අඩු බර ළදරුවෙකුට කරාපිටිය රෝහලේදී කළ හදවත් සැත්කම

0
1200

බර අඩු නොමේරූ ළදරුවකුගේ හදවත් සැත්කමක්‌ කිරීම එතරම් ලේසි පහසු කාරියක්‌ නොවේ. සැබවින්ම මෙය ඉතා සියුම් සැත්කමකි. මෙවැනි අඩු බර දරුවන්ගේ හදවත් සැත්කම් බොහෝ විට සිදු කරනු ලබන්නේ කොළඹ රි-වේ ආර්යා ළමා රෝහලේය. නමුත් ගාල්ල කරාපිටිය ශික්‌ෂණ රෝහලේ හෘද හා උරස්‌ කුහර ඒකකය තුළ අඩු බර දරුවකුගේ හදවත විවර කොට එවැනි සංකීර්ණ සැත්කමක්‌ කරනු ලැබීය.

සැත්කමට භාජනය කරනු ලැබු අඩුබර නොමේරූ දැරියගේ වයස මාස හතකි. බර කිලෝග්‍රෑම් එකයි ග්‍රෑම් 300 කි. මෙම ළදැරිය ඉපදුනේ සති විසි හයක්‌ වැනි ඉතා අඩු වයසිනි. හබරාදූව ප්‍රදේශයේ මවකට දාව උපන් මෙම දැරිය ඉපදුණු විගස ඇතුළත් කරනු ලැබුවේ ගාල්ල කරාපිටිය ශික්‌ෂණ රෝහලේ ළදරු දැඩි සත්කාර ඒකකයටය. මක්‌නිසාදයත් මෙවැනි නොමේරූ ළදරුවන්ට සාමාන්‍ය පරිසරයේ ජීවත් විය නොහැකි බැවිනි. එම ඒකකයේ ප්‍රධානි ළමා රෝග පිළිබ`ද විශේෂඥ වෛද්‍ය කපිලානි විතානාරච්චි ගේ අධික්‌ෂණය යටතේ මෙම දැරිය එහි ප්‍රතිකාර ලබමින් සිටියාය. විශේෂඥ වෛද්‍යවරිය විසින් දැරිය නිරන්තර පරීක්‌ෂාවට ලක්‌ කළාය. මෙම බිලි`දු දැරියගේ හෘද ස්‌පන්දනයේ කිසියම් වෙනසක්‌ ඇති බව විශේෂඥ වෛද්‍යවරිය දැන ගත්තාය.

දැරිය ළමා හදවත් රෝග පිළිබ`ද විශේෂඥ වෛද්‍ය මංගල ගුණතිලක වෙත යොමු කිරීමට කටයුතු කෙරිණි. එම විශේෂඥ වෛද්‍යවරයා විසින් දැරිය එකෝ පරික්‌ෂණයකට භාජනය කරනු ලැබුවේය. මෙම බිලි`දු දැරියගේ මහා ධමනිය හා පුප්පුශීය ධමනිය අතර ඇති රුධිර නාලිකාව වැසි නැති බව එම පරීක්‌ෂණයේදී අනාවරණය විය. සාමාන්‍යයෙන් දරුවකු ඉපදුණු පසු එම රුධිර නාලිකාව වැසී යයි. නමුත් මෙම බිලි`දාගේ එම රුධිර නාලිකාව වැසි ගොස්‌ තිබුණේ නැත. මේ නිසා සිදුවන්නේ හෘදය වස්‌තුවෙන් පිටකරන රුධිරය මහා ධමනිය හා පුප්පුශිය ධමනි හරහා ගොස්‌ රුධිරය වැඩිපුර පෙනහලුවල තැන්පත් වීමය.

මේ නිසා සිදුවන්නේ හුස්‌ම ගැනීම අපහසු විම හා වර්ධනය ඉතා සෙමින් සිදුවීමය. විශේෂඥ වෛද්‍ය කපිලානි විතානාරච්චි මෙම දැරියට අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙමින් එම නහරය ඉබේ වැසේවිද කියා ටික කාලයක්‌ සෝදිසියෙන් සිටියාය. නමුත් ඒ රුධිර නාලය වැසි ගියේ නැත. මෙම බිලිදු දැරියගේ ජීවිතය රැක ගැනීමට නම් අනිවාර්යෙන්ම දැරිය හදවත් සැත්කමකට භාජනය කළ යුතුවිය. කරාපිටිය වැනි රෝහලක මෙවැනි අඩු බර දරුවකු සැත්කමකට භාජනය කිරීම එතරම් ලේසි පහසු කාරියක්‌ නොවීය. දැරිය කොළඹ රිජ්වේ ළමා රෝහලට යොමුකිරීමේ දී ප්‍රායෝගික ගැටලු රැසකට මුහුණ දීමට සිදුවී තිබිණී.

