී හෝල් විට්, වඩාත් විවෘත ලෙස තම ආත්මීය සංවේදනා ඊට පිවිසුවීම යි. එමෙන් ම ඇය සහ සොයුරියන් මුහුණදුන් දුක්වේදනා දෙස උපේක්ෂාවෙන් බැලීමේ ගුණය ද පීඩක යන්ත්‍රය කෙරෙහි වෛරී සහගත වීම වෙනුවට ඊට හසු වූ මිනිසුන්ගේ හැඟීම් තේරුම් ‍ගැනීමට උත්සාහ කිරීම ද තවත් විශේෂත්වයකි.‍

ආර්ථික, සමාජමය හෝ වෙනත් හේතුන් මත දිවි මං තලාවේ අතරමං වන දරුවන් හට ජීවිතය ලබාදීම රාජ්‍යයේ වගකීමක් කොට සලකන ආකාරය සමාජ සේවා දෙපාර්තමේන්තුවෙහි රාජකාරි කරන කළු ඇඳගත් කාන්තාවගෙන් පිළිබිඹු වේ. ලොව පුරා විවිධ හේතු මත මිය යන, අසරණ බවට පත්වන හෝ ශ්‍රමිකයන් බවට පත්වන බිලියන ගණනක් වූ දරුවන්ගේ ජීවන විත්තිය පිළිබඳ අපගේ ඇස් ඇරවීම ඇනී ලෝරි නවකතාවේ මූලික වැදගත්කම යි. එනිසා මෙය නිරවුල් බසින් සිංහලට නැඟූ වෛද්‍ය ලංකා සිරිවර්ධන අපගේ ප්‍රශංසාවට ලක් වෙයි.