කපිලානි විතානාරච්චි වෛද්‍යවරිය විසින් රෝහලේ හෘද හා උරස්‌ කුහර ඒකකයේ උරස්‌ කුහර පිළිබඳ විශේෂඥ වෛද්‍ය ට්‍රොලුෂා හරිස්‌චන්ද්‍රට මේ ගැන කීවාය. වෛද්‍ය ට්‍රොලුෂා හරිස්‌චන්ද්‍ර වෛද්‍යවරිය මෙවැනි අභියෝග භාර ගන්නා එයට කැමති විශේෂඥ වෛද්‍යවරියකි. ”අපි මේ සැත්කම කරාපිටිය රෝහලේ කරමු. කොහොමත් ඉතින් සැත්කම කරන්න වෙනවා. මම එංගලන්තයේ ඉගෙන ගන්න කාලයේ මගේ ගුරුවරයා වූ හෘද හා උරස්‌ කුහර පිළිබ`ද විශේෂඥ වෛද්‍ය රිචඩ් පර්මන් දැන් කරාපිටිය රෝහලට ඇවිත් ඉන්නවා. ඔහුත් එක්‌ක එකතුවෙලා මෙම සැත්කම කරමු.” වෛද්‍යවරිය කීවාය.

වෛද්‍ය රිචඩ් පර්මන් මේ ශල්‍යකර්මය ස`දහා එක පයින්ම කැමති විය. ”අවශ්‍ය පහසුකම් සපුරලා දෙන්න. මට පුළුවන් මේ සැත්කම කරන්න” වෛද්‍ය රිචඩ් රෝහල් පරිපාලනයට දැන්නුවේය. ඔහු එංගලන්තයේ දි මෙවැනි සැත්කම් ගණනාවක්‌ කළ වෛද්‍යවරයෙකි. මේ නිසා මෙම සැත්කම වෛද්‍ය රිචඩ් පර්මන්ට අභියෝගයක්‌ නොවීය. ඔහු එංගලන්තයේදී ග්‍රෑම් 500 ක පමණ බර කුඩා දරුවකුගේ සැත්කමක්‌ සිදු කොට තිබුණි.

කෙසේ වෙතත් මෙවැනි බර අඩු කුඩා දැරියක නිර්වින්දනය කිරීම අභියෝගයක්‌ විය. නිර්වින්දන පිළිබ`ද විශේෂඥ වෛද්‍ය නිරෝෂා පෙරේරා ඒ අභියෝගය භාර ගත්තාය. එය අවදානම් කටයුත්තක්‌ විය. ඒ විතරක්‌ නොව, මෙය කුඩා දරුවකුගේ සැත්කමක්‌ නිසා බබා නිර්වින්දනය කිරීමට අවශ්‍ය උපකරණ මෙන්ම සැත්කම කිරීමට අවශ්‍ය උපකරණ සොයා ගැනීමටත් මෙම වෛද්‍ය කණ්‌ඩායමට සිදුවිය.

ඒ වනවිට රෝහලේ හෘද හා උරස්‌ කුහර ඒකකය තුළ වැඩි වශයෙන් සිදු කර තිබුණේ වැඩිහිටියන්ගේ හා සාමාන්‍ය දරුවන්ගේ සැත්කම්ය. මෑත කාලයේ මෙවැනි අඩු බර දරුවකුගේ සැත්කමක්‌ සිදු කරනු ලබන පළමු අවස්‌ථාව මෙය විය. මේ චුටි බබාගේ හදවත් සැත්කම සිදු කෙරිණි. මහා ධමනිය හා පුප්පුශීය ධමනිය අතර තිබු රුධිර නාලිකාව ගැට ගසා එය වසා දමනු ලැබිය. වෛද්‍ය රිචඩ් පර්මන් හා වෛද්‍ය ට්‍රොලුෂා හරිශ්චන්ද්‍ර ඇතුළු කණ්‌ඩායමේ උත්සාහය සඵල විය. සැත්කම සාර්ථකව නිමා විණි.

”ළමා රෝග පිළිබ`ද විශේෂඥ වෛද්‍ය කපිලානි විතානාරච්චි විසින් තමයි මේ බබා අපට යොමු කළා. මේ දරුවා උපතින්ම බර අඩු දරුවෙක්‌. සාමාන්‍යයෙන් දරුවකු ඉපදෙන විට බර කිලෝග්‍රෑම් 3.5 ක්‌ විතර තියෙන්න ඕන. නමුත් මේ බබාගේ බර කිලෝ ග්‍රෑම් 1.3 යි. මෙය ඉතා අවදානම් සැත්කමක්‌. මහා ධමනිය හා පුප්පුශීය ධමනිය අතර ඇති මේ නහරය සාමාන්‍යයෙන් වැහෙනවා. නමුත් මේ බබාගේ ඒ නහරය වැහිලා තිබුණේ නැහැ. මේ නහරය ගැට ගැසීමේ සැත්කම කිරීමට එංගලන්තයේ සිට පැමිණි විශේෂඥ වෛද්‍ය රිචඩ් පර්මන් භාර ගත්තා. සැත්කම සාර්ථකයි. මේ චුටි බබා දැන් ඉතා හො`ද සෞඛ්‍ය තත්ත්වයෙන් පසු වෙනවා.” විශේෂඥ වෛද්‍ය ට්‍රොලුෂා හරිස්‌චන්ද්‍ර ස`දහන් කළාය.

කරාපිටිය ශික්‌ෂණ රෝහලේ ළදරු දැඩි සත්කාර ඒකකයේ ප්‍රධානි හා ළමා රෝග පිළිබ`ද විශේෂඥ වෛද්‍ය කපිලානි විතානාරච්චි මෙම සැත්කම ගැන කීවේ මෙවැනි කතාවකි.

”බර අඩු නොමේරූ බබෙකුගේ හදවත් සැත්කමක්‌ කිරීම එතරම් පහසු කාරියක්‌ නෙවෙයි. හරියට ශරීරයේ අවයව වැඩිලා නැහැ. හදවත විවෘත කළ විට සාමාන්‍ය අයකුගේ හදවතේ ප්‍රමාණය කෙනෙකු විසින් අත ගුලි කළවිට ඒ ප්‍රමාණය යි. මෙම බබාගේ හදවත විවර කළ විට හදවත රුපියලේ කාසියක්‌ විතර ඇති. ඒ විතරක්‌ නෙවෙයි. මහා ධමනිය හා පුප්පුශීය ධමනය අතර ඇති මේ රුධිර නාලිකාවත් සොයා ගැනීම එතරම් පහසු කාරියක්‌ නොවෙයි. නමුත් බ්‍රිතාන්‍ය ජාතික වෛද්‍ය රිචඩ් පර්මන්ට මෙවැනි සැත්කම් කරලා පළපුරුද්දක්‌ තිබුණා. ඔහුගේ අත්දැකීම් විශිෂ්ටයි. ඔහු පහසුවෙන් මේ රුධිර නාලිකාව හ`දුනාගෙන සැත්කම කළා. මේ සැත්කමේදී ප්‍රධානම අභියෝගයක්‌ වුණේ බර අඩු මෙවැනි නෙමේරූ දරුවෙකු නිර්වින්දන කිරීම. විශේෂඥ වෛද්‍ය නිරෝෂා පෙරේරා ඒ අභියෝගය භාර ගත්තා”.

කරාපිටිය රෝහලේත් මෙවැනි සැත්කම් කරන්න පුළුවන් කියලා අපි ඔප්පු කරලා පෙන්නුවා. විශේෂඥ වෛද්‍ය ධම්මික රස්‌නායක ළදරු දැඩි සත්කාර ඒකකයේ කාර්ය මණ්‌ඩලය, හෘද හා උරස්‌ කුහර ඒකකයේ කාර්ය මණ්‌ඩලය මේ ස`දහා සුවිශේෂි වූ සහයෝගයක්‌ ලබා දුන්නා. විශේෂඥ වෛද්‍ය කපිලානි විතානාරච්චි ස`දහන් කළාය.

ලලිත් චාම්න්ද

– Divaina